පුණ්‍යාට පෙම් බැඳ, සැමියා වූ දොස්තර රසිකයා ජීවිතයෙන් සමුගනී

අප්‍රේල් 29, 2021

පුණ්‍යා හා මිල්රෝයි එංගලන්තයේ නිසංසල පරිසරයක වසන්තය උදාවත්ම, රෝස කුසුමින් ද, ගෙට නැමුණු පොප්ලර් ගස්වල, සුළගේ දඟලන කොලවල සිලි සිලියෙන් ද නිල් කොළයෙන් හා පලුපල්ලවයන්ගෙන් බහුල හරිත වර්ණ අවට දර්ශනය ප්‍රබෝධමත් කරමින්, සියතුන් නගන කන්කලු ගී සරණියට, කවුළුව විවර කර භාවනායේගීව සවන් දෙමින් සිටියහ. පුණ්‍යා එංගලන්තයේ දි ලියු බ්‍රින්දා “නම් ඉංගී‍්‍රසියෙන් හා සිංහලෙන් ලියු කෙටි කතා සංග්‍රහය මීට කලක ඉහත ලියද්දි ඇයට සෙවනැල්ල වගේ සිටියේ තම ආදරණීය සැමියා මිල්රෝයි බව මට කියා තිබුණාය.

‘මිල්රෝයි අයියට හොඳටම අමාරුයි. දැන් ඉන්නේ  ICU එකේ. පුණ්‍යා අක්කාත්, පුතයි දුවයි ළඟම ඉන්නවා.” මේ ප්‍රවෘත්තිය මට ටෙලිෆෝන් කොට කීවේ අමර හීන්දෙනියයි. ඒ පසුගිය 18 වෙනිදාය. 

අමර හීන්දෙණිය යනු දැනට එංගලන්තයේ පදිංචිව සිටින ප්‍රවීණ සරසවිය සම්මාන උළෙලේ මුල්ම හොඳම නිළිය සම්මාන ලාභී පුණ්‍යා නිළි පුණ්‍යා හීන්දෙණියගේ මයිලනුවන්ය. ඔහු මීරිගම පදිංචිව සිටී. දින දෙකකට පමණ පසු අමර මට යළිත් කතා කළේ කණගාටුදායක ආරංචියක් දැනුම් දීමටය.

“මිල්රෝයි අයියා අද නැති වුණා.  ICU එකෙන් වෙන කාමරයකට මාරු කරලා හිටියේ.” අමර ශෝකී හඬින් කීවාය.

පුණ්‍යාගේ ආදරණීය සැමියා ලන්ඩන් නුවර රැක්ෆර්ඩ් රෝහලේ දී මිය යන විට අසූතුන් හැවිරි වියේ පසු විය. වෛද්‍ය මිල්රෝයි මගේ මිතුරෙකු වූයේ 80 දශකයේ ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ “කලියුගය” චිත්‍රපටයේ රඟපෑමට පුණ්‍යා සමඟ ලංකාවට පැමිණි අවස්ථාවේය. ඔවුන් සමඟ පුතු අනූපම ද පැමිණියේ ‘කලියුගයේ’ ළමා චරිතයක් රඟපෑමට තෝරාගත් නිසාය. අද අනූපම එංගලන්තයේ විශේෂඥ වෛද්‍යවරයෙකි. ‘කලියුගය’ චිත්‍රපටය වැඩි දර්ශන ගණනක් රූගත වූයේ කොළඹ තර්ස්ටන් පාරේ කොළඹ විශ්ව විද්‍යාලයට අයත් කොලේජ් හවුස් එක අසල ක්වීන්ස් පාරට හැරෙන තැන පිහිටි විශාල ගේට්ටු දෙකක් සහිත සාෆ් විලා නම් දැවැන්ත නිවසේ ය. එහි ඉදිරිපස ඇති උද්‍යානයේ වෛද්‍ය මිල්රෝයි සමඟ ඇවිදිමින් මට බොහෝ දේ කතා කිරීමට අවස්ථාව ලැබිණි. ඔහු කාරුණික නිහතමානී මහත්මා ගති ගුණ ඇති මිනිසෙකි. ඔහු තුළ සැඟ වී සිටියේ තමා උපන් ගාල්ලේ නිර්වජ්‍ය ගැමියාගේ ගති ලක්ෂණය.

