අපි සියලු දෙනාටම සෞන්දර්යය රස විඳීමේ පුහුණුවක් නැහැ

සංසාරාරණ්‍යය අසබඩ - අධ්‍යක්ෂ සංජය නිර්මාල්
අගෝස්තු 13, 2020

මේ වන විට සංසාරාරණ්‍යය අසබඩ ඔබත් ලැගුම් ගෙන ඇති. ඒ ප්‍රවීණ ගත්කතුවර සයිමන් නවගත්තේගමයන් විසින් විරචිත ග්‍රන්ථය ඇසුරින් පමණක් නොවේ. ප්‍රවීණ අධ්‍යක්ෂ සංජය නිර්මාල් විසින් රූපමය කාව්‍ය ගෙත්තමක් ලෙස ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයෙන් ගෙනා සංසාරාරණ්‍යය අසබඩ සමඟ ඒකාත්මික වෙමින්. සයිමන් නවගත්තේගමයන් මේ භූමියේ වෙනස්ම නවකතා කලාවක් බිහිකෙරුවෙක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. සංජය නිර්මාල් යනු ප්‍රාණ, චක්‍ර, සිල්ලර සමනල්ලු වැනි ටෙලි නාට්‍ය මෙන්ම ජූලි හතයි, සමාරා  වැනි චිත්‍රපටවලින් අප හමු වූ මිශ්‍ර රස නිර්මාණකරණයක යෙදෙන්නෙක්. ඔහුගේ නිර්මාණකරණයේ හැරවුම් ලක්ෂ්‍යයක් බඳු සංසාරාරණ්‍යය අසබඩට ඔහුගේ පිවිසුමත්, එයින් මතු ගමන් මඟත් පිළිබඳවත් සරසවිය සමඟ ඔහු පැවසුවේ මෙසේයි...  

සංසාරාරණ්‍යය අසබඩ වැනි තිර පිටපතක් තෝරාගැනීමම අභියෝගයක් ලෙසයි මට නම් හැඟෙන්නේ?

ඇත්තටම මේ තිර නාටකය තෝරා ගැනීම දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්. අනෙක සයිමන් නවගත්තේගම කියන්නේ කවුද කියලා ලංකාවම හරියට තේරුම් අරගත්තේ නැහැ කියලත් මට වෙලාවකට හිතෙනවා. ඒ වගේම ඔහුගේ පොත් අතරින් සංකීර්ණම පොත සංසාරාරාණ්‍යය අසබඩ. හැබැයි මට ධනාත්මක හුයක් තිබුණා ඒ තමයි ඔහු මුලින් ලියා තිබුණේ මේ තිර පිටපත. ඉන්පසු තමයි නවකතාව ලියා තිබුණේ. පොත තුළත් රූප මාධ්‍ය ආකෘතියක් තිබෙනවා.

ඒක මම උත්සාහ කළේ නව කතාවේ මහනිලමේ, පුංචි නිලමේ, ළමාතැනී, රාබඩා ආදි චරිතවලින් කියැවෙන, නිලමේලා ගමේ දේශපාලනය අල්ලාගෙන ඉන්න, දරුවකු නැතිකමින් මහනිලමේ සහ ළමාතැනීට වැඩවසම් ක්‍රමය ඉදිරියට ගෙන යා නොහැකිව තැවෙන, ලිංගික අතෘප්තිකරබවින් තැවෙන කාන්තාවන් රැසක් සිටින, ආගන්තුකයා ගමට පැමිණීමත් සමඟ ගමම පුපුරා යන වෙනම ආහ්ලාදයකින් ඇති මතුපිට කතාව කියන අතර එය තුළ ව්‍යංග්‍යාර්ථයෙන් යන කතාව කියන්න. මොකද සයිමන් නවගත්තේගම මහත්තයා මේ කතාව තුළට ගේනවා මහායානික බුදු දහමේ ගැඹුරු සංකල්පය. මේ වැඩවසම් ක්‍රමය බිඳ වැටීම ලෙහාන්න පුළුවන් භෞතික දේශපාලනික ක්‍රමවේදයකිනුත්. ඒත් ඔහු මෙය ලිහන්න යන්නේ ආධ්‍යාත්මික ප්‍රවේශයකින්. ඒ තුළ සියල්ල නැවත නැවත සිදුවෙමින් පවතින බව කිසිවක් නොමැරේ සියල්ල නූපදී කියන සංකල්පය තුළ කියැවෙනවා. 

