ලංකා TV අන්දරය

ලොකු බාස්ලා පොඩි බාස්ලා
නොවැම්බර් 7, 2019

රූපවාහිනී මාධ්‍යය සඳහා හඬ කැවීම් සහ උප ශීර්ෂ යෙදීම සම්බන්ධව ජර්මනියේ සෙන්ඩර් පීස් රූපවාහිනී ආයතනයේදී වැඩිදුර හැදෑරීමෙන් පසුව පෙරළා දිවයිනට පැමිණෙන ටයි මහතා ට්‍රාන්ස්ටල් ආයතනය විසින් නිෂ්පාදනය කළ රූපවාහිනී කාටුන් වැඩසටහන් දෙකක් ඒ සමඟ රැගෙන ආවේය. එය හඬ කැවීම සඳහා මුල් පිටපත සිංහලට අනුවර්තනය කළ ඔහු මා අමතමින් පවසා සිටියේ අලුත් කටහඬවල් කිහිපයක් පිළිබඳව සොයා බලන ලෙසටය. ඒ ක්ෂණයෙන් මට මතක් වූයේ පාසල් යන කාලයේදී මා සමඟ මිතුරු වූ සමන් ආතාවුදහෙට්ටිය. ඔහු ඒ වන විට ලන්දේසි දූපත යනුවෙන් ගුවන් විදුලි නාට්‍යයකට හඬ කැවූ අතර ගුවන් විදුලි සංස්ථාවේ වැඩසටහන් නිෂ්පාදකවරයකු වශයෙන් ද ක්‍රීඩා අංශයට අනුයුක්තව සේවය කළේය. රූපවාහිනිය ඉදිරියෙන් දිවෙන පාර පැන ගොස් ගොස් ගුවන් විදුලියට ගොඩ වැදී සමන් මුණ ගැසුණු අතර, ඔහුට ටයි මහතාගේ අවශ්‍යතාව පැවැසුවෙමි. ඔහු එයට එකපයින් කැමැති විය. ඔහුත් සමඟ ලන්දේසි දූපතට හඬ මුසු කළ පරාක්‍රම පෙරේරා, කරුණාතිලක හඳුවල සහ ලෙස්ලි රාමනායක යන ශිල්පීහු රූපවාහිනී ප්‍රධාන පාලක මැදිරියට පළමුවරට පා තැබුහ. ටයි මහතාගේ අධීක්ෂණය යටතේ රූපවාහිනී ඉතිහාසයේ සිංහලෙන් හඬ කවන ලද පළමු කාටුන් චිත්‍රපටය සඳහා ඔවුන් තම කටහඬ මුසු කරන ලද්දේ කාලයක් තිස්සේ එවැනි වැඩකට සම්බන්ධ වූ පුරුදුකාරයන් මෙනි. ලොකු බාස් සහ පොඩි බාස්, අහල පහළ යනුවෙන් නම් තැබූ කාටුන් චිත්‍රපට දෙක එසේ හඬ කැවීමෙන් පසුව 1985 පෙබරවාරි 15 වන දින විකාශය කරනු ලබන්නේ ජාතික රූපවාහිනිය පිහිටුවා හරියටම වසර තුනක් සම්පූර්ණ වූ දිනයට සමගාමීවය. 

අනුර මාධව ජයසේකර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 15 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.