අංකයක් නිසා මම අමාරුවේ වැටුණා

රවීන්ද්‍ර තන්ත්‍රිගෙන් හෙළිදරවුවක්
සැප්තැම්බර් 16, 2021

 

 

වැඩි හොඳ කරන්න යන්න ඕන නැහැ කියලා පරණ කියමනක් තියෙනවා. ඒ වගේම කළ හොඳ පස්සෙන් එලවන අවස්ථාවන් එහෙමත් ඕනෑතරම් තියෙනවා. මේ කියමන් දෙක පැරැන්නෝ කිව්වේ කට කහනවට නෙමෙයි. ඒ වගේම වැඩි හොඳ කරන්න ගිහින් අහක තියෙන දේවාල ඔළුවට කඩන් වැටිච්ච වෙලාවන් නැතුවාම නෙවෙයි. මේ උදාහරණ කියාගෙන ආවේ අප කලා ක්ෂේත්‍රයේ නිර්මාණ අධ්‍යක්ෂවරයෙකු, සහාය අධ්‍යක්ෂවරයකු මෙන්ම රංගන ශිල්පියෙකු ලෙසද කටයුතු කරන රවීන්ද්‍ර තන්ත්‍රිගේ නැමැත්තාට සිදුවූ අකරතැබ්බයක් ගැන විස්තරයක් ඔබ වෙත ගෙන එන්න. එක්තරා සිදුවීමක් නිසා ඔහුට අන්තිමේදී මහඋළුගෙදරත් යන්න සිදු වුණා. රවීගේ මේ සිදධියත් එක්ක ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකු කලබල වුණේ ඔහු ගැන හොඳාකාරවම දන්න නිසා. මොකද ඔහු බොහෝම වැදගත් විදිහට මේ ක්ෂේත්‍රයේ වැඩ කටයුතු කරගෙන යන අයෙක් ලෙස ප්‍රසිද්ධයි. සිද්ධ වුණේ මොකක්ද කියලා අපි මුල සිට අගට රවීගේ වචන වලින්ම දැනගනිමු.

 

බොහොම ස්තූතියි අප වෙනුවෙන් තිබෙන සරසවිය පත්තරේ මට මේ අවස්ථාව ලබා දුන්නට. මම මේ සිද්ධිය පිළිබඳ සියලු මාධ්‍යන්ට දන්වන්නට මාධ්‍ය සාකච්ඡාවක් සංවිධානය කරන්නටයි හිටියේ. මොකද මට ලොකු අසාධාරණයක් සිදුවුණා. ඒක එසේ මෙසේ එකක් නෙවෙයි. බිමල් ජයකොඩි ඇතුළු නළුනිළියො සහ අපි නියෝජනය කරන සංවිධානයේ මගේ සගයන් යුහුසුළුව මාධ්‍ය හමුව සංවිධානය කරන්නට බලාපොරොත්තුවෙන් හිටියත් මේ කොවිඩ් තත්ත්වෙ නිසා අපිට ඒක පවත්වන්න බැහැ කියලා හිතෙනවා. ඒ අතරතුර තමයි සරසවිය පත්තරෙන් මේ විදිහට මට කතා කරන්නෙ. මම නැවතත් ඒ පිළිබඳ ස්තූතිවන්ත වෙනවා. ප්‍රථම වතාවටයි මේ හෙලිදරව්ව මම සිදු කරන්නේ. මේකයි වුණු සිදුවීම. අප කලා ක්ෂේත්‍රයේ නිළියන්ට විශේෂයෙන්ම, මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ නම භාවිත කරමින් එක්තරා තැනැත්තෙක් දිගින් දිගටම දුරකථන ඇමතුම් දෙමින් සිටියා. පසුකාලීනව උදයකාන්ත වර්ණසූරිය මහත්මයාගේ නමත් භාවිත කරමින් කතා කරන්නට ඇත්තේ මේ පුද්ගලයාම කියලා මම උපකල්පනය කරනවා.

එහෙත් ඔහු දිගින් දිගටම ආරියරත්නයන්ගේ නම භාවිත කරමින් තමයි ඔහොම දුරකථන ඇමතුම් ලබා දුන්නේ. ඔන්න දවසක් මට අපේ හිත මිත්‍ර අංගරචනා ශිල්පියෙකුගෙන් දුරකථන ඇමතුමක් එනවා. ඔහු සඳහන් කළේ "මහාචාර්ය සුනිල් ආරියරත්න මහත්මයා ඔයාගේ නම්බරේ ඉල්ලගත්තා, ඔහු කතා කළොත් මොකක් හරි උපකාරයක් අවශ්‍ය නම් කරන්න"යැයි කියලා. ටික වේලාවකින් මට අර දුරකථන ඇමතුමක් ආවා. මම බොහොම ගෞරවයෙන් සර් කියලා ඔහුට කතා කළා. ඔහු මගෙන් එක්තරා රංගන ශිල්පිනියකගේ නම්බරයක් ඉල්ලුවා. සාමාන්‍යයෙන් සුනිල් ආරියරත්න මහත්මයා ගාව වැඩ කරන්නේ විමල් දේශප්‍රිය කියන අපේ ප්‍රවීණ සහාය අධ්‍යක්ෂවරයා. මම නිකමටවත් ඒ ආපු ඇමතුමේදී ඇහුවෙ නෑ "ඇයි මේ මගෙන් නම්බර්ස් ඉල්ලන්නේ, දේශා ඉන්නව නේද" කියන කාරණය. මොකද සාමාන්‍යයෙන් මහාචාර්යතුමා වගේ ප්‍රවීණයෙක් කතා කරද්දි අපි එහෙම ප්‍රශ්න අහන සිරිතක් නැති නිසා. දැන් මම හිතාගෙන ඉන්නේ මේ කතා කරන්නේ සුනිල් ආරියරත්න සර්මයි කියලා. ඒ නිසා මම දිගටම බොහොම ගෞරවයෙන් කතා කළා. ඒ අතරතුරදී ඔහු ඉල්ලපු නම්බර් එක ඔහුට ලබා දුන්නා. දුරකථන ඇමතුම විසන්ධි වුණායින් පසුව මම අර රංගන ශිල්පිනියට කතා කරලා කිව්වා "ඔන්න දැන් ඔයාට මහාචාර්යතුමා කතා කරයි" කියලාත්. එදා ඔය සිදුවීම ඉවරයි.