පුණ්‍යා හා මිල්රෝයි යුවළ ලංකාවට පැමිණි හැම අවස්ථාවකම ඔහු ක්වීන්ස් පාරේ පිහිටි ‘ක්වීන්ස් සුඛෝපභෝගී එපාට්මන්ට් එකේ” නිවසට කැඳවා තේ බොමින් අල්ලාප සල්ලාපයේ යෙදුණ හැටි මගේ ජීවිතයේ අමතක නොවන ලෙස සටහන් වී ඇත.

පුණ්‍යා හීීන්දෙණිය මුල්ම 1964 සරසවිය සම්මාන උලෙළේ දී හොඳම නිළිය ලෙස “ගම්පෙරළිය” චිත්‍රපටය සඳහා සම්මාන ලැබුවාය. එදා සම්මාන දිනුවන් අතර අද ජීවත් වන සම්මාන ලාභීන් තුන්දෙනා අතරින් එක කලාශිලිපිනියකි. අනික් දෙදෙනා සුමිත්‍රා පීරිස් හා නන්දා මාලිනියයි. ‘රන්සළු’ චිත්‍රපටයට ද පුණ්‍යා සරසවිය සම්මාන ලැබුවාය.

පුණ්‍යාට එකල සිනමා රසිකයන්ගේ පෙම් හසුන්වලින් අඩුවක් නොතිබිණි. ‘රන්සළු’ චිත්‍රපටය තිරගත වන කාලයේ ඇගේ මීරිගම ‘යමුණා’ නිවසට ලැබුණු ගෝනි ගණන් ලිපි අතර වෛද්‍යවරු, විශ්වවිද්‍යාල කථිකාචාර්යවරු, ඉංජිනේරුවරු, විදුහල්පතිවරු, සිවිල් නිලධාරීන්, ගේ ද පෙම් හසුන්, විවාහ යෝජනා ද නැතිවා නොවේ. මේ අතර මොනරාගල රෝහලේ සේවය කළ තරුණ දොස්තර කෙනෙක් පුණ්‍යාට ලිපියක් ලියමින් මෙසේ කියා තිබුණි.

‘ලබන සෙනසුරාදා නිවාඩු දවසක්. මට ඔයාව හමු වී කතා කරන්න පුළුවන් ද?’

එය ලියා තිබුණේ ව්‍යක්ත ඉංගී‍්‍රසියෙනි. මෙය දුටු පුණ්‍යට කේන්ති ගියාය. ගෙදරට එන මෙවැනි ඉංගී‍්‍රසි ලිපිවලින් ද අඩුවක් නොතිබුණි.

මේ ලිපිය දුටු පුණ්‍යාගේ දෙමාපියන් කීවේ ‘හැමදාමත් ඔහොම ඉඳලා කොහොමද? ඒ දරුවාට අපි එන්න කියන්නද?” කියාය. පුණ්‍යා විවාහය ගැන සිතුවේ වගකීමක්,බරක්, හැටියට බව වරක් මට කීවාය. එහි දී ඇය ෆ්‍රෙඩ් මිලියන් නම් මනෝ විද්‍යාඥයා විවාහ අපේක්ෂිත තරුණයන් කියා තිබූ ප්‍රකාශයක් උපුටා දැක්වුවාය.

“ඔබේ පෙම්වතිය ගැන නිගමනයකට බැසීමේ දී සහකාරිය පමණක් නොව ‘ළමයින්ගේ අම්මා’ තෝරා ගැනීමක් ලෙස ද සැලකිය යුතුයි.

ඉහත කී තරුණයා එවන ලද ඉංග්‍රීසි ලිපියට ඉංගී‍්‍රසි ලිපියට පුණ්‍යා ඉංගී‍්‍රසියෙන් ලියා යැව්වේ මෙසේය.

“එදාට අපි ගෙදර නෑ. කළුතර නෑ ගෙදරක යනවා.” කියාය.

ලිපිය ලද තරුණයා පුණ්‍යාගේ අත්අකුරු ටික දැක මහ මෙරක් ලෙස සලකා පිළිතුරු ලිපියක් ලිව්වේය.

‘ඒක හොඳයි. මම එදාට ඉන්නේ ගාල්ලේ. ගාල්ලේ ඉඳලා කළුතරට එන එක ලෙහෙසියි.”

පුණ්‍යාට මේ රසික දොස්තරගෙන් ගැලවීමක් නැති බව දැණුනාය. ඔහු ද ලෙහෙසියෙන් පසු නොබසින බව තේරුම් ගත් ඇය ද පිළිතුරු ලිපියක් ලිව්වාය.

