යුක්තිය රජයන ලොවකට අප රැගෙන යන්න

“උතුමාණෙනි”
ඔක්තෝබර් 1, 2020

පරසතු මල් ලද විචාරක, ප්‍රේක්ෂක දැඩි ප්‍රශංසා නිසා ගාමිණී ෆොන්සේකා උද්දාමයට මෙන්ම, උපරිම ලෙස සෑහීමකට පත් වුණු බවක් පෙනුණේ, ඉන්පසු ඔහු චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමට උනන්දුවක් නොගත් නිසාය. 1966 සිට 1980 දක්වා යනු තරමක ලොකු කාල පරාසයකි. අධ්‍යක්ෂණයෙහිලා ගාමිණි නිහඬ වී සිටි කාලවකවානුව එය විය. අවුරුදු 13ක් එලෙස නිහඬ විය.

ඒ නිහඬ බව බිඳ දමන්නට අනේක නිෂ්පාදකයන් උත්සහ ගත්තද, අවසන මල් පල ගැන්වූයේ ආරියරත්න පෙරේරාගේ උත්සහය ය. මීට ප්‍රථම, ගාමිණි ෆොන්සේකා, ආරියරත්න පෙරේරා⁣ නිෂ්පාදනය කළ චිත්‍රපටයක රඟපා තිබිණි. ඒ 'චණ්ඩි පුතා‘ ය. එය වාණිජ ලෙස අතිසාර්ථකත්වයක් ලැබුණු චිත්‍රපටයකි. ඒ 1977 වර්ෂයේදීය. 1979යේදී ගාමිණි ලවා චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කර ගැන්මට ගාමිණිගේ කැමැත්ත ලබා ගැන්මට ආරියරත්න පෙරේරාට හැකි වූයේ, ඒ වන විට ඔවුන් දෙදෙනා දැඩි ලෙස මිතුරන් වී සිටිය නිසාය. එලෙසම චිත්‍රපටයකට අවශ්‍ය හොඳ තේමාවක් ගාමිණීගේ සිත තුළ කැකෑරෙමින් තිබිණි. එකී තේමාව තුළින් තිර රචනයක් ලිවීමට ගාමිණි භාර කළේ හර්බට් රංජිත් පීරිස්ටය. හර්බට් රංජිත් පීරිස් 70 දශකයේදී, තමාගේම චිත්‍ර කතාවක් පදනම් කරගෙන චිත්‍රපට තිර නාටකයක් ලියා, එය හරි අඩක් අධ්‍යක්ෂණය කළේය. චිත්‍රපටය 'සැණකෙළිය' ය. ප්‍රධාන නළුවා ගාමිණි ෆොන්සේකාය. හර්බට් රංජිත් පීරිස් යනු දක්ෂතා ගණනාවකින් සපිරුණු සුපිරි 'වැඩකාරයෙක්' බව ගාමිණී දැන සිටි නිසා, ඔහු තම තේමාවට, තිර රචනය ලියන්නට, හර්බට් හට භාර දෙන්නට ඇත. හර්බට් ලියූ තිර නාටකය, අධ්‍යක්ෂණය කිරීමට ගාමිණි එකඟ වීම නම් හර්බට් රංජිත් පීරිස් හා ආරියරත්න පෙරේරාගේ විශාල වූ ජයග්‍රහණයකි.

'පරසතු මල්' සිංහල සිනමාව තුළ එක් උන්මාදයක් විය. අදටත් 'පරසතු මල්' ගැන සිහි කරන විට එය නැරඹූ හැම ප්‍රේක්ෂකයෙකුගේම දෑස් දැල්වෙයි. මුව විවර වෙයි. කරන වැඩය නවතා සුළු මොහොතක් හෝ බොනි මහත්තයා සොල්දරයක් කෙළවර දෑත් දෙක විහිදා සිටගෙන සිටින දර්ශනය මතක් වේ. 'හෙට ආයේ ඉර පායයිද මැගී?' කියන දෙබස කණ ළඟින්ම ඇසෙනවා වගේය. ලාංකේය සිනමා ප්‍රේක්ෂකයන්ගේ මනස තුළ තදින්ම නිදන් ගත වූ චිත්‍රපටයක් වේ නම් ඒ 'පරසතු මල්' මය.

