රැකෙනුනැත්නම් තැවෙනු !

මෙරට සිනමාවේ වර්තමාන තත්ත්වය පිළිබඳ විමසුමකි
පෙබරවාරි 4, 2021

පසුගිය ජනවාරි මාසයේ 13 වැනි දින සිට ඉන්දියාවේත් ලංකාවේත් සිනමා ශාලා ජනයාගෙන් පිරි ඉතිරි යන්නට පටන් ගත්තේ මාස්ටර් නම් දෙමළ චිත්‍රපටය තිරගතවීමත් සමඟය. කොවිඩ් වසංගතය ලොව පුරා පැතිර යාමත් සමඟ පසුගිය මාර්තු මාසයේ වසා දමන ලද මෙරට සිනමාහල් යන්තම් හිස එසවූයේ මාස්ටර් සමඟය. මාස්ටර් තිර ගත වූ ඇතැම් සිනමා ශාලා පාන්දර හතරටත් දර්ශන වාර ආරම්භ කළ අතර ඒ සඳහාම සෞඛ්‍ය අංශ බලධාරිහු සිනමා ශාලාවක සිටිය යුතු අවම ප්‍රේක්ෂක සංඛ්‍යාව සියයට විසි පහේ සිට පනහ දක්වා ඉහළ නැංවීමට කටයුතු කළහ. එහෙත් ඒ හා සමඟම ජනප්‍රිය මාස්ටර් තිර ගතව සති දෙකක් ගත වන තැන එනම් ජනවාරි මස තිස් වැනි දිනය එළැඹෙද්දී ඇමසන් හරහා මාස්ටර් දැක බලාගන්නට සිනමා ලෝලීන්ට අවස්ථාව උදාවිය. සිනමා ශාලාවල තවමත් ජනයා පිරි ඉතිරි යද්දී චිත්‍රපටය එකවරම අන්තර්ජාල සිනමා ධාරාවන්ට එය මුදා හරින්නේ කවර පිස්සුවක් වැහීමෙන්දැයි කිසිවකුට හෝ අසන්නට බැරි කමක් නැත. එහෙත් වර්තමාන ලෝක ප්‍රවණතා සලකා බලද්දී එය අමුත්තක් නොවේ. සිනමා ශාලාවන්ට ආවත් නාවත් චිත්‍රපට වඩා පහසුවෙන් හා ඉක්මනින් වර්තමානයේ නෙට්ෆ්ලික්ස්, ඇමසන්, ප්‍රයිම්, ඇපල් වැනි සිනමා ධාරාවන් ඔස්සේ ප්‍රෙක්ෂකයන් වෙත සමීප වනු ඇත. කොවිඩ් 19 නිසා ලොව සිනමා කර්මාන්තය සහමුලින් අන්දමන්දව ඇති යුගයක ඩොලර් මිලියන ගණන් ආයෝජනය කරන ලද අලුත්ම ජේම්ස් බොන්ඩ් චිත්‍රපටය වැනි චිත්‍රපට ප්‍රදර්ශනය ප්‍රමාද වීම හේතුවෙන් ඇති වී තිබෙන පාඩු ද එහි නිෂ්පාදන පිරිවැය ඉක්මවා යන්නක්ව පවතී. අලුත්ම ජේම්ස් බොන්ඩ් චිත්‍රපටය වන ‘නෝ ටයිම් ටු ඩයි‘ ලොව මෙතෙක් වැඩිම වියදම් කළ චිත්‍රපටවලින් එකක් ලෙස සැලකේ. කෙසේ වෙතත් මේ සියලු ගැටලුවලට වඩාත්ම සුදුසු ක්‍රමවේදය සිනමා ධාරාවන් ඔස්සේ චිත්‍රපට ගෙන යෑම බව වර්තමානයේ අවිවාදාත්මක කරුණකි. එමඟින් සිනමා ශාලාවකින් ළං විය නොහැකි තරම් ප්‍රේක්ෂක සමූහයකට සිනමා කෘතිය ගෙන යා හැකි බව වර්තමාන සිනමා ව්‍යාපාරිකයෝ වටහා ගෙන සිටිති. මේ වන විට ලෝකයෙන් සියයට පනස් හයක් තරම් ජන සංඛ්‍යාවක් අන්තර්ජාලය භාවිත කරන අතර එය සංඛ්‍යාත්මකව ගත් කල බිලියන 46.6 කි. එබැවින් අන්තර්ජාලය යනු සිනමා කර්මාන්තයට අති විශාල ආදායම් උපයන මාර්ගයක්ව අවසානය. ලංකාවේද සයිබර් අවකාශය ග්‍රහණය කර ගැන්ම සඳහා චිත්‍රපට සමාගම් කිහිපයක් තරග වැද සිටී. එහි අලුත්ම සිනමා ධාරාව සිනෙමා සිලෝන් නමින් ආරම්භ වූයේ පූජ්‍ය පැල්පොල විපස්සි ස්වාමින්වහන්සේගේ මෙන්ම සිනමා කිවිඳීය සුමිත්‍රා පීරිස් මැතිණියගේ සහ මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ප්‍රධානත්වයෙනි.

පසුගිය වකවානුවේ මෙරට සිනමා ශාලා සදහා ප්‍රේක්ෂක සංඛ්‍යාව අනුක්‍රමයෙන් අඩුවීම කැපී පෙනෙන සිදුවීමකි. එය මෙරටට පමණක් සීමා වූ කරුණක් නොව ලොව පුරා සිදුවෙමින් පවතින ප්‍රවණතාවකි. සිනමාව පමණක් නොව ඕනෑම ව්‍යාපාරයක් හැමවිටම විවිධ අභියෝගවලට මුහුණ දෙයි. ලෝක ප්‍රවණතාවන් හා සාමාජීය කරුණුවලින් මිදී කිසිවකට හෝ සදාකාලිකව පැවතිය නොහැකිය. ඒ හැමවිටම එයට සුදුසු ප්‍රතිකාර යෙදිය හැක්කේ අදාළ ගැටලුව නිසි ලෙස හඳුනා ගැන්මෙන් පසුවය. මෙරට සිනමාව සම්බන්ධව ද එය එසේමය. ලංකාව යනු ලෝකයේ කොටසක් විනා ලෝකය යනු ලංකාවේ කොටසක් නොවේ. එබැවින් අදාළ ගැටලු හඳුනා ගැන්මට මේ ලෝක ප්‍රවණතා හදුනා ගත යුතුය. ‘එංගලන්තේ පරණ පැටන් කොලොම්පුරේ අලුත් පැටන්‘ ලෙස මහාචාර්ය සුනිල් ආරියරත්න ගීයක සදහන් කරන ලද්දේ 1972 වසරේ පමණ ය. වර්තමානයේ එංගලන්තේ හෝ කොළඹ පමණක් නොව මේ පැත්තේ ද එකවර දැක ගත හැක්කේ එකම පැටන් එකකි. මෙරට සිනමාව අරබයා ගැටලු සමස්තය දෙයාකාරය. එකක් ලෝක සිනමාවේ ඇති වන ප්‍රවණතාවන් හඳුනා නොගෙන කල් ඇරීමේ ප්‍රතිඵලයයි. සිනමාව යාවත්කාලිනවීමත් සමඟ ඇතිවන විපර්යාසයන් වලින් මිදී කිසිම රටක සිනමාවකට පැවතිමක් නැත. එසේ පැවතිය හැක්කේ සංවෘත ආර්ථිකයක් පවතින්නේ නම් පමණකි. වර්තමාන ලෝකයේ එයින් මිදිම කළ හැක්කක් නොවේ. කොටින්ම නූතන තාක්ෂණය පමණක් නොව සිනමා සම්ප්‍රදායන්ගේ විපර්යාස ද ලොවපුරා පැතිර යන්නේ අද ඊයේ සිට නොවේ. එය මෙරට සිනමාකරුවන් හඳුනා නොගත්ත ද සිනමා ලෝලින් වටහා ගනිති. දෙවැන්න මෙරට ඇතිවන විවිධ ආර්ථික සාමාජීය මෙන්ම කාලගුණික හා දේශගුණික විපර්යාසයන් හමුවේ ඇතිවන අර්බුදයන්ය. මේ සියල්ල නොසලකා හැර කටයතු කරන විට ඇතිවන සියලු අර්බුද හඳුනා ගත යුත්තේ විහින් දාගන්නා ලෙඩ හැටියටය. කොටින්ම මෙරට සිනමා කර්මාන්තය (සිනමා කර්මාන්තය යනු දේශිය චිත්‍රපට නිෂ්පාදනය පමණක් නොවේ) තවමත් විසි වැනි සියවසේ ජීවත් වද්දී ප්‍රේක්ෂකයන් ජීවත්වනුයේ විසිඑක්වැනි සියවසේ දෙවැනි දශකයේ බැවි අමතක කිරීමය.

හවුස් ෆුල් පුවරුවක් දේශිය චිත්‍රපට ශාලාවක දැක් ගන්නට ඉඩ ලැබුණේ කවදාදැයි කිසිවකුට හෝ මතක නැත. කලකට ඉහත සිනමා ශාලා හිමියන් තමන්ට අරුචි චිත්‍රපටය ගලවා දැම්මේ ද එහි රැස්වන ප්‍රේක්ෂකයන් ඉදිරියේ හවුස්ෆුල් පුවරුව එල්ලීමෙනි.

සිනමාවේ අර්බුද ලෝකය දුටුවේ අභියෝගය හැටියටය. ඒ මෙම අර්බුද වලින් වැඩි හරියක් ලෝකයට ම පොදු අර්බුද හේතුවෙන්ය. එබැවින් අර්බුද , අභියෝග ලෙස සලකා ඔවුහු එයට පිළියම් යෙදූහ. ලංකාවේ හැර සෙසු ලෝකයේ රටවල චිත්‍රපට නිෂ්පාදකයෝ එයට පිළියම් යෙදූහ. ඒ සිනමාව යනු කලාවක් ලෙස සැළකුව ද එය ලොව මිළ අධිකම කලාව ලෙස සලකන හෙයින්ය.එහි පැවැත්ම තිබෙනුයේ ලාභ සහ පාඩු න්‍යාය ඔස්සේය. මේ නිසා සිනමා ශාලා මෙන්ම සිනමා නිෂ්පාදනය ද වඩා හොඳීන් ඉදිරියට ගියේ සෑම පසුබෑමක්ම තාවකාලික බවට පත්කරමින්ය.

මෙරට චිත්‍රපට ශාලා සඳහා ආසන පිරවිය හැක්කේ සියයට විසි පහක් පමණක්යැයි සෞඛ්‍ය අංශ නියෝග කළේ කොවිඩ් වසංගතය නිසාම නොව, අපේ සිනමාවේ නම්බුව බේරාදීමටයැයි මගේ මිතුරෙකු පසුගිය දවසක කට කැඩිච්ච කථාවක් කිවිවේය. බලාගෙන යන විට එහි ඇත්තක් නැතුවාම නොවේ. එයට හේතුව වැටහෙන්නේ පසුගිය වකවානුවේ මෙරට සිනමා ශාලා සඳහා පැමිණි ප්‍රේක්ෂක සංඛ්‍යාව සොයා බැලීමේදීය.

1979 වසර මෙරට සිනමා ඉතිහාසයේ වැඩිම ප්‍රේක්ෂක සංඛ්‍යාවක් පැමිණි වර්ෂය ලෙස ඉතිහාස ගතව ඇත්තකි. ඒ අවදියේ සිනමාවට විකල්පයක් ලෙස ටෙලිවිෂන් හෝ වෙනත් මාධ්‍යයක් තිබුණේ නැත. එම වර්ෂයේ මෙරට ප්‍රේක්ෂක සංඛ්‍යාව මිලියන 74.4 කි. මේ බව පැවසෙන්නේ ජාතික චිත්‍රපට සංස්ථාව මඟින් නිකුත් කළ වාර්තාවකය. ඒ බැවි ආචාර්ය ඩී.බී. නිහාල්සිංහයන් විසින් රචනා කරන ලද ‘සිංහල සිනමාවේ ස්වර්ණමය යුගය බිඳවැටීම‘ ග්‍රන්ථයේ ද සටහන් කර ඇත්තේය. එම වසරේ මෙරට ජන සංඛ්‍යාව මිලියන 14.79කි. මිලියන 14.79 කින් යුත් රටක මිලියන 74.4 ක් සිනමා ශාලා සදහා ඇදී ඒම අසාමාන්‍ය සංඛ්‍යාවක් පමණක් නොවේ. සිනමාව මෙරට ප්‍රධානම විනෝදාස්වාදය ගෙන දුන් මාධ්‍යය ලෙස පැවැති බව ද එයින් වටහා ගත යුතුය. එයින් මෙරට සියලු දෙනා සියලු වැඩ අත්හැර චිත්‍රපට නැරඹීමට ඇබ්බැහි වූවායැයි අදහස් නොවේ. එමෙන්ම එයට අට වසරකට පෙර චිත්‍රපට ප්‍රේක්ෂක සංඛ්‍යාව මිලියන 36කි. එකල ජනගහනය මිලියන 13 කි. 1979 වසරේ තිරගත කරන ලද සිංහල චිත්‍රපට සංඛ්‍යාව 28කි.

මේ අතරට 1963 වසරේ සිට මෙරට වැඩිම ආදායම ලත් චිත්‍රපටය ලෙස ‘රන්මුතුදූව‘ තැබූ වාර්තාව බිඳ හෙළන ලද ‘හිඟන කොල්ලා‘ ද ඇතුළත්ය. එම වසරේ තිරගත කළ චිත්‍රපට අතරින් ආදායම් ඉපැයීම අතින් අසාර්ථක වූයේ චිත්‍රපට දෙකකි. ‘දුටුගැමුණු‘ චිත්‍රපටය මෙහිලා ගණන් ගත යුතු නැත්තේ එය එක් දිනක ප්‍රදර්ශනයකින් පසු තහනම් කරන ලද බැවින්ය. 1979 වසරේ ප්‍රේක්ෂක සංඛ්‍යාවට ඇතුළත් වනුයේ මෙරට තිර ගත කළ සියලු චිත්‍රපට සඳහා පැමිණි ප්‍රේක්ෂක සංඛ්‍යාවය. ඒ අවදියේ හින්දි චිත්‍රපට මෙරට තිරගත නොවිණ. චිත්‍රපට කර්මාන්තයේ නිෂ්පාදනය, ප්‍රදර්ශනය හා බෙදාහැරීම ද පැවැතියේ ජාතික චිත්‍රපට සංස්ථාවේ ඒකාධිකාරය යටතේය. මෙමඟින් චිත්‍රපට නිෂ්පාදකයාට ද ප්‍රදර්ශකයාට ද නිසි ආරක්ෂාවක් ලබා දුන් බව ද කිව යුතුය. එයින් හරියටම හතළිස් වසරකට පසු එනම් 2019 වසරේ මෙරට සිනමාවේ ප්‍රේක්ෂක සංඛ්‍යාව කවරක්දැයි විමසා බැලිය යුතුය. එම වසරේ දේශිය චිත්‍රපට 29 ක් තිර ගත විය. ජනගහනය මිලියන 21 කි. එහෙත් චිත්‍රපට ප්‍රේක්ෂක සංඛ්‍යාව සම්පූර්ණයෙන් ගත් කළ 5121918 කි. එයින් සිංහල ප්‍රේක්ෂක සංඛ්‍යාව 2036062ක් වූ අතර දෙමළ චිත්‍රපට නැරඹූ ප්‍රේක්ෂක සංඛ්‍යාව 1957585කි. ඉංග්‍රිසි චිත්‍රපට නැරඹූවෝ 1055040කි. හින්දි චිත්‍රපට ප්‍රේක්ෂකයන් සංඛ්‍යාව 73231කි. එම වසරේ අප්‍රෙල් මස 21 වැනි දින සහරාන් ගේ ප්‍රහාරයෙන් චිත්‍රපට ප්‍රදර්ශනයට යම් බාධා එල්ල වුව ද එය සතියකට පමණක් සීමාවිය. එයට සාපේක්ෂව ගත් කල 2018 වසරේ චිත්‍රපට ප්‍රේක්ෂක සංඛ්‍යාව 6152845කි. එය පසු වසරට වඩා දස ලක්ෂයකට වැඩි සංඛ්‍යාවකි. එම වසරේ සිංහල චිත්‍රපට සඳහා 3153681ක් ද දෙමළ චිත්‍රපට සදහා 1835632ක් ද ඉංග්‍රිසි චිත්‍රපට සදහා 1022158ක් ද හින්දි චිත්‍රපට සදහා 141369 ක්ද සහභාගිව තිබිණ. 2019 වසරේ මෙරට චිත්‍රපට ප්‍රවේශ පත්‍රයක මිල සාමාන්‍යය ලෙස රුපියල් දෙසිය පනහකැයි ගණනය කළ හොත් 2019 වසරේ මෙරට දී සිනමා කර්මාන්තය ප්‍රෙව්ශ පත්‍ර මඟින් උපයන ලද දළ වශයෙන් රුපියල් බිලියන 1.2 ක ආදායමක් උපයා ගන්නට ඇතැයි සැලකිය හැකිය. රැකෙන්නට හෝ තැවෙන්නට එසේ සිදු වූයේ කුමන කරුණක් නිසාදැයි සොයන්නට මේ ලිපියෙහි දෙවැනි කොටසින් ලබන සතියට ඉඩ තබන්නෙමි.