පාර ක්ලියර් -නිවැරදිව යමු තණමල්විල කොල්ලෙක් ගැන යශෝධා සමඟ කතාවක්

ජුනි 18, 2020

'තණමල්විල කොල්ලෙක්' ට ඔබත් ආදරය කරන්නෙක්ද? එහි යශෝධරා වැන්නෙක් ඔබේ ජීවිතයටත් මුණ ගැසී තිබේද? නැතහොත් එවැන්නියක හමු වීමට ඔබ කැමැතිද? මේ රටේ තාරුණ්‍යයේ අප්‍රකාශිත පරිච්ඡේදය ඔබත් ඍජුවම අත්විඳීන්නෙක්ද? එසේත් නැත්නම් ජීවිතය නම් මෙය යැයි සිතා දෛවයට ඉඩ දී බලා සිටින්නෙක්ද? ඔබ මේ කුමන ආකාරයේ කෙනකු වුවත් නොවුවත් 'තණමල්විල කොල්ලෙක්' ඔස්සේ කතාවන සමාජ, දේශපාලනික, අධ්‍යාපනික හා ආර්ථික සංසිද්ධීන්වලට මුහුණ දෙන්නකු බව නම් නොකියාම බැරිය. ඒ, ඒ තරමටම මේ කතාව අපේ රටේ යුග යුගාන්තර ජීවිතවලට බද්ධ වූ  සිදුවීම් සමුදාය හා ගැළපෙන බැවිනි. එනිසාම අපි තණමල්විල කොල්ලෙක් ගැන කතා කරන්නට ඔහුගේ දෛවයේ දෙවඟන බඳු වූ යශෝධරාවට පණ පොවන ප්‍රවීණ රංගන ශිල්පිනී  යශෝධා විමලධර්ම හමුවීමු. අපි අසමු ඇය යශෝධරා සහ තණමල්විල කොල්ලෙක් සමඟ සම්බන්ධ සියලු චරිත, සිද්ධි ආදිය පිළිබඳ කියවා ගත්තේ කෙසේද කියා?

මම දෙදහ වසරින් පස්සේ වැඩිය ටෙලිවිෂනයේ පෙනී සිටියේ නැහැ. මුළු වසර පහළොවකට පමණම ටෙලි නාට්‍ය හතරක වගේ තමයි කටයුතු කළේ. ඇතැම් විට ආරාධිත ශිල්පිනියක් ලෙස ඇතැම් චරිතවල පෙනී සිටියා විනා පූර්ණ වශයෙන් සම්බන්ධ වී නිර්මාණයකට දායක වුණේ 2015 වසරේ ජැක්සන් ඇන්තනි මහතා‌ගේ සීරජ වෙනුවෙන් පමණයි. ඒකට හේතුව ඉතින් මේ රටේ ටෙලි නාට්‍යවල ගුණාත්මකබවේ ප්‍රශ්න කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑනේ. එහෙම ඉද්දි 2018 වසරේ මේ නාට්‍යයේ අධ්‍යක්ෂ රොෂාන් රවීන්ද්‍ර මල්ලි සහ තිර රචක සුසිත විජේමුණි මල්ලියි දෙන්නා මට මේ තිර රචනය ගෙනත් දුන්නේ. ඒක කියෙව්වාම කාලෙකින් දැක්ක ඉතාමත්ම හොඳ ටෙලි නාට්‍ය පිටපතක් වගේම යශෝධරාගේ චරිතයත් මට ඉතා හොඳීන් ආශක්ත වුණා. ඒ අනුව මම ඉතාම සතුටින්  තීරණය කළා මේ නිර්මාණයට දායක වන්න. 

ඔබ මෙහි රංගනයෙන් දායක වන්නේ නවකයකුගේ පළමු අධ්‍යක්ෂණයට?