නැවත ගාමිණි ෆොන්සේකා චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන බවක් ප්‍රේක්ෂකයන් දැනගත් විට, ඔවුන් සිතෙන් හෝ බලාපොරොත්තු වූයේ, 'පරසතු මල්' මෙන් සිනමාපටයක් ඔහු අතින් නිර්මාණය වේ කියාය. ලෙස්ටර් ජේම්ස් පීරිස්ගෙන් ,ලෙනින් මොරායස් ශෛලයේ චිත්‍රපට බලාපොරොත්තු විය නොහැකිය. එලෙසම ගාමිණි ෆොන්සේකාගේ අධ්‍යක්ෂණය තුළින් 'ඔහොම හොඳ ද?' 'චිං චිං නෝනා', වැනි චිත්‍රපට ද, බලාපොරොත්තු විය නොහැකිය. ඒ ඔහුගේ 'පරසතු මල්' ශෛලයට 'ඇඩික්ට්' වූ නිසාය. එහෙයින් 'පරසතු මල්' මෙන් සාහිත්‍යමය, ලක්ෂණ ඇති, කලාත්මක එමෙන්ම, මානුෂීය සිනමාපටයක් ගාමිණී ෆොන්සේකාගේ අධ්‍යක්ෂණයෙන් බිහිවේවි යැයි ප්‍රේක්ෂකයන් බලා සිටීම අරුමයක් නොවේ.

එහෙත්, ගාමිණි ෆොන්සේකාට අවුරුදු 13 කට පසු ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ඔහුගේ දෙවැනි චිත්‍රපටය තවත් 'පරසතු මල' ක් කිරීමට කිසිසේත් අවශ්‍ය වූයේ නැත. 'පරසතු මල්' තිරගත කර දශකයක් ගිය පසු ලෝකයත්, ඒ අනුව සමාජයත් කිසි යම් විපර්යාසයකට ගොදුරු වී තිබෙන බවක් ගාමිණිට පෙනිණි. ඔහුට දැනිණි. එහෙයින් සමාජයට බලපාන ,එහෙත් සමාජය විසින් එළිපිට කතා නොකරන විෂයන් ගැන අවධානය යොමු කිරීමට, ගාමිණි ෆොන්සේකා උත්සුක විය. ධනය හා බලය හමුවේ නීතිය ද සෙලවෙන අයුරු එදා සිට සුලබව සිදු වන දෙයකි. එයින් නිතරම බැට කනුයේ දුප්පත් අසරණ මිනිසුන්ය. විශේෂයෙන්ම ග්‍රාමීය ජනතාවට ,නාගරීක බල පුළුවන්කාරයන් සමඟ කිසිසේත් හැප්පිය නොහැකිය. එහෙත් අසාධාරණය හමුවේ දුබලයා වූවද හැමදාම හිස පාත් කරගෙන සිටින්නේ නැත. නීතිය අවනීතිය වන තැන ,මුලින්ම නීතිය අතට ගෙන ක්‍රියා කරන්නේද අර බැට කන මිනිස්සුන්ය. ඒ වෙන කළ හැකි දෙයක් නොවූ තැනය. ගාමිණී ෆොන්සේකා මෙවර තම සිනමා පටයට තේමා කරගත්තේ එකී ඝට්ටනයයි. එය 'වන් මෑන් ආමි' යන සංකල්පය මත ගොඩනැඟුණු කතාවකි.

ඇමරිකානු ජාතික ලේඛක ඩේවිඩ් මොරල් විසින් 1972 දී ලියූ නවකතාවක්, මයිකල් කොසෝල්, විලියම් සැන්ගෙයිම්, හා සිල්වෙස්ටර් ස්ටැලෝන්,විසින් තිරනාටකයකට පරිවර්තනය කර, එය ටෙඩ් කොචෙප්ට චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමට භාර දුනි. 1982 දී 'ෆර්ස්ට් බ්ලඩ්' නමින් තිරයට ආවේ එයයි. 'රැම්බෝ' ගේ චරිතය ජීවමාන වූයේ මේ හරහාය. සිල්වෙස්ටර් ස්ටෙලොන් ඇක්ෂන් නළුවකු ලෙස ලෝක පූජිත වූයේ මේ තුළිනි. ' වන් මෑන් ආමි' යන සංකල්පය ලොව ප්‍රචලිත වූයේ මේ සමඟය. තනි මිනිසකු නීතියෙන් නොවිසඳෙන, එමෙන්ම එකී අසාධාරණය හමුවේ සටන් කර ජය ගැනීමේ තේමාවන් බිහි වෙන්නට පටන් ගත්තේ මේ 'ෆර්ස්ට් බ්ලඩ්' සමඟිනි. ඉන්පසු 'කැනෝන් ද කෝබ්රා', ' ටර්මිනේටර්', 'රොබෝ කොප්', 'බැට් මෑන්', 'ඩයි හාඩ්' 'අයන් මෑන්', වැනි චිත්‍රපට එකී 'වන් මෑන් ආමි' ගනයට වැටිණි. 70 දශකයේදී හැරි කැලහෑන් නම් චරිතයක් හරහා 'ක්ලින්ට් ඊස්ට් වුඩ්' ද, ' ඩර්ටි හැරි' චිත්‍රපට මාලාව තුළ, තනිවම අපරාධකරුවන් හඹා ගිය ද, 'රැම්බෝ' චරිතය තනිවම සටන් කරන්⁣නේ හමුදාවන්, පොලීසී සමඟය. එය තනිකරම 'වන් මැන් ආමිය.'

ගාමිණී ෆොන්සේකාගේ ස්වයං චරිතය දෙස විමසිලිමත් වන විට, ඔහුගෙන් ද නිතරම අයුක්තියට අසාධාරණයට, එරෙහිව එල්ල කරන වාග් ප්‍රහාර හා සටන් කිරීමේ ලක්ෂණ පිළිබිඹු වේ. ඔහු සිනමාවේදී ද බොහෝ විට නිරූපණය කළේ එවැනි චරිතයන්ය. ඒවා ෆැන්ටැසි ගනයේ වීරයන්ය. එහෙත්, ඔහුගේ මේ නව තේමාව මඟින් ඔහු අර වාණිජ සිනමාවේ අතීශයෝක්ති වීරයාව, සත්‍යවාදී වීරයකු කළේය. ඔය කොයි ආකාරයෙන් පෙන්වූවද, ඒවා පලි ගැනීමේ චේතනාවෙන් කරන සටන්ය. සිනමාව යනු එයය. ප්‍රේක්ෂකයන් කැමති, අසාධාරණයන් කළ අයගෙන් පලි ගන්නා හැටි බැලීමටය. ප්‍රධාන චරිතය එය නොකළහොත්, ප්‍රේක්ෂකයන්ගේ හිතට මදි ය. ගාමිණී ෆොන්සේකා එය හොඳ හැටි හඳුනා ගෙන තම තේමාව සකස් කළේ, නීතිය විසින් කළ යුතු දෙය මඟ හරින විට, එයින් බැට කන්නා වූ අය, නීතිය අතට ගත් පසු සිදු වන දේ පෙන්වීමටය.

ඔහු මුලින්ම මෙම චිත්‍රපටය නම් කළේ 'හිම කුමාරි' කියාය. එහි ආ මුඛ්‍ය චරිතය 'පුෂ්පා' ය. මුළු සිදුවීමම ගෙතී යන්නේ ඇය වටාය. එහෙයින් පුෂ්පාගේ චරිතයට රඟපාන නිළිය නිතැතින්ම දක්ෂ විය යුතුය. ගාමිණි ෆොන්සේකා විසින් මෙම චරිතයට 'වසන්ති චතුරාණි' ව තෝරා ගත්තේ, චරිතයේ අහිංසක ස්වභාවයට ඇය ගැලපෙන නිසාය. ඒ වකවානුවේ වසන්ති චතුරාණි, තරුණ, වැඩිහිටි සැමගේ සිත් දිනා ගත් ජනප්‍රියම චරිතයක් වී සිටියාය. එලෙසම වසන්තිගේ මුහුණින් පිළිඹිබු වූ ස්වභාවික දුක්බිත බව, මෙම චරිතයට මනාව ගැලපිණි.

ගාමිණි 'හිම කුමාරි' යැයි මෙම චිත්‍රපටයට නම් කළේ පුෂ්පාගේ චරිතයේ තිබූ සුන්දරත්වය හා අහිංසක බව නිසාය. එම අන්වර්ථ නාමය තුළම එකී චරිතයේ ස්වභාවය රැඳී තිබිණි. 'හිම' යනු සුළු වෙලාවකින් දිය වී යන්නක්ය. පුෂ්පාගේ ජීවන චරිතය ද එසේ දිය වී යන්නක්ය.

චිත්‍රපටය රූගත කිරීමට පටන් ගන්නා විට වෙනස්කම් කීපයක් සිදුවිණි. එහි එන සමුහ දූෂණ දර්ශනය තමා පවත්වා යන ප්‍රතිරූපයට කැළලක් බව කී වසන්ති චතුරාණි එම චිත්‍රපටයෙන් ඉවත් වූයේ, ගාමිණීට ඒ බව කාරුණිකව කීමෙන් පසුවය. ෆරිනා ලායිව එම චරිතයට 'රිප්ලේස්' වූයේ ඉන්පසුවය. එලෙසම 'හිම කුමාරි' නම තුළ 'ෆැන්ටැසි' ස්වරූපයක් තිබූ හෙයින් හා චිත්‍රපටයේ ඇති ප්‍රබල තේමාවට ගැලපෙන ලෙස ආයාචනාත්මක මෙන්ම උපහාසාත්මක නාමයක් තිබිය යුතු බවක් ගාමිණි ෆොන්සේකාට වැටහිණි. ඔහු 'හිම කුමාරි' යන නම අයින් කොට එයට 'උතුමාණෙනි' ලෙස නම් කළේය.

බේබි මහත්තයා ගමේ දේශපාලනික මැම්බර්වරයෙකි. ඔහුට මුදල් බලය හා මැර බලය තිබිණි. ඔහු නිතරම ගමන් බිමන් යනුයේ සහචරයන් පිරිසක් සමඟය. ගමේ හැම දූෂිත වැඩක්ම සිදු වුණේ ඔහුගේ දැන හැඳුනුම් මතය. ගමේ කසිප්පු තිප්පලවලින් ද, ඔහුට කොටසක් වෙන් විය. නගරයේ වුව ද, ඔහුගේ මුදල්වලින් සප්පායම් වන වැදගත් යයි නාමිකවූ අය සිටියි. ඒ හෙයින් ඕනෑම දූෂිත ක්‍රියාවකින් බේරීමට නීතියේ හිඩසක් සාදා දී ඒ තුළින් ඔහුව රිංගා යැවීමට ඕන තරම් බලවත්තු නගරය තුළ ද ඔහුට සිටියහ.

ගමේ අහිංසකව ජීවත් වන සිරිපාලට බේබි මහත්තයා කෙණහිලිකම් කළේ, සිරිපාලලාට අයිති ඉඩමක් බේබි මහත්තයා මුදල්දී ඉල්ලුවද, සිරිපාල එයට අවනත නොවූ නිසාය. බේබි මහත්තයා ඒ ඉඩමට ඇහැ ගහගෙන හිටියේ එය ඔහු පදිංචි වී සිටින ඉඩමට යාබදව තිබූ නිසාය.

සිරිපාල මෙය කෙළෙසකවත් නොදෙන නිසා බේබි මහත්තයා ඔහු සමඟ වෛර බැඳ ගති. ඉන්පසු සිදු වූ විශාල වූ ව්‍යවසනයට මුල් වූ හේතුව මේ ඉඩම් පලහිලව්වය. බේබි මහත්තයා නොඉවසුවේ සිරිපාල තමාට ගරු නොකිරීමය. බේබී මහත්තයා වැනි දූෂිතයකු කිසිසේත් ගරුත්වයන් ලැබිය යුතු අයකු නොවේ යන මතයේය සිරිපාල සිටියේ.

සිරිපාලගෙන් පලි ගැනීමට බේබ් මහත්තයා ගොදුරු කර ගත්තේ හෙට අනිද්දා දීගෙට යන්නට ලෑස්තිව සිටි, මලක් මෙන් සුන්දර, මුව පැටවකු මෙන් අවිහිංසක සිරිපාලගේ එකම නැගෙණිය වූ පුෂ්පාවය. පුෂ්පා පන්සල් යාම සඳහා මල් කැඩීමට කැලයට ගිය අවස්ථාවේ බේබි මහත්තයා ඇතුළු සහචරයෝ ඇයව සමූහ දූෂණයට ලක් කළ හ. ඔවුන් හුදෙක් එය කළේ, තම ලිංගීක ආශාවන් තෘප්තිමත් කර ගැන්මට නොව, තනිකරම සිරිපාලට රිදවීමටය.

එතැන් පටන් එකී තරුණිය අප්‍රමාණව ගර්භාවට පත් වීමත්, දූෂකයන් සමාජය තුළ ඉහළින් වැජඹීමත් මෙවන් අධිපති සමාජ සංස්ථාවන් තුළ තරුණියකට දරන්නට සිදු වන පීඩාවන් හා එමඟින් ඇති වන සමාජ සංස්කෘතික පීඩාව ද , ගාමිණි ෆොන්සේකා තම අධ්‍යක්ෂණය හරහා මැනවින් පෙන්වන්නට විය. නීතිය රකිනා ආයතන ද, දූෂණයට එරෙහිව පියවර ගත යුතු එහෙත් එසේ පියවර නොගත් ආයතන මෙන්ම, නීති ක්‍රමයේ විශාල හිඩැස් හා නීතිය නැමෙන අන්දම ගැනත්, මුදලට නීතියේ එකී හිඩැස් පුළුල් වන අන්දම ගාමිණි 'උතුමාණනි' හරහා ගැඹුරින්ම පෙන්වන්නට විය.

සිරිපාල 'වන් මෑන් ආමි' තත්වයට පත් වෙන්නේ, බේබි මහත්තයා හා සහචරයන් ගෙන් පළමු වරට දුෂණය වූ පුෂ්පාව, තමා මහ ඉහළින් බලාපොරොත්තුව තැබූ නීතිය හමුවේ ද, නිරුවත් කෙරූ පසුවය. එලෙසම එය දරා ගැන්මට නොහැකි වී නැගණිය සිය දිවිනසා ගත් පසුය, සිරිපාල නීතිය තමා අතට ගත්තේ. සිරිපාල තම අතට ගත් නීතියේ බලය පෙන්වූයේ, බේබි මහත්තයා, ඇතුළු එකී සහචර රැල එකිනෙකා මරා දමමිනි. සිරිපාල තම 'මිෂන්' එක නිම කළේ නීතියට ද අභියෝගයක් කරමිනි.

විශිෂ්ට නිර්මාණයක් වූ ගාමිණි ෆොන්සේකාගේ 'උතුමාණෙනි'හි බේබි මහත්තයාගේ චරිතය සොමී රත්නායකත්, පුෂ්පාගේ චරිතය ෆරිනා ලායි හා සිරිපාලගේ චරිතය ගාමිණි ෆොන්සේකාත් රඟපෑ අතර, ධර්මශ්‍රී මුණසිංහ , ටෝනි රණසිංහ, ශාන්ති ලේඛා , කරුණාරත්න හඟවත්ත, එඩී ජයමාන්න, වින්සන්ට් වාස් , රෙක්ස් කොඩිප්පිලි , දයානන්ද ජයවර්ධන, සෝනියා දිසා , රිචඩ් වීරක්කොඩි , සිසිර කුමාරණතුංග සෙසු චරිතවලට පණ පෙවූහ. සියලුදෙනාගේම රඟපෑම් ප්‍රශස්තම මට්ටමේ තිබුණි. මෙම චිත්‍රපටයේ ප්‍රචාරක තේමාපටය වූයේ "යුක්තිය රජයන ලොවකට අප රැගෙන යන්න" ය.

1981 සරසවිය සම්මාන උලෙළේ ජනප්‍රියම චිත්‍රපට සම්මානයට ප්‍රේක්ෂකයන් තේරුවේ 'උතුමාණෙනි ' චිත්‍රපටයය. ඒ වසරේ හොම නළුවා ලෙස සරසවිය සම්මානයට පාත්‍ර වූයේ 'උතුමාණෙනි' චිත්‍රපටයේ සිරිපාලගේ චරිතය රඟපෑ ගාමිණි ෆොන්සේකාය.

'පරසතු මල්' චිත්‍රපටයට වඩා හාත්පසින්ම වෙනස්, ගාමිණී ෆොන්සේකාගේ තවත් අද්විතීය චිත්‍රපටයක් වූ 'උතුමාණෙනි' තිර ගත කිරීම ආරම්භ කළේ 1980 ජනවාරි 05 වන දින සිටය.