දෙරණෙන් අලුත් වැඩක් “පොදු”

නොවැම්බර් 26, 2020

ටීවී දෙරණ ආයතනය මඟින් නිෂ්පාදනය කරනු ලබන නවතම ටෙලිනාට්‍යය වන "පොදු" නොවැම්බර් මස 28 වැනිදා සිට සෑම සති අන්තයකම රාත්‍රී 8.30 ටීවී දෙරණ නාළිකාවේ විකාශය වේ.

ටීවී දෙරණ නාළිකාවේ වැඩසටහන් අධ්‍යක්ෂිකා ශර්මිලා ධර්මරාසා ෆොන්සේකා "පොදු" ටෙලි වෘත්තාන්තය අධ්‍යක්ෂණය කරන අතර එහි පිටපත ධම්මික එස්. විජේවික්‍රම, සුදේශ් උදයකුමාර රචනා කර ඇත.

මෙහි කැමරා අධ්‍යක්ෂණය නිලන්ත කුමාරගෙනි.

නිලූ අලගියවන්න සහ කෞෂි විජේතුංග හොඳම මිතුරියන්. කෞෂිගේ සහෝදරයා ආදිත්‍ය විජේතුංග. මොවුන් යොවුන්වියේ සිටම එකට ජීවත් වූ අය වන අතර පාසැල් අවධියේ සහ විශ්වවිද්‍යාල අවධියේදී විවිධ සිදුවීම් ඔස්සේ ඔවුන්ගේ සබඳතා වැඩී වර්ධනය වෙයි. ආදිත්‍ය විජේතුංග සැමවිටම පොදු ගැටළුවලට විසදුම් සෙවීමට පෙළඹෙන, පෘතුල ලෙස සිතනපතන ප්‍රගතිශීලි අයෙක්. ඒ අතරතුර නිලූගේත් ආදිගේත් ආදරය ඔවුන්ගේ සිත්තුළ ලියලයි. නමුත් විශ්වවිද්‍යාල ජීවිතයෙන් පසු ආදි, සේවය කරන්නේ කෘෂිකර්ම සහ ඉඩම් අමාත්‍ය මහසෙන් ගුණරත්නගේ මාධ්‍ය ලේකම් ලෙස. නිලූ සහ ආදි විවාහ වෙන්නට තීරණය කරයි. නිලූගෙත් ආදිගේත් නම් ප්‍රසිද්ධ කිරීමේ (එන්ගේජ්මන්ට් එක) දිනයේදී ආදිගේ වාහනය අනතුරට ලක්වෙයි. ඉන් ආදි මතකය අමතක වීමේ රෝගයට ගොදුරුවෙයි. තාරුණ්‍ය, විශ්වවිද්‍යාල ආදරය සහ අනෙකුත් මානුෂීය සම්බන්ධතා අතරේ දිවෙන ආදිගේ මතකය නැවත ඔහුට ලැබෙයිද?

ජනක කුඹුකගේ, කලණ ගුණසේකර, අනුරුද්ධිකා පාදුක්කගේ, ගයනි ගිසන්තිකා, කුමාර ජයකාන්ත, හයිසින්ත් විජේරත්න, රසාදරී පීරිස්, ප්‍රියන්ත සිරිකුමාර, සම්පත් චමින්ද ජයවීර, රන්දික ගුණතිලක, ලහිරුණි සල්වතුර, මනෝජා ෆර්නැන්ඩෝ, හර්ෂ ප්‍රභාත්, ලක්රංග හේවාවිතාරණ, දෙව්නක පොරගේ, තනූජා ජයවර්ධන යන රංගන ශිල්පී ශිල්පිනියෝ "පොදු" ටෙලි නිර්මාණය සඳහා රංගනයෙන් දායක වෙති.