මෙහි තේමා ගීතයෙන් ඔබ එය කීමට උත්සාහ කරනවා?

ඇත්ත. වතුර බින්දුවකටත් ඉපදීමක් පැවැත්මක් අවසානයක් පවතිනවා. හැබැයි එයා වතුර බින්දුවක් බව හිතුවොත් වරදිනවා. හැබැයි එයා එයාට ගඟ කියලා හිතුවොත්, ග‌ඟේ ඉන්නවා, ගඟත් එයා, මුහුදත් එයා, වලාකුළුත් එයා, ගස්වැලුත් එයා. සමස්ත සොබාදහම තුළම එයා පවතිනවා.

එය තාන්ත්‍රික බුදු දහම තුළ තිබෙන දෙයක්. ආලයවිඥානය කියන දේ තමයි එතනින් ගෙනෙන්නේ. එය දේශපාලනික විප්ලවයකින් කළ හැකි දෙයක් නොවේ. ආධ්‍යාත්මික වෙනසක් තමයි අවශ්‍ය වන්නේ. ආගන්තුකයා ඔස්සේ කාලතරණය, සමාන්තර විශ්වයන් පිළිබඳ මතය ගැන, ආගන්තුකයා මේ අවස්ථාවේම දෙවියකු සහ ආගන්තුකයා ලෙසම පැවතීම වැනි දෙවියොත් නොවන ආගන්තුකයාත් නොවන අවස්ථාව ආදිය හැමුදුරුවන් ඔස්සේ නිරාවරණය වන්නේ කෙසේද යන්න මෙහි සාකච්ඡා වෙනවා. 

මමත් නොවේ, මම නෙවෙත් නොවේ වගේ?

හරියට හරි.

ඔබ සයිමන් නවගත්තේගම ලේඛකයා කියවාගත් ආකාරයකුත් ඇති?

අපේ ගම ඒ තරම් විශ්වීය තැනකින් අල්ලා ගත් වෙන ලේඛකයකු නැති තරම්. බොහෝ දෙනාට ඇත්තේ ගමේ කෙල්ලන්ගේ ලස්සන, ඒ ගස්වැල්වල පෙනුම, වැවයි දාගැබයි දිහා බලාගෙන 'ගම්මිරිස් කනවා' වගේ නෙවෙයි මේක. ඔහු ගමේ විඥානය අල්ලා ගත් රචකයෙක්. ඔහුගේ ගමේ කතාව තුළ හොලිවුඩ් ෆිල්ම් එකක සංකල්ප වගේම බෞද්ධ දාර්ශනික දේවල් ටික ගැබ්වෙලා තිබෙනවා. ඒ නිසා ඔහුගේ කතාවකින් ටෙලි නාට්‍යයක් හැදීම කියන්නේ සංකීර්ණ ක්‍රියාවලියක් තමයි. 

මේ ටෙලි නාට්‍යයේ ලය නැත්නම් ටෙම්පො එක වර්තමාන ප්‍රේක්ෂකයා ග්‍රහණය කරගනී කියා විශ්වාසයක් තිබුණාද? 

මේ රටේ අපි බෞද්ධ දර්ශනයට පාදකවන දේ කතා නොකර මොනවා කතා කළත් ඒ නිර්මාණය වැඩක් නැහැ. මම උපතින් කතෝලික. අවුරුදු දහයක් සෙමනේරියේ හිටියා පාදිලිවරයෙක් වෙන්න. ඒත් මගේ ප්‍රවේශය බුදුදහම. මම කළ චක්‍ර ටෙලි නාට්‍යයෙන් කතා කළේ රාගය කොහොමද මුළු ශිෂ්ටාචාරය තුළම ගිලී තිබෙන්නේ කියන දේ. ප්‍රාණ මඟින් කතා කළේ කර්මය කොහොමද මිනිසුන් ජීවිතවල වැඩ කරන්නේ කියලා. මට ඕනෙ වුණේ රූපවාහිනී ටෙලි නාට්‍යවල ලයමානය පුළුවන් තරම් අඩු රිද්මයකට ගේන්න. රැඳෙන්න පුළුවන් පිරිස රැඳෙයි. මෙය අභ්‍යන්තරික ගමනක්. අනෙක මේ රූපරාමු සැම විටම පැතලි නොවන ත්‍රිමාණ ස්වරූපයක් ගන්නා ආකාරයෙන් ගැඹුරක් සහිතව යොදාගන්න උත්සාහ කළා. ඒ පොත ව‌‌ගේම ටෙලි නාට්‍යයත් තම තමන්ට අනුව තේරුම්ගන්න පුළුවන්. මෙච්චර බණ අහන රටක සුළු පිරිසක් හෝ සංයමයෙන් ටෙලි නාට්‍යයක් කියව ගන්න පුළුවන් විය යුතුයි කියන තැන මම හිටියා. අපි ආර්ට් රස විඳීන්න දන්න මිනිස්සු නම් නෙවෙයි කියලා තේරෙන්නේ අපි ඔපෙරාවක්, බැලේ එකක් බලන්න පුළුවන් අයද? චිත්‍රයක් රස විඳීන්න දන්නවාද? කියන ප්‍රශ්නය මතයි. 

