කැලෑ හඳ යළි මුල සිට

ජූලි 16, 2020

කොරෝනා සමයේ විකාශය නොවූ කැලෑ හඳ ටෙලි සිතුවම ඉකුත් සතියේ සෙනසුරාදා සිට නැවතත් පුංචි තිරයේ දිග හැරේ. එම ටෙලි සිතුවම ඉකුත් මාර්තු මාසයේ තෙවැනි සතියේ සිට විකාශය ආරම්භ වූ අතර කොරෝනා තත්ත්වය හේතුවෙන් කොටස් කිහිපයකින් අනතුරුව විකාශය නතර කෙරිණ. ප්‍රේක්ෂක රස වින්දනය තකා කැලෑ හඳ නැවතත් විකාශය වන්නේ පළමු කතාංගයේ සිටයි. ජාතික නාළිකාවේ සති අන්තයේ දිනවල රාත්‍රී 8.30 ට විකාශය වන කැලෑ හඳ ටෙලි සිතුවම දයාරත්න රටගෙදරගේ අධ්‍යක්ෂණයකි. මෙය කෘතහස්ත ලේඛක ඩබ්ලිව්. ඒ. සිල්වා සූරීන් අතින් රචනා වූ කැලෑ හඳ කෘතිය ඇසුරෙන් නිර්මාණ විය. රිදී තිරය වෙනුවෙන් කැලෑ හඳ සිනමාපටය මීට ප්‍රථම නිර්මාණය වී තිබේ. ඒ 1953 වසරේදීය. බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න එය අධ්‍යක්ෂණය කළ අතර එය නවකතාවක් ඇසුරෙන් නිර්මාණය වූ පළමු චිත්‍රපටයයි. එහි ජෝන් ජයපාල ලෙස ස්ටැන්ලි පෙරේරා රංගනයෙන් දායක විය. කැලෑ හඳ ටෙලි සිතුවමේ එකී චරිතය අරවින්ද දොඹගහවත්ත නිරූපණය කොට තිබේ. එදා රුක්මණී දේවිය රඟපෑ මාලිනීගේ චරිතය මෙදා තාරුකා වන්නිආරච්චි පණ පොවයි. සෙසු චරිත වීණා ජයකොඩි, චන්ද්‍රසෝම බිංදුහේවා, උදයන්ති කුලතුංග, ජගත් බෙනරගම ඇතුළු නළු නිළියන් රංගනයේ යෙදෙති.

කැලෑ හඳ ටෙලි නාට්‍යය නිමල් උඳුගොඩ සහ සාගරිකා උඳුගොඩගේ නිෂ්පාදනයකි.