අවුරුදු තිහ පිරුණු දූ දරුවෝ ගැන නාලන් මෙන්ඩිස්ගේ රස මතක

සැප්තැම්බර් 10, 2020

එකදාස් නවසිය අනූවේ ජූලි මාසේ සරසවිය කියවූ අයට මතකද ඒ 23 වැනිදා මේ රටේ පළමුවැනි දීර්ඝ වෘත්තාන්ත ටෙලිනාට්‍යය දූදරුවෝ නමින් රූගත කිරීම් ඇරඹුවා කියා? එය ප්‍රවීණ රංගධර හෙන්රි ජයසේනයන්ගේ පළමු ටෙලි නාට්‍ය සම්ප්‍රාප්තිය කියා? ඒ නාට්‍යයේ ප්‍රධාන හිමිකරුට මෑතක ඒ පුවත්පත් වාර්තාව අහම්බෙන් හමු වුණා. ඉන් පස්සේ මොකද වුණේ කියා ප්‍රවීන ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ නාලන් මෙන්ඩිස් මහතාගෙන් අපි අහමු...

ඉතින් ඒ පත්තර කොළේට මොකද කළේ?

මම ඒක මුහුණුපොතේ දැම්මා 2020 ජූලි 23. කුමාර් ද සිල්වා අයිරාංගනී සේරසිංහ මහත්මිය ගැන පොතක් වෙලාවේ දූදරුවෝ ශිල්පීන් කීපදෙනකු එකතු වීම හරි ලස්සන දෙයක් වුණා. ඒ නිසා මට හිතුණා මේ අවුරුදු 30 පිරෙන මොහොතේ එදා දූදරුවෝ එකේ එදා දූදරුවන් හැටියට හිටිය තරුණ පිරිස එකතු කරන්න. ඒකට මම නිල්මිණි තෙන්නකෝන්, උදේනි අල්විස්, කැළුම් විජේසූරිය, යශෝධා විමලධර්ම, අජිත් ලොකුගේ, ශිරන්ත, කුමාර ජයකාන්ත වගේ අයට අපේ ගෙදරට අගෝස්තු 25 වැනිදා එන්න කියා ආරාධනා කළා. ඒ අය දන්නෙත් නැහැ එකතු වෙනකල් මොකටද කියලා. ඒ වගේම අවුරුදු 30ට කලින් දූදරුවෝ මහ ගෙදරට එක්ක ගිහින් ෆොටෝ ෂූට් එකක් කරන්න ලෑස්ති කළා කීවාම ඒක සර්ප්‍රයිස් එකක් වුණා.

අවුරුදු තිහක් කියන්නේ ලොකු කාලයක්. අදටත් අප අතර ඉන්න ශිල්පීන් ගැන සතුටු වෙනවා වගේම සුදු සීයා, ඩයස් වගේ අප අතර අද නැති පිරිස ගැනත් සිහි කරමු?

මේ ටෙලි නාට්‍යයට හිටිය අයිරාංගනී සේරසිංහ, චිත්‍රා සහ විජේරත්න වරකාගොඩ, බුද්ධි වික්‍රම, නීල් අලස්, වීනා ජයකොඩි, දීපානි සිල්වා, චාන්දනී සෙනෙවිරත්න වැනි රංගන ශිල්පීන් පිරිස ලොකු ආලෝකයක් වුණා. මේ එකතු වුණු පිරිසේ ලොකු විශේෂත්වයක් වුණේ සියලුදෙනාම පාහේ ප්‍රවීණයන් වීම. අද හෙන්රි ජයසේන -සුදු සීයා, එච්. ඒ. පෙරේරා -ඩයස්, ජයලත් මනෝරත්න - පුන්සිරි, චන්ද්‍රා කළුආරච්චි - පුන්සිරිගේ අම්මා, ග්‍රැන්විල් රොද්‍රිගු - දීප්තිගේ කාර්යාලයේ බොස්, ගුණරත්න රංහොටි- සැම්සන්ගේ උදවුකරු වගේම සෝමවීර සේනානායක මහත්මයා කියන්නේ දූදරුවෝ ටෙලි නාට්‍යයේ පදනම නැත්නම් කොඳුනාරටිය මේ සියලු දෙනා අප අතර නැහැ. ඇත්තෙන්ම සුදු සීයා, ඩයස් වැනි අය ඒ චරිතවලට එන්න එකඟ වුණේ නැත්නම් මම කාවද ගන්නේ කියලා අදටත් හිතාගන්න අමාරුයි.

