රන්තිලි වැව ඇතුළේ අප නොදන්න කතාව

සැප්තැම්බර් 10, 2020

රන්තිලි වැවේ දාස වෙද මහතාට මුතු මැණිකේ හිමිවේද? ජේමිස්ට පේ‍්‍රමාගෙත් දුවගේත් ආදරය දිනාගත හැකිවේද? මෙය සත්‍ය කතාවක්ද? පොතකින් උපුටාගත්තක්ද? මේ සියල්ල පිළිබඳ මුහුණු පොතේ මෙන්ම ප්‍රේක්ෂකයන්ගේ සන්තානයේ නිරන්තර නැඟුණු පැන අපට අසන්නට ලැබිණි. ඒ නිසා අපි රන් තිලි වැව තිර රචක උදය ප්‍රියන්ත කංකානම්ගේ සහ අධ්‍යක්ෂ චනික පෙරේරා සමඟ මෙසේ කතා බහක යෙදුණෙමු.

උදය, අපි කෙළින් කතා කරමු, රන්තිලි වැව සම්පූර්ණ පරිකල්පනයක්ද? සත්‍ය කතාවක්ද?

මේ කතාවට ඇත්ත කතාවකුත් පදනම් වුණා. අපේ අධ්‍යක්ෂ චනික (පෙරේරා) අය්යා වෙන වැඩකට පසුතල සොයන්න කුරුණෑගල යද්දි පොඩි කඩයක් ළඟ හිටිය සීයා කෙනෙක් ඇහුවා මේ වැව ගැන දන්නවාද පුතා කියලා. ඒ වැව හදන්න ආපු ප්‍රශ්නවලට පිළියමක් හැටියට බිල්ලක් දෙන්න ඕනෙ වෙලා. වැව එහා පැත්තේ හිටිය කුලහීන තුන් කුලුඳුල් පිරිමි කෙනෙක් වැවට තියලා මැටි ගහලා තිබෙනවා. කුලහීනයකු නිසා කාගෙන්වත් විරෝධයකුත් නැහැ. ඒ කතාව තමයි වස්තු බීජය හැටියට චනික අය්යාගේ හිතේ පැළ වෙලා මට කීවේ මේ විදිහට කතාවක් ලියමු කියලා.

ඒ කියන්නේ කොහොමහරි දාස බිලි දෙන්නම තීරණය කළාද චනික?

ප්‍රේක්ෂකයන් නම් මුහුණු පොතේ පවා ඉල්ලා සිටියා දාස මරාදමන්න එපා කියලා. එය තරමක පීඩනයක්. අනෙක සමහරු ඊළඟ සතියේ නපුරන්ට නයා ගහපිය වගේ ඉල්ලීම් කළා. ඒ අපේක්ෂා ඉටු නොවෙද්දි ප්‍රේක්ෂකයන් තරහා වෙයිද කියලත් බය හිතුණා. ඒත් ඇත්තෙන්ම ඒ නාගයාගේ කොටස කරන්න සෑහෙන මහන්සියක් වුණා. බොහෝ දුරක් වේවැල් පෙට්ටියක ගමන් කරපු මහන්සියට මත් වෙලා වගේ හිටිය නයා කැලේ දර්ශනය පටිගත කරද්දි වේගයෙන් ඇදිලා ගිහින් හැංගුණා. පස්සේ බොහොම අමාරුවෙන් තමයි හුඹහක් අස්සට යන්න හදද්දි ආපසු අල්ලා ගත්තේ. ප්‍රේකෂකයා වගේම කතාව ඉල්ලන ඉරණමක් තිබෙනවානේ. හෙට සියල්ල දැන ගන්න පුළුවන් වෙයි.

ඔබ දෙදෙනා මේ වගේ පිටපතක් ලියා මෙවැනි ටෙලි නාට්‍යයක් කළ යුතුයි කියා හිතන්න හේතුව?