ඔබ ඔය දන්නවාද කියලා අහන්නේ කවුද?

සමස්ත සමාජයම. අපි සියලු දෙනාටම සෞන්දර්යය රස විඳීමේ පුහුණුවක් නැහැ. සෞන්දර්යය කියන්නේ වෙන විද්‍යාවක්. ගැහැනියක කොට කලිසමක් ඇඳගෙන ඉන්න එක හෝ අනියම් බිරිඳට හරි බිරිඳගෙන් සබ්බුව ලැබෙන එක නෙවෙයි සෞන්දර්යය කියන්නේ. ශෘංගාරයේ සෞන්දර්යයත් නෙවෙයි හරි සෞන්දර්යය. එය බොහොම ගැඹුරු දෙයක්. ප්‍රඥාවට ළඟ දෙයක්. සෞන්දර්යය උද්දීපනය කරන එක සෙල්ලමක් නෙවෙයි.

බොහෝ වෙලාවට රූපවාහිනියේ තිබෙන්නේ කලා කෘති නෙවෙයි. තිබ්බා ගැහුවා ක්‍රමයට මමත් නාට්‍ය කරලා තිබෙන නිසා මට ඒ ගැන කියන්න පුළුවන්. දවසට එපිසෝඩ් එකහමාරක් කරපු අවස්ථා තිබෙනවා. එය ඇත්තෙන්ම කීයක් හරි හොයාගැනීමේ අවශ්‍යතාව මත කරපු දේවල්. හැබැයි මම අවබෝධ කරගත්තා එයින් රටක පුද්ගලයකු නෙවෙයි, සංස්කෘතික සෞන්දර්ය විඥානය විනාශ කිරීමක් බව. සෞන්දර්යයකින් කරන්නේ නිකම්ම ආතල් එකක් දෙන එක නෙවෙයි. අපව වෙනත් ප්‍රඥා මාර්ගයක ගෙන යෑමක්. ඒත් අද බොහෝ විට සිදු වන්නේ ව්‍යාපාරයක්.  

මට පෞද්ගලික  ප්‍රශ්නයක් අහන්න පුළුවන් නම්, ඔබ සෙමනේරියේ වසර දහයක් පාදිලිවරයකු වීමට පෙරුම් පුරමින් සිට ගැඹුරු බුදු දහම පදනම් වන මේ තේමාව මෙතරම් අවබෝධ කරගන්නේ?

මේ ලෝකේ ප්‍රඥාව හෝ ආධ්‍යාත්මය කියන්නේ එකක්. අපි කොටු කරලා ආගමික කූඩුවලට දා ගත්තාට අරමුණ හෝ අවසානය එකමයිනේ. ඒ සඳහා අප තෝරා ගන්නා මාර්ග තමයි වෙනස් වන්නේ. අපට සිදු වන්නේ අවසානය කියා හිතාගෙන මාර්ගයේ නතර වීමයි. අරමුණ අවබෝධ කරගත් අය මාර්ගය අතහරිනවා. 

මෙහි නළුවරණය බොහොම කල්පනාවෙන් කළ දෙයක් බව පේනවා?

ඇත්ත. මම උත්සාහ කළේ මේ පොත කියවද්දි වගේම තිර පිටපත කියවද්දි මැවෙන රූපය පොදු කරවන්න. ඇතැම් අය තෝරා ගැනීම පිළිබඳව මගෙන් සමහරු මුලදි ප්‍රශ්න කළා. ඒත් ඔවුන් චරිත නිරූපණය කරන විට මගේ තේරීම හරි කියලා ඔවුන් පිළිගත්තා. සමහර අයගේ දෙබස් මට අවශ්‍ය විදිහට කියවන්න සෑහෙන්න මහන්සි වෙන්න වුණා. අනෙක මම බොහෝ දෙනෙක්ට කීවේ පිටපත කියවලා එන්න එපා කියලා. මොකද ඔවුන් යම් චරිතයක් හිතේ මවාගෙන ආවොත් මට අවශ්‍ය දේ කරගන්න අමාරු වෙන නිසා.

සංසාරාරණ්‍ය කතා පෙළම බොහෝ සංකේත භාවිතයෙන් කියවෙන්නේ?

ඔව්. සංකේත භාවිතය බොහොම පරෙස්සමින් කළ යුතු දෙයක්. මොකද බහු අර්ථ සැපයිය හැකියි. හැබැයි මම සංකේත බලහත්කාරයෙන් එල්ලුවේ නැහැ. ඒ රූපගත කිරීම් අතර අපට ලැබුණු සංකේත කතාවේ අර්ථය තීව්‍ර කරන්න යොදාගත හැකි වුණා. කාව්‍යමය රූප හදන්න හේතු වුණා. පොතේ තිබෙන ඇතැම් සංකේත මේ කතාවට ගෙනාවෙත් නැහැ. කතාවේ නම් ඇතැම් සංකේත අපට පොදු මාධ්‍යයක පෙන්වන්න බැරි තරම්. උදාරි සහ අජිත් නිරූපණය කරන චරිත දරුවකු ලැබීම වෙනුවෙන් බොහෝ බෙහෙත් හේත් කරලා, පේ වෙලා රාත්‍රියේ සයනයට යන අවස්ථාව පවා මේ ටෙලි නාට්‍යයේ තිබෙනවා. හැබැයි රූපවාහිනිය වගේ ආලින්දයට එන මාධ්‍යයකදී එය කුඩා දරුවන් දුටුවත් ඔවුන්ට නොතේරෙන්නත්, වැඩිහිටියන්ට උපරිම ශෘංගාර රසයක් ගෙන එන්නත් හැකි ආකාරයෙන් රූගත කරන්න වගබලා ගත්තා. සමහර දේවල් නොපෙන්වන තරමටමට පරිකල්පනීයව ඒ දේ තමන්ගේ කරගෙන බලන්න පුළුවන් ප්‍රේක්ෂකයන්ට.

මෙහි කාන්තා චරිත පිළිබඳ ඔබේ අදහස කුමක්ද?

මේ කතාවේ ස්ත්‍රීත්වය බොහෝ පරිපීඩිතයිනේ. උදාරි, උදයන්ති,උමාලි නිරූපණය කරන චරිත වගේම, පොල් ඇහිඳගන්න ආ ගැමි කාන්තාවගේ සිට සියලු කාන්තාවන් මොනයම් හෝ ක්‍රමයකින් පීඩනයට ලක් වෙනවා. ඒ වගේම ශිෂ්ටාචාරය බිඳ වැටෙන්නේ ශිෂ්ටාචාරය තුළින්මයි. මහා මිසරය ඒ තුළින්ම බිඳ වැටෙන්නේ. මහා සීසර්ව මරන්නේ බෲටස්. ඒක තමයි ලෝක ස්වභාවය. තිර පිටපතේ ගැබ්ව තිබෙන ඒ දේ රූපයට නැඟීමේදී සියලු ගණයේ ප්‍රේක්ෂකයන්ට ගැළපෙන අයුරින් එය කරන්න සිදුවුණා.

ඔබට ලැබුණු ප්‍රතිචාර කොහොමද?

