2021 පුංචි තිරයට නැඟෙන “විසිඑක”

පෙබරවාරි 11, 2021

සිනමා අධ්‍යක්ෂවරයෙක් ලෙසට නමක් දිනා සිටි සුනිල් ප්‍රේමරත්න ප්‍රථම වතාවට ටෙලිනාට්‍යයක් නිර්මාණය කිරීමට සූදානම් වේ. එය නම් කොට ඇත්තේ “විසිඑක” නමිනි. පසුගියදා කොළඹ ගලදාරී හෝටල් පරිශ්‍රයේදී පැවැති මුහුරත් උලෙළකින් අනතුරුව එහි වැඩකටයුතු ආරම්භ කෙරිණ. හරිත් වාසල රූපවාහිනී රචනයෙන් දායක වන “විසිඑක” ටෙලිනාට්‍යය සඳහා පුබුදු චතුරංග, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, ඩිනක්ෂි ප්‍රියසාද්, නයෝමි තක්ෂිලා, කුමාර තිරිමාදුර, ධනුෂ්කා ඉරෝෂණී, හරිත් වාසල, දයාසිරි හෙට්ටිආරච්චි, නන්දන හෙට්ටිආරච්චි, නිල්මිණි කෝට්ටේගොඩ, සුසිලා කෝට්ටගේ, සඳුන් බණ්ඩාර, කුමාර වඳුරැස්ස, උපුල් නිශාන්ත, මනීෂා ශාමලී ඇතුළු පිරිස රංගනයෙන් දායකවෙති.

“විසිඑක” රංග සම්පත්ගේ නිෂ්පාදනයකි, රුක්මන් ගජනායක සහාය නිෂ්පාදකවරයාය, සිසිකිරණ පරණවිතානගේ කැමරා අධ්‍යක්ෂණයකි, සිනෙත් මාලක කුමාරසිරි සංස්කරණ ශිල්පියාය, භාගේශ්වර ෆොන්සේකා සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වන මෙහි කුමාර ඩී. රාහුබද්ධ කලා අධ්‍යක්ෂවරයාය, ප්‍රියන්ත ඊශ්වරගේ අංග රචනයකි, සම්පත් රත්නායක සහාය අධ්‍යක්ෂණයෙන් දායකවේ. උපුල් නිශාන්ත නිශ්චල ඡායාරූපකරණය සහ මාධ්‍ය සම්බන්ධීකරණයෙන් “විසිඑක” සඳහා එකතුවී තිබේ. මෙම ටෙලි සිතුවම නිර්මාණය කරන සුනිල් ප්‍රේමරත්න මීට ප්‍රථම සිනමාපට ද්විත්වයක් තිරයට ගෙනවිත් තිබේ. ඒ ටවුමෙ ඉස්කෝලේ සහ වැලි පවුරුය. නිහඬ සෙවණැලි නමින් තවත් සිනමාපටයක් ඔහු නිර්මාණය කොට ඇති අතර එය තිරගත වන්නට සූදානමිනි.