හොද නිර්මාණයකට හරිහදන් ඉඩක් තියෙනවා

ඉන්දික ධර්මතිලක - ගිරිදේවි අධ්‍යක්ෂ....
ජුනි 25, 2020

හොඳ ටෙලි නිර්මාණයකට අප රටේ රූපවාහිනී නාළිකාවන් තුළ තවමත් ඉඩ තිබේ.ගිරි දේවි ඊට තවත් නිදසුනකි.ශාන්ති දිසානයකගේ එනමින් ඇති නවකතාව ඇසුරෙන් තැනුණ එය උසස් ටෙලි කතාවක් බව වැඩි දෙනාගේ මතයයි.ගිරි දේවි සමඟ සපැමිණි තරුණ අධ්‍යක්ෂවරයෙකි.ඔහු නමින් ඉන්දික ධර්මතිලකය.වසර ගණනාවක් සහාය අධ්‍යක්ෂවරයකු ලෙස ලැබූ අත්දැකීම් සංකලනය කරමින් ඉන්දික ගිරි දේවි බොහොම අපූරුවට නිර්මාණය කොට තිබේ.මේ කතාබහ ඒ යොවුන් නිර්මාණකරුවා සමඟය.

ඉන්දික,හිතුවට වඩා ප්‍රතිචාර ගිරි දේවි සඳහා ලැබෙනවා නේද?

ඇත්තටම එහෙම දැනෙනවා.මම නිර්මාණය කළ පළමු ටෙලි නාට්‍යයත් මේක නිසා ඒ ප්‍රතිචාර මට ඉතා වටින බව කිව යුතුයි.විශේෂයෙන් අපේ ප්‍රවීණයෝ සෑහෙන්න දෙනෙක් කතා කරලා සුබ පැතුවා.ඔවුනට නාට්‍ය දැනෙන නිසානේ එහෙම කරන්නේ.

ඔබේ කුලුඳුල් ටෙලි නිමැවුමට ගිරි දේවි කතාව තෝර ගත්තේ ඇයි කියලා මං ඇහැව්වොත්?

මම මේ  ක්ෂේත්‍රය ඇතුළේ වැඩ පටන් ගන්න කාලේ ඔය වගේ නිර්මාණවලට තමයි සම්බන්ධ වුණේ.ෂර්ලි පී දෙලංකාවල වගේ නිර්මාණකරුවන්ගේ හැන්දෑව වගේ නාට්‍යක් මට උදාහරණයට ගන්න පුළුවන්.ඉතින් මම කවදා හරි වැඩක් කරනවානම් එවැනි හදවතට දැනෙන කතාවක් කරනවා කියලා හිතාගෙන හිටියේ.මේක හරි ලස්සන කතාවක්.සෞන්දර්යාත්මකව මට දැනුණා.මමත් ගමක කෙනෙක්.පරිසරය එක්ක බැඳුණු සුන්දරත්වය මේ කතව තුළ නොඅඩුව තියනවා.මෙවැනි කරුණු කාරණා මට රුකුල් දුන්නා ගිරි දේවි රූපයට නඟන්නට.

නවක නිර්මාණකරුවෝ මෙවැනි ටෙලි නාට්‍ය කරන්නට තරමක් පැකිලෙනවා.මෙගා නාට්‍ය තනන්නයි වෑයම් කරන්නේ?

මේ ක්‍රමවේදය ගැන මට තියෙන්නේ කලකිරීමක්.මෙතන තියෙන්නේ කලාකරුවන්ගේ අවුලක් නෙවෙයි.ඔවුනට සිදුවෙලා තියනවා තමන්ට ලැබෙන බජට් එකත් එක්ක වැඩ කරන්න.ඒ වගේම නිෂ්පාදකයටත් ලාබයක් දෙන්න ඕනේ.ඒක නිසා ඔවුනට සිදුවෙනවා කොළඹ ඇතුළේ නිර්මාණයක් කරන්න.ඉන් පිටතට යන්න බයයි.මේ නිසයි මම දකින විදිහට බහුතරයක් පිරිස් මෙගා හදන්නේ

ඔබ ගිරි දේවි නිර්මාණය කරමින් මුහුණ දුන්නේ එක්තරා අන්දමක අභියෝගයකට?

ඔව්.ඒත් මම දැනගෙන හිටියා හොඳ නිර්මාණයකට තවමත් ඉඩක් තියනවා කියලා.

ඔබට මෙගා නාට්‍යයක් අධ්‍යක්ෂණය කරන්නට ඇරැයුම් ලැබුණේ නැද්ද?

ගොඩක් අවස්තා තිබුණා එවැනි ඇරයුම් ලබපු.ඒවා සුහදව ප්‍රතික්ෂේප කළා.

වසර ගණනාවක් ඔබ කළ සහාය අධ්‍යක්ෂණ වෘත්තියට සමුදුන්න එක ගැන මොකද කියන්න තියෙන්නේ?

දැන් ගොඩක් අය අහනවා ඊළඟ නිර්මාණය ගැන.ලංකාව වගේ රටක නාට්‍යයක් කරලා අනෙක් අතට ඊළඟ නිර්මාණයට අත ගහන්න බැහැ.හැබැයි ගිරි දේවි නිෂ්පාදකතුමන් කියනවා තව ගුණාත්මක දෙයක් කරමු කියලා.අපි යැපෙන්නේ මේ ක්ෂේත්‍රයේන්.ටෙලි නාට්‍ය සහාය අධ්‍යක්ෂණයට යන්නේ නැහැ.සිනමාපටයක සහාය අධ්‍යක්ෂණයටනම් යනවා.එහෙම වැඩකටත් සම්බන්ධ වුණා පහුගිය කාලයේ.

ශලනිව තාරකා ගිරි දේවි නාට්‍යයේ ප්‍රධාන චරිතයට ඔබ තෝර ගත්තේ ඇයි?

ශලනි ගත්තේ මෙන්න මේකයි.ඇය එක්තරා රාමුවක හිටියා කියලා මං දැක්කා.මෙච්චර කල් ආර්ට් වැඩකට ඇයට ලැබුණු අවස්ථා හරිම අඩුයි.ඊටත් වඩා ගිරි දේවි කතාව කියවද්දි ඒ ආශා කියන චරිතයට මගේ මනසට ආවේ ශලනි.ඇය ඊට ඉතා සාධාරණයක් කළා.