හඬ නළුවන් වූ අම්මයි පුතයි

නොවැම්බර් 14, 2019

පාට ඇඳුම් රූපවාහිනී ළමා නාට්‍යයෙන් කලාවට අත් පොත් තැබූ සංජීවනී සුරියආරච්චි පසුගිය දින ඇයගේ කලා දිවියේ තොරතුරු ටිකක් බෙදා ගන්නට සරසවිය පුවත්පතට ගොඩ විය. ඒ තමන්ගේ පුතු සිතුම් සඳයුරු සමඟය. සංජීවනී මෙන්ම සිතුම් සඳයුරු දැනට රූපවාහිනී නාළිකා කිහිපයකම හඬ නළුවකු ලෙස ප්‍රචලිතය. මේ ඔවුන් දෙදෙනා අප සමඟ ගෙනා තොරතුරුය.

ඔබ පාට ඇඳුම් නාට්‍යයෙන් පසුව සම්බන්ධ වන්නේ?

සූරිය සඳලතා ගීත නාට්‍යයට. ඉන් පසුව 1980 වසරේදී රැජිනි සෙල්වනායගම්ගෙන් නර්තනය හදාරනවා. මම නැටුම් කලාව හදාරමින් ඉන්න විට 1982 දී ශ්‍රීමතී ලියනගේ මහත්මියගේ රූපවාහිනී ළමා නාට්‍ය කිහිපයකටම සම්බන්ධ වුණා. ඒ කතාන්දර පිටුව, සරස්වතී මණ්ඩපය, අම්බලමේ පිනා, කැන්දලන්ද, ලොක්කේ මාමා යන නාට්‍යවල. මේ ගමන මම 1993 දක්වාම සම්බන්ධ වුණා.

ඔබට මේ ගමනට ආරම්භය සැලසුණේ කොහොමද?

මගේ ඥාතිවරිය ගීතා කාන්ති ජයකොඩි හරහා තමා මගේ ගමන ඇරඹුණේ.

ඔබ වේදිකාවට කැමති නැද්ද?

මම 1983 ප්‍රේමනාත් ජයතිලකගේ වේදිකා නාට්‍යකට සම්බන්ධ වුණා. ඒත් ඒක රඟදක්වන්න ලැබුණේ නෑ ජූලි කලබල නිසා. ඒක මතක් වෙනකොටත් දුකයි.

ඔබ වෙළෙඳ දැන්වීම් කලාවට සම්බන්ධයි නේද?

ඔව්. මගේ මුල්ම වෙළෙඳ දැන්වීම කළේ ජනිත් වික්‍රමගේ සමඟ. ඉන් පසුව තව වෙළෙඳ දැන්වීම් කිහිපයකටම රංගනයට හා හඬ මුසු කරන්න අවස්ථාව උදා වුණා.

චානක විතානගේ සමඟ තිබෙන සම්බන්ධතාවය මොකක්ද?

චානක මාව මුලින්ම ශාලිත අබේවික්‍රමගේ ගීතයකට රූප රචනයට එක් කර ගත්තා. පසුව තවත් කිහිපයකටම අවස්ථාව උදා වුණා. ළඟදීම සම්බන්ධ වුණේ ජානක වික්‍රමසිංහගේ පිය සෙනෙහස ගැන කියවෙන මියුසික් වීඩියෝවකට. ඒකට මගේ පුතාලා තුන් දෙනාගෙන් සිතුම් සඳයුරු සම්බන්ධ වුණා.

ඔබ වැඩියෙන්ම සම්බන්ධ වෙන්නේ හඬ මුසු කිරීමට නේද?

ඔව්. ඒත් මම සිනමා පට කිහිපයකටම කුඩා චරිත කිහිපයකටම එක් වුණා. ජාතික චිත්‍රපට සංස්ථාවේ කරනු ලබන පාඨමාලාවන්හි කෙටි චිත්‍රපටවලට සම්බන්ධවීමට අවස්ථාව උදා වුණා. මහාචාර්ය සුනිල් ආරියරත්න සර්ගේ විජයබා කොල්ලයට ද එකතු කර ගත්තා. තව කිහිපයකටම ඉදිරියේ සම්බන්ධ වෙන්න ඉන්නේ.

පුතාලා තුන් දෙනාත් එක්ව කලාවේ නිරත වෙනවා. ඒවාට බාධා නැද්ද?

අපෝ නැහැ. මගේ මහත්තයා මට පූර්ණ සහයෝගය ලබා දෙනවා.

ඒ අය කවුද?

මහත්තයා ලංකා සූරියආච්චි. පුතාලා පන්හිඳ, සස්මිත, සිතුම්ය. ලොකු පුතා මහරජ කන්සා, චන්ද්‍රනන්දනි, ධාරා සිනමාපටයට ද දායක වුණා.

කලාවට සම්බන්ධ වෙලා වසර 37 ක් වෙනවානේ. එයින් තෘප්තිමත්ද?

ඇත්තටම මේක මගේ විනෝදාංශය. එයින් මම උපරිම තෘප්තිමත්. වැඩි දෙනෙක් රැකියාවක් වශයෙන් කරන්නේ. ඒත් මම එයින් මිදිලා ඉන්නේ.

ඔබ ළඟදීම රංගනයෙන් දායක වුණේ?

ස්නෙහා, කූඹියෝ සහ සිනමාපටයකට දායක වුණා. මේ දවස්වල ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙලා රූපගත කිරීම් කරනවා.

බලාපොරොත්තු වුණු දේවල් ලැබුණාද? මොනවාද නව පැතුම්?

මගේ ලොකුම සිහිනය වුණේ නර්තන ආචාරිනියක් වීමට. ඒ අවස්ථාව ගිලිහී ගියා විවාහ ජීවිතය නිසා. මම කලක් නර්තන උපදේශිකාවක් ලෙස කටයුතු කළා. දැන් නම් මගේ එකම පැතුම මගේ පැටව් තුන් දෙනා කලාවෙන් හොඳ ගමනක් යනවා දකින්නයි. ඒ වගේම රටට ආදරය කරන හොඳ පුද්ගලයන් ලෙස දැකීමයි.

--------------

සිතුමි සඳයුරු කොළඹ නාලන්දා විදුහලේ දීප්තිමත් ශිෂ්‍යයෙකි. කුඩා කල සිටම කලාවට පෙම් බැඳි සිතුමිි මේ වන විට හඬ නළුවකු වී හමාරය. වයස අවුරුදු හයේ සිට ශ්‍රී ජ්ර් ගුවන් විදුලියේ පුංචි පැටව් වැඩ සටහන සමඟ සම්බන්ධ වීමෙන් දිගු ගමන් මඟක් සලසා ගත්තේය. පසුව ඔහුගේ දක්ෂතාවය හඳුනා ගත් අධ්‍යක්ෂවරු විවිධ චරිත ඔස්සේ සිතුම්ට ඉනිමං තනා දුන්නේය. විවිධ නාළිකාවල විකාශය වූ නාට්‍ය අතර ආදරේ මං ආදරේ, බන්ටි, ධාරා, සප්නා, නෙලූ, චන්ද්‍රන් නාට්‍යවලට හඬ මුසු කළේය. ඒ අතර හීනය ද මේ, ශනි, පැස්මන් රවුට්, මැජික් ළමයා තවත් චරිත කිහිපයක් වේ

හඬ මුසු කලාවෙන් තවත් පියවරක් තැබූ සිතුම් සඳයුරු වෙළෙඳ දැන්වීම් කලාවට ද පිවිසුණේය.

එයින් පසු ප්‍රවීණ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ දයාරත්න රටගෙදරගේ අධ්‍යක්ෂණය යටතේ ටෙලි නාට්‍ය කිහිපයකටම දායක වන්නට සිතුම්ට අවස්ථාව උදා විය. කනාමැදිරියෝ, පාලි, පරපණ ඒ අතර විය. මින් පසු අරුණ ජයවර්ධනගේ සක්‍යා දිවි නාට්‍යයට රංගනයෙන් එකතු විය.

මේ පුංචි හපනා සිනමාවට එක් වන්නේ සිවගුරුනාදන්ගේ පහ සමත් සිනමාපටය සමඟයි. පසුව රියර් අද්මිරාල් සරත් වීරසේකරගේ නවතම සිනමාපටය වන ශ්‍රී සිද්ධා සිනමාපටයේ රක්කිත කුමාරයාගේ ළමා කාලේ චරිතය ගොඩ නැඟෙන්නේ සිතුම් සඳයුරුගේ රංගනයෙන්. ඉන් නොනවතින සිතුම්ට විදේශීය වාර්තාමය චිත්‍රපට කිහිපයකටම සම්බන්ධ වන්නට අවස්ථාව උදා විය. ඕස්ට්‍රේලියාවේ අධ්‍යක්ෂවරුන් කිහිප දෙනෙකුගේම කෙටි චිත්‍රපටවලට ඔහුගේ රංගනය එකතු කරන්නේ රංගනයේදී දක්වන දක්ෂතාවය නිසායි.

මින් පසු ඔහු ලංකා ඉතිහාසය සමඟ ගොඩ නැඟෙන රාවණ ටෙලි නාට්‍ය දෙවන අදියරේ කුම්බකර්ණ කුමාරයාගේ කුඩා කාලේ චරිතයට රංගනයෙන් එකතු වෙයි. මේ සියලු කලාවන් තුළ නිරත වුණත් ඔහුගේ අනාගත බලාපොරොත්තුව වන්නේ ගුවන් නියමුවකු වීමයි.

 

 

 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.