චනික- අපි දෙන්නා විවිධ ටෙලි නාට්‍ය කළා. තව ඉදිරියට රහස් පරීක්ෂක ගණයේ කතාවක් එන්නත් තිබෙනවා. බ්‍රහ්ම මූර්තය, භවචක්‍ර වගේ ටෙලි නාට්‍ය කළෙත් මම. ඒත් සමහර විට වෘත්තීය කලාකරුවන්ට ක්ෂේත්‍රයේ පවතින්න මොනවා හරි කරන්නත් වෙනවානේ. ඒ වෙනුවෙන් කරන සමහර නාට්‍ය තිබෙනවා. ඒවා අපි ආසාවට වඩා බඩවියත රැකගැනීම වෙනුවෙන් කරන දේවල්. හැබැයි රන්තිලි වැවෙන් පස්සේ රැල්ලට යන නාට්‍ය කිරීම පිළිබඳ දෙසැරයක් හිතන්න වෙනවා. මොකද මේ තමයි අපේ ඇත්තම රසය.

උදය, තිර රචනයක් යන්න ඔබ හඳුනා ගන්නේ කොහොමද?

ඕනෙම තිර රචනයක් කතාවට අදාළවනේ නිර්මාණය කරගන්නේ. හැබැයි අද නළු නිළියන්ගේ කාර්යබහුලත්වය සහ වෙනත් ප්‍රශ්න නිසා එදිනෙදා එන ප්‍රායෝගික ප්‍රශ්න ආදිය සමඟ මෙගා නාට්‍ය ආදියේත් තිර රචනා කර තිබෙනවා. 'චායා', 'උතුම් පැතුම්', 'ආදර දෑසක්', 'නිසල සඳ ඔබ' වැනි තිර රචනා කළේ මම. ඒවා එදිනෙදා ජීවිතයේ සිදුවීම් පිළිබඳ කළ රචනා. ඒත් රන්තිලි වැව 1950 දශකයේ කතාවක් නිසා විශාල අධ්‍යයනයක් කරන්න වුණා. අඩුම ගානේ අච්චාරුවක් හැදුවා නම් ඒ කාලේ අච්චාරු හැදුවද? ඒ කොහොමද කියලත් හොයන්න වෙනවා.

පනහ දශකය වනවිට ආරච්චිල කෝරලේ වැනි තනතුරු ගැනත් සෙව්වාද?

රන්තිලිවැව කාල වකවානුව සුද්දා ලංකාවට නිදහස දුන්නු සමය. ගම්මුලාදෑනි, කෝරලේ, ආරච්චිල වැනි තනතුරුවල බලය අවම වී ගියත් රාජ්‍ය නිලධාරීන් පත් කොට නිසි පාලන තන්ත්‍රයක් ඇති කරන තුරු වෙලේ විදානේලා ආරච්චිලලා තම ඇඳුමෙන් සැරසීගෙන රාජකාරි කටයුතු කර තිබෙනවා. ඔවුන් එකවර ඉවත් කර නැහැ. 'දැන් සුද්දගෙ කාලෙ කෙරුම් කොරන්න බෑ' වැනි දෙබස් ඇතුළත් වන්නේ ඒ නිසයි.

ටෙලි නාට්‍යයේ භාෂා භාවිතය පවුලෙන් පවුලට වෙනස්?

මෙහි රූපගත කිරීම් ගල්ගමුව වැනි පෙදෙසක කළත් රුහුණුකරයේ සිදුවීම් පෙළක් ලෙසයි කතාව දිගහැරෙන්නේ. රුහු‌ණෙත් ඔහොම වැවක් තිබෙන්න පුළුවන්නේ...නිර්මාණයකදි සැබැවින්ම මහපොළොවේ තිබෙන දේ ඒ අයුරින්ම යොදාගන්න බැහැ. එහෙනම් රන්තිලි වැව කියලා වැවකුත් මේ ලෝකෙ කොහේවත් නෑනේ. එය මන:කල්පිත නමක්. භාෂා හැසිරවීම චරිත අනුව වෙනස් කර තිබෙන්නේ හේතු ඇතිව. මුතු මැණිකෙ සිදාදියට ගිහින් ඉගෙනගෙන ආ කෙනෙක්, ඒ වහර හේනේ මාමලා නැන්දලාගේ පවුල්වලින් එන දාසට සමාන වෙන්නේ නැහැ. අනෙක රුහුණෙ මැණිකෙලා නැහැ. ඒත් ආරච්චිල මහනුවරින් මැණිකේ කැන්දන් ආ බව කතාවේ කියැවෙනවා. අනෙක උප සංස්කෘති මිශ්‍රවන විට පුද්ගලයන්ගේ වහරත් කලවම් විය හැකියි.