එක්කෙනෙක් මුහුණු පොතේ ලියා තිබුණා අමු හෙළුව සාලයට කැන්දන ගැට කිඹුලෙක් කියලා. (සිනාසෙයි) මොකද මම ළමාතැනී‌ගේ හැඟීම් පෙන්වීමට උදාරි කිරි කලයෙන් නාන අවස්ථාව යොදාගෙන තිබුණු ආකාරය නිසා. මෙය සයිමන් නවගත්තේගම මහත්මයා ලියා තිබෙන්නේ පන්සලක කාලය ගත කරමින් බව දන්නා නිසා බොහෝ හාමුදුරුවරු ස්තූති කරලා  තිබුණා. මගේ ෆෑන් පේජ් එකේ තිස්හත්දහසක් පමණ මිතුරු මිතුරියන් අතරින් සියයට අසූවක් පමණම උපාධිධාරීන්. එයින් අවබෝධ වෙන්නේ වෙනස්ම ප්‍රේක්ෂාගාරයක් මෙයට ඉන්න බව. හමුවුණ විට ඇතැමුන් කතා කරන දේවල්, මම නොහිතන තරම් ගැඹුරින් සමහර දර්ශන විග්‍රහ කරගන්නා ආකාරය ආදිය බැලුවාම, ලංකාවේ තවමත් හොඳ නිර්මාණයකට ඉඩක් තිබෙනවා. නිර්මාණකරුවන්ගේ අසරණකමයි, පරිකල්පනීය නිර්මාණශීලීත්වයේ අඩුවයි, දාර්ශනික වීමට ඇති බිය නිසා අපි හිතනවා නාළිකාවලින් හදන රේටිංස් කියන බොරුව ඇත්තක් කියලා. ඇත්තම කතාව ගෙවල් 250-300ක් වගේ ගණනකින් තමයි රේටින් බලන්නේ. අප ඒ ප්‍රවණතාවට පැමිණිය යුතු නැහැ. මොකද මම කතා කරන්නේ අනිත්‍යතාව ශුන්‍යතාව පිළිබඳව නම් පැවැත්ම තහවුරු කරන්න උත්සාහ දරන රේටින් තරගයට යා යුතු නැහැ. එතකොට මගේ කතාවේ සංකල්පය එතැනින්ම බිඳ වැටෙනවා. මේ නාට්‍යයේ ප්‍රවර්ධන කටයුතුවලට ශතපහක්වත් වියදම් කර නැහැ. මෙහි ප්‍රචාරය ඓන්ද්‍රීයව ඇතිවන්නක්. ඇත්තම කීවොත් මම හිතන්නේ මගේ නිර්මාණකරණය මා වෙනුවෙන්මයි. මා පිළිබඳ මගේ ගවේෂණය පොදු කරන්න තමයි කලාව යොදාගන්නේ. එය ප්‍රහර්ෂයටවත්, ප්‍රචාරයටවත් කරන දෙයක් නොවෙයි. මගේ විශ්වාසය නම් මේ ආධ්‍යාත්මික ප්‍රවේශය ලංකාවේ ටෙලිවිෂනය ඔස්සේ ගේන්න පුළුවන් කියලයි. ඒ සඳහා ක්‍රමාණුකූලව පිරිස තැනෙයි කියලාත් විශ්වාසයි. 

ඔබේ වෙනත් කෘති සහ සංසාරාරණ්‍යය කරද්දි දැනුණු වෙනස?

ඇත්තෙන්ම මම කරන ඕනෙම නිර්මාණයකට මම අනුගත වෙනවා. ඒ වගේම ඒ කෘතියට බද්ධ වෙනවා. මම හිතන විදිහට කෘතියේ ලයමානය තබන්නා තමයි අධ්‍යක්ෂවරයා කියන්නේ. ඒ නිසා ලයමානය හරියට අල්ලා ගැනීම තමයි අපහසුම වැඩේ. මොකද අනෙක් දේවල් අදාළ අංශ භාර අය කරනවානේ. හැබැයි මගේ පුටුව පිටුපසින් ප්‍රශ්න තොගයක් තිබුණා. ඒත් ඒ කිසි දෙයක් නොතකා මම රූපරාමු සහ නළුනිළියන්ගේ රංගනය ගැන අවධානය යොමු කළා. සංස්කරණය කළාට පස්සේ තමයි සමහරු පුදුමයෙන් වගේ ඇහුවේ කොහොමද මේ දේවල් එකට ගැළපුවේ කියලා. ඇත්තෙන්ම මේකත් සික්ස් අ සයිඩ් මැච් එකක් වගේ තමයි කළේ. හැබැයි මගේ ඔළුවේ හැම දර්ශනයක්ම ගැළපිය යුතු විදිහ ගැන පැහැදිලි සැලැස්මක් තිබුණා. ඒ වෙනුවෙන් වැඩ කරද්දි සමහර විට යම් ආත්මාර්ථකාමී ස්වභාවයක් පෙනුණද දන්නේ නැහැ. ඒත් නිර්මාණය සාර්ථකව පෙනෙද්දි ඒ සියල්ල දුරු වෙලා ගියා.