“නෑ.... නෑ... කළුතර වඩා මීරිගම හොඳයි. කරුණාකර අපේ ගෙදර එන්න. කළුතර ගමන අම්මලා කල් දැම්මා.

එදා වෛද්‍ය මිල්රෝයිගේ ජිවිතයේ අමතක නොවන දිනයක් බව අමුතුවෙන් කිව යුතු ද? ඔහු මීරිගම ‘යමුණා’ නිවසට ගියේ තනිවමය. ඔහුගේ මෝටර් රථය මහගෙදර මිදුලේ නතර විය. බ්‍රීෆ් කේසයක් ද රැගෙන ඔහු රථයෙන් බැස්සේ රථයේ සිටි පිටරට බල්ලන් දෙදෙනා සමඟය. උන් දෙදෙනා පුණ්‍යා වටේ ගොස් ගොළු බසින් කියා සිටියේ මේ ගෙදර බෝම්බ නැති බවය. ආරක්ෂක කටයුතු නිම කළ පසු තරුණයා තමාව පුණ්‍යාට හා දෙමව්පියන්ට හඳුන්වා දුන්නේය.

‘මම දොස්තර මිල්රෝයි. මිල්රෝයි නානායක්කාර.”

තරුණයා පැමිණ දෙමාපියන් සමඟ ආලින්දයේ හසුන් ගත්හ.

පුණ්‍යා දෙමාපියන්ට කතා කිරීමට ඉඩ සලසා මුලුතැන්ගෙට ගියාය. තේ කෝප්පයක් දෙනවාද? සිසිල් බීම වීදුරුවක් දෙනවාද? ඇයට දෙගිඩියාවකි. “නෑ. සිසිල්බීම හොඳයි.’ ඇය තීරණය කොට ඔරේන්ජ් බාර්ලි බීම වීදුරුවක් ඔහුට පිළිගැන්වුවාය.

‘ස්තුතියි. මිල්රෝයි ඇගේ නිර්ව්‍යාජ සිනාවට පිළිතුරු ලෙස කීවේය. 

කවුද? මේ මිල්රෝයි නානායක්කාර?

1938 වසරේ ගාල්ලේ එලියට් පාරේ නිවසක දී උපත ලැබු මිල්රෝයි බෙවර්ලි ද සිල්වා නානායක්කාර ගාල්ලේ මහින්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා කොළඹ වෛද්‍ය විද්‍යාලයෙන් උපාධි ලබා මොණරාගල රෝහලේ දිස්ත්‍රික් වෛද්‍යවරයා ලෙස සේවය කරන බවත් ඔහු තම පැටිකිරිය දෙමාපියන්ට හෙලි කළේය.

පුණා්‍යාට දැන් කුතුහලය නම් වෛද්‍යවරයාගේ බ්‍රිෆ් කේස් එක ගැනය.

මොකක් ද බොරු හේතුවක් කියමින් ඔහු බ්‍රිෆ් කේසය අරිනු පුණ්‍යා දැක්කාය. “මෙයා නම් ඇවිත් තියෙන්නේ මනමාල ගමනක්” ඇයට සිතී හිත යටින් සිනාවක් ගියාය.

ඔහු බ්‍රිෆ් කේස් විවෘත කළේය.

බ්‍රිෆ් කේස් එකේ ඔහු පුණ්‍යා රඟ පෑ ‘සරසවිය’ පත්‍රයෙන් කපා ගත්තු ‘රන්සළු’ චිත්‍රපටයේ පින්තුරයක් අළවා තිබෙනු පුණ්‍යා දුටුවාය. ඔහුගේ අභිලාෂය වුයේ “මම පුණ්‍යාට පෙම් කරනවා.” යන්න හැඟවීමට ද?

ඔහු සමුගනිද්දී, පුණ්‍යාගේ දෙමාපියන්ගේ කොතරම් හිත දිනාගෙන තිබුණා දැයි අම්මා කී කතාවෙන් පුණ්‍යාට දැණුනාය.

“පුතා, ආයිත් නිවාඩු වෙලාවක අපේ ගෙදර එන්න.”

පුණ්‍යාගේ කැමැත්ත විමසූ දෙමාපියන්ට ඇගේ දෑසින් දැක ගන්නට ලැබුණේ ප්‍රබෝධමත් බවකි. ඇය කිසිවක් නොකියා සිනාසී ගෙට ගියාය.

