වර්ෂ 2024 ක්වූ March 19 වැනිදා Tuesday
මේ ඩබ්ලියු.ඒ.සිල්වාගේ නොව දයාරත්න රටගෙදරගේ කැලෑහඳයි
සිනමාවට නැඟුණ මුල්ම සිංහල නවකතාව මහ ගත්කරු ඩබ්ලිව්. ඒ. සිල්වා සූරීන් විසින් 1933 වසරේ රචනා කරන ලද කැලෑහඳයි. එය සිනමාවට නැඟුණේ 1953 වසෙර්ය. ඒ බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න අතිනි. එය වාර්තාගත ආදායමක් ඉපැයීමෙහි සමත් විය. පසු කලක ඇලරික් ලයනල් ප්‍රනාන්දු අතින් මැවිලා පෙනේවි රූපේ නමින් තිරයට නැඟුණේ ද මේ කථාවමය. කෙසේ වෙතත් වසර ගණනාවකට පසු දැන් කැලෑහඳ පුංචි තිරයට එක්ව ඇත. එය ජාතික රූපවාහිනිය ඔස්සේ සති අන්තයේ රාත්‍රී 8.30 ට විකාශය වෙයි. එහි නිර්මාතෘ සම්මානනීය ටෙලි නාට්‍යකරුවකු වූ දයාරත්න රටගෙදරයි. මේ රටගෙදර සමඟ කැලෑහඳ ගැන කළ සංවාදයකි.
අති බහුතරයක් පාඨකයන් ලෙස කැලෑහඳ රසවිඳ ඇති අවස්ථාවක එය ශ්‍රව්‍ය දෘශ්‍ය නිර්මාණයක් ලෙසින් නැවත ප්‍රති නිර්මාණය කිරීමේදී ඔබට කැලෑහඳ නවකතාවට සර්ව සාධාරණයක් ඉටු කරන්න හැකි වුණාද?
පැහැදිලිව මම දෙයක් කිව යුතුයි. මගේ නිර්මාණය කැලෑහඳ නවකතාව නොවෙයි. මේක කැලෑහඳ නවකතාව ආශ්රයෙන් කළ ටෙලි නාට්‍යයක්. ඩබ්ලිව්. ඒ. සිල්වා රචිත කැලෑහඳ නවකතාව මෙරට සිංහල සිනමාවට නැඟුණු ප්‍රථම නවකතාව. මීට පෙර කැලෑහඳ සිනමා නිර්මාණයක් ලෙස 1953 බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න සිනමාවට රැගෙන ආවා. නවකතාව තුළ කියවෙන පරිසරය සම්පූූර්ණයෙන්ම කියවෙන්නේ 1930 ගණන්වල. මට ඒ අතීතය සොයා යන්න අපහසු වුණා. ඒ අතීතය මට හැටේ දශකය දක්වා ආපස්සට ගේන්න සිද්ධ වුණා.
හැටේ දශකය දක්වා රැගෙන ඒමට තිබූ බාධා මොනවාද?
ප්‍රධාන වශයෙන් පරිසරය. එදා පරිසරය නොවෙයි අද තියෙන්නේ. ඒ පරිසරය නැවත නිර්මාණය සඳහා අධික පිරිවැයක් දරන්න සිද්ධ වෙනවා. ඇඳුම් පැලඳුම් වෙනුවෙනුත් එහෙමයි. මෙතනදි මූල්‍ය පිරිවැය ගැනත් අපිට හිතන්න වුණා. නවකතාව තුළ තියෙන්නේ සරල ප්‍රේම කතාවක්. මේ සරල ප්‍රේම කතාව මම වර්තමානයට උචිත වන ආකාරයට වෙනස්වීම් සිදු කළා. ඩබ්ලිව්. ඒ. සිල්වාගේ කැලෑහඳ වුණාට රටගෙදරගේ කැලෑහඳ ඉදිරිපත් කිරීම ඊට වෙනස්. ඒ වෙනස්කම මම සිද්ධ කළේ ඩබ්ලිව්. ඒ. ශූරීන්ගේ නිර්මාණයට කිසිදු හානියක් නොවෙන්න.
කැලෑහඳ නවකතාව ටෙලි නිර්මාණයක් ලෙස එළිදක්වන්න ඔබට මුලින්ම අදහසක් ඇති වුණේ කාගේ හෝ යෝජනාවක් මතද?
මම පොඩි කාලේ ඉඳලා ඩබ්ලිව්. ඒ. සිල්වා, පියදාස සිරිසේන මේ අයගේ පොතපත බොහොම ආශාවෙන් කියවපු කෙනෙක්. කුඩා කාලේ ඉඳලා මම හරියට ආශාවක් දැක්වූවා කියවන්න. අතට අහුවන පත්තර කෑල්ලක් පවා මම කියෙව්වා. කොටින්ම කිව්වොත් කෑම කනකොට වුණත් මොනවා හරි දෙයක් කියෙව්වා. කැලෑහඳ නවකතාව ටෙලි නාට්‍යයක් කරමු කියලා මට මුලින්ම අදහස ගෙනාවේ මාධ්‍යවේදී ආරියනන්ද දොඹගහවත්ත මහත්තයා. ඔහුට නවකතාව ටෙලි නාට්‍යයක් කරන්න අයිතිය පවා තියෙනවා කියලා මට ඒ සඳහා කලාවට ආදරය කරන කලාව තුළ ජීවත් වන හොඳ සොඳුරු කලාකාමී හදවතක් තියෙන නිෂ්පාදක මහත්තයෙක් හඳුන්වලා දුන්නා. ඔහු තමයි නිමල් උඳුගොඩ මහතා.
කැලෑහඳ ප්‍රතිනිර්මාණය තුළ ඔබට අභිියෝග ගණනාවකට මුහුණ දෙන්න සිද්ධ වුණා කිව්වා. මොනවද ඒ අභියෝග?
ඩබ්ලිව්. ඒ. සිල්වා ශූරීන් දකින ගමේ පරිසර අද දවසින් දවස වියැකී ගිහින්. ඒ පරිසරයේ දකින ගෙවල් පාරවල් අද දකින්න නැහැ. වාහන නැහැ. ඒක නිසා කතාවේ තියෙන නවසිය තිහේ දශකය මම අයින් කරනවා. මම කතාව ගොතන්නේ හැටේ දශකයේ ඉඳලා. මම ජාතික රූපවාහිනියේ සේවය කරලා එයින් සමුගන්න මොහොතේ තමයි කැලෑහඳ කරන්න පටන් ගත්තේ. මම මීට පෙර කරපු ටෙලි නාට්‍ය එක්ක බලද්දි ෂූට් කිරීමේදී විශාල ප්‍රශ්න රාශියකට මුහුණ දුන්න එකම නාට්‍යය වුණේ මේ කැලෑහඳ. නමුත් මේ අභියෝග ජයගන්න මගේ නිෂ්පාදක කණ්ඩායම විශේෂ සහයක් කැප කිරීමක් ලබා දුන්නා. විශේෂයෙන් නිෂ්පාදක නිමල් උඳුගොඩ, කැමරා ශිල්පී ජනක යහම්පත්, රූපවාහිනී රචක වජිර කස්තුරි, නිෂ්පාදන කළමනාකාර අජිත් දිසානායක, සංගීත අධ්යක්ෂ ප්‍රියනාත් රත්නායක, කලා අධ්යක්ෂ ඇහැලියගොඩ සෝමතිලක, සංස්කරණ ශිල්පී මධුර ප්‍රසාද්, සහාය අධ්යක්ෂ ප්‍රසන්ත ඉත්තෑපාන, අංග රචක හෙන්රි ප්‍රේමරත්න ඇතුළු මේ නිෂ්පාදන කණ්ඩායම එක ටීම් එකක් වගේ ඉඳගෙන එන අභියෝග ජය ගන්න මට ලොකු සහයක් දුන්නා.
ඩබ්ලිව්. ඒ. සිල්වා දුටු පරිසරයට ඔබේ ටෙලි නිර්මාණය අනුගත කරන්න ඔබ මොන වගේ ප්‍රදේශ ද රූපගත කිරීම් සඳහා යොදා ගත්තේ?
කොළඹ අවට, මිනුවන්ගොඩ, හොරණ අවට පිළියන්දල අවට තමයි වැඩිපුර රූපගත කිරීම් සිද්ධ කළේ. සමහර රූප රාමු සඳහා අපි අලුතින් ඉදි කිරීම් කළා. උදාහරණයක් කිව්වොත් ගමේ කඩේ.
මේ සඳහා නළු නිළියන් තෝරා ගැනීම කොයි ආකාරයෙන්ද සිද්ධ කළේ?
ඒ සඳහා මට පූර්ණ නිදහස තිබුණා. නළු නිළියන් තේරීමේ කාර්ය මගේ හැම නිර්මාණයකදීම සිද්ධ කළේ මට ඕනෑ විදියට. මෙහි නිෂ්පාදක කිසිම දවසක මට බලපෑමක් කළේ නැහැ අහවලා ගන්න කියලා. මෙහි ප්‍රධාන චරිත වන මාලිනීගේ චරිතයට මම තෝර ගත්තේ තාරුකා වන්නිආරච්චි. ජෝන් ජයපාලගේ චරිතයට අරවින්ද දොඹගහවත්ත තෝර ගත්තා. නළු නිළියන් තෝරා ගැනීමේදී ඒ ඒ චරිතවල ස්වභාවය පිළිබඳ මම වැඩි අවධානයක් යොමු කළා.
මීට පෙරඅතුව කැලෑහඳ චිත්‍රපටයක් ලෙසින් ප්‍රේක්ෂකයෝ රස විඳි නිර්මාණයක්. එය නැවත ඔබ ටෙලි නාට්‍යයක් ලෙස ප්‍රතිනිර්මාණය කරනවා. එදා කැලෑහඳ චිත්‍රපටය බොහොම ජනප්‍රිය වුණා?
ඔව්. එදා කැලෑහඳේ මාලිනී වුණේ රුක්මණී දේවි. ජෝන් ජයපාල වුණේ ස්ටැන්ලි පෙරේරා. අද කාලය වෙනස්. මිනිස්සුන්ගේ සිතුම් පැතුම් වෙනස්. මම අද කාලයේ සිත් සතන්වලට උචිත නළු නිළි පිරිසක් යොදා ගත්තා. මම හිතනවා ඒ චරිතවලට මම තෝර ගත්ත හැම නළුවෙක්ම උපරිම සාධාරණයක් කරලා තියෙනවා කියලා.
ඔබ ජාතික රූපවාහිනිය වෙනුවෙන් කැලෑහඳ නිර්මාණයේදී මොන වගේ සහායක් ද ඒ නාළිකාවෙන් ඔබට ලැබුණේ?
රූපවාහිනියේ හිටපු සභාපති රවී ජයවර්ධන මහතාගේ වකවානුවේ තමයි අපි මේ නාට්‍ය කරන්න පටන් ගත්තේ. මෙය විකාශනය කිරීමේදී වත්මන් සභාපති දොස්තර නිහාල් ජයතිලක, අධ්යක්ෂ ජනරාල් අජිත් නාරංගල, නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් සුමේද අතුලසිරි අපිට ලොකු සහයක් ලබා දුන්නා.
කැලෑහඳ චිත්‍රපටයේ ජනප්රියභාවය නිසාම ඔබ එහි තිබූ ගීත මෙම ටෙලි නාට්‍ය සඳහා යොදා ගන්න උත්සාහ කරනවා නේද?
ඔව්. බොක්ස් ඔෆිස් කියන වචනය සිංහල සිනමාවට ආවේ කැලෑහඳ චිත්‍රපටය නිසයි කියලයි මම හිතන්නේ. ඒ තරමට මේ චිත්‍රපටය ප්‍රේක්ෂකයෝ වැලඳ ගත්තා. ජනප්‍රිය වුණා. ඒ නිසා මමත් නිෂ්පාදක නිමල් උඳුගොඩත් කල්පනා කළා ඒ චිත්‍රපටයේ ජනප්‍රිය ගීත දායක කර ගන්න. චිත්‍රපටයේ ගීත ගායනා කරලා තිබුණේ මොහිදීන් බෙග්, සංගීතවත් කරලා තිබුණේ එස්. එස්. වේදා කියන ඉන්දියන් සංගීතඥයෙක්. මේ ගීත ලියලා තිබුණේ හර්බට් එම්. සෙනෙවිරත්න. මෙතනදි ගීතයේ අයිතිය රචකයා, ගායකයා, සංගීතඥයා සතු නිසා එක් අයකු විරුද්ධ වීමකදී එය අපට ලබා ගන්න බැහැ. මෙහිදී හර්බට් එම්. සෙනෙවිරත්නගේ පුතා ඒ ගීත රචනා අපිට ගන්න අවසර දෙන්න විශාල මුදලක් ඉල්ලුවා. ඒ නිසා අපි ඒ අදහස අයින් කරගෙන සමන් චන්ද්‍රනාත් වීරසිංහ මහත්තයා ලවා ටෙලි නාට්‍යයට ගීත ලියව ගත්තා. ගායනයෙන් ඉල්ලියාස් බෙග්, අමිලා නදීශානි, පි‍්‍රයනාත් රත්නායක, සචින්දි සුලක්ඛනා අමරසිංහ එක් වෙනවා.