මෙවැනි නිර්මාණයකදි කැමරාව, සංස්කරණය සහ සංගීතය වැනි අංගත් ඉතාම වැදගත්?

නදීක ගුරුගේ තමයි මෙහි සංගීතය. මට දැනුණා ඔහුට මෙය අහුවෙයි කියලා. චරිතවලින්, දර්ශනතලවලින් කරන්න බැරි ආධ්‍යාත්මික ප්‍රකම්පනය ඔහුට කළ හැකි වෙයි කියා මට දැනුණා. ඒ්ක හරියටම ඔහු කළා. හොඳ ප්‍රතිකර්මයක්  සමස්ත නිර්මාණයට සංගීතයෙන් ලබා දුන්නා. කැමරාව කළේ උපුල් ප්‍රජාත්.

ඔහුට හොඳට ගම තේරෙනවා. මැටිගෙවල්, කැලෑව ඇසුරෙන් මම ඉල්ලන්නේ මොකක්ද කියන දේ ඔහුට අවබෝධයක් තිබෙනවා. සංස්කරණය විරංග කැටපේආච්චි. ඔහු බොහෝ වෙහෙසුණා මේ වියමන වෙනුවෙන්. මොකද නිර්මාණයක ලයමානය පෙනෙන්න සංස්කරණයත් වැදගත් නිසා. වේශ නිරූපණය බුවනෙක කළේ. ඇඳුම් අයේෂා  කළේ. ඔවුන් දෙදෙනාගේ සහායත් ඉතාම වැදගත් වුණා නිර්මාණයේ සාර්ථකත්වයට. ඒ වගේම ඈන් ඩන්ස්ෆෝඩ් මහත්මියටත් මෙය නිෂ්පාදනය කිරීම වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා කිසිදු ආර්ථික වාසියක් නොබලා මෙයට යොමු වීම ගැන.

අධියථාර්ථවාදය කියන දේ පිළිබඳ ඔබේ මතය කුමක්ද?

ඇත්තෙන්ම සයිමන් නවගත්තේගම මහත්තයා මේ පොත් ලියද්දි මම මේවා අධි යථාර්ථවාදී ස්වරූපයෙන් ලියන්න ඕනේ කියලා හිතලා ලීවේ නෑ. අපි යථාව කියලා කියන සම්මතයේ තිබෙන්නේ  ඉපදෙනවා වැඩෙනවා කසාද බඳීනවා  ළමයි හදනවා මැරෙනවා කියන දේවල්. ඒත් සමහරුන්ට අහුවෙනවා යථාවට එහා ගිය  ඉන්ද්‍රජාලික දෙයක්. ඒක අල්ලා ගැනීම තමයි අධි යථාර්ථවාදය වුණේ. ගාර්ෂියා මාකේස් අධි යථාර්ථවාදී පොත් ලියන්න උත්සාහ කළේ නැහැ. ඊවා ලූනා වගේ ඒවායේ ලීවේ තමන්ට දැනෙන දේ. ඒ අයට සාපේක්ෂව ඒක තමයි යථාර්ථය. ඒත් අපි ඉන්න තැන 'ගොං' වුණාම අපට ඒක අධි යථාර්ථවාදීව පේන්න ගන්නවා. අත්තෙන්ම සයිමන් මහත්තයා ලීවේ ඔහුට අහු වුණ ගම.     

ඊළඟට මොනවගේ නිර්මාණයකටද යොමුවන්නේ?

නවකතාවක් ලියාගෙන යනවා. එය ඉදිරියේදී එළි දැක්වීමට නියමිතයි. ඒ අතර අලුත් ටෙලි නාට්‍යයකට සූදානම් වෙනවා. එහි නම 'ප්‍රයාණයක්' . මේ සමස්තය අවබෝධ කරගැනීම සඳහා මිස එදිනෙදා විවේකයක් ගන්න කරන දෙයක් නොවෙයි මම කලාව කියා හිතන්නේ. ඒ නිසා මට හිතෙන්නෙ ඉදිරියේදී මම දිගින් දිගටම යොමු වනවා ඇත්තේ ආධ්‍යාත්මික අංශයට බර ටෙලි නාට්‍යවලට පමණයි.