ලංකා TV අන්දරය

සැප්තැම්බර් 12, 2019

ස්වාධීන රූපවාහිනී සේවය සහ ජාතික රූපවාහිනිය මෙසේ ටෙලි නාට්‍ය නිර්මාණකරණයට ප්‍රවේශ වෙමින් ජනතාව එතෙක් රසවිඳි කලා මාධ්‍යයන් සමතික්‍රමණය කරමින් නැවුම් කලා මාධ්‍යයකට ඔවුන් සමීප කිරීමේ අධ්‍යාශයක නිරතවෙමින් සිටියේය. මේ කලා මාධ්‍යය වටා බැඳුණු තහංචි කිසිවක් නොවීය. හුදෙක් නිර්මාණකරුවාගේ ස්වීය ආත්මීය ප්‍රකාශනයක් වශයෙන් ප්‍රේක්ෂකයා වෙතට ගෙන එමින් ඔවුන් වෙනත් මානයක සිට එය රස විඳීමට පෙලඹ වීය. එක් කොටසක ධාවන කාලය විනාඩි 23 ක අවමයක රඳා පවත්වාගෙන යාමට තරම් ඔවුහු ශීලාචාර වූහ. ජනතාවාදී වූහ. ඉඳහිට වෙළඳ භවතෙකුගේ දැන්වීමක් ටෙලි නාට්‍යය අතරතුරේදී විකාශය වුව ද, එය සමස්ත රසවින්දනාත්මක කවචය තුළ ස්ථානගත වීම හේතුවෙන් නිර්මාණයට අවැඩක් ඉන් සිදු නොවීය.

එහෙත් විවෘත ආර්ථිකයේ ආනුභාවයෙන් නව වෙළෙඳ කුලකයක් ශීඝ්‍රයෙන් කලඑළි බසිමින් සිටියේය. ඔවුනගේ නිෂ්පාදනයන් වෙතට ජනතාව ආකර්ෂණය කර ගැනීම පිණිස රූපවාහිනී මාධ්‍යය ප්‍රධාන වාහකය කර ගනිමින් සිටියේය. මෙහි ප්‍රවේශය වන්නේ නව පරිභෝජන රටාවකට තත්කාලීන සමාජය පරිවර්තනය කිරීමේ ක්‍රියාන්විතයක නිරතවීමය. මාළු පිනි තුන හතරක් සමඟ බත් කටක් කෑමට පුරුදු වී සිටි ජනතාවක් විවෘත ආර්ථිකයේ බල මහිමයෙන් ජනිත වූ සුපර්මාකට් එකකට රිංගා, රාක්කවල ගොඩ ගසාගෙන තිබෙන අලුත් අලුත් කෑම වර්ග වියරුවෙන් මෙන් ගෙදර ගෙන යාමට තම ජීවිතය වෙනස් කර ගනිමින් සිටියහ. එවැනි පෙලඹවීමකට ඔවුනගේ උපවිඥානයට බලපෑම් කළ වගඋත්තරකරුවා වූයේ ද එකී පරිභෝජන රටාවකට සමාජය පරිවර්තනය කළ ප්‍රධාන ක්‍රියාධරයා වූයේ ද රූපවාහිනී මාධ්‍යය යන්න අවිවාදිතය. තත්පර 30, තත්පර 60 ධාවන කාලයකට යටත්ව නිර්මාණය වූ වෙළඳ දැන්වීම් ඔස්සේ කෑම ජාති, බීම වර්ගයන් සහ සෙසු පාරිභෝගික භාණ්ඩයන් විකිණීමේ ප්‍රධාන වෙළඳපොළ වන්නේ රූපවාහිනියයි. මෙම වෙළඳ ප්‍රචාරණය සඳහා වෙළඳ ආයතන බොහෝ විට යොදා ගැනීමට උත්සුක වන්නේ ජාතිය පිළිගත් කලාකරුවන් හෝ ක්‍රීඩක ක්‍රිඩකාවන්ය. එයට ප්‍රධාන හේතුව වන්නේ ඔවුන් ප්‍රකාශ කරන දේ සම්බන්ධයෙන් ජනතාව තුළ විශ්වාසයක් ඇතිවීමය. මේ ධනාත්මක ලකුණ ඔවුන් අවභාවිතයේ යොදවමින් සමහර විට මිනිස් ශරීරයට අහිතකර වූ කෑම වර්ග සහ සෙසු පාරිභෝගික භාණ්ඩ විකිණීමේ වෙළඳාමක නිරත වී සිටින්නේ අදාළ වෙළඳ දැන්වීම් සඳහා පෙනී සිටිමින් උපයා ගන්නා මුදල ගැන පමණක් සිත යොමු කරමිනි.

