මේක මට විතරක් නොවෙයි ප්‍රේක්ෂකයන්ටත් කරපු අසාධාරණයක්

නිරාවරණ අධ්‍යක්ෂ රොෂාන් කුරුප්පු
ඔක්තෝබර් 10, 2019

ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ රොෂාන් කුරුප්පු යම් සිත් වේදනාවකින් පසුවන බව ආරංචි වුණා. ඒ ඔහුට සිදු වූ අසාධාරණයක් නිසයි. රොෂාන් මුහුණ පෑ අවාසනාවන්ත අත්දැකීම ඔහු විස්තර කළේ මෙහෙමයි.

මං හිතනවා මේ කතාව ආරම්භ කිරීමට මත්තෙන් මං ගැන කෙටි හැඳින්වීමක් කළොත් හොඳයි කියලා. මං කරපු නිර්මාණ පෙළ මතක් කළොත්, ආදරණීය අම්මා තමයි මගේ පළමු ටෙලි නාට්‍යය. මිහිඳුම් සෙවණැලි, වැටෙන් එහා, මුහුදු මනාලි, අමුතු මිනිස්සු, විහඟ ගීතය සහ බාලොළි මල් තමයි මගේ අනෙක් ටෙලි නිර්මාණ ටික. වසර ගණනාවක් නිර්මාණකරණයේ යෙදිලා හොඳට පදම් වෙලා අත්දැකීම් ලබමින් තමයි මේ ගමන යන්නෙ. නැත්නම් අපි උඩින් පාත්වෙච්ච අය නෙවෙයි. එහෙව් මට සිද්ධ වුණේ මීට පෙර කිසිදාක නොවුණු දෙයක්. මං ආවට ගියාට තිබ්බා ගැහැව්වා ටෙලි නාට්‍ය කරන කෙනෙක් නෙවෙයි. ඒක මං නිර්මාණය කළ නාට්‍ය පෙළ ගැන සලකලා බලද්දි තේරෙවි. කතාව මේකයි. මේ දවස්වල ස්වාධීන රූපවාහිනියේ විකාශය වෙනවා නිරාවරණ කියලා නාට්‍යයක්. ඒක පටන් ගත්තේ මම. නම තිබ්බේ මම. අනුර ශ්‍රීනාත්ගේ චිත්‍ර කතාවක් ඇසුරෙන් උදය ශාන්ත කුමාරසිංහට කියලා තිරරචනා කර ගත්තේ මම. ඒකට මං යොදා ගත්තේ චින්තක සෝමකීර්ති වගේ සම්මාන ගත්තු කැමරා අධ්‍යක්ෂවරයෙක්. මේකප් කරපු වසන්ත පූර්ණවංශත් එහෙමනෙ. මා ඇතුළු මේ සියල්ල අයින් කරලා නිකම් නෙවෙයි, හරිම අමානුෂීය විදිහට. ඒක වුණේ මෙහෙමයි.

නාට්‍යය ආරම්භ කරලා කොටස් දොළහක් විතර කරගෙන යද්දි මගේ නිෂ්පාදන ආයතනයට මුදල් මදි වුණා. එතකොට මං නාළිකාවට නාට්‍ය බාරදීලයි තිබුණේ. වැඩේ කොලිටි නිසා විකාශයට පවා අවසර ලැබුණා. මට දැන් ඉතිරි ටික කරගන්න විදිහක් කල්පනා කරද්දී එක්තරා පුද්ගලයෙකු මට නිෂ්පාදිකාවක් මුණ ගැස්සුවා. ඇය අර කලින් නිෂ්පාදන ආයතනයට මුදල් දීලා කොටස් දොළහා අරගෙන ඉතිරි ටික කරමු කිව්වා. හැබැයි ඒ නිෂ්පාදක ශිල්පීන්ට සලකපු විදිය ගැන මගේ පැහැදීමක් නෑ. මගේ වැඩවලදී මං ඔහොම තුට්ටු දෙකේ දේවල් කරන්නේ නැහැ. මනසට දරා ගන්න බැරි දේවල් ඉවසගෙන කොටස් විසි අටක් වෙනකම් මං නාට්‍යය කළා. දැන් මෙයාලා මට නොදන්වා ඒකෙන් ඉවත් කරලා. දැන් එයාලගෙ ඩිරෙක්ටර් කෙනෙක් දම්මලා නාට්‍ය කරගෙන යනවලු. මේ ගැන කතා කරන්න යද්දි එයාලා ඉතාම සූක්ෂම අන්දමින් මාව මඟ හැරියා. රස්තියාදු කළා. ප්‍රඩක්ෂන් මැනේජර් ගාල්ලේ. ඔය අතරේ මටත් හොරෙන් නිරාවරණ පිටපත් රචකයව හොයාගෙන ගිහින් පිටපත ඉල්ලලා. මං සාමාන්‍යයෙන් නාට්‍යයක් කරද්දී සම්පූර්ණ පිටපත ලියවා ගන්නවා. මේකෙදිත් එහෙමයි වුණේ. පිටපත් රචකයා කිව්වලු රොෂාන් ගාව පිටපත කියලා. ඊට පස්සේ ඔවුන් ගිහිල්ලා පිටපත ටයිප් කරපු තැනට. ටයිප් කරපු තැනින් මට කතා කළා. එහෙම හිතූ හිතූ අයට පිටපත් දෙන්න බැහැනෙ. පිටපත ගන්න බැරි වූ තැන ඔවුන් වෙනම කතාවක් දැන් ලියාගෙන යනවා. ඔය අතරේ හේමසිරි ලියනගේ, වොල්ගා කල්පනී, චාමි සේනානායක වගේ කිහිප දෙනෙක් මං නැතුව නාට්‍යයේ වැඩ කරන්න බැහැ කියලා අයින් වෙලා. ඔවුන්ව නාට්‍ය ඇතුළේ අතුරුදන් වෙච්ච චරිත බවට පත් කරලා අතුරුදන් කරලා. දැන් නිරාවරණ නෙවෙයි වෙන වර්ණයක් තමයි ඔය යන්නෙ. මං නාළිකාවටත් කතා කළා. ඔවුන් කියනවා නිෂ්පාදක එක්කලු එයාලා ගනුදෙනු කරන්නේ. මේක හරිම අසාධාරණ තත්ත්වයක්නෙ. මමනෙ නාට්‍යය පටන් ගත්තේ. එහෙම පටන් අරගෙන ගුණාත්මකව වැඩේ කරපු නිසානෙ ඇපෘවල් එක ලැබුණේ ටෙලි කාස්ට් එකට. මං හදපු පාරෙ තමයි ඔවුන් මේ ගාල කඩාගෙන දුවන්නේ. මං නාට්‍යයේ ප්‍රොෆෙසර්ගෙ ගෙදර හැටියට ගත්තේ තලවාකැලේ ගෙදරක්. ඒකේ වියදම් වැඩියි කියලා එයාලා ප්‍රොෆෙසර්ව කොළඹ ගෙනල්ලා. මොකක්ද මේ විහිළු වැඩ. නාට්‍ය කලාව ගැන නොදන්නා නිෂ්පාදකවරු ෆීල්ඩ් එකට ආවම ඔහොම තමයි වෙන්නෙ.

මේක හරිම දරුණු මංකොල්ලයක්. නිකම් හිතන්න කෙනෙක් හොඳ නාට්‍යයක් කරලා විකාශයට අවසර ලැබුණායින් පස්සෙ ඒක හොරකම් කරන්න ඉඩ තියෙනවනෙ මේ වගේ අය. ඇයි එයාලටත් තිබුණනෙ හොඳ නාට්‍යයක් කරන්න. එහෙම කරන්න බැහැ. හොඳ නිර්මාණයක් කරන්න බැරි තැන තමයි අනුන්ගේ නිර්මාණ හොරකමේ යෙදෙන්නේ. මට මගේ නිර්මාණය ගැන කියලා නඩු කියන්න බැහැ. මොකද නඩුවක් අවුරුදු තුන හතරක් විතර ඇදෙනවනෙ. මං විශ්වාස කරනවා සොබා දහමෙන්ම වරදකරුවන්ට දඬුවම් ලැබෙයි. මේ වෙලාවේ ලොකුම අසාධාරණයට ලක් වෙලා ඉන්නෙ නිරාවරණ මුල ඉඳලා නරඹපු ප්‍රේක්ෂකයෝ. ඔවුන් අතරමං වෙලා. මේකෙ චරිත කෝ, මොකද නාට්‍යයට වුණේ කියලා ඔවුන් මගෙන් විමසනවා. මට කියන්න තියෙන්නේ සමාවෙන්න කියන එක. ආයෙ නම් මං ජීවිතේට ටෙලි නාට්‍යය කරන එකක් නැහැ. එච්චරටම සිත් තැවුලෙන් මං ඉන්නෙ.

නිශ්ශංක

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.