ඔන්න මට ටික දවසකින් දුරකථන ඇමතුමක් එනවා පොලිසියෙන්. වහාම ඇවිත් යම් සිද්ධියක් ගැන සඳහන් කරලා කට උත්තරයක් දෙන්නටයි කියලා කිව්වා. මම හැකිතාක් ඉක්මනින් පොලිසියට ගියා. ඔවුන් ගිය ගමන් මගෙන් ඇහුවේ කෝ අර තැනැත්තා කියලා. තුෂ්නිම්භූත වුණු මම ඇහුවා ඒ කවුද කියලා. අර ඔයාගෙන් අහවල් නිළියගෙ නම්බර් එක ඉල්ල ගත්තෙ, අන්න ඒ තැනැත්තා ගැන තමයි මේ ඇහුවේ කියලා කිව්වා. මට ටක් ගාලා අර දුරකථන ඇමැතුම මතක් වුණා. එවලෙ තමයි මට වැටහුණේ එදා මට කතා කරලා තියෙන්නෙ ඇත්ත සුනිල් ආරියරත්න මහත්මයා නෙමෙයි කියලා. මමත් රැවටුණා නේද කියලා හිතුණා. මං එදා ඒ ව්‍යාජ තැනැත්තාට නිළියකගේ නම්බරයක් ලබා දුන්නනේ. ඇය තමයි පොලීසියට මේ පැමිණිල්ල දාලා තිබුණේ. ඒ පැමිණිල්ලේ සඳහන් කරලා තිබුණේ මම තවත් පුද්ගලයකු එක්ක එකතු වෙලා නිළියන්ව රවටනවා කියලා. වැඩිදුර විස්තර සොයාගෙන යද්දි මට දැනගන්නට ලැබුණේ මම නම්බරේ දීපු අර නිළියට ව්‍යාජ පුද්ගලයගෙන් දුරකථන ඇමතුමක් ඇවිල්ලා. ඇයව තමන්ගේ ඊළඟ නිර්මාණයට ගන්නවා කියලා ලොකු බලාපොරොත්තු දීලා. ඇය හොඳටම රැවටිලා මේ සුනිල් ආරියරත්නමයි කතා කරන්නේ කියලා. ඇත්තටම මමත් රැවටුණානේ. මොකද ඒ ව්‍යාජ පුද්ගලයා කතා කරන්නේ සුනිල් ආරියරත්න මහත්මයා කතා කරන විදිහටමයි. ඉතින් අර නිළියට දුන්නු ඇමතුම වැරදි විදිහට භාවිත කරගෙන එද්දී ඇයට තේරෙන්න ඇතිනේ තමන්ව රවට්ටනවා කියලා. එහෙම තමයි මේ නිළිය පොලිසියට පැමිණිල්ල දාලා තියෙන්නේ. ඇය වැඩිදුරටත් සඳහන් කරලා මමත් සම්බන්ධ වෙලා තමයි මෙහෙම ඇමතුම් දෙන්නේ කියලා. හැබැයි ඒ නිළිය මාව හොඳට දන්නවා. ඒ වෙලාවේ ඇයට තිබුණා මට දුරකථන ඇමතුමක් දීලා හෝ කියන්න මෙහෙම සිදුවීමක් වුණා කියලා. ඇය කෙළින්ම මාවම සැක කරලා. පොලිසියට පැමිණිල්ලක් දාලා මගේ නමත් එක්ක. ඉතින් පොලිසියේ අයත් හිතාගෙන ඉඳලා තියෙන්නේ මමයි අර ව්‍යාජ දුරකතන ඇමතුම් දෙන තැන් ඇත්තයි හවුලේ තමයි මෙහෙම නිළියන්ට කතා කරන්නේ කියලා. අපේ ක්ෂේත්‍රයේ අය අපිට ඕන තරම් දුරකථන ඇමතුම් දීලා ආර්ටිස්ට්ලගෙ නම්බර්ස් ඉල්ලනවා. ඉතින් අපි ඒ වෙලාවේ දෙවතාවක් හිතන්නේ නැතුව ඒ නම්බර් ලබාදෙනවා. මෙතැනදි වුණෙත් අන්න ඒ වගේ දෙයක්. මේ පැමිණිල්ල විභාගය කරන්න උසාවි දාන්න ඕනේ කියලා කිව්වා. කිසිදු ඇහිල්ලක් බැලිල්ලක් නැතුව මාව රිමාන්ඩ් කළා. බොහොම අමාරුවෙන් කරුණු පැහැදිලි කරලා දෙන්න හැදුවත් සමහර නිලධාරීන්ට තේරුණේ නෑ මම මොනවද කියන්න උත්සාහ කරන්නෙ කියලාවත්. මොකද ඒ බහුතරයක් දෙනා අපේ ක්ෂේත්‍රයේ ගැන දැනුම්වත් වීමකින් තොරවයි ඉන්නේ. අන්තිමේ උදවු කරන්න ගිහිල්ලා මට වුණේ හිරේ ලගින්න. මේ නිසා මම ඉතා විශාල මානසික පීඩාවකට පත් වුණා. ඒ වගේම මගේ පවුලේ අය ඥාතීන් ගොඩක් කලබල වුණා. විශේෂයෙන් මිත්‍රයෝ.

