සකල ගුරු සොයා මාවතගම ගියෙමු

නොවැම්බර් 14, 2019

මහත්තයලා කොහාටද යන්නෙ?

ගැමියකු මගෙන් විමසයි. ඔහු සිටියේ දැහැටි කූරකින් මුව මදින ගමන්ය.

පින්සිරි ගුරුන්නාන්සේගේ ගෙදරට . . .

මම කීවෙමි.

අන්න අර තියෙන්නේ ගෙදර . . .

තම කාර්යය අවසන් නොකොටම ඔහු අත දිගු කොට පෙදෙසක් පෙන්වීය. මම එදෙස බැලුවෙමි.

මං එහෙනම් ගිහින් එන්නම්.

ගැමියාට සමු දී ඔහු පෙන් වු නිවෙස වෙතට ගියෙමි. කඩින් කඩ ඇසෙන සීනු නාදය මෙතැනට නුහුරු නුපුරුදු එකක් නොවේ. එය හරියට “ඊළඟට” යන වචනය ඉඟි කරන සංකේතයක් බඳුය. සීනුව වැදෙද්දී පිටත සිටින කෙනෙකු ඇතුළට යයි. ඇතුළේ සිටි අය එළියට එයි. පින්සිරි ගුරුන්නාන්සේ හමුවීමට පැමිණ සිටින පෝලිමේ කෙලවරට මම ද එක්වීමි. එකින් එක දේවාලයට ගොස් පැමිණෙද්දී පෝලිම කෙටි වෙමින් මගේ අවස්ථාව උදා විය. මා දැන් සිටින්නේ පින්සිරි පොඩි බණ්ඩාර හෙවත් සකලගුරු ගාවය.

මහත්තයාට මොනවද දැනගන්න ඕන?

මොණර පිල්පත සොලවමින් ගුරුන්නාන්සේ මගෙන් විමසන්නේ හරි හැටි මා දෙසවත් නොබලාය. මා ඔහුට එකවර හඳුනා ගත නොහැකි විය.

මං ලියන කෙනෙක් . . .

කැටයම් ලියන කෙනෙක්ද . . .

ගුරුන්නාන්සේ විමසීමි.

නැහැ . . . මම කීවෙමි.

එහෙනම් මැල්ලුම් ලියන කෙනෙක්ද?

ඊළඟට ඔහුගේ මුවින් පැන්නේ එබන්දකි. මට සිනහ පහළ වුව ද ඒ බව නොපෙන්වා මම දිගටම කතා කළෙමි.

නැහැ. පත්තරවලට ලියන කෙනෙක් . . . මට ඕන එක පාර වචන දාහක් ලියවෙන්න පෑනක් ජීවම් කර ගන්න.

පින්සිරි ගුරුන්නාන්සේ එවිට දෑස විවර කොට හොඳ හැටි මා දෙස බැලුවේය.

අප්පට බොල . . . මේං සරසවියෙන් ඇවිල්ලා . . . වරෙල්ලා වරෙල්ලා . . .

ගුරුන්නාන්සේ මාවත් පෙරළගෙන පිරිසට අඬ ගසයි. ක්ෂණයකින් ටිකිරි රත්නායක ඇතුළු පිරිස මෙතැනට වට විය.

කොහොමද මල්ලි . . .

ගුරුන්නාන්සේ සැබෑ ලොවට විත් මගෙන් විමසයි. සැබෑ චරිතයට පත් වුණද ගුරුන්නාන්සේගේ කට පොඩිය නම් එසේමය. කා වුව ද උපහාසයට ලක් කරන්නේ ඔහු තැන නොතැන බලමිනි. ඔහු නමින් ගිරිරාජ් කෞශල්‍ය වන්නේය. සකලගුරු නමින් දිග හැරෙන ටෙලි සිතුවමේ ගුරුන්නාන්සේ ඔහුය. ටිකිරි රත්නායකගේ අධ්‍යක්ෂණයක් වන එය මේ දිනවලදී සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා සතියේ දිනවල රාත්‍රී නවයට ජාතික නාළිකාවේ විකාශය වේ. අද අපි මේ පැමිණ සිටින්නේ එය රූපගත වන මාවතගම පුස්සැල්ල ගම් පියසේ දර්ශන තලයටය.