මං ඇත්තටම හරි කැමතියි අලුත් පරම්පරාවේ අයගේ වැඩ කරන්න. ඔවුන්ගේ සිතුම් පැතුම්, අදහස් වෙනස්. සමහර විට ප්‍රවීණයන් පවා නොදකින සමාජීය පැතිකඩ ඉතා ගැඹුරින් සාකච්ඡා වන බව මේ ටෙලි නාට්‍යය දකින කාට වුවත් පේනවා. ඒ බව තිර රචනය කියවද්දී දැනුණු නිසාමයි මම නාට්‍යයේ රඟපෑමට බාරගත්තේ. තිර රචනය බාර දෙනකොටත් ඔවුන් මට කීවා මෙය වසර දහයකට පමණ පෙර ලියැවුණු එකක්, ඒත් නිෂ්පාදකවරයකු සොයාගැනීමට නොහැකි වූ නිසා එළිදක්වා ගැනීමට නොහැකිව සිටියා කියා. ඇත්තෙන්ම මේ කතාවේ දීප්තගේ චරිතය රොෂාන් රවීන්ද්‍ර රඟපාන්න හිතාගෙන සිටි එකක්. ඒත් කාලය ගත වීමත් සමඟ රොෂාන් මල්ලි ඒ අදහස අතහැර මෙය අධ්‍යක්ෂණයට නැඹුරු වෙලා.

ඒ වෙනුවට ධනුක ප්‍රධාන චරිතයට දායක කරගෙන තිබෙන්නේ. ඒ වගේම සුසිත මල්ලිත් මේ කතාව ලියා තිබෙන්නේ තණමල්විල කාලයක් නතර වෙලා ඒ ගමේ ස්වභාවය පිළිබඳ යම් පර්යෂණාත්මක ගවේශනයකින් පස්සේ. ඇත්තෙන්ම සුසිත කොත්තු හදනවා වගේ තිර රචනා වේගයෙන් ලියන කෙනකුත් නෙවෙයි. මේ වසර දහය පුරාමත් ඔහු කර තිබෙන්නේ මේ පිටපත තවත් පෝෂණය කරන එකයි. 

කොහොම වුණත් රොෂාන් නව පරපුරේ දක්ෂ නළුවකු ලෙස අපි හඳුනාගෙන හිටියා. ඒ වගේම ඔහුගේ සාකච්ඡා ආදියේදි දක්වා තිබූ අදහස් අනුව කෙබඳු දැක්මක් ඇති කෙනකුද යන්නත් අපට දැනුණා. මම ඔහු සමඟ එකට රංගනයක යෙදී තිබුණේ නැහැ. මා ඔහු හමුවී තිබුණේ අග්නිදාහයේ කලා අංශයේ කටයුතු කරන අතරතුර පමණයි.  හැබැයි ඔහු රංගනවේදියකු ලෙස නව ප්‍රවාහයේ ගහගෙන නොගොස් ‌තෝරා බේරාගෙන චරිත නිරූපණය කළ ආකාරය අනුව ඔහුගේ නිර්මාණය  පිළිබඳ යම් විශ්වාසයක් ඇති වුණු නිසයි මම ඔහුගේ පළමුවැනි අධ්‍යක්ෂණයට නොබියව එකඟ වුණේ.

අධ්‍යක්ෂණය පමණක් නොවේ මෙහි බොහෝ චරිතත් නිරූපණය කරන්නේ අලුත් පරපුරේ ශිල්පීන්?

ඔව්. ඇත්තෙන්ම හේමසිරි ලියනගේ මහත්මයාත් මමත් හැරුණු කොට සියලු දෙනාම පාහේ නවකයන්. ඒ අතරින් සුලෝචනාට චිත්‍රපට සහ ටෙලි නාට්‍ය පිළිබඳ අත්දැකීම් තිබුණා. ඒ හැරුණු කොට අන් අය සියල්ලෝම පාහේ, කොටින්ම කීවොත් තිරය පිටුපස පවා සිටියේ තරුණ ළමයින්. හැබැයි ඒ සියලුදෙනාගේ හොඳ එකමුතුවක් මම දැක්කා. විශේෂයෙන් අධ්‍යක්ෂවරයා, තිර රචකයා සහ කැමරා ශිල්පියා යන තිදෙනාගේ ඉතා හොඳ බැඳීමක් තිබුණා. ඒ ගේම කලා අධ්‍යක්ෂණය කළෙත් දක්ෂ චිත්‍ර ශිල්පියෙක්. විෂයානුබද්ධ දැනුම වගේම සහජ දක්ෂතා ඇති පිරිසක් තමයි මේ නිර්මාණයට එකතු වී සිටියේ. ඔවුන් ඇත්තෙන්ම මේ ටෙලි නාට්‍යය රූපගත කිරීම් කළේ චිත්‍රපටයක වගේ. දිනකට දර්ශන තුනකට වඩා කළේ නැහැ. ආලෝකය හෝ වෙනයම් අංගයක ගැටලුවක් ආවොත් ඒ දර්ශනය ඔහේ කමක් නෑ කියන්නේ නැතුව කල් දාලා වෙන දවසක ඒ ප්‍රශස්ත මට්ටමේ තත්ත්වයන් සම්පූර්ණ වුණාමයි රූපගත කළේ.