කැලෑහඳ ටෙලි නාට්‍යයක් වශයෙන් ප්‍රතිනිර්මාණයේදී නිර්මාණකරුවා වශයෙන් ඔබ ආපසු හැරිල බලන කොට මොකද හිතෙන්නේ?
වර්තමානයේ තියෙන මෙගා ටෙලි නාට්‍ය රැල්ලත් එක්ක මේක සසඳන්න බැහැ. මේක මෙගා ටෙලි නාට්‍යයක් නොවෙයි. මට හොඳ යමක් කරන්න අවශ්‍ය වුණා. ඒ සඳහා නිෂ්පාදක මහත්තයාගේ ඉඳලා හැම කෙනෙක්ගේම සහය ලැබුණා. මම හිත සතුටු වෙන නිර්මාණයක් කළා කියන ආත්ම තෘප්තියක් තියෙනවා. කැලෑහඳ ටෙලි නාට්‍ය තුළින් පෙන්වන්නේ සුළුවෙන් ජීවිතය පටන් ගත්ත කාන්තාවක් අවසානය දක්වාම සිදු කරන කැප කිරීම. සරල ප්‍රේම කතාවක් අපි වර්තමානයට උචිත විදියට ටෙලි නාට්‍ය නිිර්මාණය කළා නාට්‍යයේ ගුණාත්මකභාවය ආරක්ෂා කරමින් ප්‍රේක්ෂකයාව තෘප්තිමත් කරන්න.
කැලෑහඳ ටෙලි නාට්‍යයේ නිෂ්පාදක නිමල් උඳුගොඩ. ඔබ මෙවැනි නිර්මාණයකට බර පැන දරන්න හිතුවේ ඇයි?
මේක මගේ පළවෙනි ටෙලි නාට්‍ය නිෂ්පාදනය. මමත් කලාවට සම්බන්ධ කෙනෙක්. මම ඡායාරූප කලාවේ ලංකාවේ නමක් දිනූ ආයතනයක හිමිකරුවෙක්. ඉතිං මටත් කලාව තුළ මගේ ක්ෂේත්රය නොවූවත් මෙවැනි දෙයකට දායකවීමේ ආශාවක් තිබුණ. ආරියරත්න දොඹගහවත්ත මහත්තයා තමයි මට මේ සඳහා මුලින්ම ආරාධනා කළේ. මේක 1938 ලියවුණු පනහ දශකයේ සිනමාවට නැඟුණු ජනප්‍රිය කතාවක්. කතාවේ වකවානු කෙසේ කොහොම වුණත් අපි හැකි පමණ ඒ කාල වකවානුවලට ගිහින් මේ කතාව නිර්මාණය කරන්න විශාල පිරිවැයක් දරමින් කටයුතු කළා. ජාතික රූපවාහිනිය මේක විකාශය කරන්න ගිවිසුම් ගතවීමත් අත්දැකීම් බහුල දයාරත්න රටගෙදර වගේ අධ්යක්ෂවරයකු නිර්මාණය කරන්න භාර ගැනීමත් නිසා මම මේ සඳහා මූල්‍ය දායකත්වය එක් කරන්න පසුබට වුණේ නැහැ. අද බොහෝ විට තියෙන්නේ හින්දි රැල්ලක්. හඬ කවපු ටෙලි නාට්‍ය තමයි බොහෝ විට ප්‍රේක්ෂකයන්ට නරඹන්න තියෙන්නේ. එවැනි වකවානුවක මේ වගේ හොඳ ටෙලි නාට්‍ය නිර්මාණයකට අත දෙන්න ලැබීමත් සතුටක් කියලා මට හිතෙනවා.
මගේ මේ කුලුඳුල් නිෂ්පාදන කර්තව්‍යයේදී මට යෝධ ශක්තියක් වූ මගේ බිරිය සාගරිකා උඳුගොඩ ලබා දුන් දිරිය ශක්තිය නොවන්නට මෙවැනි නිර්මාණයක් වෙනුවෙන් මම ආයෝජනයක් නොකරන්න ඉඩ තිබුණා.
නිශ්ශංක විජේරත්න