ගායනාවේ මහිම

ජනවාරි 23, 2020

අධ්‍යාපන අංශය යටතේ ළමා ඒකකයක් පිහිටුවන ලද අතර සභාපති ඇම්. ජේ. පෙරේරා මහතාගේ ආරාධනයෙන් එහි ප්‍රධානී වශයෙන් පත්වීම් ලැබ ජාතික රූපවාහිනී පියසට සම්බන්ධ වන්නේ ආචාර්ය සාලමන් ෆොන්සේකා නම් විශිෂ්ට නාට්‍යකරුවා වේ. රොහාන් වැලිවිට, ශ්‍රීමතී ඒ. ලියනගේ, ලලිතා සිරිබද්දන, සිසිර කොතලාවල, නීලමනී කරුණානායක, සරත් චන්ද්‍රතිලක යන නිර්මාණකරුවන් ද, ඔවුන්ගෙ සහායට සුදත් දේවප්‍රිය, උපාලි ආරියසිරි සහ පත්මසිරි ප්‍රනාන්දු ද ළමා ඒකකයට අනුයුක්ත වී නිර්මාණ කටයුතු ආරම්භ කළහ. රූපවාහිනී මාධ්‍යය වෙනුවෙන් ළමා ගීත සාහිත්‍යයක් ඇති කිරීමේ අභිප්‍රායෙන් සිසිර විසින් ආරම්භ කරන ලද ‘ගායනා’ වැඩ සටහන් මාලා ළමයින් මෙන්ම වැඩිහිටියන් අතරේද එකසේ ජනපි‍්‍රය විය. වචනයෙන් වචනය අරථය විකසිත වන අයුරින් අදාල ගීතය සිසිර විසින්ම කිසියම් ලාලිත්‍යයකට ඉදිරිපත් කිරීමෙන් පසුව සමස්ත ගීතයම ළමා ගායක ගායිකා කණ්ඩායමක් ලවා ගායනා කර වූ අතර එහි අර්ථය උද්දීපනය වන අයුරින් රූප පෙළක් ගීිතයේ අන්තරා කොටස්වලට මුසු කිරීම හේතුවෙන් ගීතය වඩාත් තීව්‍රව ළමා මනසෙහි සටහන් විය. පෞද්ගලික නාළිකා ඔස්සේ අද දවසේ විකාශය වන රියැලටි වැඩ සටහන් තුළින් ඇසෙන චපල හිමි සමඟ යහන්ගත වීමට ආරාධනා කරනු ලබන වැඩිහිටි තේමාවන් රැගත් ගීත ළමා කටහඬින් එදා දවසේ ඇසුණේ නැත. එයට ප්‍රධාන හේතුව වූයේ පූදින්න පෙර මල නෙලා ගන්නට එකල සිටි දෙමව්පියන් කිසි ලෙසකින්වත් සූදානම්ව නොසිටිය බැවිනි.

ජාතික රූපවාහිනියක ජාතික වගකීමක ආරම්භය සනිටුහන් වන්නේ ඒ අයුරිනි. ගායනා වැඩසටහන් මාලාවට අමතරව, ළමයින්ට රිසි සේ සිනහසෙන්නට අවකාශ ලැබුණු ළමා ටෙලි නාට්‍ය මාලාවක් ද සිසිර විසින් නිර්මාණය කරන ලදී. ජයලත් මනෝරත්න සහ ජය ශ්‍රී චන්ද්‍රජිත් යන ප්‍රවීණ වේදිකා රංගධරයන් දෙදෙනා ප්‍රධාන නළු නිළියන් සමූහයක් සම්බන්ධ කර ගනිමින් ‘සිංදුයි බිංදුයි’ යනුවෙන් විකාශය වූ මේ ටෙලි නාට්‍ය මාලාව රසවත් අත්දැකීම්වලින් පිරිපුන් වෘත්තාන්තයන් සමූහයක් ප්‍රේක්ෂක ජනතාවට ළඟා කර දීමට පොහොසත් විය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.