ගරුඬ මුහුර්තය පොතත් ටෙලිනාට්‍යයක්

පි‍්‍රයාල් වීරසිංහ
ඔක්තෝබර් 22, 2020

මීට සියවසකට පෙර 1900 සිට 1936 කාල පරාසය තුළ සබරගමුවේ මාදොළ ග්‍රාමයේ පැණි හකුරු කර්මාන්තයෙන් ජීවත්වූ ජන කොටසක් වටා නිර්මාණය වූ කතාවක් ගරුඩ මුහුර්තය නව කතාවට වස්තු විෂය විය. එකල ගැමියන් ඉතා සුළු දෙයකින් පවා සම්පුර්ණයෙන් ම වෙනස් මිනිසුන් බවට පත්වීමට තරම් ඔවුන්ගේ මිථ්‍යා ඇදහිලි බලවත්වන ආකාරය සිදුවීම් තුළින් ආකර්ෂණය ලෙස දක්වා තිබීමේ සුවිශේෂීත්වය නිසා මෙම කෘතිය සම්මානවලට පවා පාත්‍ර විය. මෙවැනි සුවිශේෂී නවකතාව ඇසුරු කර ගිනිමින් නිර්මාණය වුණු ගරුඬ මුහුර්තය ටෙලි නාට්‍යය මේ දිනවල ස්වාධීන රූපවාහිනියේ සෙනසුරාදා සහ ඉරිදා දිනවල රාත්‍රී 9 .00 ට විකාශනය වේ. පහත දැක්වෙන්නේ එම ටෙලි නාට්‍යයේ තිරපිටපත් රචක, තේමා ගී රචක, මෙන් ම අධ්‍යක්ෂක, මාධ්‍යවේදී ප්‍රියාල් වීරසිංහ සමඟ සිදු කළ සංවාදයකි.

2017 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළේ හොඳම නවකතාව සහ ස්වර්ණ පුස්තක සම්මාන උලෙළේ අවසන් වටයට තේරුණු නව කතාව ලෙස ගරුඬ මුහුර්තය නව කතාව සම්මානවලින් පිදුම් ලැබුවා. එලෙස සම්මානයට පාත්‍ර වුණු නවකතාවක් ඇසුරින් ටෙලි නාට්‍යක් කරන්න අදහස අවේ කොහොම ද?

කීර්ති වැලිසරගේ අයියා ගරුඬ මුහුර්තය නව කතාව මුද්‍රණය කරලා වෙළෙඳසැලට දාන්නත් ඉස්සෙල්ලා ස්වාධීන රූපවාහිනියේ මම කරපු “අකුරු” කියන සාහිත්‍ය වැඩසටහනට පොත එව්වා. මම ඒ පොත කියෙව්වා.මේක ඇතුළේ නාට්‍යයක් තියනවා කියලා තේරුණු නිසා මම ඒක කීර්ති අයියට කිව්වා. ඔහු ඒකට කැමති වුණා. 2017 ඉඳන්ම තිර පිටපත මම කීර්ති අයියාගේ අනුදැනුමත් එකක් ලිව්වා. ඒ අතරතුරේදී ගරුඬ මුහුර්තය පොතෙන් ටෙලි නාට්‍ය කරමු කියලා තවත් කිහිප දෙනෙක්ම කීර්ති අයියට තියලා තිබුණා. මම මේ පොතෙන් දැනටමත් නාට්‍යයක් කරන්න සුදානම් කර ගෙන තියනවා කියලා කීර්ති අයියා ඒ අයට කියලා තියනවා. ඒ විදිහට ඔහු මාත් එක්ක නාට්‍යය කරන්න සුදානම් වුණා. ඔහු අදටත් මේ ටෙලි නාට්‍යයේ වැඩි දියුණු කරන්න ඕන දේවල් ගැන කථා කරනවා මිසක් මාත් එක්ක මුදල් ගැන කථා කරන්නේ නැහැ. ඇත්තටම ඔහු අවංක සාහිත්‍යකරුවෙක්.

මේ නාට්‍යයේ නිෂ්පාදක, අෂාන් කන්නන්ගර සියලුම දේවල්වලට මට උපරිම සහයෝගය සහ නිදහස දුන්නා.

මේ නාට්‍ය ස්වාධීන රූපවාහිනියේ විකාශය කරන්න සුදත් රෝහණ සභාපතිතුමන් ඇතුළු කළමණාකාරීත්වය මැදිහත් වෙලා සහයෝගය ලබා දුන්නා. පුර්ව නිරීක්ෂණ මණ්ඩලය බලලා නාට්‍ය විකාශයට සුදුසුයි කියලා නිර්දේශ කළාට පස්සේ සුදත් රෝහණ සභාපතිතුමන් නාට්‍යයේ කොටස් වෙන වෙනම බලලා, වැඩි දියුණු කර ගන්න ඕන තැන් පෙන්වලා දීලා අපිට අවශ්‍ය ගුරු හරුකම් ලබා දුන්නා. ඒ පිළිබඳව එතුමාට විශේෂයෙන් ස්තුතිවන්න වෙනවා.

ඔබ මෙම නාට්‍යයෙහි තේමා ගී රචනය, තිර පිටපත් රචනය මෙන් ම අධ්‍යක්ෂක යන භූමිකා ත්‍රිත්වයම දරනවා. ඔබ ඒ භූමිකා ත්‍රිත්වයටම අනුගත වුණේ කොහොම ද?

තිර රචනය සහ තේමා ගී රචනය මම මීට ඉස්සෙල්ලා කරලා තියනවා. ඒවා මට අලුත් දේවල් නෙමෙයි. ගරුඩ මුහුර්තයේ තේමා ගීතය ලියන්න ඕන කියලා මට මුලින්ම අදහසක් තිබ්බේ නැහැ. නාට්‍ය රූගත කරන කොට සරණාගේ චරිතයේ ඇතැම් අවස්ථාවලදී මට තේමා ගීතය මෙන්න මෙහෙම වුණොත් හොඳයි කියලා හිතලා මම තේමා ගීතය ලිව්වා. මේ නාට්‍යයේ සංගීත නිර්මාණ කටයුතු කළේ සමන් ලෙනින්. තිරපිටපතත් රචනා කරලා තියන නිසා නාට්‍ය තුළින් හැඟවෙන දේ දන්නා නිසා තේමා ගීතය රචනා කරන්න මට පුළුවන් කියලා සමන් මට කිව්වා. මම ලියපු තේමා ගීතය මම සමන්ට පෙන්නුවාට පස්සේ ඔහු කිව්වා මේක හොඳයි , මේක ගන්න පුළුවන් තේමා ගීතයක් කියලා . මට විවේක ලැබෙන අවස්ථාවලදී මම තිර පිටපත් රචනා කරනවා. මට අධ්‍යක්ෂණය ගැන ලොකු අදහසක් තිබුණේ නැහැ. නාට්‍යයේ නිෂ්පාදක, මගේ මිතුරන්, මාත් එක්ක එකට වැඩ කරන අය කිව්වා නාට්‍යයේ තිරපිටපතත් මම කරලා තියන නිසා මට ම අධ්‍යක්ෂණය කරන්න කියලා. ගරුඩ මුහුර්තය කියලා තියන්නේ මගේ පළමු අධ්‍යක්ෂණය .

නාට්‍යය තුළින් ඔබ 1900- 1936 අතර ලාංකික සමාජය නිරූපණය කරලා තියනවා. වර්තමානයේදී එවැනි සමාජයක් නිරූපණය කිරීම අභියෝගයක්. ඔබ ඒ අභියෝගය ජය ගත්තේ කොහොම ද?

ඇත්තටම 1900- 1936 අතර ලාංකික සමාජය නිරූපණය කිරීම විශාල අභියෝගයක්. ඇඳුම් පැළදුම්, පරිසර පසුබිම, දෙබස් සියල්ල වෙනස්. ඒ කාලේ සමාජය ගැන අදහසක් ගන්න තැනක්වත් දැන් ඉන්න නළු නිළියන්ට නැහැ.කීර්ති අයියා ලියලා තියන දේ හිතට අරගෙන , ඒ සියල්ල මට හැගුණ විදිහට තමයි මම නළු නිළියන්ට තේරුම් කරලා දුන්නේ. මේ නාට්‍යයේ හැම නළු නිළියක්ම රූගත කිරීම්වලට ඉස්සෙල්ලා චරිතවල දෙබස්, හැසිරීම් රටා හොඳීන් අධ්‍යයනය කළා. විශේෂයෙන් ම අකිල, අනුරාධා උදයන්ති අපැහැදිලි තැනක් නැති වෙනකම්ම චරිතවල දෙබස් හොඳීන් අධ්‍යයනය කළා. තිර පිටපතේ තියෙන දේවල් හොඳීන් ග්‍රහණය කරගෙන හැමෝම කැපවීමෙන් තමන්ගේ චරිතවලට උපරිම සාධාරණයක් සිදු කරනවා.

මෙම නාට්‍යයේ චරිතවලට නළු නිළියන් තෝරා ගැනීමේදී ඔබ සලකා බලන ලද කාරණාවන් මොනවා ද?

පොත කියවල කොට පොත ඇතුළේ හැදිච්ච චරිතයක් තිබුණා. පොතේ ඉන්න පුසුඹි උස මහත ලොකු කෙනෙක්. පුසුඹි කියන්නේ මිනිසුන්ට ගොඩාක් ආදරය කරන, තමන්ගේ ස්වාමීයාව තවත් කෙනෙක් එක්ක බෙදා ගන්න, අනුන්ගේ දරුවන්ටත්, තමන්ගේ දරුවන්ට වගේ ආදරය කරන පරාර්ථකාමීත්වයෙන් උසස් කාන්තාවක්. අපි ඒ වගේ කෙනෙක්ව හෙව්වා. බාහිරින් පොතේ ඉන්න පුසුඹි නොවුණත් පුසුඹිගේ චරිතයේ තිබෙන ආදාරණීය බව , හැසිරීම් වගේ ම අනෙකුත් ගුණාංග හොඳීන් චරිතය තුළින් ඉස්මතු කරන්න පුළුවන්කම අනුරාධා එදිරිසිංහට තියෙන නිසා ඇයව පුසුඹිගේ චරිතයට තෝරා ගත්තා.