ඉස්සර අපි ඒ වගේ තමයි ෂූටින් කළේ. ඒත් අද යුගයේ ඒ වගේ කරනවා දැක්කාම මට හිතුණා මම මේකට සම්බන්ධ වන්න ගත්ත තීරණය බොහොම නිවැරැදියි කියලා. අපෙන් පමණක් නොවේ දර්ශන තලයේත් උපරිමය සුදුසුම විදිහට ගන්න ඔවුන් විශාල වෙහෙසක් දැරුවා. මම ඒ අය සමඟ රැඳී සිටි බොහෝ වෙලාවල මට දැනුණේ හරිම ප්‍රසන්න හැඟීමක්. ඔවුන් සියලු දෙනාම හරියට කෝවක දැමුවා සේ චරිතවලට ප්‍රවිෂ්ඨ වී සිටියා. එතනදි ඒ අය නව පරපුරේද කවුරු කොතරම් කාලයක්    ක්ෂේත්‍රයේ රැඳී සිටියාද කියලා වෙනසක් නැහැ අපි හැමෝගෙම බොඩිකෙමිස්ට්‍රි එක එකිනෙකට ගැළපී සමපාත වුණා.

යශෝධරා‌ගේ චරිතය ඔබ කියවා ගත් ආකාරයත් දැනගන්න කැමැතියි?

මේ පිටපතේ විශේෂත්වය තමයි හැම දර්ශනයකම දීප්ත අඩංගු වීම. ඒ වගේම ඔවුන් දින 70ක් පමණ රූපගත කිරීම් කළා. මගේ චරිතය යශෝධරා පිළිබඳ කියවූ විට එයට ඇති වුණු ආශක්තබව නිසාමයි මම මෙයට කැමැති වුණේ. අනෙක යශෝධරා කියන්නේ බාහිරින් කතාව බැලුවාම යම් තැනකදී නතර වන චරිතයක්. ඒත් ඒ කතාවේ ඇතුළාන්තය ගෙන බැලුවොත් දීප්තගේ දෛවය තීරණය කරන්නේ යශෝධරාගේ හමුවීම. මේ දක්වා විකාශය වූ කොටස් 41දී මඟකින් ආරම්භ කළත්, මේ වෙද්දි තිරයේ නොහිටියත් දීප්තගේ ජීවිතයේ මේ වනතුරු ගමන සහ එතනින් එහාට සිදුවන දේ පිළිබඳ තීරණය වන චරිතය වන්නේ යශෝධරා. ඇයට ඒ නම යොදාගෙන තිබෙන්නෙත් හේතු සහගතවයි. ඇයගේ පියා 88/89 කාලේ වෙඩි තබා ඝාතනය කරනු ලැබූ දේශපාලනඥයෙක්. එය දැකීම නිසා අම්මා මිය ගියා. අය්යා නාවික හමුදාවේ සිට ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක්ව මිය ගිය කෙනෙක්. ඒ වගේ පුංචි කාලේ සිටම විශාල ව්‍යසනයන් රැසකට මුහුණ පෑ චරිතයක්. ඒ වගේම මේ වනවිටත් ඇය යම් රෝගී තත්ත්වයකින් පසුවෙනවා. ඒත් එය පිටතට නොපෙන්වා, විශේෂයෙන්ම දීප්තට නොදැනෙන්නට හැර ඇය තමන්ගේ සමාජ වගකීම් ඉටු කරන දිරිමත්, බුද්ධිමත් ගැහැනියක්. ඇත්තෙන්ම ඒ සියලු කරුණු ඒ තිර රචනයේ ඉතා මැනවින් දක්වා තිබුණා.

එවැනි තිරරචනා දැන්කාලේ හරි අඩුයි?

