හොඳ මනෝවිශ්ලේෂකයකු විය යුතුයි

ප්‍රවීණ ටෙලි නාට්‍ය සංස්කරණ ශිල්පී ජගත් වීරතුංග
මාර්තු 12, 2020

ට ජගත් වීරතුංග සංස්කරණ ශිල්පියා මුලින්ම මුණගැසුණේ වර්ල්ඩ්විව් ශ්‍රී ලංකා ආයතනයේ වැඩසටහන් නිෂ්පාදකවරියක ලෙස කටයුතු කරන සමයේය. ඔහු එකල එහි පැමිණියේ කැඳවුමක් ලද විට සේවයට වාර්තා කරන නිදහස් සංස්කරණ ශිල්පියකු ලෙසය. පසුව ටෙලි නාට්‍ය සම්මාන උලෙළවලදී සම්මානලාභියකු ලෙස වරින්වර ඔහු දක්නට ලැබුණි. එහෙත් වසර තිහක් පමණ වන ඔහුගේ වෘත්තීය අත්දැකීම් සහ එහි පසුබිම අසන්නට ලැබුණේ අදය....

"ගාල්ල කතලුවේ උපන් මගේ පාසල වූයේ කතලුව මධ්‍යමහා විද්‍යාලය. මට ඉන්නේ අය්යා විතරයි. ඔහු ඉංජිනේරුවෙක්. තාත්තා ගණකාධිකාරිවරයෙක්. අම්මා ගෘහණියක්. උසස් පෙළ කරන වයසෙදි ටෙලිවිෂනය කියන්නේ අපට පුදුමයක්. නාට්‍ය රූපගතකිරීම් ගමේ සිදුවෙද්දි අපි ආසාවෙන් බලාඉන්නවා. මම කළා අංශයෙන් හේවුඩ් එකට තේරිලා තිබුණේ. එත් මගේ බාප්පා තමයි සැලසිනේ නිර්මාතෘ, ඔහු මාව 90 දශකයේ මුල වගේ කොළඹ ගෙනාව නිසා සැලසිනේට තමයි හිත. රවීන්ද්‍ර ගුරුගේ තමයි අපේ ප්‍රධානියා හිටියේ. සිසිර කුමාර කොට්ටව සහ ඩුලිප් සමරසිංහ යටතේ තමයි සංස්කරණය පුරුදු වුණේ. යූ මැටික් ලෝබෑන්ඩ් තමයි අපි මුලින්ම සංස්කරණ කටයුතු කළේ."

සැලසිනේ පත්වීම ලැබීම නිසා ඔහුගේ හේවුඩ් ගමන නතර විය. 1992 වසරේ ඔහු වර්ල්ඩ්වීව් ශ්‍රී ලංකා ආයතනයට සම්බන්ධ විය. එහිදී විලි බ්ලේක්, තිස්ස අබේසේකර, විජය ධර්මශ්‍රී, ටයිටස් තොටවත්ත, ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු, සුදත් සේනාරත්න, සුසිල් ගුණරත්න, දි.ග. සෝමපාල වැනි අධ්‍යක්ෂවරුන්ගේ නිර්මාණ සංස්කරණයට ඔහු වාසනාවන්ත විය.

"පළමුවෙන්ම ටයි මහත්තයාගේ නිර්මාණයක් ලැබුණ දවසේ, මම ඒක තිබෙන පිළිවෙළට සංස්කරණය කරලා තිබ්බා. ටයි මහත්තයා සුපුරුදු භාෂාවෙන් කතාකරමින් නිදි මතේ වගේ බලා ඉද්දි මට බයත් හිතුණා. පස්සේ ඔක්කොම ඉවරවෙලා මට කීවා 'හා දැන් උඹ අමුණපු ටිකේ මුලට ගනින්කො. අග අහවල් තැනින් අරගෙන දාපන් මුලට, මුල කෑල්ල දාපන් අගට. මට ටිකක් අවුල් වගේ. වාර්තා වැඩසටහන මුල අග මාරුවෙලා යනවානෙ. ඒත් ටයි මහත්තයා කීවා 'ආ දැන් බලපන්කො, හරි නේද කියලා'. එදා තමයි මට තේරුණේ එඩිටිං කියන්නේ මුල සිට අගටම තියෙන රූපරාමු එකට අමුණන එක නෙවෙයි, මෙහෙමත් මාරු කරන්න පුළුවන් කියලා. ඒ පාඩම එදා මට වක්‍රව ඉගැන්නුවා කියල මට තේරුණෙත් පස්සේ."

