එකම සජීවි ටෙලි නාට්‍යය “වැටත් නියරත්”

නොවැම්බර් 28, 2019

ටයි මහතා නිර්මාණය කරන ලද ටෙලි නාට්‍ය අතුරින් ‘වැටත් නියරත්’ ටෙලි නාට්‍යය අති සුවිශේෂී නිර්මාණයක් වන්නේ දශක හතරකට වැඩි දේශීය රූපවාහිනී මාධ්‍ය ඉතිහාසය තුළ නිර්මාණය වූ එකම සජීව ටෙලි නාට්‍යය එය වීම හේතුවෙනි. සජීවී ක්‍රීඩා තරඟ, සජීවී සංගීත ප්‍රසංග ඇතුළු විවිධ උත්සවයන් දැක බලාගැනීම රූපවාහිනී පේ‍්‍රක්ෂකයාට නුහුරු අත්දැකීමක් නොවූව ද, සජීවීව නිර්මාණය වී ඒ මොහොතේම විකාශය වන ටෙලි නාට්‍යයක් නැරඹීමේ අවස්ථාවක් උදා වේ නම් එය ඔවුනට නැවුම් අත්දැකීමක් වනු නොඅනුමානය. මෙවැනි හපන්කමක් කිරීමට ටයි මහතාට පුළුවන් වුවද, මතු යම් දිනයකදී එවැනි නිර්මාණ කාර්යයක් කිසියම් ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයකුට කළ හැකිවේද යන්න අවිනිශ්චිතය. ඒ මන්ද යත් එය ඒ තරමටම භාර්දූර, අභියෝගාත්මක අධ්‍යාශයක් වන බැවිනි.

මධ්‍යම පාන්තික නිවසක සිදුවන කතාවක් තේමා කරගෙන ගොඩනැඟී ඇති වැටත් නියරත් ටෙලි නාට්‍යය විනාඩි 50 ක ධාවන කාලයකට යටත් වන අතර, නිවසක සාලය, ඉස්තෝප්පුව, රේස් බුකිය සහ අතරමග වීදියක් යන ප්‍රධාන ඉසව් හතරකට එය සීමා විය. වීදියේ දර්ශන කලින් රූපගත කර, සංස්කරණය කර තිබුණු අතර, ටයි මහතාගේ විධානය අනුව ටෙලි නාට්‍යයේ අවශ්‍ය තැනදී එම රූප පෙළ ධාවනය කිරීමට ප්‍රධාන පාලන මැදිරිය සූදානමින් සිටියේය. වීදිය හැර අනිකුත් සියලු ඉසව්වලට අදාළ පසුතලයන් මැදිරි අංක 1 හි ඉදි විය. කැමරා ධාවනය සහ පසුතලයන්ට අවශ්‍ය ආලෝකකරණයට ඉඩ ලබා දෙමින් නිවස සාලය, ඉස්තෝප්පුව සහ බුකිය නිරිමාණය කරන ලද්දේ ප්‍රවීණ කලා අධ්‍යක්ෂක හීනටිගල ප්‍රේමදාසයන් විසිනි. රූපගත කිරීම් කටයුතු සිදු වූ දිනයට කලින් සති තුනකට පමණ පෙරාතුව ටෙලි නාට්‍යයේ පුහුණුවීම් කටයුතු කොළඹ 7 සරණ පාරේ පිහිටි ජනකලා කේන්ද්‍රයේ උඩු මහලේදී ආරම්භ විය. පසුතලයන්ට අදාළ සීමා මායිම් මැදිරියේ භූ සැලැස්ම අනුව ලකුණු කරමින්, පොළොව මත අලවන ලද ගම් ටේප්වලට කොටු වී, පුහුණුවීම්කටයුතු සිදු කිරීමට රංගන ශිලපීන්ට සිදු විය. ජයලත් මනෝරත්න,ග්‍රේස් ආරියවිමල් (තෙන්නකෝන්) රාජා සුමනපාල, එලන් සිල්වෙස්ටර්, භද්‍රා නන්දනී වැනි වැටත් නියරත් ටෙලි නාට්‍යයෙහි රංගනය සඳහා තෝරා ගත් ප්‍රවීණ රංගධරයන්ගේ රංගන ප්‍රතිභාවයන්ට ද මේ නවමු අත්දැකීම අභියෝගාත්මක වූයේ කෙතරම් පුහුණුවීම් කටයුතුවල නිරත වූවද, රූපගත කිරීමේදී දෙබසක්, පියවර තැබීමක් හා රංග කාර්යයක් ඔවුන් අතින් වැරැදී ගියහොත් එය හදාගෙන තව ටේක් එකකට යාම සඳහා සියලු ඉඩකඩ ඇහිරී තිබූ බැවිනි.

රංගන ශිල්පීන් සේම ටෙලි නාට්‍යයට සම්බන්ධ වූ කැමරා ශිල්පීන්, කාර්මික ශිල්පීන් සහ නිෂ්පාදන කණ්ඩායමේ සියලු සාමාජිකයින් පවා සිදු වන්නේ කුමක් කියා හොඳ දැනුම්වත් බවකින් යුතුව සිටියේ ටයි මහතාගෙන් බැණුමක් නොඅසා තමන් හමුවේ තිබූ අභියෝගය ජය ගැනීම පිණිසය. මැදිරි නිෂ්පාදනයකදී කැමරා තුන හතරක් තිබුණ ද, තනි කැමරාවෙන් රූපගත කිරීමට වැඩි කැමැත්තක් දැක් වූ ටයි මහතාට වැටත් නියරත් රූපගත කිරීම සඳහා කැමරා 04 ක් අවශ්‍ය විය. ඒ සෑම කැමරාවකට අදාල කාඩ් පතෙහි කැමරා ශිල්පයා විසින් ගත යුතු රූපරාමු සහ එහි විස්තරයක් ලියා තැබීමට තරම් ටයි මහතා රූපවාහිනී වෘත්තීයවේදියකු බවට පත්ව සිටි බැවින්, සජීවී රූපගත කිරීම් කටයුතු අතරතුරේදී තමා ගත යුතු රූප රාමුව පිළිබඳව ඔහුගෙන් විමසා සිටීමට කිසිදු කැමරා ශිල්පියකුට අවශ්‍ය නොවිණි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.