ඇත්තෙන්ම ඒ තිර රචනය කොයිතරම් හොඳට ලියා තිබෙනවාද කීවොත් එය හැමකෙනෙක්ම පාහේ කියවන්න වටිනවා. ඒ නිසාම වෙන්න ඕනා සුසිත මේ නාට්‍යය විකාශයෙන් පසු මුද්‍රණයෙන් එළිදක්වන්න අදහස් කරන්නේ. කඩුල්ල වගේ නාට්‍යවල හොඳ කියවීමක් අපි දැක්කානේ. ඒ වගේම මෙහි වචන භාවිතය හරි අඩුයි. වචන නාස්ති කරන්නේ නැහැ. භාවිත කරන හැම වචනයකටම වටිනාකමක් තිබෙනවා. උදාහරණයකට යශෝධරාගේ මුළු ජීවිත කතාවම වචන දෙකකින් කියන අවස්ථාවක් තිබෙනවා. දීප්ත අහනවා හුදෙකලාව ගෞරවයක්ද කියලා. යශෝධරා කියනවා. ඔව් ඒක වේදනාත්මක ගෞරවයක් කියලා. කොයි තරම් ගැඹුරින් සංයමයකින් ජීවිතය විවරණය කිරීමක්ද...වචන පොහොසත් නැහැ කියනවානේ හැමදේම ප්‍රකාශ කරන්න. අපි කොයි තරම් මොහොතවල් පසුකරනවාද වචන නැතිව, කොයිතරම් දේවල් කතාකරනවාද විඳීනවාද වචන නැතිව... 

යශෝධරාගේ චරිතය ගොඩ නඟද්දි අපි දැක්කා ඔබ එහි භාවය අඛණ්ඩව පවත්වාගන්නට කටයුතු කරන ආකාරය?

මුල ඉඳන්ම පුංචි පුංචි දේවලින් තමයි ඇගේ ජීවිතයේ ස්වභාවය පෙන්නුම් කරන්න කටයුතු කළේ. එය ප්‍රේක්ෂකයාට දැනුණේ කතාව ගොඩ නැඟෙද්දි. ඇගේ ජීවිතේ සාංකාව, හුදෙකලාව වගේම සරල සැහැල්ලු විනෝදකාමී ලක්ෂණත් තිබෙනවා. ඇයගේ වචන භාවිතයේ යම් යම් අවස්ථාවල හාස්‍යයක් මුසුව තිබෙනවා. ඇත්තෙන්ම ඇය සමාජගත කළ යුතු චරිතයක්. ඇයගේ නම යශෝධරා වන්‌නේ සිදුහත් කුමරුගේ යශෝධරාව නිසා සහ ලොව උතුම්ම කාන්තාව නිසා. අද කාලේ ඒ හා සමාන අය නැතත් ඇතැම් කාන්තාවන් සතුව අඩු වැඩි වශයෙන් ඇ‌ගේ යම් යම් ස්වභාවයන් දක්නට ලැබෙනවා. ඇගේ කැපවීම, පරිත්‍යාගශීලීබව, ප්‍රතිලාභයක් නොතකා මිනිසුන්ට උපකාර කිරීම වැනි දේ මේ චරිතය තුළින් අප දකිනවා. එහෙත් කතාව ගොඩනැඟෙනකොට බොහෝ දෙනා හිතුවා දීප්ත හා යශෝධරා අතර අසම්මත ප්‍රේමයක් දලුලනවද කියලා. හැබැයි ඒ බැඳීම තුළ සෙනෙහසක් තිබුණත් එය සාමාන්‍ය තරුණයෙක් හා තරුණියක් අතර පවතින ප්‍රේමයක්ද නැත්නම් වෙනත් දෙයක්ද කියා කියන්න බැහැ. ලොකු බැඳීමක් තමයි. ඇත්තෙන්ම මට ඒකට කියන්න නමක් නැහැ. 

මෙවැනි චරිතයකදී අධ්‍යක්ෂවරයාට අමතරව ශිල්පියා හෝ ශිල්පිනියගේ පාර්ශ්වයෙන් ඉටුවිය යුතු රාජකාරිය බොහෝ සියුම්?

