මේ කතා කරන්නේ අප අප ගැනමයි

පි‍්‍රයන්ත කොළඹගේ සකූගේ ලෝකය ගැන කතාබහක...
අප්‍රේල් 29, 2021

 

 

මීට අවුරුදු දෙකකට එපිට හැම සිත් සතන්වල සංවේගයම මතු කළ ටෙලි අන්දරය ඔබට මතක ඇති. පුංචි ගැහැණු දරුවෙක් ඉතාම මිහිරියට ගී ගයද්දි ඒ ගීවලට ඔබත් සංවේදී වන්නට ඇති. සිය පියා නොමැතිව මවත් සිහිවිකල් වූ තැන මේ පුංචි දියණියට හයියට සිටියේ සිය මාමාණ්ඩිය පමණි. ඒ ප්‍රේක්ෂක ඔබ ආදරයෙන් වැළඳගත් 'සකූගේ කතාවයි'. සකූගේ කතාව තවත් තිබුණානම් කියන තැනදී එය නිමා විය. ප්‍රේක්ෂක ඔබේ ඒ සිතුවිල්ල හොඳීන් අවබෝධ කරගත් අධ්‍යක්ෂ ප්‍රියන්ත කොළඹගේ 'සකූගේ කතාව' හා එක්වූ ප්‍රේක්ෂක ඔබ වෙනුවෙන් 'සකූගේ ලෝකය' ගෙන එයි. සිය වෘත්තීය ජීවීතය පත්තර කලාවෙන් ආරම්භ කළ ඔහු අද වන විට පුංචි තිරය රිදී තිරය සිය නිර්මාණකරණයෙන් හැඩ ගන්වයි. අද සරසවිය අපේ ටෙලි කතාව සකූගේ ලෝකයට ගිය ප්‍රියන්ත කොළඹගේ සමඟයි.

 

 

'සකූගේ ලෝකය' නමින් දෙවෙනි කොටසක් ගේන්න ඔබ හිතුවේ ඇයි?

මම හිතුවේ කතාවක් කොටස් දාහක් විකාශය වුණොත් එය නරඹන ප්‍රේක්ෂකයාට කම්මැලිකමක් දැනෙන්න පුළුවන්. අනෙක් අතට සිනමාත්මක රූප සහ රසය තිබෙන ටෙලි කතා මාලාවක් එක දිගට රූ ගත කිරීම කාර්මික ශිල්පීන්ට අමාරුයි. මම ලංකාවේ මේ කරන පළමු අත්හදා බැලීම. සකූගේ කතාව විකාශයවන විට එය වටා විශාල ප්‍රේක්ෂක පිරිසක් එකතු වුණා. මේ ටෙලිනාට්‍ය නැරඹූ ප්‍රේක්ෂකයා චෝදනා කළේ නාට්‍ය ඉවරවුනා ඉක්මන් වැඩි කියලයි. එතැනදී මට හිතුණා මෙහි තවත් කොටසක් ගෙන ආ යුතුයි කියලා. ඉතා දිග කතාවක එක පරිච්ඡේදයක් පමණයි මා ' සකූගේ කතාව' නමින් කළේ. එහි ඊළඟ පරිච්ඡේදයයි 'සකූගේ ලෝකය'.

 

සකූගේ කතාව විකාශය වෙන්නේ ස්වර්ණවාහිනී නාළිකාවේ. සකූගේ ලෝකය විකාශය කරන්න ඔබ යොදාගෙන තිබෙන්නේ සිරස නාළිකාව, චැනල් මාරූ කළේ ඇයි?

මේ කතා මාලාව යන නාළිකාව නොවෙයි වැදගත්. සකූගේ කතාවට එකතු වූ ප්‍රේක්ෂකයා එහි දෙවෙනි කොටස මොන නාළිකාවක ගියත් එය වටා එකතු වනවා යන විශ්වාසය මට තියෙනවා. ප්‍රේක්ෂකයා ටෙලිවිෂනය බලන්නේ රිමෝට් එක අතේ තියාගෙන. එක චැනල් එකකින් තවත් චැනලයකට මාරූ වීමට තප්පරයටත් අඩු කාලයක් යන්නේ. ඔවුන් තීරණය කරාවී මම මේ වෙලාවේ බලන්නේ මොන නාළිකාවද ඇයි ඒ බලන්නේ කියලා. අපි නිර්මාණකරුවන් විදිහට සාරවත් ගුණාත්මක නිර්මාණයක් හදලා දුන්නොත් එය වටා ප්‍රේක්ෂකයා එකතු වේවී. මම හිතනවා චැනලය මාරු වුනා කියලා ප්‍රේක්ෂකයා අතරමං කිරීමක් මෙහිදී වුනේ නෑ කියලා. පෙන්වන මාධ්‍යයට වඩා ගුණාත්මක දේ කිරීමයි වැදගත්.