ගිරා බයිසිකලයක නැඟ තවත් දර්ශනයක් රංගනයට සූදානමිනි. බයිසිකලය ගසක වැදී ගිරා බිම වැටිය යුතුය. පළමු වාරයේදී ගිරා එලෙස කළේය. එය හරි ගියේ නැති බවට කැමරා අධ්‍යක්ෂ චන්දන ධර්මප්‍රිය පවසයි.

එහෙනම් කොහොමද කරන්න ඕන.

ගිරා අසයි.

මෙහෙම කරපංකෝ . . . චන්දන දීර්ඝ වශයෙන් උපදෙස් දෙයි.

ඉතින් මේක උඹම කරපංකෝ . . . ආ මෙන්න බයිසිකලේ, ටිකිරි . . . මං යනවා. අද ඉඳලා සකල ගුරා මෙයා . . .’

ගිරා චන්දනව ගෙන්වා ඔහුට බයිසිකලය බාර දී යන්නට සැරසෙයි. ගිරා පැවසූ දෙය සීරියස්ව ගත් අධ්‍යක්ෂ ටිකිරි කඩිමුඩියේ දුව එයි.

නෑ නෑ . . . මංම කරන්නම් . . .

ගිරා යළි දර්ශනයට සැරසෙයි.

ගිරිරාජ්ගේ මේ ක්‍රියා කලාපයන් සකල ගුරු දර්ශන තලයට ගෙන එන්නේ අමුතු ප්‍රබෝධයකි. ඒ අතරවාරයේ තවත් බොරුවක් ප්‍රචාරය කිරීමට නිෂ්පාදන කණ්ඩායම උත්සුක විය. පින්සිරි ගුරුන්නාන්සේගේ දර්ශනයන් බොහොමයක් රූපගත කළේ දේවාලයක් තුළය. එතැනට පැමිණි මුල්ම දිනයේ මිහිර සිරිතිලක දේවාලයේ අස්සක් මුල්ලක් නෑරම නෙත යවා බැලීය.

ඈ ටිකිරි අයියේ මේක හරියට ඇත්ත දේවාලයක් වගේනේ . . .

අධ්‍යක්ෂවරයා මිහිර ඇසු පැනයට ඔව් කියා කීවේය. කැමරා අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිස ද එම කීම අනුමත කළෝය. එතැන් පටන් නළු නිළියෝ සියල්ලම සිතා සිටියේ එතැන ඇත්තම දේවාලයක් කියාය.

ඇත්ත දේවාලයක හැසිරෙන විදිහට දැන් අපි හැසිරෙන්නත් එපායැ.

නළු නිළියෝ එලෙස කියමින් කට පරිස්සම් කර ගනිමින් සිටියෝය. කතාව ගම පුරා පැතිර ගිය බැවින් තමන් මෙතුවක් කල් නොදැකපු ගමේ දේවාලය දැක බලා ගැනීමට ගම්මු ද පැමිණියහ. එතැන් පටන් ඒ බොරුව තවදුරටත් එලෙස පවත්වා ගැනීමට නොහැකි විය. කලා අධ්‍යක්ෂ සමන් ශ්‍රී නාරායන ඉතා තාත්ත්වික අන්දමින් දෙවොලක් ඉදිකොට තිබිණ. නළු නිළියන් රැවටුණේ එයටය. තමන් මුළා වු බව දැනගත් ඔවුන් මං නං දැනගෙන හිටිය මේක බොරු දේවාලයක් යැයි’ කියමින් සිත් සනහා ගත්හ.

මේ අතර මඤ්ඤොක්කා හුටපටයක් සිදු විය. එය ඉතා රසවත් සිදුවීමකි. එය මම මෙලෙස සටහන් කරමි. එක්තරා වෑංජනයක් ගෙනත් තිබුණේ දහවල් කෑම වේලටය. රංගන ශිල්පිණි හංසමාලා ජානකී එදෙස බලා විපරම් කළාය.

මේ මොනවද . . . දෙල් ද මඤ්ඤොක්කද?