ඇත්තෙන්ම ලොකු කොටසක් ශිල්පියාට පැවරෙනවා. අපි තිරරචකයා සහ අධ්‍යක්ෂවරයා සමඟ කතාබහ කළ පසු චරිතය අධ්‍යයනයේදි තේරුම් ගත යුතු කොටසක් තිබෙනවා. යම් චරිතයක් තිරයේ දර්ශනය වීමට පෙර සහ තිරයෙන් ඉවත් වුණු පසු පවා ඒ චරිතවලින් නිර්මාණයට කරන බලපෑම අපි අවබෝධ කරගත යුතුයි. ඒ වගේම යම් චරිතයක් නිර්මාණයට ගෙන ඒමේදී ඒ චරිතය හා බැඳුණු විශාල ඉතිහාස කතාවක් තිබෙනවා. ඒ ගැන අදහසක් අපට තිබිය යුතුයි. මම හිතන්නේ අවරුදු 34ක් පුරා මම රංගන ශිල්පිනියක් ලෙස වේදිකාව, සිනමාව, රූපවාහිනිය කියන අංශ තුනේම ලැබූ අත්දැකීම්, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයාගේ සිට රොෂාන් රවීන්ද්‍ර දක්වාම අධ්‍යක්ෂවරුන් කිහිප දෙනකු හැර සියල්ලන් සමඟ කටයුතු කර ලැබූ දැනුම අනුව  තමයි මා ඒ දේවල් තේරුම් ගන්නේ. එහිදී නිර්මාණකරුවාට අවශ්‍ය දේ කුමක්ද යන්න අවබෝධ කරගැනීම වගේම වැදගත් වන්නේ ඇතැම් ඉරියවු, ඉංගිතයන් වගේ පොඩි පොඩි දේවල් අපි එවෙලේ නිරූපණය කරනවා. උදාහරණයකට දීප්ත ඇඳ තිබූ සිදුහත් යශෝධරා චිත්‍රයේ යශෝධරාගේ ඇඟිලි පිහිටි ආකාරයෙන් තමයි මම දීප්තගෙන් පින්සල අතට ගන්නේ. එවැනි දේ අපි බොහෝ නාට්‍යවල ඉම්ප්‍රොවයිස් (එවෙලේ සිතා) කරනවා. ඒත් ඒවා කාචයේ ග්‍රහණය වන්නේ නැහැ. ඒත් මේ නාට්‍යයේ විශේෂත්වය එවැනි දේ සමීප රූප ලෙස ග්‍රහණය කරගෙන තිබීමයි. ඒ ගැන බොහෝ කතා වී තිබුණා. ඇත්තෙන්ම අලුත් කෙනකු ලෙස රොෂාන් ඒවායේ යටි පෙළ හොඳීන් ග්‍රහණය කිරීම වැදගත්. ඒ වගේම චරිත නිරූපණය කියන්නේ දෙබස් කීම විතරක් නෙවෙයි. දෙබසක් වුණත් කියාගෙන යෑම විතරක් නෙවෙයි. ඒ දේවල් මේ ශිල්පීන් කණ්ඩායමේ සියලු දෙනාම හොඳීන් අවබෝධ කරගෙන තිබුණා. ඒ නිසා තමයි ඒ කතාවේ යහළුවන් පිරිසටත් රසිකයන් මේ තරම් ආදරය කරන්නේ.

ඔබට ප්‍රතිචාර ලැබෙන්න ඇති මේ පිළිබඳ?

ඔව්. ඇත්තෙන්ම මුහුණු පොතේ යන ප්‍රතිචාර අතර ඇතැමුන් සරලව යශෝධරාගේ ජීවිතය තේරුම්ගත් ආකාරයත්, තවත් අය ඉතා ගැඹුරින් ඇයගේ භාවයන් තේරුම්ගත් ස්වභාවයත් යන දෙවර්ගයේම සටහන් දකින්නට ලැබුණා. 

රොෂාන්, ධනුක මෙහෙයවාගත් ආකාරය ඔබ දකින්න ඇති?