"හේවුඩ් අතෑරුණ නිසා මම විවෘත විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍යකරණය පිළිබඳ ඩිප්ලෝමාවක් කළා. බෙන් ෆිල්ම්ස් ගියේ ඔය අතර. ඒ එක්කම විෂුවල් ඉම්පැක්ට් වගේ ආයතනවලදි ආනන්ද අබේනායක සමඟ සංසාරේ පියසටහන්, ආචාර්ය ධර්මසේන පතිරාජ සමඟ කම්පිත විල් වැනි ටෙලි නාට්‍ය සංස්කරණය කළා."

මේ ආකාරයට ජීවිතයට ඉඩ දෙන්න , තක්සලාව, බැද්දේ කුලවමිය, අහසින් වැටුණා, චෙස්, මෙන්ම ජයලත් මනෝරත්නගේ තුන්පත් රටාවක ලස්සන වැනි සම්මානනීය ටෙලි නාට්‍ය රැසකම සංස්කරණය ශිල්පියා වූයේ ඔහුය.

"ලස්සනම වැඩේ කියන්නේ 90 අගභාගයේ කොයි නාළිකාව බැලුවත් 8.30 බෙල්ට් එකට ගියේ මම සංස්කරණය කළ නාට්‍යයක්."

ඔහු සිනමා සංස්කරණයට එළැඹෙන්නේ සුමිත් රෝහණ තිත්තවැල්ගලගේ පුංචි අන්දරේ චිත්‍රපටයෙනි. පසුව සුමිත් රත්නායකගේ රංකොල්ලා ඇතුළු චිත්‍රපට පහකට පමණ සංස්කරණයෙන් දායක වූ ඔහු අතින් ඡේදනය වූ ටෙලි නාට්‍ය සංඛ්‍යාව නම් තුන්සියයකටත් වැඩිය. මේ අතර ඔහු එඩිටර්ස් ක්ලබ් සංවිධානය ගොඩනැඟුවේය.

"ඒ අපට හඬක් නඟන්න, මිල ගණන් පිළිබඳ එකඟතාවක් ඇති කරගන්න, එකමුතුවක් ඇති කරන්න වගේම දැනුම ලබාගන්න. රවීන්ද්‍ර ගුරුගේ තමයි උපදේශක ලෙස පත් කරගත්තේ. වැඩමුළු, චිත්‍රපට විචාර වගේ දේවල් එයින් මෙහෙයවනවා, දැනුම අතින් සංස්කාරකවරුන්ගේ මට්ටම එකම තලයකට ගන්න. මේ අතර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ලේඛකත්ව හා සන්නිවේදන ඩිප්ලෝමාවත් කළා 96 විතර. ඒත් මට තාම සංස්කරණය කියන‌ විෂයයේ දෘශ්‍ය මාධ්‍ය කියවීම අවබෝධ කරගන්න තවත් මොනවා දෝ අවශ්‍ය බව දැනුණා. චිත්‍රපට සංස්ථාවේ සිනමාකරණය පිළිබඳ ඩිප්ලෝමාව කළා. එයින් දෘශ්‍ය පටයක් ඇසින් මොළයට යන්නේ කොහොමද කියන විද්‍යාව අවබෝධ වෙන්න ගත්තා. කොල්ලුපිටියේ මනෝ විද්‍යා අධ්‍යයන ආයතනයට බැඳී ඒ ඩිප්ලෝමාවත් කළා. එයින් මොළය කොහොමද දෘශ්‍ය කියවීමක් සිදුකරගන්නේ, ශබ්දය සමඟ එය ගැළපෙන්නේ කියලා තේරුණා. අපේ කුඩා කාලයේ මතකයන් ගොනු ක්‍රියාකාරී කිරීමයි සංස්කරණයකදි කරන්නේ. අපේ සිරුරේ තිබෙන නිලීන ජාන අවදි කිරීමක් ඒ ඔස්සේ සිදුවෙනවා කියලා අවබෝධ කරගත්තා. අපේ මෝළයේ අදාළ දත්ත ගොනු නැත්නම් ඒ ක්‍රියාකාරීත්වය සිදුවන්‌නේ නැහැ. එතකොට රූපාවලියෙන් කියැවෙන දේ අපට සංවේදීවන්නේ නැහැ. මේ ගැන මම අන්තර්ජාලයේ හාරවුස්සද්දි සංස්කරණය කියන්නේ කලාවක් වගේම විද්‍යාවක් බව සයිකෝ වැනි චිත්‍රපට කළ ඇල්ෆ්‍රඩ් හිච්කොක් වගේ අයගේ නිර්මාණ ඔස්සේ විග්‍රහ කර තිබෙනවා දැක්කා.

