වෙඩි නොවදින ළමයි චීනයට යයි

නොවැම්බර් 12, 2020

චීනයේ පැවත්වෙන ගෝල්ඩන් රූස්ටර් සිනමා සම්මාන උළෙලේ “විදෙස් චිත්‍රපට” කාණ්ඩයේ තරගකාරී අංශය නියෝජනය කිරීමට ඉන්දික ෆර්ඩිනැන්ඩුගේ වෙඩි නොවදින ළමයි චිත්‍රපටය තෝරාගෙන තිබේ. උලෙළ මෙම මස 24 වැනිදා ආරම්භ වීමට නියමිත ඇති අතර එදිනම වෙඩි නොවදින ළමයි තිරගත වේ. ගෝල්ඩන් රූස්‍ටර් සිනමා උළෙල සඳහා විවිධ රටවලින් සිනමාපටයන් දෙසීයකට අධික සංඛ්‍යාවක් අන්තර්ගත වේ. ඉන් තරඟකාරී අංශයට වෙඩි නොවදින ළමයි ඇතුළු චිත්‍රපට දහයක් තෝරාගෙන තිබේ.

ඉන්දික සහ පියල් කාරියවසම් සිනමාපටයේ තිරරචකයෝය. හේමසිරි ලියනගේ, ජයලත් මනෝරත්න, මහේන්ද්‍ර පෙරේරා, අනුලා බුලත්සිංහල, අශාන් ඩයස්, කලණ ගුණසේකර, අනසුයා සුභසිංහ, දයාදේව එදිරිසිංහ, ස්ටෙෆාන් තිරිමාන්න, නිපුනි සාරධා, කසුනි කාවින්දි සේවියර් කණිෂ්ක ඇතුළු පිරිස වෙඩි නොවදින ළමයි චිත්‍රපටයට රංගන දායකත්වය සපයති. ඩීප් මෝෂන් ෆිල්ම්ස් මෙම චිත්‍රපටය නිෂ්පාදනය කොට තිබේ. දිමුතු කාලිංග දහනායකගේ කැමරා අධ්‍යක්ෂණයකි. තරිඳු රණපුර සහාය අධ්‍යක්ෂවරයාය. තිස්ස සුරේන්ද්‍රගේ සංස්කරණයෙන් දායක විය. කසුන් මහවඩුගේගේ කලා අධ්‍යක්ෂණයෙන්, වසන්ති අල්විස්ගේ ඇඳුම් නිර්මාණයෙන්, වෙඩි නොවදින ළමයි චිත්‍රපටය සඳහා දායකත්වය සපයා තිබේ. තිලංක ගමගේ සහ නදීක වැලිගොඩපොල සංගීත නිර්මාණ ශිල්පියෝය. අංග රචනය බුවනෙක රණවකගෙනි. නිෂ්පාදන කළමනාකරණය මධුරංග ජාගොඩගෙන්ය. ශබ්ද නිර්මාණ ශිල්පියා ලෙස සසික රුවන් මාරසිංහ සහ වර්ණ සංයෝජනයෙන් දිනිඳු ජාගොඩත් දායකත්වය ලබාදී ඇත.

වෙඩි නොවදින ළමයි ඉන්දික ෆර්ඩිනැන්ඩුගේ දෙවැනි චිත්‍රපටය වේ. ඉමහත් ජනාදරයට පාත්‍ර වූ හෝ ගානා පොකුණ ඔහුගේ කුලුඳුල් සිනමා නිර්මාණයයි.

වෙඩි නොවදින ළමයි" චිත්‍රපටයේ ලෝක මංගල දැක්ම  (World Premiere) ඉන්දියාවේ 12වැනි බැංගලෝර් අන්තර්ජාතික සිනමා උලෙළේ දී ඉකුත් මාර්තු මාසයේ දී පැවැත්විණ.