මෙහි පිටපතේ ප්‍රබලත්වය ඔබේ නිර්මාණයට බලපෑ ආකාරය මතකයට එනවා ඇති?

සෝමවීර මහත්මයාගෙන් ලියැවුණු පිටපතේ සාර්ථකත්වය නිසා තමයි එක අතකට මේ නාට්‍යය ගැන අදටත් කතා කරන්නේ. ඔහු මධ්‍යම පාන්තික ජීවිතයේ මිනිසුන් මුහුණ දෙන ගැටලු, ඇතැම් විට සුළු සිදුවීම් වගේ පෙනුණත් ඔහු ඒවා ඉතා මැනවින් නාට්‍යානුසාරයෙන් යොදා ගත්තා. උදාහරණයකට පුන්සිරිගේ විවාහ උත්සවේ ඔහු මනමාලිය -නන්දනිගේ ගෙලේ බඳීන්නේ ආපසු දෙන්නම් කියලා අක්කාගෙන් ඉල්ලගත්ත මාලේ. ඒත් නන්දනීට ඒක තමන්ගේ මඟුල් මාලේ. පුන්සිරි එක සැරයක් කියනවා අක්කට මඟුල් ගෙදරක යන්න මාලේ පොඩ්ඩක් දෙමු කියලා. නන්දනී කියනවා මගේ කර මාලේ මොකටද කාටවත් දෙන්නේ කියලා. සමහර විට ඒවා සුළු සිදුවීම් වගේ පෙනුණත් මේ අප ජීවත් වන සමාජයේ ආර්ථික, සමාජ පසුබිම හොඳීන් කියැවෙන ඒ වගේ අවස්ථා බොහොමයක් තිබුණා දූදරුවෝ පිටපතේ. යශෝරාවය, මවකගේ ගීතය වගේම මැණික් නදිය ගලා බසී වගේ නවකතාවක් ගත්තත් ඔහු සමාජයේ විවිධ තැන්වල සුළු සිද්ධියක් නාට්‍යමය ආකාරයෙන් ගොඩ නැඟුවා. ඒ කතා බලන සමහර ප්‍රේක්ෂකයන් පවා මෙවැනි අත්දැකීම්වලට මුහුණ දී තිබුණ නිසා දූදරුවෝ තමන්ගේම කතාව බවට පත් වුණා. ඒ සමීපතාව නිසා තමයි තවමත් දූදරුවෝ ගැන කතා කරන්නේ.

රක්ෂණ ආයතනයකින් අනුග්‍රහය දැක් වූ නිසා කාලයක් යද්දි විවිධ කතා හැදෙන්නත් ගත්තා මතකද?

(සිනාසී) මතකයි මතකයි, සෝමවීර මහත්තයා මේ කතාව ලීවේ අපේ ජීවිතවල තිබෙන අවිනිශ්චිත ස්වභාවය, අපට මුහුණ පාන්නට වන එදිනෙදා ගැටලු ගැනනේ... ඉතින් සමාජයෙන් විවේචනයක් ආවා සෝමවීර මහත්තයා මේ ලියන්නේ රක්ෂණ ආයතනයට ඕනේ විදිහට කියලා. ඒකට සෝමවීර මහත්තයා දුන්නේ මෙහෙම උත්තරයක්. "මේ ජීවිතේ ප්‍රශ්නයි කලින් ආවේ. ඒවාට පිළිතුරු විදිහට තමයි රක්ෂණය ආවේ." ඇත්තටම අපි පොඩි කාලේ අහල තියෙන්නේ ජීවිත හා වාහන රක්ෂණ ගැන විතරයිනේ. ඒත් අද වෙද්දි සුනාමි වගේම කොරෝනාවලටත් රක්ෂණය තිබෙනවා කියලා රක්ෂණ ආයතන ප්‍රකාශයක් කළානේ. (යළිත් සිනාසෙයි)

තවත් කවට කතාවක් තිබුණා එච්. ඒ. පෙරේරා ගැන?

ඔව්. එච්. ඒ ඩයස්ගේ චරිතයනේ කළේ. ඩයස් කියන්නේ අතගහන කිසිම වැඩක් හරියන්නේ නැති විවිධ අවිනිශ්චිචතාවලට මුහුණ දෙන චරිතයක්. සැරයක් ලර්නර්ස් එකක් දාලා වරදිනවා. රෙදි, කෑමපැකට් විකුණනවා ඒවා අසාර්ථක වෙනවා. ඉතින් සමහරු කීවේ අසාර්ථක වන ඩයස් වැනි චරිතවලට රක්ෂණයෙන් පිළියම් තිබෙනවා වගේ පේනවා කියලා. ඒ අතර එච්. ඒ. බොහොම ගෞරවාන්විතව කීවාම "මම කිසිම දවසක ටෙලිවිෂනයේ වෙළෙඳ දැන්වීමක පෙනී සිටලා නැහැ කියලා. එතකොට අනෙක් අය විහිළු කළේ ඒ කළ මුළු චරිතයම ඇඩ් එකක් වගේ තමයි කියලයි. එහෙම කෙනකුට තර්ක කරන්න පුළුවන් වුණේ ඔහු ඉතා සාර්ථකව ඒ චරිතය කළ නිසයි. ඇත්තෙන්ම සියලුම දෙනා තමන් කළ සෑම චරිතයකටම විශාල වශයෙන් සාධාරණය ඉටු කළා.

එවැනි පිරිසක් සමඟ කටයුතු කිරිම මොනවගේ හැඟීමක්ද ගේන්නේ?

ඒ පිරිසත් එක්ක අවුරුදු පහක් වැඩ කළා කියන එකමත් ලොකු අත්දැකීමක්. හිතන්න හෙන්රි ජයසේන, අයිරාංගනී සේරසිංහ, එච්. ඒ්‍ . පෙරේරා, සුනේත්‍රා සරච්චන්ද්‍ර, නීල් අලස්, ජයලත් මනෝරත්න, චාන්දනී සෙනෙවිරත්න වගේ පිරිසක් එක තැනක ඉද්දි අපට කතා කරන්න බැරි මොනවද කියලා. මේ අයගේ අත්දැකීම්, අභියෝග, නිර්මාණශීලීත්වය වැනි ඒ ඉගෙන ගත් දේ වෙන කොහෙන්වත් ගතහැකි දේවල් නෙවෙයි. ඒ වගේම එතැන රස ගුලාවක්.

ඒ කාලේ රස කතා කියන්නත් වෙලාව තිබුණා නේද?

දූදරුවෝ කළ කාලේ ලොකුම විශේෂය තමයි අපි එක කොටසක් රූගත කරන්න දින තුනක විතර කාලයක් ලැබුණා. අද වෙද්දි එක දවසට කොටස් තුනක් කරන්න ඕනේ. ඒකට හේතුව මේ අවුරුදු තිහ පුරාම ටෙලි නාට්‍ය කොටසකට ගෙවන මිල ලොකුවට වෙනස් නොවීම. සමහර වෙලාවට ගෙවීම අඩු වෙලා තිබෙනවා වගේ පේන්නේ. ඒ කාලෙත් කොටසක් ලක්ෂයක් විතර වුණා, අදත් ඒ වගේ මිලක් තිබෙන්නේ. රුපියලේ වෙනස වගේම අනෙක් දේවල් ගැන හිතුවොත් පෙට්‍රල් ලීටරයක මිල එදා රුපියල් 13.50ක් වගේ. අද කීයද? එතකොට කෑම බීම, ඇඳුම් පැලඳුම්? හැමදෙයක්ම දහගුණයකින් විතර මිල වෙද්දි ටෙලිනාට්‍යවල ගෙවීම විතරක් වෙනස් වෙලා නෑ. ඉතින් ඒ කාලේ අපට නාට්‍ය විතරක් නෙවෙයි, ජීවිතේ ගැනත් බොහෝ දේවල් කතා කරන්නත් වෙලාව තිබුණා.