ඇය මුවට ඇඟිල්ලෙන් තට්ටු කරමින් තමන්ගෙන් විමසා ගත්තාය. එහෙත් එය ඇයට විසඳා ගත නොහැකි විය. ගිරිරාජ්ගෙන් අසා බලා මේ ප්‍රශ්නය විසඳා ගැනීමට ඇය කල්පනා කළාය. ඇය අසන්නේ වැරැදි කෙනාගෙන් බව නිකමටවත් සිතුණේ නැත.

ගිරි අයියේ මේ මඤ්ඤොක්කා ද දෙල්ද?

ඇයි නංගි මොකක්ද ප්‍රශ්නෙ?

දෙල් නම් මට හොඳ නැහැ. සැරයිනෙ. එක සැරයක් දෙල් කාලා කටත් පැළුණා.

එහෙනම් නංගි මේ මඤ්ඤොක්කා. ගිරා එය කියා ක්ෂණයකින් ඉවත්ව ගියේ එතැන තිබුණේ දෙල් නිසාය. මඤ්ඤොක්කා කියා සිතා දෙල් අනුභව කරන හංසමාලා දෙස සියල්ලන් බලා සිටියේ විස්මයෙනි. ඇයට යම් ආපදාවක් වී රූපගත කිරීම් පමා වේ යැයි අධ්‍යක්ෂවරයාට ද බියක් ආවේය. හිතේ හැටියට දෙල් කෑ හංසමාලා දිහා අවසානයේ පිරිස බලා සිටියේ ඒ දෙල් මඤ්ඤොක්කා කළ රහස සඟවාගෙනය. වාසනාවට ඇයට කිසිදු ආබාධයක් නොවීය. ඇය දෙල් කෑ බව මේ වන තෙක් නොදන්නා බව කීවේ ද නිෂ්පාදන කණ්ඩායමේ කෙනෙකි. මේ සියලු උපහාස මැද සකල ගුරු රූ ගැන්වේ. මෙවන් පිරිසක් ආම්බාන් කිරීම වෙනුවෙන් අධ්‍යක්ෂ ටිකිරි රත්නායකට වෙනම සම්මානයක් දිය යුතුය. මේ දර්ශන තලයෙන් සමු ගන්නට මත්තෙන් ටිකිරි ගැන ද කතාවක් කිව යුතුය. එය කීවා කියා ටිකිරි අප හා අමනාප වන්නේ නැති බව අපි දනිමු. සති පූජා, සඳ හිරු තරු, ස්වර්ණමාලි, මුතුකුඩ, කුසුමාසන දේවිය ආදී නාට්‍ය නිර්මාණය කළ ටිකිරි තම සියලු නාට්‍ය රූප ගත කළේ නුවර අවටය. “මුහුදක් ෂූට් කරන්න ඕන වුණත් ඒකත් ටිකිරි ෂූට් කරන්නේ නුවර” යනුවෙන් ටිකිරි ගැන දන්නෝ කියන්නේ ඔහු නුවර ළබැඳියෙක් නිසාය.

සකල ගුරු රංගන ශිල්පීන්:

ගිරිරාජ් කෞෂල්‍යය, චමිලා පීරිස්, නෙතලි නානායක්කාර, ආනන්ද අතුකෝරළ, මිහිර සිරිතිලක, චින්තක පීරිස්, හංසමාලා ජානකී, මහින්ද පතිරගේ, උදය කුමාරි, මිලින්ද පෙරේරා, කාවින්ද්‍යා දුල්ශානි, ඉමේෂාන් නෙල්ලිගහවත්ත, සුසිලා කෝ්ට්ටගේ, හර්ෂි අංජුමාලා, හසරින්ද කේෂක, සුනෙත් ශාන්තප්‍රිය

 

සකල ගුරු නිෂ්පාදන පිරිවර:

නිෂ්පාදනය - සාමා රත්නායක

තිර රචනය – චින්තක පීරිස්

කැමරාකරණය – චන්දන ධර්මප්‍රිය

සංස්කරණය - මංජුල මල්වත්ත

සංගීතය – නවරත්න ගමගේ

අංග රචනය - ජේ. සුරනිමල

කලා අධ්‍යක්ෂණය - සමන් ශ්‍රී නාරායන

ගීත රචනය – බණ්ඩාර ඇහැලියගොඩ

ගායනය – බන්දුල විජේවීර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.