 

පි‍්‍රයන්ත කොළඹගේ

ඒ කියන්නේ සකූගේ කතාවට වඩා සකූගේ ලෝකය වෙනස්? මොනවද ඒ වෙනස්කම්?

සකූගේ කතාවට වඩා සකූගේ ලෝකය ගුණාත්මකබවින් හා නිර්මාණාත්මක අගයෙන් ඉහළයි කියන්න පුළුවන්. කතාව රසය, ගලායෑම, කතාව තුළ කතාකරන මානව සම්බන්ධතා මානව ගුණය වගේ දේ මෙහි පිරිලා තියෙනවා. අනෙක් අතට තාක්ෂණය අතින් බැලුවොත් උසස්ම තාක්ෂණිය භාවිත කරලා ලෝකයේ ඕනම ටෙලිවිෂන් කතා මාලාවක් සමඟ සන්සන්දනය කළ හැකි අභියෝග කළ හැකි ජාත්‍යන්තර මට්ටමේ නිර්මාණයක් කරලා තියෙනවා. ඒ වගේම මෙහි අන්තර්ගතය පිළිබඳ කතා කළොත් මිනිසුන්ගේ හදවතට කතා කරන, මිනිසුන් ගැන කතා කරන, සමාජයේ තිබෙන පැත්තක් කතා කරන කතන්දරයක් මෙය.

 

සකූගේ අම්මත් වෙනස්වෙලා?

කතාවේ චරිතයට සාධාරණය කරන එයට අදාළ රංගනය වෙනස් ආකාරකින් ඉදිරිපත් කිරීමට අධ්‍යක්ෂවරයාට අවශ්‍යනම් රංගන ශිල්පියා මාරූ වීම ප්‍රශ්නයක් නෙවේ. අනෙක් අතට තවත් අලුත් රංගන ශිල්පියෙක් හෝ ශිල්පිනියක් හඳුන්වාදීමට අවස්ථාව ලැබෙනවානම් එයත් නිර්මාණකරුවාගේ වගකීමක් කියලා මා හිතනවා.

 

සකූගේ ලෝකයට අලුත් චරිත බොහොමයක් ඇවිත්?

දැහැමි කියන චරිතය පළමු වතාවට හඳුන්වා දෙනවා.

අලුත් රංගන ශිල්පිනියක්. ඉන්පසුව වෙද මහත්මයාගේ චරිතයට ශ්‍රියන්ත මෙන්ඩිස් එකතු කර ගත්තා. වෙද නෝනා චරිතයට මාදනී මල්වත්ත සම්බන්ධ වෙනවා. එය ඉතාම සංවේදී චරිතයක්. මේ වගේ චරිත ගණනාවක් අලුතින් එකතු වෙලා තියෙනවා. එය ඒ කතා මාලාවට අවශ්‍ය කරන චරිත.

සකූගේ කතාවෙන් පසුව සකූගේ ලෝකය එන්නේ අවුරුදු දෙකකට පසුව. ඇයි මේ තරම් කාලයක් ගියේ?

කතාව ගොඩනඟලා තිබුණට තිර පිටපත ගොඩ නඟන්න ඕන. එයට කාලයක් යනවා. මේ තිර පිටපත ගොඩනඟන්න මට අවුරුදු එක හමාරකට වැඩි කාලයක් ගියා. තිර පිටපත අවසන් වුණත් ඒ වන විට මම 'මන්දාරා' චිත්‍රපටයේ වැඩ පටන් අරන් තිබුණා. එහි වැඩ කටයුතු අවසන් වීමෙන් පසුවයි මෙහි වැඩ ආරම්භ කළේ.

 

සකූ දැන් ලොකු වෙලා. නිර්මාණයට මොනවගේ බලපෑමක්ද එයින් සිදු වෙන්නේ?

සකූව දැන් දකිනවිට මට ඉස්සරටත් වඩා බොහොම සතුටුයි. 'සකූගේ ලෝකය' ට ඉතාම යෝග්‍ය මට්ටමකයි සකූ දැන් ඉන්නේ. සකූගේ කතාවේ සිටි සකූට වඩා ටිකක් ලොකු කෙනෙක් තමයි සකූගේ ලෝකයට අවශ්‍ය වුණේ. එය ඒ ආකාරයටම ලැබුණු එකට සතුටුයි. අපි හැමෝම ලොකු වෙනවා වයසට යනවා වගේ සකුත් දැන් ලොකු වෙලා.

 

'සකූගේ ලෝකය' වෙනස් කළේ කොහොමද?

මම හිතන ආකාරයට මෙතැනදී තමයි ප්‍රේක්ෂකයා තුෘෂ්ණීම්භූත වන්නේ. මේ කතාව කොහොමද මේ වගේ තැනකට ගියේ කියලා ප්‍රේක්ෂකයාට සිතා ගත නොහැකි වෙයි කතාව නරඹන විට. සකූගේ කතාවෙදි සකූට ආදරේ කළ මාමා මැරුණා. නමුත් සකූගේ ලෝකය තුළ මාමා ඉන්නවා. මාමා කොහොමද ඉන්නේ කියන කාරණය දැනගන්න නම් කතාව බලන්නම වෙනවා.

 

වළං රංජි මාමා මැරුණා නේද? ඔහු 'සකූගේ ලෝකය'ට ආයේම ගෙනල්ලා ඔබ මොකද්ද ප්‍රේක්ෂකයාට කියන්න උත්සහා කරන්නේ?

ආදරය කරන කිසිම කෙනෙක් කාගෙවත් ජීවිතවලින් මියැදෙන්නේ නෑ.හරියට ආදරේ කළොත් ඒ ආදරය එක්කම ජීවත් වෙනවා මුළු ජීවිත කාලය පුරාම. මේ චරිතය කතාව තුළ තිබෙන සංවේදීම චරිතයක්. මේ කතාව තුළ එන මාමා කරන අරගලය බැලුවම එය ප්‍රේක්ෂකයා වෙනමම තැනකට ගෙන යනවා. ආදරයකට පුළුවන්ද මේ තරම් දේවල් කරන්න කියන කාරණය මෙය තුළ අප කතා කරලා තියෙනවා. මේ නිකම්ම රූප නොවේ. මේ කතාව හරහා අප කතා කරන්නේ අප ගැනමයි. අපට නොතිබෙන සමාජයට අවශ්‍ය මානුෂීය ගුණාංග පිළිබඳවයි.

 

සකූගේ චරිතය සමාජයට මොනවගේ බලපෑමක් වෙයිද?

සකූට විශාල අභියෝග රැසකට මුහුණදීගෙන ඉදිරියට යන්න වෙනවා. ඕනෑම චරිතයක් ලැබෙන අත්දැකීම් එක්ක පරිණත වෙනවා. සකුත් ඒ වගේ තමයි. ඇත්තටම සකුට පමණක් නෙවේ. පොදුවේ අපේ සමාජය තුළ ජීවත්වන සියලුම දරුවන්ට විය හැකි දේ ගැනයි අප මෙහිදී කතා කරන්නේ. ළමයෙක් කොහොමද ජීවිතය හැඩගස්වා ගන්නේ කියන කාරණය කතා කරනවා. මම හිතනවා සකූ ආදර්ශමත් චරිතයක් වේවී පොදු සමාජයටම. ඒ වගේම පවුල තුළ කොහොමද අප ළමයෙකුට සැළකිය යුත්තේ, ළමයෙකුගෙන් අප මොනවද බලාපොරොත්තු විය යුත්තේ, පෙරලා අප මොනවද ළමයා වෙනුවෙන් කළ යුත්තේ කියන දේ පිළිබඳවත් මෙහිදී කතා කෙරෙනවා. සමාජය තුළ ජීවත් වන වීදී දරුවාගේ පටන් සියලුම දරුවන්ගේ වගකීම වැඩිහිටියන්ට පැවරෙනවා කියන දේ මතක් කරලා දෙන්නත් මේ චරිතය ඉවහල් වෙනවා.

පවතින වසංගත තත්ත්වය හමුවේ කුඩා දරුවන් යොදාගෙන නිර්මාණයක් කිරීම අභියෝගාත්මකයි. ඔබ කොහොමද ඒ අභියෝගයට මුහුණ දුන්නේ?