මේ අතර කැලණිය විශ්වවිද්‍යාලයේ ඉමේජ් ආර්ට් උපාධිය කරන්න ගියා. ඒත් එයට අයත් වුණු අනෙක් විෂයයන් මට වදයක්. පස්‌සේ ඒකත් නවත්වලා ස්වයං අධ්‍යයනයක යෙදුණා. මේ වෙද්දි අවුරුදු 30 ක් විතර ගෙවිලා. දැන් මම ඇකඩමියක් පටන්ගෙන තිබෙනවා මම අධ්‍යයනය කළ දේවල් නවක සංස්කරණ ශිල්පින්ට කියා දෙන්න ජගත් වීරතුංග එඩිටිං ඇකඩමි කියලා."

යම් දර්ශනයක් ඡේදනය කරන මොහොත අනුව එහි තැතිගැන්ම වැඩි හෝ අඩුවන්නට හැකි බැවින් එහි ඇති කලාව භාවිත කළ යුත්තේ මනෝවිශ්ලේෂණය ඔස්සේය යන්න ඔහුගේ මතයයි.

"සමහර චිත්‍රපට නරඹද්දි අපි පුටුවේ ඉදිරියට එන තරම් ආතතිය වැඩි කරන්නේ සහ ඒ අවස්ථාව ඉවර වුණු පසු ආපසු පුටුවේ පස්සට ගිහින් සැනසුම් සුසුමක් හෙළන්නේ ඒ ඡේදන ඔස්සේ බව බොහෝ දෙනෙක් පැහැදිලි කරගන්නේ නැහැ. මේ දේ සෛද්ධාන්තිකව කියන්න පුළුවන් වෙන්න ඕනේ සංස්කාරකවරුන්ට. මනෝ චිකිත්සාව සහ සමාජ විද්‍යාව පිළිබඳ සංස්කරණ ශිල්පියාට හැඟීමක් තිබිය යුතුයි වඩා සාර්ථක සංස්කරණයකට.

මුලින්ම තිරරචකයා, දෙවැනුව අධ්‍යක්ෂවරයා තෙවැනුව සංස්කරණ ශිල්පියා තමයි රූප සංයෝජනය කරන්නේ කතාවක. එඩිටර්ස් කට් කියලා චිත්‍රපටයක හෝ කතාවක තිබෙන්නේ මේ නිසා. සංස්කරණ ශිල්පියා වඩා නිවැරදි ලෙස තර්කානුකූලව වියමන කර තිබෙනවා නම් එය අධ්‍යක්ෂවරයාටත් පිළගන්න වෙනවා. ඇත්තෙන්ම එඩිටිං සොෆ්ට්වෙයාර් එක හැසිරවීමයි, සංස්කරණයයි හාත්පසින්ම වෙනස් ශිල්ප දෙකක්. සමහර විට අපි පළමු වරට සංස්කරණය කළාට වඩා ගෙදර ගිහින් හිත සැහැල්ලු කරගෙන ඇවිත් දෙවැනි වර සංස්කරණය කළාමයි රිද්මයානුකූල බවක් දකින්න පුළුවන් වන්නේ. සම්මාන ලැබූ බොහෝ ටෙලිනාට්‍ය මගේ අතින් එහෙම දෙවැනි වරටත් සංස්කරණය වෙලා තිබෙනවා."

තාක්ෂණයේ දියුණුව ඔහු දකින්නේ මේ වෘත්තියට හොඳ සහයෝගයක් ලෙසය.

