‘හිනාවෙන බැලුම්බෝල’ - ‘බෝසත් ගමන’

ශ්‍රියන්ත මෙන්ඩිස් රඟන ටෙලි නාට්‍ය දෙකක් පොහොයදා ස්වාධීන රූපවාහිනියේ
ඔක්තෝබර් 29, 2020

මෙම මස 30 වැනිදාට යෙදෙන වප් පොහෝ දිනය නිමිත්තෙන් ස්වාධීන රූපවාහිනි නාළිකාව ටෙලි නිර්මාණ ද්විත්වයක් ඔබ වෙත ගෙන එන්නට සූදානමින් සිටියි. ඉන් පළමුවැන්න ටෙලි චිත්‍රපටයකි. හිනාවෙන බැලුම්බෝල ලෙසට නම තබා ඇති එය පොහෝදා දහවල් 1.00 ට විකාශය වීමට නියමිතය. ස්වාධීන රූපවාහිනියේ නිෂ්පාදනයක් වන එය ප්‍රභාත් දුෂ්‍යන්තගේ අධ්‍යක්ෂණයකි. ශ්‍රියන්ත මෙන්ඩිස් සහ මාධනී මල්වත්තගේ මෙම ටෙලි චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරති. රූපවාහිනි රචනය තනුජා විජේවික්‍රමගෙනි. ගයාන් මහගලගේ සහාය අධ්‍යක්ෂවරයාය. ධම්මික සම්පත් කැමරාකරණයෙන් ද, අරුණ දිසානායක අංග රචනයෙන් ද, චතුර ජයරුවන් කලා අධ්‍යක්ෂණයෙන් ද මෙයට දායක වී තිබේ. ශාලික ඉෂාන් සංගීතවත් කොට ඇත. ලලිඳු ජයකොඩි සංස්කරණ ශිල්පියාය. තිවංක රත්නපාල, ඔසඳ ගමගේ සහාය කැමරාකරණයෙන් ද, අනුර ජයසේකර ඉසව් සම්බන්ධීකරණයෙන් ද, හිමාල් චතුරංග සහ පහන් රූබසිංහ ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමෙන් ද හිනාවෙන බැලුම්බෝල සඳහා එක් වී ඇත.

සුමිත් ගල්හේන අධ්‍යක්ෂණය කළ බෝසත් ගමන අනෙක් ටෙලි නිර්මාණයයි. එය පොහෝදා සවස 2.30 ට ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වේ. පන්සිය පනස් ජාතකය ඇසුරෙන් නිර්මාණය වන බෞද්ධ ඒකාංගික ටෙලි නාට්‍ය මාලාවේ පළමුවැන්න බෝසත් ගමන කතාංගයයි. මෙදින විකාශය වන්නේ මකාදේව ජාතක කතාවයි.

ශ්‍රියන්ත මෙන්ඩිස්, රින්ස්ලි වීරරත්න, ලොයිඩ් ගුණවර්ධන, උදිත ගුණරත්න, ප්‍රියන්ත මංසිළු ශාන් කරන්නාගොඩ, විනෝද් තරංග, අමිල කුමාර, ටී. ඒ. එන්. අසංග ඇතුළු නළු නිළියන් රැසක් මෙහි චරිත මවති. නිෂ්පාදනය සහ ඇඳුම් නිර්මාණය නිමන්ත දිසානායකගෙනි. සිරි ගුණසේකර සහාය අධ්‍යක්ෂවරයාය. සංජීව උපශාන්ත පෙරේරා තේමා ගීතය ගයා තිබේ. සම සංගීත අධ්‍යක්ෂණය ආනන්ද පෙරේරාගෙනි. සුජිත් නිශාන්ත කැමරා අධ්‍යක්ෂවරයාය. උපුල් ගල්අංගගේ කලා අධ්‍යක්ෂණයකි. විරංග කැටපේආරච්චි සංස්කරණ ශිල්පියාය. ඒ. එන්. ධීරසිංහ නිෂ්පාදන කළමනාකරු. ඒ. වී. කබිලාන් සහ ශක්තිවාල් සම නිෂ්පාදකවරුන් වේ. බොසත් ගමන මාලා නාටකයේ රූපවාහිනී රචනය සුමිත් ගල්හේනගෙනි.