දෙරටක නෑයෝ

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අභාවයෙන් තෙවසර සපිරීම හා ඉන්දියානු මහා සිනමාවේදී සත්‍යජිත් රායිගේ ජන්ම ශත සංවත්සරය වෙනුවෙනි.
අප්‍රේල් 29, 2021

1949 වසර සත්‍යජිත් රායිට වැදගත් වසරකි. ඔහු සිය දීර්ඝ කාලින පෙම්වතිය මෙන්ම ආදරණීය නෑනන්ඩිය ද වූ බිජෝයා දාස් හා විවාහ විණ. එමෙන්ම ශාන් රෙනෝවා ද රිවර් චිත්‍රපටය නිර්මාණය කරන්නට ඉන්දියාවට පැමිණියේ ද මේ වසරේමය.

අපේ සැබෑ සිංහල සිනමාවේ පීතෘවරයාණන්ගේ අභාවයෙන් වසර තුනක් සපිරෙන්නේ අදටය. එනම් අප්‍රේල් 29 වැනිදාටය. 2018 වසරේ අප්‍රේල් මස පස්වැනි දින ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ උපන් දිනය සැමරුම සදහා වෙනදා මෙන් කොළඹ ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවතේ අංක 35 දරන තැන පිහිටි ