මේ ඉතිහාස පාඩමක් නොවේ

බ්‍රිජර්ටන්
අප්‍රේල් 8, 2021

‘රීජන්සි’ සමයේ (ක්‍රි . ව. 1811– 1820) ලන්ඩනයේ විසූ වංශවත් බ්‍රිජර්ටන් පවුලේ වැන්දඹු බ්‍රිජර්ටන් සිටුවරියට ඇන්තනි, බෙනඩික්ට්, කොලින් සහ ග්‍රෙගරි යනුවෙන් පුතුන් සිව් දෙනෙක් ඩැෆ්නි, එලොයිස්, ෆ්‍රැන්චෙස්කා සහ හයසින්ත් යනුවෙන් දියණියන් සිව් දෙනෙක් සිටිති. බ්‍රිජර්ටන් පවුලේ අසල්වැසියන් වන්නේ තවත් වංශවත් පවුලක් වන ෆෙදරිංටන් පවුලයි. පෝර්ටියා, ෆෙදරිංටන් ආර්යාව වන අතර ඇගේ සැමියා බාරොන් වේ. ෆෙදරිංටන් යුවළටද දියණියන් තිදෙනෙක් සිටිති. බ්‍රිජර්ටන් පවුලේ සොයුරු සොයුරියන්ගේ ආදර කතා මත බෙහෙවින් පාදක වන මෙම නාට්‍ය මාලාවේ එක් විශේෂයක් වන්නේ සෑම කොටසකම ‘විස්ල්ඩවුන් ආර්යාව’ නම් චරිතයක් විසින් කතාව ගැන කථනයෙන් කෙරෙන විස්තරයයි. මෙහි ඇති ඓතිහාසික වෙනසක් වන්නේ නවකතා මාලාවේ මෙන් නොව රූපවාහිනී කතා මාලාවට අනුව එවකට ලන්ඩනයේ වෙසෙන කළු ජාතිකයින්ද සම අයිතිවාසිකම් ලැබූ පිරිසක් වන අතර ‘ටොන්’ නම් වූ වංශාධිපතීන්ගේ සංගමයේද සාමාජික තනතුරු දරති.

ඇමරිකානු අන්තර්ජාල ප්‍රවාහ (Internet Streaming)) රූපවාහිනී නාට්‍ය මාලාවක් වන‘බ්‍රිජර්ටන්’2020 දෙසැම්බර් 25 වැනි දින නෙට්ෆ්ලික්ස් විසින් මුදා හැරුණු අතර රටවල් 76 ක පවුල් මිලියන 86 ක නරඹන්නන් සංඛ්‍යාවක් දිනා ගනිමින් නෙට්ෆ්ලික්ස් හි වැඩිපුරම නරඹන ලද රූපවාහිනී නාට්‍ය මාලාවක් බවට පත්විය. පසුගිය ජනවාරි මාසයේදී මෙම නාට්‍ය මාලාවේ දෙවන අදියර ප්‍රකාශයට පත් වුණු අතර අද ලිපිය ‘බ්‍රිජර්ටන්’ ගැන වේ. සම්මානලාභී ඇමෙරිකානු ලේඛිකාවක වන ජූලියා ක්වින් විසින් රචිත කොටස් නවයකින් යුත් ‘බ්‍රිජර්ටන්’ ප්‍රේමණීය නවකතා මාලාව පදනම් කරගෙන නිර්මාණය වී ඇත. මෙම නාට්‍ය මාලාව ක්‍රිස් වැන් ඩුසන් විසින් අධ්‍යක්ෂණය කර ඇති අතර ෂොන්ඩා රයිම්ස් නිෂ්පාදනය කොට ඇත.

ෆෝබි ඩයිනෙවර් සහ රෙගේ-ජීන් පේජ් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන අතර ජොනතන් බේලි, ගෝල්ඩා රොෂුවෙල්, ලූක් නිව්ටන්, ක්ලෝඩියා ජෙසී, නිකොලා කොග්ලන්, රූබි බාර්කර්, සැබ්රිනා බාට්ලට්, රූත් මැමෙල්, ඇඩ්ජෝ ඇන්ඩෝ සහ පොලි වෝකර් සෙසු චරිත රංග දක්වති. ප්‍රධාන රූගත කිරීම් පසුගිය වසරේ පෙබරවාරි අග දී ලන්ඩන් සහ බාත්හි මෙන්ම එංගලන්තය අවට විවිධ වතු සහ උද්‍යානවල සිදු කරන ලද ඒවා වේ. මෙම කතා මාලාව ලන්ඩනයේ සිදු වුවද බොහෝ වීදි දර්ශන රූගත කර ඇත්තේ බාත් හෝ යෝර්ක්හි දී ය.

19 වන ශතකයේ මුල් භාගයේ ලන්ඩනයේ සිදුවීම් මතපාදක වන මෙම නාට්‍ය මාලාවේ ඓතිහාසික නිරවද්‍යතාව සම්බන්ධයෙන් ක්‍රිස් වැන් ඩුසන් කර ඇති ප්‍රකාශය මෙසේය.“මෙම නාට්‍යය අප විසින් කරන ලද ඓතිහාසික ප්‍රතිනිර්මාණයක් මිස ඉතිහාස පාඩමක් හෝ වාර්තා වැඩසටහනක් නොවේ. මේ නාට්‍යයේ අප සැබවින්ම කර ඇත්තේ සිත්ගන්නා සුලු අයුරින් ඉතිහාසය විවර කර ගැනීමයි”. බ්‍රිජර්ටන් නාට්‍ය මාලාව විචාරකයන්ගෙන්ද බොහෝ පැසසුම් ලැබූවකි. රොට්න් ටොමැටෝස් වෙබ් අඩවියේ විචාරකයන් 91 දෙනෙකුගෙන් සියයට 89ක් මෙම නාට්‍යය අනුමත කර ඇති අතර දර්ශකයේ සාමාන්‍ය අගය 7.88 / 10 කි. වෙබ් අඩවියේ පොදු විචාරයේ මෙසේ සඳහන් වේ, “බ්‍රිජර්ටන් අතිවිශිෂ්ට නිර්මාණ කර්තව්‍යයකි, එහි නාට්‍ය ප්‍රභේදය සහ දක්ෂ නළු නිළි කැල විසින් එය (ප්‍රේක්ෂකයන්ට) රසවත් සංග්‍රහයක් බවට පත්කර ඇත”.