වසර පහක් පුරා මේ පිරිස සමඟ වැඩ කරද්දි මතක සටහන් බොහෝ ඇති?

මතක හිටිය හොඳම අවස්ථාවක් තමයි දීප්තිගේ විවාහ මංගල උත්සවය. ඒකට මේ නාට්‍යයේ රඟපාන චරිත සියල්ලම පාහේ, ඒ කියන්නේ සීයක් විතර පිරිස එකතු වුණා. ඒක ඇත්තම මඟුල් ගෙයක් වගේ. ලොකුම ප්‍රශ්නේ වුණේ මේකයි මේ අය එකිනෙකාට කතාබහ කරන්න බොහෝ දේවල් තිබුණු නිසා නාට්‍යයට අවශ්‍ය විදිහට මේ අයව හසුරුවාගන්නවා කියන එක කොයි වගේද කියලා හිතන්නකෝ. ඒක අධ්‍යක්ෂවරයෙක් විදිහට අපහසුවටම පත් වුණු වෙලාවක් වගේ හිතෙනවා.

තවත් වරක් එච්. ඒ‌ගේ චරිතය, ඩයස්ට තිබුණා දර්ශනයක්, ළඟ තිබෙන කඩේක කෙසෙල් කැනකින් ගෙඩියක් කාලා තේ බොන අතර ගෝලයෙක් ඇවිත් පොඩි දෙබසක් කියනවා 'ආ ඩයස් මහත්තයා' වගේ. ගෝලයාගේ චරිතෙට අපේ කලා අධ්‍යක්ෂගේ සහායට වගේ ආ කෙනෙක්ව හදිසියේ යොදා ගත්තා. ඒ දෙබස කී සැරයක් වැරදුණාද කීවොත් එච්.ඒට කෙහෙල් කැණෙන් බාගයක්ම කන්න වුණා.

තව වතාවක් මනෝ- පුන්සිරි ගෙදරට ආවාම තමයි මව- චන්ද්‍රා කළුආරච්චි තදබල ලෙස අසනීපයි කියල දැනගන්නේ. ඒ පණිවිඩය කියන්න ගෙදරට එනකල්ම හිටියා කියලා කේන්ති ගිහින් ගෙදරින් කඩාබිඳගෙන ඉස්පිරිතාලෙට ගියාම අම්මා නැති වෙලා කියලා දැනගන්නවා. එතැනින් එන්න තිබෙන්නේ මල් ශාලාවේ මළ ගෙදරට. ඒ කොටස අපි කළේ දෙවැනි ෂෙඩ්‍යුල් එකක. ඒකට මාසයක් විතර කල් ගියා. අපි චන්ද්‍රා අක්කාව මිනී පෙට්ටියක එහෙම තියලා අනෙක් කොටස් රූපගත කරමින් ඉද්දි තමයි මනෝරත්න ෂූටින්වලට ආවේ ටිකක් පරක්කු වෙලා. ඒ එද්දි මනෝ කොණ්ඩෙ හොඳටම කොටට කපලා. මම ඕක දැකලා ඇහුවාම මනෝ කීවේ "මම කැපුවේ මගේ කොණ්ඩෙනේ" කියලා. ගෙදරින් කොණ්ඩෙ තරමක් තියෙද්දි ගිය කෙනා කලබලේ මල්ශාලාවට යද්දි කොණ්ඩෙ කපලා ඉන්න බෑනේ. ඉතින් අපි ආපහු මාසයක් විතර ෂූටින් කල්දැම්මා කොණ්ඩෙ වැවෙනකල්.