ඇත්තෙන්ම ඇතැම් රූ ගත කිරීම් කෝවිඩ් නිසා නතර කරන්න සිදු වුනා. නිර්මාණයේ සාමාජිකයෙක් කොවිඩ් ආසාදනය වූ නිසා. ඒ කෙසේ වුවත් සියලුම ආරක්ෂිත විධිවිධාන පිළිපදිනවා. හැමදාම උණ බලනවා. මාස්ක් දාගෙනමයි වැඩ කරන්නේ. රඟපෑමේදි පමණයි මාස්ක් ගලවන්නේ. පෞද්ගලිකව මම සියලුදෙනා ගැනම සොයා බලන්න අමතක කරන්නේ නෑ. පොඩි හෝ අසනීප තත්ත්වයක කෙනෙක් ඉන්නවානම් ඒ අය ගැන විශේෂ අවධානයක් යොමු කරනවා. අපි මාස තුනකට ආසන්න කාලයක් රූ ගත කිරීම් කරනවා. ඒ කාලයේදී කිසිම විදිහක අපහසුතාවයකට මුහුණ දෙන්න සිදු වුණේ නෑ අප නිවැරදිව මාර්ගෝපදේශ පිළිපදින නිසා. ඒ වගේම පී එච් අයි මහත්වරුන්ගෙන් හොඳ සහයෝගයක් ලැබුණා මේ කටයුතු කිරීමේදී. ඔවුන් මේ නිර්මාණ කටයුතු නොකෙරෙන තැනට නෙවේ කෙරෙන තැනටයි උපකාර කළේ.

 

ඔබේ නිර්මාණයේ ප්‍රධාන චරිතය නිරූපනය කරන සහේලි ගැන කතා කොකළොත් එය අඩුවක්?

සහේලි මම නිර්මාණවලට යොදා ගන්නෙ ඇයට අවුරුදු හයේදී. දැන් ඇයට අවුරුදු 12ක්. මැය තමයි මම දකින අපේ ලාංකිය රංගන ශිල්පිනියන්ගෙන්, ලොකු කුඩා ඕනෑම රංගන ශිල්පිනියකගෙන් අතිශය දක්ෂතම රංගන ශිල්පිනිය. ඇයගේ භාවමය ප්‍රකාශයන්, සංවේදී තැන් ඒ සියල්ල එක්ක මේ හැකියාව කොහෙන්ද ආවේ කියලා මට හිතාගන්න අමාරුයි. එක දෙයක් එක පාරක් කිව්වම එයා ඒ කියන දේ ඇස් දෙක පියාගෙන අහනවා. ඉන්පසු එය අපූරුවට ප්‍රතිනිර්මාණය කරනවා. සහ ඇයට අමාරුනම් ඇය කියනවා 'අංකල් මට ඇඩෙන්නේ නෑ මේක කියන්න ආයෙම' කිව්වම මම එයාට එය යම් කිසි පැහැදිලි කරීමක් කරනවා. ඇයට ඇෙඬනවා. එයම නිර්මාණයට ගෙන එනවා. ඇය ඒ ස්වාභාවිකව දක්වන අභිනයන් පිළිබඳ මටත් හරිම පුදුමයි. ඒ නිසාම මට ලොකු වෑයමක් පරිශ්‍රමයක් ගන්න අවශ්‍ය නෑ ඇය එක්ක වැඩ කරන්න. සකූගේ කතාව තුළ වගේම සකූගේ ලෝකයේත් ඇය ඉතාම දක්ෂ ලෙස චරිතය නිරූපණය කරනවා.

 

සකූගේ කතාව තුළ ප්‍රේක්ෂකයා සංගීත ලෝකයකට අරන් ගියා. සකූගේ ලෝකයත් සංගීතයෙන් හැඩ කරලද?

අනිවාර්යයෙන් ම. අප කුඩා කාලයේ රස විඳී ගීත ඒ තිබූ උසස් රසවින්දනය දැන් ගිලිහී ගිහින්. අද ළමා පරපුරට එදා අප රසවිඳී ගීත අහන්න දකින්න ලැබෙනවා හරිම අඩුයි. මම මෙහිදී උත්සහා කළා එදා තිබූ සුනිල් ශාන්තයන්ගේ ගීත වල තිබූ හෙළ රසය අපේ කම නැවත දරුවන් වෙත ගෙන ඒම. ඇත්තටම මගේ උත්සාහය සාර්ථක වුණා. ඒ වගේම සකූගේ ලෝකය තුළත් ඒ වගේ ගීත ගණනාවක් මා භාවිත කරලා තියෙනවා.

රූගත කිරීම් කළේ?

කුරුණාගල ප්‍රදේශය ප්‍රධානම දර්ශන ඉසව්ව ලෙස භාවිත කළා. සකූගේ ගම වෙන්නේ ඒ ප්‍රදේශය. හොරණ, බණ්ඩාරගම, බලන්ගොඩ ආදී ප්‍රදේශවල රූ ගත කිරීම් කළා.

 

'සකූගේ ලෝකය' බලන්න ලැබෙන්නේ කවදද?

මැයි මාසේ 3 වෙනිදා ඉදලා සතියේ දිනවල රාත්‍රි 8 ට සිරස නාළිකාව ඔස්සේ බලන්න පුළුවන්.