"ඒ වාසිය මම ගන්නේ දැන් ලැබුණු දළ රූපාවලිය සංස්කරණය කරනවාට වඩා පසුව සංස්කරණය කිරීමේදී රිද්මය හදාගන්නයි. තරගකාරී සමාජයේ වුණත් වීරයා ‌ගෙදර ඇවිත් වගේ ටෙලි නාට්‍ය කරද්දි අනෙක් මෙගා නාට්‍යයක් කරනවාට වඩා අධ්‍යයනයක යෙදෙමින් කාලය සොයාගන්න වෙනවා. හොඳ ටෙලි නාට්‍ය සඳහා ඒ කැපවීම අප කරන්නේ රටේ ජනතාවගේ රසඥතාව වෙනුවෙන්. ඒ වගේම ඒවාට සම්මාන ලබන්නත් පුළුවන් බව දැනෙනවා."

සිය බිරිය මනෝරි වීරතුංග සහ ඔකිත් වීරතුංග මහිත් වීරතුංග පුතුන් දෙදෙනා ඔහුගේ කැදැල්ල සරසයි.

"මම දරුවන්ට පාසලේ නැති සෞන්දර්ය විෂයයන් බාහිරව කරවන්න වගබලාගන්නවා. මේ සමාජයෙන් ගිලිහිලා අපට අහිමිව යන වටිනාකම් බාහිරව හෝ ඔවුන්ට දෙන්නේ කොම්පියුටර් රොබෝලා වගේ නැතුව සංවේදී මිනිසුන් බවට පත්වන්න. පොඩි පුතා චිත්‍ර අඳීන්න දක්ෂයි, ලොකු පුතා තාක්ෂණයට වැඩිබරක් පෙන්වනවා."

ඔහු පළමුවරට සම්මානයක් ලැබුවේ ඹඹඹ.ජධථ සංස්කරණයට සුමති සම්මාන උලෙළේදීය. පසුගිය වසරේ බැද්දේ කුලවමිය වෙනුවෙන් රයිගම් සහ රාජ්‍ය සම්මානද ඇතුළු ඔහු ලද සමස්ත සම්මාන සංඛ්‍යාව 18කි. ඒ සුදුසුකම් ඔහු මහවැලි අමාත්‍යාංශයේ සොබා චලන සිතුවම් විනිශ්චය මණ්ඩලයේ සමාජිකත්වයට තේරීමටද හේතු විය.

"සම්මානයකට නිර්දේශ වුණත් ඇති. සම්මානයකින් අගය කළාම අපි දන්නවා අපි යන පාර හරි, අපේ සංස්කරණ චිකිත්සාව නිර්මාණයට උචිතයි කියලා. ඒකටයි සම්මාන වැදගත් වන්නේ."

ඔහු මේ දිනවල සිය චිත්‍රාගාරය සහ ඇකඩමිය භාවිත කරමින් අපූර්ව කටයුත්තක යෙදෙයි.

"සංස්කාරක කියන්නේ දෙවැනි අධ්‍යක්ෂවරයා කියනවානේ. ඊට කලින් ඔහු තමන්ගේ අගය හදාගන්න දැනගන්න ඕනා. පෝය දවසේ සංස්කරණ කෑම්ප් එකක් කළා. එඩිටර් කෙනෙකුට තමන්ගේ නිර්මාණ ක්‍රියාවලිය ගැන තමන්ගේම ප්‍රතිචාරයක් නැහැ. ඒකට හේතුව සෛද්ධාන්තික කරුණු නොදැනීම. අවුරුදු 15ක් විතර පර්යේෂණාත්මක කටයුත්තක නියැළෙනවා සංස්කරණයේ විද්‍යාත්මක පසුබිම පහදන්න. සංස්කරණය කියන්නේ පෙනෙන දර්ශනයට නෙවෙයි, මොළය සම්බන්ධ සංසිද්ධියක්. අධ්‍යක්ෂවරයා, සංස්කාරක සහ ප්‍රේක්ෂකයා කියන අයගේ මොළ තුනටම ගැළපෙන ආකාරයේ දෘශ්‍ය චිකිත්සාවක් කිරීමටයි සංස්කරණය කියන්නෙ. එනිසා සංස්කරණ ශිල්පීයකු හොඳ මනෝ විශ්ලේෂකයකු විය යුතුයි."

 

නිශ්ශංක විජේරත්න