අද කාලේ හැටියට නම් මළ ගෙදර එද්දි සැලූන් යන දර්ශනයක්වත් දාන්න වෙයි?

(සිනාසී) නැත්නම් සමහර විට ප්‍රේක්ෂකයාටම හිතාගන්න ඉඩ හරී සැලුන් ගිහින් ආවා කියලා. ඒකේ තිබෙන දේ තමයි අපට ඒ වගේ දෙයක් හදාගන්න කාලය තිබුණා. අනෙක ලොකු සැලසුමකින් කළේ. මාසයකට දෙකකට අවශ්‍ය කොටස් කලින් හදාගන්නවා මිස අද උදේ කියන දේ හවස රූගත කරන්නේ නැහැ. අවුරුදු පහක් පිරිසක් එක්ක වැඩ කරද්දි අසනීප වීම්, විදේශගතවීම් වුණ අවස්ථා ඕනෙ තරම් තිබුණා. උදාහරණයක් හැටියට හෙන්රි ජයසේන මහත්තයා- සුදු සීයා කන්තෝරුවෙන් විශ්‍රාම යන දවස. ඔහු පඩිපෙළෙන් හෙමින් බැහැගෙන ඇවිත් හැරිලා බලනවා ආපසු. ග්‍රීන්පාත්වල අධ්‍යාපන කාර්යාලයේ පඩිපෙළ ලස්සන නිසා අපි ඒකට ගත්තේ. සාමාන්‍යයෙන් ඒ අය එක්ක වැඩ කරද්දි තිබුණ ලොකු පුරුද්දක් තමයි ගන්න පළමුවැනි ටේක් එකම හරි දෙවැනි එක හරි ඕකේ වෙනවා. මම පළමුවැනි ටේක් එක ගත්තා අයේෂ්මන්ත හෙට්ටිආරච්චි කැමරාව. මම දැක්කා අන්තිම පඩිය බහිද්දි එකපාරටම කකුල පොඩ්ඩක් පෙරළෙනවා වගේ. මම ඇහුවා මිස්ට ජයසේන කකුල මොකද කියලත්. නෑ මුකුත් නෑ කීව නිසා අපි වෙනත් කැමරා කෝණයකින් ඒ දර්ශනයම අරගෙන ගෙදර ගියා. ඒ කාලෙ අපට දුරකථන පහසුකම් ඇත්තෙත් නැහැනේ. දැනගන්න ලැබුණු ගමන් අපි බලන්න ගියාමයි දන්නේ පළමුවැනි සැරේ කකුල පෙරළිලා වේදනාවෙන් ඉඳන් තමයි කිසි වෙනසක් නැතුව දෙවැනි වරටත් ඒකම කරලා තියෙන්නේ. ඒ තරම් කැපවීමක් ඔවුන්ට තිබුණා.

තවත් වැඩක් වුණා. මුළු රටම දීප්තිගේ චරිතයට බැඳුණා. දීප්තිගේ ඇඳුම අඳීන්න, දීප්ති කට් කියලා කොණ්ඩ මෝස්තරය කපන්න වගේ දීප්ති උන්මාදයක් හැදිලා තිබුණා තරුණ ගෑනු ළමයි අතර. ඔය අතරේ නිල්මිණි ඇවිත් කීවා මෙතනින් එහාට මට නාට්‍යයට එන්න වෙන්නේ නැහැ මම විවාහ වන කෙනා රඟපානවාට 

කැමැති නැහැ කියලා. මේක විශාල ප්‍රශ්නයක්. මොකද දූදරුවෝ පටන් ගත්තෙම නිශ්චිත අවසානයක් එක්ක. තිබුණු එකම විසඳුම දීප්තිව ටික කාලෙකට රට යවන එක. හැබැයි සෝමවීර මහත්තයා හිතපු විදිහටම ආපහු නිල්මිණිම ඇවිත් කීවා නාට්‍යයට එන්න ඕනෙ කියලා. ඒ පාර ඉතින් රට ඉඳන් ගෙන්නුවා. ඒක මූලික කතාවේ තිබුණේ නැහැ. සෝමවීර මහත්තයා කීවා හොඳ වෙලාවට දීප්තිව මැරුවේ නැත්තේ කියලා.