රොෂාන් වුණත් චරිත නිරූපණයේදී හැසිරෙන ආකාරයක් තිබෙනවා, ධනුක පණපොවන දීප්තගේ චරිතයත් ඒ වගේ. යම් කරුණකදී වැඩිය ගොඩාක් ප්‍රතිචාර දක්වන්නේ නැහැ. යහළුවෙකුගේ මරණයකදී වුණත් යම් දුරකට පමණයි දීප්ත ප්‍රතිචාර දක්වන්නේ. ඔහු චිත්‍රශිල්පියෙක් නිසා ඔහුගේ ලෝකය වෙනස්. ඇත්තෙන්ම ධනුක මඟින් රොෂාන් පෙන්වන්නේ ඔහු සමාජගත කරන්න කැමැති චරිතයනේ. ධනුක ශිල්පියකු හැටියට ගත්තොත් මීට පෙර ඔහු විවිධ චරිත නිරූපණය කළත් හොඳ රංගන ශිල්පියකු ලෙස ස්ථාපනය වෙලා තිබුණේ නැහැ. මම අධ්‍යක්ෂ  වුණත් එකවරම ඔහු මේ චරිතය කෙලෙස කරයිද කියන එක ගැන දෙවරක් සිතන්න තිබුණා. ඒත් ඒ තෝරාගැනීම හා ඔහුව හසුරුවාගත් ආකාරය වගේම ධනුකගේ කැපවීමත් මෙහි සාර්ථකත්වයට බලපෑවා කියා මම හිතනවා. මොකද පැරිසියේ, ජර්මනියේ රූපගත කිරීම් කරද්දි දීප්ත කියන්නේ අවුරුදු 28ක පමණ තරුණයෙක්. ඒත් ඒ රූපගත කිරීම් අවසන් කරලා මාස දෙකක පමණ විරාමයකින් පස්සේ දීප්ත කියන්නේ සාමාන්‍ය පෙළ ලියූ යෞවනයෙක්. ඔහුගේ මනස වගේම ශරීරය කියන අංග දෙකම එහිදී ඒ වයස්වලට ගැළපෙන ආකාරයෙන් සකසා ගන්න ධනුක සෑහෙන කැප කිරීමක් කළා. ඒ වගේම රොෂාන් නොබියව ඒ අභියෝගය බාරගත්තා.

මේ කතාව තුළින් කියැවෙන යටිපෙළක් දැකිය හැකියි?

සත්‍ය වශයෙන්ම මෙහි යටිපෙළින් කියැවෙන්නේ අද ලංකාවේ පවතින අධ්‍යාපන ක්‍රමයේ ගැටලුව. සාමාන්‍ය පෙළ අසමත් වීම කියන්නේ අදටත් ජීවිතයම අසමත් වෙන්න හේතුවක්. ඒ වගේම ආර්ථිකය මත පරම්පරා ගාණක් පුරා අසාධාරණයට ලක් වුණ ලක්වන පිරිසක් සමාජයේ හැමදාම ඉන්නවා. ඒ වගේම කුල ප්‍රශ්නය ඇතුළු අපි ජීවත්වන සමාජයේ පවතින ගැටලු මෙහි කතා වෙනවා.

මේ කතාව බොහොම විලම්භ ලයකින් වියමන් වෙලත්, මේ වෙද්දි යූ ටියුබයේ ට්‍රෙන්ඩිං ?

මේ වර්ගයේ නාට්‍ය කීපයක් පසුගිය කාලයේ විකාශය වුණා, කූඹියෝ, සහෝදරයා වගේ. එහි කූටප්‍රාප්තියක් වගේ තමයි තණමල්විල නිර්මාණය වුණේ. මෙහි රචකයා සහ අධ්‍යක්ෂවරයා ඔයාගෙත් මගේත් අපි හැමෝගෙමත් ජීවිත අඩුවැඩි වශයෙන් මුහුණ දුන් මුල තමයි මේ අල්ලගෙන ඉන්නේ. ඒ නිසා බොහෝ දෙනකුට එය තමන්ගේ කතාව බවට පත්වෙනවා. ඒ නිසාම යශෝධරා නිසා වසර 2000න් පස්සේ ඉපදුණු පරම්පරාවක් මට එකතු වුණා. ඒ අය භද්‍ර යෞවනයන්. ඔවුන් සිංහල සිනමාව එතරම් ස්පර්ශ කළ අය නොවේ. ඒ නිසාම මගෙන් විමසා තිබුණා සමහරු 'නැන්දේ ඔයා මේ නාට්‍යයේ හරි ලස්සනට රඟපානවා. ඊට කලින් කොහෙද වැඩ කළේ?' කියලා. ඇය ඉංග්‍රීසියෙන් ලියා එවා තිබුණේ මම ඒ විමසීමට පුදුම වුණේ නැහැ. සතුටු වුණා. ඒ දරුවාට මා ගැන හොයන්න සිතුණා කියන්නේම වෙනම දෙයක්. ඒ නිසා මම කෙටි පිළිතුරක් දුන්නා ජස්ට් ගූග්ල් මයි නේම් (මගේ නම ගූග්ල් ඔස්සේ බලන්න) කියලා. ඊට පස්සේ ඒ දරුවා හොයාගෙන කඩුල්ල ටෙලි නාට්‍යයත් බලලා පස්සේ එවලා තිබුණා එයා පුදුම විදිහට මගේ රංගනයට ආසා කරනවා කියලා. ඇත්තෙන්ම ඒ වයසේ දරුවන්ගේ යුගයේ ටෙලිවිෂනයේ දකින්න ලැබුණු නාට්‍ය ගැන අපි දන්නවානේ. ඒ වගේම මගේ යාළුවන් කතා කරලා කියනවා එයාලාගේ දරුවන් සිංහල සාහිත්‍ය කුණුකූඩෙට දාලා ගිය අන්තර්ජාතික පාසල්වල දරුවන්, මේ නාට්‍යය නිසා             ගම්පෙරළිය, බවතරණය වගේ පොත් හොයාගෙන කියවනවා වගේම ඒ ඔස්සේ නවකතාකරුවන්ගේ වෙනත් පොත් පවා කියවන්න පෙලඹිලා කියලා. ඒකම කොච්චර සතුටක්ද...අනෙක මට සෑහෙන හොඳ මට්ටමේ කවි නිර්මාණ කමෙන්ට්ස් ලෙස මට එවනවා. ඉංග්‍රීසි මාධ්‍ය භාවිත කරන ළමයින්ගේ ප්‍රතිචාරත් ඉතාමත් හොඳයි.