ඒ වගේම කලා ක්ෂේත්‍රයේ මං ගැන හොඳීන් දන්න අය වහ වහා ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා. විශේෂයෙන්ම බිමල් ජයකොඩි ඇතුළු ඒ පිරිසව මම නිරන්තරයෙන් මතක් කරන්න ඕනේ. මොකද ඔවුන් මම ගැන හොඳටම දන්නවා. ඒ නිසා මාව බේරගන්න ඔවුන් කටයුතු කළා. ඒ අතරතුරදී මට ආරංචි වෙනවා ව්‍යාජ සුනිල් ආරියරත්නව කොටුකර ගත්ත කියල මගේ නම එහෙම්පිටින්ම භාවිත කරමින් ප්‍රධාන පෙළේ ගොසිප් සයිට් කිහිපයක් පුවත් දාලත් තිබුණා. මම ඒකෙනුත් විශාල අපහසුතාවයකට පත්වුණා. මම බොහොම වැදගත් විදිහට මේ කලා ක්ෂේත්‍රයේ වැඩ කටයුතු කරගෙන යන එක හැමෝම දන්නවා.

ප්‍රසන්න විතානගේ, ප්‍රසන්න ජයකොඩි ඇතුළු සම්මානනීය අධ්‍යක්ෂකවරුන් යටතේ මම සහාය අධ්‍යක්ෂවරයකු විදිහට දායක වෙනවා. ඒ වගේම නිර්මාණාත්මක අධ්‍යක්ෂවරයෙක් විදියට මම වැඩ කටයුතු කරගෙන යනවා. බොහෝ දෙනා මා ගැන දන්නවා. පසුව මම මේ ව්‍යාජ පුද්ගලයා පිළිබඳ පොලිසිය දැනුම්වත් කරලා වැඩිදුර තොරතුරු සොයා යෑමේදී ඔහු මීගමුව ප්‍රදේශයේ ඉඳගෙන තමයි දුරකථන ඇමතුම් ලබා දෙන්නේ කියලා හොයාගත්තා. ඒත් තවමත් ඔහු අත්අඩංගුවට අරගෙන නැහැ. ඒ වගේම ඒ දුරකතනය අයිති සිම් එකක් හාමුදුරුනමක් යටතේ රෙජිස්ටර් වෙලා තියෙන්නෙ. උන්වහන්සේ ඇතැම් විට ඒ සිම් එක භාවිතයෙන් ඉවත් කළාද දන්නේ නැහැ. කොහොම හරි මේ ව්‍යාජ තැනැත්තා මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ නම භාවිත කරමින් නිළියන් කිහිප දෙනෙකුටම කතා කරලා තියෙනවා. ඉන් වැඩි දෙනෙක් කතා කරගෙන යද්දි තේරිලා තියෙනවා මේ කතා කරන්නේ මහාචාර්යතුමන් නොවෙන වග.

මොකද සාමාන්‍යයෙන් ඔහු තමන්ගේ නිර්මාණාත්මක කටයුත්තක් කරගෙන යද්දි නළු නිළියන්ට කතා කරන්න බාර දෙන්නේ සහාය අධ්‍යක්ෂවරයාට. ඒක පොදු කාරණයක්. ඒත් මේ පුද්ගලයා ආරියරත්නයන් විදිහටම කතා කරන හින්දා මුලදී ඇතැම් දෙනා රැවටෙනවා. තවමත් මගේ නීතිමය කටයුතු ඉවර නැහැ. මම කියන්නේ පුළුවන් තරම් ඉක්මනට මේ ව්‍යාජ පුද්ගලයාව අත්අඩංගුවට ගන්න කියලා. මට මේ වුණේ අහක යන අකරතැබ්බයක් ඔළුවට කඩා වැටීමක්. හැබැයි අර නිළිය මාව හොඳට දන්නවා. අපි නිර්මාණවලදී හම්බ වෙලා තියෙනවා. එහෙම එකේ මාව මෙතැනදි වැරදිකාරයා කරපු එක හරිම වැරදියි. ඇයටත් පොඩ්ඩක් හිතන්න තිබුණා. ඒත් දැන් වෙච්ච දේ වෙලා ඉවරයි. ඉදිරියේදී මෙවැනි දේ නොවන්නට හැකිතාක් ඉක්මනින් අර ව්‍යාජ පුද්ගලයා අත්අඩංගුවට ගන්න කියලා මම සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටිනවා.