මංගල තෑග්ගේ දෙවැනි ගමන

ජූලි 30, 2020

ප්‍රවීණ නළු චිත්‍රපට අධ්‍යක්ෂ සනත් ගුණතිලක විසින් අධ්‍යක්ෂණය කරන්නට යෙදුණු ‘මංගල තෑග්ගේ දෙවැනි ගමන’ ටෙලි නාට්‍යය අගෝස්තු මස 06 වැනිදා එනම් මැතිවරණ දිනට පසුදා උදයේ මැතිවරණ ප්‍රතිඵල විකාශය අතරතුර ඩයලොග් පළමු නාළිකාවේ විකාශය වේ. මීට වසර හතරකට පමණ ඉහත දී ඔහු මෙම කෙටි ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කරන ලද්දේ Viu ඇප් එක මාර්ගයෙන් ස්මාර්ට් ජංගම දුරකථන ඔස්සේ නැරඹීම පිණිසය. එහෙත් බොහෝ දෙනාගේ ඉල්ලීම පිට මෙය රූපවාහිනි නාළිකාවක එක දිගට නැරඹීමට අවස්ථාව සැලසීම පිණිස මෙසේ විකාශය කරන බව මෙහි සම්බන්ධිකරණ කටයුතු හා මාධ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදු කළ රවීන්ද්‍ර සිල්වා පවසා සිටියේය.

80 දශකයේ අතිශයින්ම ජනප්‍රිය චිත්‍රපටයක් වූ එච්. ඩී. ප්‍රේමරත්න  අධ්‍යක්ෂණය කළ ‘මංගල තෑග්ග‘ චිත්‍රපටයේ දෙවැනි කොටස ලෙස සනත් ගුණතිලක විසින්ම තිර රචනය ලියා අධ්‍යක්ෂණය කරන ලද මංගල තෑග්ගේ දෙවැනි ගමන ටෙලි නාට්‍යය සඳහා මංගල තෑග්ග චිත්‍රපටයට සම්බන්ධ වූ නළු නිළියන් මෙන්ම එහි දෙවැනි පරම්පරාව නියෝජනය කිරීම පිණිස නවක  නළු නිළියන් රැසක් ද සම්බන්ධ කර ගන්නා ලදී. මෙහි මුල් නිර්මාණකරුවා වූ අප අතරින් කලකට ඉහත දී වියෝ වූ එච්. ඩී. ප්‍රේමරත්නයන් වෙනුවෙන් ඔහුගේ ප්‍රිය බිරිය මෙන්ම පුතණුවන් වූ රංග ප්‍රේමරත්නගේ ද පූර්ණ ආශිර්වාදය ඇතුව නිර්මාණය කරන ලද මෙම ටෙලි නාට්‍යය සඳහා රංගනයෙන් සනත් ගුණතිලක, රවීන්ද්‍ර රන්දෙණිය, ජයලත් මනෝරත්න, ශ්‍රියන්ත මෙන්ඩිස්, සනෝජා බිබිලේ, රමණී  සිරිවර්ධන, සිරිල් වික්‍රමගේ, මැණිකේ අත්තනායක වැනි පැරැණි චිත්‍රපටය සඳහා දායක වූ ප්‍රවීණතම රංගන ශිල්පීන් මෙන්ම නව ටෙලි සිත්තම සඳහා විල්සන් කරු, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, ක්ලීටස් මෙන්ඩිස්, වසන්ත විට්ටච්චි, නිමල් ඇන්තනී, ජයලාල් රෝහණ ද දායක වී ඇත. ‘මංගල තෑග්ගේ දෙවැනි ගමන’ සඳහා නව පරපුර නියෝජනය කරමින් හර්ෂණ බෙත්මගේ, වොල්ගා කල්පනී, කවිඳු බණ්ඩාර, අනුරාධා එදිරිසිංහ, අයිශාරා අතුකෝරල, සරත් කරුණාරත්න ඇතුළු පිරිසක් රංගනයෙන් එක් වේ. කැමරාකරණය සුජිත් නිශාන්තගෙනි. සංගීතයෙන් දායක වන්නේ සුනෙත් කැළුම්ය.

1986 වර්ෂයේ තිරයට පැමිණි ‘මංගල තෑග්ග‘ චිත්‍රපටයේ අතිශයින්ම ජනප්‍රිය වූ ගීත කිහිපයක් අදටත් අපි අතරේ නිතර ඇසෙමින් පවතී.

එක යායේ කකා වැටී

එකා වගේ එකට සිටී

එක පවුලේ උපන් ලෙසේ

කළ ආරක්ෂා . . .

නාස් ලණුව දමනවාද

කරත්තයක බඳිනවාද

අපට හිටිය ලපටි කැකුළු නාඹර වස්සා...

එඩ්වඩ් ජයකොඩි, බන්දුල විජේවීර සමඟ සුනිල් එදිරිසිංහ ගයන මේ ගීතය මෙන්ම මහාචාර්ය සනත් නන්දසිරි ගයන ‘වාසනා වේවා’ ගීතය ද ඇතුළත් වූයේ මංගල තෑග්ග චිත්‍රපටයටයි. ‘මංගල තෑග්ගේ දෙවැනි ගමන’ ටෙලි සිත්තම සඳහා මහාචාර්ය සනත් නන්දසිරි ද රංගනයෙන් එක් වේ. වසර තිහකටත් වඩා එහා ගිය අතීතයක් සමඟ ඔවුන්ගේ ඊළඟ පරම්පරාව තුළ සිදුවන අපූරු හමුවීම් සමඟ මංගල තෑග්ගේ දෙවැනි ගමන ටෙලි සිත්තම ප්‍රේක්ෂක ඔබව අලුත් රස වින්දනයකට, අලුත් අත්දැකීමකට කැඳවා ගෙන යාවි.