අද කියන 'මෙගා' නාට්‍යවල වගේ?

මෙගා කියන වචනයේ වැරැද්දක් තිබෙනවා. මෙගා කියන්නේ බෙන් හර්, ග්ලැඩියේටර් වගේ දහස් ගණන් නළු නිළියන් යොදාගෙන කරන මහා විශාල නිෂ්පාදනයි. ලෝකේ ලෝං සීරීස් නාට්‍ය කියන්නේ දීර්ඝ වෘත්තාන්ත නාට්‍ය. ඒ වෙද්දිත් ලෝකේ තිබුණා වසර ගණන් කළ නාට්‍ය. තවමත් තිබෙනවා හැටගණන්වල පටන් ගත් නාට්‍ය. ටෙලි සීරීස් කියන්නේ කොටස් 15-20 නාට්‍ය, මිනිසීරිස් කියන්නේ කොටස් හතරපහකින් ඉවර වන ඒවා. අනෙක් වර්ගය සිංගල් එපිසෝඩ් නැත්නම් ඒකාංගික නාට්‍ය.

ලංකාවේ දීර්ඝ නාට්‍යයක් කරලා තිබුණේ නැහැ ඒ වෙනකොට. සෝමවීර මහත්මයා ඕස්ට්‍රේලියාවේ ගිය වෙලාවක ලෝං සීරීස් නාට්‍ය දැකලා, ඒ ගැන ලියැවුණු පොත්පත් කියවලා තිබුණා. ඒවා මටත් කියවන්න දුන්නා. කොටස් පහළොවෙන් විස්සෙන් අවසන් වන්න ඔහු කළ අනෙක් නාට්‍ය ඉතා ජනප්‍රිය වෙලා තිබුණු නිසා ඔහුට මේ දීර්ඝ නාට්‍යයක් කිරීමේ ආසාව තිබුණා. ඒ ගැන විවිධ කණ්ඩායම් සමඟ කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙසයි දූදරුවෝ පටන්ගන්නේ. නැතුව කොටස් කීපයක් කරද්දි ආසාවට කළ එකක් නෙවෙයි. ඔහු ගෙනා පොත්වල දීර්ඝ ටෙලි නාට්‍යවලට ආවේණික ප්‍රශ්න සහ ඒවාට විසඳුම් දෙන ආකාරත් කියා තිබුණා. ඇක්සිඩන්ට් එකකින් පස්සේ ප්ලාස්ටික් සර්ජරි කරලා මූණ වෙනස් කරලා ගේන ක්‍රම වගේ ඒවා. සමහර ෂෙඩ්‍යුල් කරන්නේ වෙන අධ්‍යක්ෂ වරයෙක්. ඒ හැර ලෝකේ කොහෙවත් නැහැ මේ වගේ අද උදේ කරලා හවස පෙන්වන නාට්‍ය හෝ සෙට් එකේ කවුද ඉන්නේ කියලා අහලා ඒ අයට සීන් ලියලා එවන ක්‍රමයක්. හැබැයි අපටත් දූ දරුවෝ අලුත් අත්දැකීමක් වුණ නිසා ඒ එන ප්‍රශ්න අනුව පිළිතුරු හෙව්වා.

දූ දරුවෝ ඔබේ ජීවන මඟ වෙනස් කළා?