නව පරිභෝ්ජන රටාවට මුළු රටම පරිවර්තනය වෙමින් සිටින කාල වකවානුවේදී ජාතියක් ආදරය කළ කලාකරුවන් කිහිප දෙනෙකු පවා අලුත් කෑම වර්ගයන්හි රසය ඔජ වඩමින්. ජනතාව එයට පෙලඹවීමේ ව්‍යායාමයක නිරතවිම කනගාටුවට කරුණක් වන්නේ එම කෑම ජාති පරිභෝජනයෙන් අනාගත පරපුර විනාශවීමේ අනතුර පිළිබඳව ඔවුන් තඹ දොයිතුවකටවත් මායිම් නොකිරීම හේතුවෙනි. පරිවර්තනීය කාල වකවානුවේ මුල් කාර්තුවේදීම අපි ආදරය කළ ශ්‍රේෂ්ඨ කලාකරුවකු සහ ඔහුගේ බිරිඳ (ඇයද මුළු මහත් ජනතාවක් ජනතාව ආදරය කළ රංගන ශිල්පිනියකි) මීට් බොල්ස් යනුවෙන් අලුතෙන් පරිභෝජන රටාවට එකතු වූ කෑම ජාතිය විකිණීම සඳහා රූපවාහිනි වෙළඳ දැන්වීමක පෙනී සිටීම අතිශය ඛේදජනකය. නව පරිභෝජන රටාව හේතුවන් සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තයට බලපෑම් එල්ල විය. වී ගොවිතැන සඳහා භාවිතා කළ කාබනික පොහොර වෙනුවට රසායනික පොහොර සහ දියර වර්ග එයට ආදේශ කිරීම ක්‍රමයෙන් සිදුවෙමින් පැවතිණ. දශක තුනක පමණ කාලයක් ඇවෑමෙන් අද එය බරපතළ ව්‍යාධියකට මුහුණ දී සිටියි. අපි ආදරය කළ තවත් රංගන ශිල්පියකු රසායනික දියර වර්ග සහිත ටැංකියක් තම කරෙහි එල්ලා ගෙන එය වී ගොවිතැනට යෝග්‍ය භාවිතයක් බව ඒත්තු ගැන්වීම සඳහා කරන ලද රඟපෑම අපට තමා මතකය. පසු කාලයකදී තමන් එදා එවැනි වෙළඳ දැන්වීමක පෙනී සිටීම පිළිබඳව ජාතියෙන් සමාව අයැදීමට මේ කලාකරුවා ඉදිරිපත් වුව ද, එය අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වැසීම වැනි ක්‍රියාවකි.

කලාකරුවන්, ක්‍රීඩකයින්ගේ ජනතා ප්‍රසාදිත ප්‍රතිරූපයන් භාවිත කරමින් තමන්ගේ වෙළඳ භාණ්ඩයන් විකුණා ගැනීමේ මජර ක්‍රියාදමය එදාට වඩා අද සරුවට ක්‍රියාත්මක වේ. වෙළඳ ආධිපත්‍යය හමුවේ සෑම රුපවාහිනී නාලිකාවක්ම දණ ගැස්සවීමට තරම් වර්තමානයේ එය ප්‍රබල වී ඇත. රූපවාහිනිය ආරම්භයේදී කෙටසක් විනාඩි 23 ක් වැනි ධාවන කාලයකට යටත්ව විකාශය වූ ටෙලි නාට්‍යයක් අද විනාඩි 17 වැනි කාලයකට ලඝු වී ඇතත් දිනෙන් දින තරවෙන වෙළඳ ආධිපත්‍යයේ ප්‍රකාශනය වන වෙළෙඳ දැන්වීම් සඳහා වැඩි ඉඩ කඩක් ලබාදීිමට සෑම නාළිකාවක්ම පේවී සිටින බැවිනි. මෙය හෙට දවසේ පෘථුල පරාසයක විස්තීර්ණ වන බව සහේතුකය. එවිට ටෙලි නාට්‍යයක කොටසක ධාවන කාලය විනාඩි 10 කට සීමා වීම අනිවාර්ය වේ.

අනුර මාධව ජයසේකර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.