ස්වාධීන රූපවාහිනියට මේ නාට්‍ය ලැබුණේ?

මෙය නාළිකා රැසකට ගෙනගියාම ඉතා හොඳයි කීවාට විකාශය කරන්න ඔවුන් බය වුණා. ඒත් ස්වාධීන රූපවාහිනියේ නව සභාපති සුදත් රෝහණ මහත්මයා උසස් ගණයේ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙකු ලෙස ඔහු මෙහි වියදම ලබා දීමේ අභියෝගය බාර ගත්තා. මෙහි චරිත බොහොමයක් ජනප්‍රිය ටෙලිනාට්‍යවල පිරිස් නොවේ. එහෙත් ඔහු ඒ අවදානමට නොබියව මුහුණ දුන්නා වගේම එයින් සාර්ථක වුණා. අනෙක මම එදා ඉඳන්ම විශ්වාස කළ දෙයක් තමයි අපේ ප්‍රේක්ෂකයන් බුද්ධිමත් පිරිසක්. ඔවුන් මෙවැනි නාට්‍ය කලාවක් රසවින්ද පිරිසක්. ඒ නිසා ප්‍රවාහයන් කොපමණ ආවත්, මිනිසුන් කොයි තරම් පාට පාට ලෝකවල ජීවත් වුණත් මේ පොළොවේ පය ගහල ඉන්න චරිත, අපව නියෝජනය කරන චරිත, තමන්ගේ ජීවිතයේ පැතිකඩක් පෙන්වන අපේකම, අපේ සංස්කෘතිය තිබෙන චරිත සහිත නිර්මාණවලට තමයි කැමති. දැන් ඒ ප්‍රවාහය ඇවිත් තිබෙනවා. එතනින් එහාට මෙය රැගෙන යෑමයි අවශ්‍ය. ඒ වගේම මෙය නිෂ්පාදනය කළ ෆහිම් මව්ජුඩ් මහත්මයාටත් අප ස්තූතිවන්ත විය යුතුයි මෙවැනි නිර්මාණයක් සඳහා බිය නොවී නවක අධ්‍යක්ෂවරයකුට සහාය වීම පිළිබඳ.

තණමල්විල කොල්ලෙක් ගැන ඔබට කියන්න ඇත්තේ කුමක්ද ? 

මට කියන්න තියෙන්නේ මෙච්චරයි. ටෙලි නාට්‍යවල කලින් යුගයේ තිබුණු ආකාරයේ ප්‍රවණතාවක් යළි ඇතිවෙලා තියෙනවා. හරි මඟට මෙහෙයවීමක් වෙලා තියෙනවා.දැන් පාර ක්ලියර්. ඒකේ නිවැරදිව යන්නයි තියෙන්නේ.