ඇත්තෙන්ම. මොකද දූදරුවෝ පටන් ගන්නකොට මම පුහුණු විද්‍යා ගුරුවරයෙක්. මුලින්ම දූදරුවෝ කරන්න හිටියේ මම නෙවෙයි සුදත් දේවප්‍රිය. ඒත් රැකියාවෙන් අස්වෙන්න ඔහුට හැකියාවක් තිබුණේ නැහැ. සුසිල නිෂ්පාදන ආයතනය මට කතා කරද්දිම සුදත් නොගත්ත තීරණය මට ගන්න වෙනවා කියලා දැනගෙනයි ගියේ. මම පළමු රූපගත කිරීම් පටන් ගත්තේ පාසල් නිවාඩු කාලේ. මේ රාජකාරි දෙක එකට කරන්න බැරිබව මටත් තේරුණා. රූපවාහිනී මාධ්‍ය අලුත්. මම විශ්‍රාම වැටුපක් සහිත රැකියාවක් කරන්නෙක්. වාසනාව ගැන මම වැඩිය විශ්වාස නොකළාට 90 වසරේ චක්‍රලේඛයක් ආවා රජයේ සේවකයන්ට වසර 10ක සේවා කාලයක් තිබෙනවා නම් කලින් විශ්‍රාම ගත හැකියි කියලා. මම ඒකේ ඉල්ලුම්පත්‍රය අධ්‍යාපන කාර්යාලයට බාර දුන්නට හවස ඒවා එහෙම්ම ගෙදර ආවා. ඒ අසල පාසලේ මගේ බිරිය ගුරු වෘත්තියේ නිරත වන නිසා යාළු කමට ඒ අය ඒ ඉල්ලුම්පත් ටික ඇයට දීලා. ආයෙ ඉතින් කතාබහ කරලා හිත හදලා ආයෙත් ගිහින් දුන්නා. ඒකෙන් නියමිත දිනට කලින් අයැදුම්පත දීමට ලැබෙන දිරි දීමනාව පමණයි මට අහිමි වුණේ. දූදරුවෝ දිගු නාට්‍යයක් නිසා මුල්ම වරට ඉරිදා රාත්‍රී 7.30ට වේලාව රූපවාහිනියෙන් නාට්‍යකට වෙන් කළා. පසුව ඉරිදා 8.30 වෙන් කරලා දුන්නා. මේ සමඟ නාට්‍ය රැසක් මට ලැබුණා. නිෂ්පාදකවරුන් මට කිසිම බලපෑමක් කළේ නැහැ. අවදානමක් අරගෙන රැකියාවෙන් අස් වුණාට මම ගත් තීරණය හරි කියා අදත් මට හිතෙනවා. ඕනෑම දෙයක් වෙනුවෙන් කැප වුණොත් එන බාධක මැඩගෙන ජය ගන්න පුළුවන්.


ඔය පිරිස එකතු වෙලා නිකම්ම විසිරිලා ගියාද?

මේ අවුරුදු 30 පුරාම නාට්‍ය බලපු අය, බලන අය වගේම ක්ෂේත්‍රයේ අය දූදරුවෝ ගැන තවම කතා කරනවා. ඒ තමයි ලංකාවේ පළමුවරට කෙරුණු දීර්ඝ නාට්‍යය. 1990 දෙසැම්බර් සිට 1995 දෙසැම්බර් දක්වා කොටස් 230 ක් විකාශය වුණා. පේ‍්‍රක්ෂකයන් ආදරෙන් වැලඳ ගත්තා. දොස් කියූ අයත් හිටියා. මේ නාට්‍යයෙන් පසු ඒ ඒ ශිල්පීන් වෙන වෙනම මිස තරුණ පිරිසවත් එකම නාට්‍යයකට එකතු වෙලා නැහැ. ඉදිරියෙදී මගේ අදහසක් තිබෙනවා ඒ පිරිස එකතු කරලා ඒ සමඟම අද කාලේ විවිධ ටෙලි නාට්‍යවල දරුවන් ලෙස රඟ පෑ පිරිසකුත් ඉන්නවානේ ඒ අයත් එකතු කරගෙන සති අන්තයේ වගේ පෙන්විය හැකි සීමිත කොටස් ගණනකින් යුතු ටෙලි නාට්‍යයක් කරන්න.