උස, මහත, කොණ්ඩය , හැසිරීම අනුව සරණාගේ චරිතයට අකිල ධනුද්ධරව තෝරා ගත්තා. පුසුඹියි ඇගේ සහෝදරියන් දෙන්නාගේ මව විදිහට රඟපාන්නේ උදයන්ති කුලතුංග. මේ චරිතයට ඇයව තෝරා ගෙන ඇයත් සමඟ සාකච්ජා කරද්දී , ඇය මගෙන් ඇහැව්වා, ඒ වගේ මවකගේ චරිතයක් මට කරන්න පුළුවන් වෙයි ද කියලා. ඇත්තටම ඉස්සර කාන්තාවන් විවාහ වෙන්නේ අවුරුදු 17-18 දී . ඒ කාන්තාවන්ගේ දරුවන් විවාහ දිවියට එළබෙන කොට ඒ දරුවන්ගේ අම්මලාට අවුරුදු 35-40 ක් වගේ වෙනවා. ඒ වගේ කාරණා සලකා බලලා තමයි උදයන්තිට මවගේ චරිතය දුන්නේ. මම නළු නිළියන් තෝරා ගත්තේ තිර පිටපත, රචනා කරන කොට දැනුණු හැගුණු විදිහට.

වර්තමානයේදී නවකතා ඇසුරින් ටෙලි නාට්‍ය නිර්මාණය කිරීමේ නව රැල්ලක් පවතිනවා. ඔබත් ඒ රැල්ලට අසු වු නිර්මාණකරුවෙක් ද?

නැහැ. නවකතා ඇසුරු කරගෙන ටෙලි නාට්‍ය නිර්මාණය කිරීම මගේ ලොකු ආසාවක්. මම ඒ විදිහට කරපු නිර්මාණ බොහොමයක් තියනවා. දැනට රූගත කරගෙන යන නිර්මාණ තියනවා. තවත් ඒ වගේ නිර්මාණ ඉදිරියටත් රූගත කරන්න නියමිතව තියනවා. මම පසුගිය කාලේ සාහිත්‍ය වැඩසහන් පවා සිදු කරලා තියනවා. ඒ වගේ ම මම සතියකට අවම වශයෙන් පොත් දෙකක්වත් කියවනවා . මම අනිත් අයටත් සාහිත්‍ය තුළින් නිර්මාණ කරන්න කියලා උපදෙස් දීලා තියනවා. මම ගරුඬ මුහුර්තය කියවලා ඒකේ තියන රූප, හැසිරීම නිසා මම ටෙලි නාට්‍යක් කරන්න හිතුවා. මම ඒක කළා. මම ඉදිරියටත් විශේෂ සාහිත්‍ය නිර්මාණ එක්ක නිර්මාණාත්මක දේවල් කරන්න බලාපොරොත්තු වෙනවා.

ප්‍රේක්ෂකයාට මෙම ටෙලි නාට්‍ය තුළින් ගරුඬ මුහුර්තය නව කතාවම දැක ගන්න පුළුවන් ද?, එහෙමත් නැත්නම් වෙනස් දෙයක් දැක ගන්න ලැබෙයි ද?

නවකතාවේ සාරයට සහ නවකථාවේ කථාවට කිසිම වෙනසක් වෙන්නේ නැහැ. නව කථාව සහ රූපවාහිනිය කියන්නේ මාධ්‍ය දෙකක්. කිර්ති වැලිසරගේ අයියත් එක්ක සාකච්ජා කරලා, ඔහුගේ අනුදැනුම අනුව නව කථාවේ තියන ඇතැම් සිද්ධීන් අපිට රූපවාහිනී මාධ්‍යට ගැළපෙන විදිහට වෙනස් කරන්න වුණා. කිසිම තැනක කථාවට සහ පොතේ සාරයට වෙනසක් වෙලා නැහැ. පොතේ අවසානයට වඩා ටෙලි නාට්‍යයේ අවසානය වෙනස් කරන්න මට අවශ්‍ය වෙලා තියනවා. මම ඒ ගැන කිර්ති අයියත් එක්ක කථා කර ගෙන යනවා. ඔහු ඒකට අකමැති නැහැ.සමහර වෙලාවට පොතේ අවසන් කරලා තියන තැනට වඩා වෙනස් තැනකින් නාට්‍ය අවසන් කරන්න වෙයි.