මිල්රෝයි හා පුණ්‍යා විවාහ වුහ. එදා මනාලියන්ගේ යෙහෙළියන් වුයේ සෝභනී අමරසිංහ හා නිලන්ති විජේසිංහය.

මිල්රෝයි හා පුණ්‍යා අතර විවාහයට වසර පණහ සිපිරුණේ 2017 වසරේ ජූලි 18 වෙනිදාටය. වසර 54ක දිගු ගමනකින් ඔහු ඇයගෙන් වෙන්වීම ගැන කුමන කතා ද?

වරක් අපේ සම්මානීය නිළි අනෝජා වීරසිංහ පැවසුවේ වෛද්‍ය මිල්රෝයි පුණ්‍යා විවාහ වීමෙන් පසු මොණරාගල රෝහලේ නිල නිවාසයට ආ දා තමා ඇතුළු සිසුවියන් ආසිරි ගී ගයා පිළිගත් බවය. එදා වෛද්‍ය මිල්රෝයිගේ ලැබුණු ලියුම් කවරයේ රුපියල් 25ක් තිබු බව අනෝජා සිනාසෙමින් අපට කීවාය.

පුණ්‍යා විවාහයෙන් පසු එංගලන්තයේ පදිංචියට ගියාය. එංගලන්තයේ හාර්ට්ෆර්ඩ්ෂයර් ප්‍රාන්තයේ ඔවුන් වාසය කළහ. ඔවුන්ගේ පුතා (එදා කලියුගය’ චිත්‍රපටයේ ළමා නළුවා) අනූපම නානායක්කාර විශේෂඥ වෛද්‍ය වරයෙකි. දියණිය පුර්ණිමී විශේෂඥ වෛද්‍යවරියකි.

පුණ්‍යා හා මිල්රෝයි එංගලන්තයේ නිසංසල පරිසරයක වසන්තය උදාවත්ම, රෝස කුසුමින් ද, ගෙට නැමුණු පොප්ලර් ගස්වල, සුළගේ දඟලන කොලවල සිලි සිලියෙන් ද නිල් කොළයෙන් හා පලුපල්ලවයන්ගෙන් බහුල හරිත වර්ණ අවට දර්ශනය ප්‍රබෝධමත් කරමින්, සියතුන් නගන කන්කලු ගී සරණියට, කවුළුව විවර කර භාවනායේගීව සවන් දෙමින් සිටියහ. පුණ්‍යා එංගලන්තයේ දි ලියු බ්‍රින්දා “නම් ඉංගී‍්‍රසියෙන් හා සිංහලෙන් ලියු කෙටි කතා සංග්‍රහය මීට කලක ඉහත ලියද්දි ඇයට සෙවනැල්ල වගේ සිටියේ තම ආදරණීය සැමියා මිල්රෝයි බව මට කියා තිබුණාය.

මේ පොත ලිවීමේ දී පරිගණක යන්ත්‍ර පහසුකම් සිට කහට කෝප්පය, හකුරු කැල්ල පවා ළඟට සපයා දෙමින් මාව ධෛර්ය කළේ මගේ ආදරීණය මිල්රෝයි” පුණ්‍යා එදා කීවාය.

අද මිල්රෝයි නැති ජීවිතය පුණ්‍යාට විස්තර කර ගැනීමට බැරිය. “මෙවන් සැමියකු ලද කාන්තාවක් නිවුණා.” වෙය. ඔහු බිරිඳට කාරුණික සැමියකු, මිතුරෙකු හිතවතෙකු විය. පුතුට හා දියණියට, මුනුපුරු මිනිබිරියට කාරුණික පියකු, සීයා කෙනෙකු විය.

මිල්රෝයි මිය ගිය පසු පුණ්‍යා එංගලන්තයේ හාර්ට්ෆර්ඩ්ෂර් ප්‍රාන්තයේ රෝස කුසුමින් ද පොප්ලර් ගස්වල සුලගේ දඟලන කොලවල සිසියෙන් සැනසෙමින් තම සෙවනැල්ල බඳු මියගිය තම සැමියාගේ ගුණ සිහිකරමින් භාවනානුයෝගීව සිටිනු මට මැවී පෙනෙයි.

කාරුණික හදවතක් ඇති, නිරහංකාර, මානව දයාවෙන් සපිරි මිල්රෝයි, ඔබට නිවන් සුව පතමි.

නිශ්ශංක විජේරත්න