කොරෝනා එක්ක ටෙලි කොහොමද?

ඔක්තෝබර් 15, 2020

පවතින කොවිඩ් 19 තත්ත්වය මත ටෙලි නාට්‍ය රූපගත කිරීම් සුපුරුදු අන්දමින් පැවැත් වෙනවාද, නැත්නම් ඒවා තාවකාලිකව නවත්වන්න කියා දන්වා තිබෙනවාද කියා දැන ගැනීමට අප මේ දිනවල විකාශය වන ටෙලි නාට්‍යයන්හි නිර්මාණකරුවන් කිහිප දෙනෙකුට අපි ඇමතුවෙමු.

ලිලන්ත කුමාරසිරි - නාඩි නාට්‍ය අධ්‍යක්ෂ

අපට දැනුම්දීමක් කරලා නැහැ රූපගත කිරීම් නතර කරන්න කියලා. මේක දිනපතා විකාශය වන නාට්‍යයක් නිසා අපිට රූපගත කිරීම් කරන්න සිද්ධ වෙනවා. කොහොම වුණත් අපි පූර්ණ සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමිනුයි රූපගත කිරීම් සිදු කරන්නේ.

චරිත් කොතලාවල - දෙරණ සහකාර සාමාන්‍යාධිකාරී -

 නාට්‍ය අපේ සියලු නාට්‍ය රූපගත කිරීම් කරනවා. නවත්වන්න කිව්වොත් ඒ තීරණයට හිස නමනවා.

ලලිත් වසන්ත - නීල පබළු නිෂ්පාදක

අපි ගිය අඟහරුවාදා සිට සතියක් රූපගත කිරීම් නැවැත්තුවා. ඒක අපේ නාට්‍ය කණ්ඩායම ගත්තු තීරණයක්. සතියක් විතර ගතවෙනකම් තත්ත්වෙ බලනවා. ඊට පස්සෙයි ආයෙ වැඩ පටන් ගන්නේ.

රවීන්ද්‍ර විජේරත්න - සඳ තරු මල් ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂ

ගිය සැරේ කොවිඩ් 19 පසු අපට සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් චක‍්‍ර ලේඛයක් ලබා දුන්නා. අපි ඊට අවනත වෙලානෙ රූපගත කිරීම් කළේ. මෙවරත් අපි එයට අනුගතව රූපගත කිරීම් සිදු කරගෙන යනවා. අපට නවත්වන්න කියලා නැහැ. එහෙම නවත්වන්න කිව්වොත් කතා දෙකක් නැහැ අපි ෂූටිං නවත්වනවා.

ඉන්දික ධර්මතිලක - ගිරිදේවි අධ්‍යක්ෂක

අපේ නාට්‍යයේ රූපගත කිරීම් කොහොමත් මේ දිනවල සිදු වන්නේ නැහැ. අපි නැවත පටන් ගන්න හිටියේ නොවැම්බර්වල. ඒත් මේ පවතින තත්ත්වය එක්ක ටිකක් කල් දාන්න වෙයි කියලා හිතෙනවා. අපේ රූප ගත කිරීම සිදු වන්නේ අනුරාධපුර එප්පාවලනෙ. අනුරාධපුරයෙනුත් අසාදිතයෙකු වාර්තා වුණා කියලා දැනගන්නට ලැබුණා. කොහොම වුණත් ආයේ ෂූටිං පටන් ගන්නේ රටේ තත්ත්වය ගැන බලලා තමයි.