ඔබ තිර රචනය පිළිබඳ විධිමත්ව හදාරා තිබෙනවාද?

මම අධ්‍යාපනික වශයෙන් කිසිම හැදෑරීමක් කළේ නැහැ. අධ්‍යයනයෙන් තමයි ඉගෙන ගත්තේ. මම මුලින්ම පුවත්පත් කලාවට ආසා කළේ. යොවුන් පුවත්පතක් කළා. සිරස ටීවී ඔස්සේ තූර්යා විකාශය වෙද්දි ඒ සමඟ නිකුත් කළ සඟරාවේ සංස්කාරක ලෙස කටයුතු කරද්දි තමයි සන්ධ්‍යා මෙන්ඩිස් මහත්මිය හමු වුණේ. ඇයගේ සුසිල නිෂ්පාදන ආයතනයට සම්බන්ධ වීම මට විශාල රුකුලක් වුණා. ඊට පස්සේ නිල්වලා ආයතනයේ ලලිත් වසන්න මහත්මයා සහ උපුල් ජයසිංහ මහත්මයා චායා ටෙලි නාට්‍යය තනියම ලියන්න බාර දුන්නා. ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ලියූ තිර රචනා විශාල සංඛ්‍යාවක් අධ්‍යයනය කළා. මම වැලිගම සිද්ධාර්ථ විද්‍යාලය හා දික්කුඹුර සිද්ධාර්ථ විද්‍යාලවලට ගියේ. චනික අය්යාත් වැලිගම එකම ඉස්කෝලේ ඉඳලා තියෙන්නේ. ඒත් අපි හමු වුණේ කොළඹදි අංකල් සෑම් කරද්දි. අපේ තාත්තා ගමේ වේදිකා නාට්‍ය කරලා තිබෙනවා. එච්චර තමයි මගේ පවුලේ කලා පසුබිම. හැබැයි මම චිත්‍රපට බලනවා සෑහෙන්න.

චනික, මෙතෙක් ඔබේ ගමන ගැනත් කියමු?

මගේ පළමු ටෙලි නාට්‍යය සඳ ගොම්මන් රෑ, ඉන්පස්සෙ බ්‍රහ්ම මූර්තය, භව චක්‍ර, අළු වගේ මම කැමැති වර්ගයේ ටෙලි නාට්‍ය වගේම රැඳී සිටීම වෙනුවෙන් බොහෝ නිර්මාණ කර තිබෙනවා. ඇත්තෙන්ම මම මේ ක්ෂේත්‍රයට එන්නේ සංගීත කණ්ඩායමක ලීඩ් ගිටාර් වාදයකයකු ලෙස. සමන් වීරමන් මහත්මයා තමයි මාව සිනමා ක්ෂේත්‍රයට සම්බන්ධ කළේ. ඔහු මට යම් අභියෝගයක් දුන්නා එක් පුද්ගලයකු සමඟ චිත්‍රපටයක් කරන්න. මගේ පළමුවැනි සිනමා නිර්මාණය එය. එහි සංගීතය කළෙත් මම ඒ ගීත දෙක උලෙළ සඳහා නිර්දේශත් වුණා. මම කැමරා සහාය අධ්‍යක්ෂවරයකු ලෙසත් කටයුතු කර තිබෙනවා. පිටපත් රචනයටත්, සහාය අධ්‍යක්ෂණයටත්, සංගීතයටත් සම්බන්ධ වුණා. අළු ටෙලි නාට්‍යයේ සංගීතයත් කළේ මම. තවත් කීපයක අධ්‍යක්ෂණය සමඟ සංගීතය කළා.

එහෙනම් ඔබ මෙයට සමන්ත පෙරේරා වගේ සංගීතඥයකු යොදා ගත්තේ?

චනික- මට අවශ්‍ය වුණා මේ නාට්‍යයට කේමදාස මාස්ටර්ගේ ආර ලබා ගන්න. එයට හොඳම කෙනා සමන්ත පෙරේරා මහත්මයා කියා හිතුණා. රන්තිලි වැවේ සමහර අවස්ථා ගැන ප්‍රේක්ෂකයන් වැඩියෙන් කතා කරන්නේ ඒ සංගීතය හරියටම රූපරාමුවට ගැළපෙන්න යොදාගත හැකි වුණු නිසා. සහාය කැමරා අධ්‍යක්ෂවරයකු ලෙස මට තිබුණු අත්දැකීමත් මේ කතාව අධ්‍යක්ෂණයේදී රූපරාමු වඩා තීව්‍ර කරගන්න අවශ්‍ය නිවැරැදිම කාචය ආදිය තීරණය කිරීමට උපයෝගී වුණා කියලා දැනෙනවා. ඇත්තෙන්ම අධ්‍යක්ෂවරයකුට මේ සියල්ල පිළිබඳ අවබෝධයකින් සිටින විට දර්ශන තලයේ කටයුතු බොහොම සැහැල්ලුවෙන් කරන්න පුළුවන්.

උදය- ඒ වගේම මටත් අවස්ථාවක් ලැබුණා රන්තිලිවැවට මා ලියූ තේමා ගීය ඔහු වැනි ප්‍රවීණයකුගේ හඬින් ප්‍රේක්ෂකයන් වෙත ගෙනයන්න.

අධ්‍යක්ෂණය කියන දේ චනික නිර්වචනය කරන්නේ කොහොමද?

රූප රාමුවේ ප්‍රමුඛව පෙනෙන චරිතවල සිට ඈත නොපෙනෙන කෙළවර දක්වාම වූ සියලු දේට වගකියන්නා. ඔහුට අන් සියලු අනුශාංගික අංග පිළිබඳ හොඳ අවබෝධයක් තිබිය යුතුයි. චරිත පිළිබඳ හොඳ අවබෝධයක් තමන්ට මෙන්ම රංගන ශිල්පීන්ට ලබා දුන් පසු ඔවුන් මෙහෙයවා ගැනීම පහසුයි. මෙතනදි මම කිව යුතු දෙයක් තිබෙනවා, මගේ නිර්මාණවලදි මම කිසිවිදිහකින් පණ්ඩිත ශිල්පීන් ගන්නේ නැහැ. ඔහු හෝ ඇය කොයිතරම් ජනප්‍රිය වුණත්, කොතරම් සම්මාන දිනා තිබුණත් මට එය අදාළ නැහැ. එහෙම සමහරු කතාවට අදාළ නැති දේවල් අවබෝධයකින් තොරව කරන්න හදනවා. මම වැඩ කරන්නේ කතාබහ කරලා නම්‍යශීලීව චරිතයට පිවිසෙන ශිල්පීන් සමඟ පමණයි. ක්ලීටස් මෙන්ඩිස් මහත්මයා හොඳම උදාහරණයක්. ඔහු කෙතරම් ප්‍රවීණ වුවත් එදා වගේම අදත් කැපවීම, නම්‍යශීලීත්වය, සහයෝගය අතිශයින්ම අගය කළ යුතුයි. ඒ වගේම රන්තිලි වැවේ සියලුම ශිල්පීන් පුදුමාකාර සහයෝගයක් සහ කැපවීමක් මේ නාට්‍යය සාර්ථක කරගැනීම සඳහා ලබා දුන්නා. තව දෙයක් ඕනෑම ප්‍රවීණ හෝ නවක ශිල්පියකු සමඟ කටයුතු කිරීම අපහසු වන්නේ මේ විෂයය පිළිබඳ අධ්‍යක්ෂවරයා හරියට නොදන්නවා නම් තමයි. සමහර ප්‍රවීණ නළු නිළියන් අධ්‍යක්ෂවරයාගෙන් අහන ප්‍රශ්නවලට හරි පිළිතුරක් දෙන්න තරම් තාක්ෂණික ඥානය තිබෙනවා නම් එය ඔවුන්ට වැටහෙනවා. ඒ වගේම රූප රාමු ඡේදනය වන ආකාරය පිළිබඳ පැහැදිලි අවබෝධයක් තිබෙනවා නම් එක කැමරා කෝණයකින් ගතහැකි සියලු දර්ශන කළමනාකරණය කරගත් විට හැමෝටම කටයුතු පහසු වෙනවා.

උදය, ඔබ තිර පිටපත ලියද්දි අධ්‍යක්ෂවරයා සමඟ ගනුදෙනු කරන්නේ කොහොමද?

උදය- අනෙක් අධ්‍යක්ෂවරු සමඟ කටයුතු කරද්දි නම් වස්තු බීජය ලබා දුන් පසු මූලික කතාවෙන් පසු සිද්ධි ටික තනිවම ගොඩ නඟලා වන්ලයින් එකක් හදාගෙන දෙවැනුව තමයි සම්පූර්ණ පිටපත ලියන්නේ. හැබැයි මට ඇත්තෙන්ම ලේසියි චනික අය්යාත් එක්ක කටයුතු කරද්දි. අපි සිද්ධියක් ගානේ කතා කරනවා. රණ්ඩු වෙනවා අවසාන වශයෙන් එකඟතාවකට එනවා. තනි පුද්ගලයා පිටපත ලියා අධ්‍යක්ෂණය කිරීම හොඳයි කියා මුලින් හිතුවත් දැන් මට හිතෙනවා අධ්‍යක්ෂවරයා හා පිටපත් රචකයා දෙදෙනකු වන අවස්ථාවේදී නිර්මාණාත්මක ගුණය වැඩි වෙනවා කියලා.

චනික- තනිවම කතාව ලියා අධ්‍යක්ෂණය කිරීම පහසුයි හැබැයි රන්තිලිවැවත් එක්ක බැලුවාම දෙදෙනකුගේ අදහස් එකතු වීමෙන් එන විචිත්‍රත්වය අපි දකිනවා. ඒ සඳහා තිර රචකයා සහ අධ්‍යක්ෂවරයා අතර හොඳ අන්‍යෝන්‍ය අවබෝධයක් තිබිය යුතුයි. මම සමහර නිර්මාණ නොගැළපීම් නිසා අතහැරි අවස්ථාත් තිබෙනවා.

හොඳ තිර රචකයන් හිඟයි කියන කතාව ඇත්තද?

උපුල්- මම දකින්නේ නම් ඕකේ වෙන පැත්තක්. ලංකාවේ බොහෝ දක්ෂ තිරරචකයන් සිටියත් නාළිකාවලින් ඉල්ලන දේ දෙන්න ගිහින් තමයි ඒ අය අමාරුවේ වැටෙන්නේ. වෘත්තිමය පිටපත් රචකයන් ඒ රැල්ලට නොගියොත් ජීවත් වීමේ අපහසුවක් තිබෙනවානේ. නිෂ්පාදකවරුන් කැමැති නැහැ ඔවුන්ගේ මුදල් අවදානමක දාන්න. ඒ නිසා නාළිකාවලින් දෙන කතා ගොඩනඟන්න වන අවස්ථා තිබෙනවා. තවත් වෙලාවට මෙගා නාට්‍ය කොටස් සියයක් විතර විකාශය වෙද්දි තිර රචකයන් මාරු වනවා. කලින් කෙනා ලියූ චරිත ලක්ෂණ අධ්‍යයනයෙන් තොරවයි දෙවැන්නා ලියන්නේ. එවිට කතාවේ ගැටලු ඇති වන්න පුළුවන්. සමහර වෙලාවට කොතරම් හොඳ කතා ලීවත් අධ්‍යක්ෂවරයාගෙන් සාධාරණයක් ඉටු නොවුණ අවස්ථාත් තිබෙනවා. එහි අනෙත් පැත්තත් එහෙම තමයි.

චනික- කලාවට සම්බන්ධ නැති නිෂ්පාදකවරුන් බොහෝ වෙලාවට ක්ෂේත්‍රයට එන්නේ මේ කටයුතු පිළිබඳ අවබෝධයකින් තොරවයි. සමහර වෙලාවට ඔවුන්ට තිබෙන්නේත් පටු අරමුණු. පිටරටවල නම් එහෙම නැහැ. හැබැයි ටෙලි නාට්‍යයක සෑම රූප රාමුවකටම වගකියන්න ඕනෙ අධ්‍යක්ෂවරයා.

ඔබ රූපවාහිනී ප්‍රේක්ෂකයා ගැන දරන අදහස?

උදය- පිරිසක් පවතින ටෙලි නාට්‍ය රැල්ලේ එල්ලීගෙන ඉන්නවා. ඒත් කොටසක් ඉන්නවා ඒවායින් වේගයෙන් ඈත් වෙන, ඒ වගේම හොඳ නිර්මාණ සොයන. ඇත්ත කතාව නාළිකාවලින් පෙන්වන රේටිංස් කියන්නේ නියැදියක් පමණයි. එය සත්‍ය නෙවෙයි. අනෙක විදේශීය කසිකබල් ටෙලි නාට්‍යවලින් මේ රටේ ගෙවල්වල ලොකු ප්‍රශ්න වෙලා තිබෙනවා. අපේ සංස්කෘතියේ තිබෙන බොහෝ මිථ්‍යා විශ්වාස කියන දේවල්, උදාහරණයකට කෙම් ක්‍රමවල පවා විද්‍යාත්මක පසුබිමකුත් සොයාගන්න පුළුවන්. අනෙක ලංකාවේ ප්‍රේක්ෂකයා හොඳ බුද්ධියක් වගේම දැනුමක් තිබෙන පිරිසක් බව රන්තිලිවැවට ලැබෙන ප්‍රතිචාරවලින් තේරෙනවා.

චනික- අපේ සමහර ප්‍රේක්ෂකයන් කොයි තරම් සංස්කෘතික වශයෙන් ඒවා නිසා වෙනස් වෙලාද කීවොත් වතුපිටිවල තිබෙන මදුරු තලා ගස්වලට දැන් වන්දනා මාන කරන තත්ත්වයක් ඇතිවෙලා තුල්සි ගස් කියලා. හැබැයි තවත් පිරිසක් ඉන්නවා අපේ මේ රිද්මයට ඇලුම් කරන. ඔවුන් අර ඉතිහාස කතා කීවාම වෙනස් ඇඳුම් ඇඳගෙන, රැවුල් වවාගෙන, හරිම හෙමින් රිද්මයට යන කතා ප්‍රිය කරන අයත් නෙවෙයි. රන්තිලි වැවේ දාස සහ මුතුගේ ආදර කතාව තමයි ඓතිහාසික පසුබිම මූලික වන්නේ. එවැනි ගැමි ආදර කතාවකට ආදරය කරන විශාල පිරිසක් අපට සමාජ මාධ්‍ය ඔස්සේ පවා සම්බන්ධ වෙනවා. සමහරු හිතාගෙන ඉන්නවා ටෙලි නාට්‍යයක් විකාශයට කලින් පූර්ව ප්‍රචාරක පට, ෆේස්බුක් කැම්පේන් ආදිය කළ යුතුයි කියලා. ඒත් කොවිඩ් නිසා ගෙදරට කොටු වූ සමයේ ආරම්භ වෙලා විකාශ කාලය වෙනස් වෙලා ඒ සියලු දේට මූණ දීලත් අද මේ තරම් ප්‍රසාදයක් ලබාගෙන ඉන්නේ අපි ඒ ප්‍රචාරක මතවල‌ට කළ අභියෝගයක් ලෙසයි. අනෙක අනවශ්‍ය ලෙස ඇවිදගෙන එන දර්ශන ආදී දීර්ඝ කිරීම්වලින් තොරව කතාවේ ගලායෑමට හානි නොවන අයුරින් ඉදිරිපත් කරන නිර්මාණවලට බුද්ධිමත් ප්‍රේක්ෂකයන් ආකර්ෂණය වනවා.

රන්තිලි වැවෙන් පසු තිරරචකයකු ලෙස ඔබේ ස්ථාවරය කුමක්ද?

මුලින් මටත් පොඩි කුතුහලයක් තිබ්බා, ප්‍රේක්ෂකයන් මෙය කෙසේ බාර ගනීද කියලා. පළමු කොටස් පහෙන් පසු එය විශ්වාසයක් බවට පත්වෙලා තිබෙනවා. ඇත්තෙන්ම ආර්ථික ප්‍රශ්න නැති වුණොත් දැඩි අධිෂ්ඨානයකට එන්න පුළුවන් ඉහළ රසඥතාවයකින් යුතු ටෙලි නාට්‍ය පමණක් ලියන්න. හැබැයි මගේ මෙගා නාට්‍යවලදීත් මම හැමතිස්සෙම උත්සාහ කළේ මිනිසුන්ට වස පොවන, සියදිවි නසා ගන්න පුරුදු කරන්නේ නැතිව සමාජයට යම් පණිවිඩයක්, සුබවාදී ආකල්පයක් ලබා දෙන්නයි.

