වර්ෂ 2023 ක්වූ December 07 වැනිදා Thursday
ආරියසිංහ හඬ නිහඬ වෙයි

මා ළඟටම තව ළං වෙලා හිඳීන්න නිහඬ නුවන් පියා ගීතය ඔහු විසින් භාවාත්මකව ගයනු ලැබුවේය. එම හඬින් හෙතෙම රටක් වසඟයට ගත්තේය. මේ පුවත මගින් අප සැල කර සිටින්නේ ඒ සොඳුරු ගායනවේදියා දිවි රඟමඬලෙන් සමු ගත් බවය. ගායන ශිල්පියකු මෙන්ම සංගීතඥයකු ලෙස ජනාදරයට පාත්‍ර වූ ඔහු ඩබ්ලිව් ඩී ආරියසිංහයි. 1956 වර්ෂයේ උපත ලැබූ ආරියසිංහ අසූව දශකයේ මුල භාගයේ ගුවන් විදුලි ගායන ශිල්පියකු ලෙස කලඑළියට පැමිණියේය. ඉන් පසුව දිගින් දිගටම ගී නිර්මාණ ඉදිරිපත් කරමින් ගුවන්විදුලි සමග සිය ගායන හැකියාව ප්‍රකට කළේය. දශක කිහිපයක් සංගීත ක්ෂේත්‍රයේ කටයුතු කළද ආරියසිංහයන් පිළිබඳ වඩාත් කතා බහට ලක්වන්නේ අමරදේවයන් ගැයූ ගීත කිහිපයක් ඔහු විසින් නැවත ගයා එළිදක්වන ලද ප්‍රේම සැඳෑවෝ ගීත එකතුවෙන් පසුවය. ඒ 1999 වර්ෂයේදී පමණය. එහෙත් ඒ අනුකරණයෙන් මිදී පසු කාලීනව ඔහු ස්වතන්ත්‍ර ගීත ගයමින් රසික ආකර්ෂණය දිනාගත්තේය. මා ළඟටම තව ළං වෙලා, කන්ද උඩින් රෑන ගිරා, වලාකුළු පෙළින් බසින්න(රශ්මි සංගීතා සමඟ)ඇතුළු ජනප්‍රිය ගීත රැසක් ගැයූ ඔහු අතිශය භාවාත්මක කටහඬක් හිමි ගායන ශිල්පියකු ලෙස හඳුන්වා දිය හැකිය. දිගු කලක් ගායනයෙන් ඈත්ව රෝගාතුරව සිටි ඔහු මිය යන විට වයස අවුරුදු 64ක් විය. ආරියසිංහගේ බිරිය දර්ශනී චන්ද්‍රසේනයි. ඇය නැසීගිය ප්‍රවීණ සංගීතඥ ආර්. ඒ. චන්ද්‍රසේනයන්ගේ දියණියවේ. ආරියසිංහගේ පුතු හර්ශදේව ආරියසිංහ ද පියාගේ අඩිපාරේ යමින් ගායන ශිල්පියකු ලෙස කටයුතු කරනු ලබයි. ඒ මියුරු හඬ සදහටම නිහඬ වෙමින් ආරියසිංහයන්ගේ අවසන් කටයුතු ඊයේ අත්තිඩිය සුසාන භූමියේදී සිදු කෙරිණ.