ඔබ මේ මොහොතේ තුති පුදන්නේ?

උදය- රන්තිලිවැව නිෂ්පාදිකා නුවනි වලිමුණිට. මගේ ගෙදර අයට. නම් වශයෙන් සඳහන් නොකළත් තේ හදන කෙනාගේ සිට අධ්‍යක්ෂවරයා දක්වා සියලු දෙනාගේ දායකත්වය නිසා සහ මෙයට ආදරය කරන ප්‍රේක්ෂකයන් නිසා තමයි මේ නිර්මාණය මෙතරම් සාර්ථක වුණේ.

චනික- රැස් වෙහෙරේ නායක ස්වාමීන් වහන්සේ මේ තිර නාටකයට කැමති වුණ නිසායි අපට දර්ශන තලයක් ලෙස විහාර භූමිය ලබා ගන්න පුළුවන් වුණේ. උන් වහන්සේට එයට බොහොම පිං. ගල්ගමුවේ ජනතාව, බට්ටි වලව්ව, ගලපාත වලව්ව හිමිකරුවන්ටත් තුති පුදනවා. කැමරා ශිල්පී ප්‍රභාත් දර්ශන ඔහුගේත් හැරවුම් ලක්ෂයක් ලෙස සිතාගෙන තමයි ඉතාම අපහසු මටත් බය හිතෙන අවදානම් ස්ථානවල පවා කටයුතු කළේ. මුතුමැණිකේ වැවට වැටෙන අවස්ථාව හොඳම උදාහරණයක්. සංස්කාරක චතුරංග සම්පත් හේවාගේ මා සමඟ කාලයක් වැඩ කළ කෙනෙක්. මේ ටෙලි නාට්‍යයේ රිද්මය ඔහුට හසු වූ පසු අවසන් සංස්කරණයට පමණක් මට සහභාගී වන තත්ත්වයට ඔහු සියලු දේ හොඳීන් කරගෙන ගියා. වේශ නිරූපණය කළ ජනාදර අලුත්ගමගේ අපත් සමඟ බොහෝම උනන්දුවෙන් ඒ කාල වකවානුව පිළිබඳ තැනුණු නිර්මාණ ආදිය අධ්‍යයනය කළා. සහාය අධ්‍යක්ෂ වසන්ත අමරසිංහ සහ නිෂ්පාදන කළමනාකරු නිරෝෂන් නානායක්කාර වගේම රන්තිලි වැවේ සියලු අංශවල යෙදුණු සියලුම දෙනා මේ නිර්මාණය වෙනුවෙන් ඔවුන්ගේ උපරිම දායකත්වය මට ලබා දුන්නා. ඒ වගේම අපට නිරන්තර ප්‍රතිචාර දක්වන ප්‍රේක්ෂකයන්ට අපේ ස්තූතිය පුද කරනවා.

ඔබ දෙදෙනා ඉදිරියේත් එකට කරන්න බලාපොරොත්තු වන නිර්මාණ තිබෙනවාද?

රන්තිලි වැවටත් වඩා ප්‍රේක්ෂක හදවත්වලට දැනෙන මාතෘකාවක් යටතේ වයස් භේදයකින් තොරව, ගමේද නගරේද කියා වෙනසක් නැතිව, මාතෘ ස්නේහය පිළිබඳ දැනෙන හැමෝටම රසවිඳීය හැකි ටෙලි නාට්‍යයක් නිර්මාණය කරමින් ඉන්නේ. ඊට අමතරව තවත් නිර්මාණයක් අපි දෙදෙනා එක්ව ලියාගෙන යනවා. ඒ වගේම දැවැන්ත චිත්‍රපටයක් වෙනුවෙන් අවශ්‍ය සියලු කටයුතු සූදානම් කරමින් ඉන්නේ.

 

තිලක් පෙරේරා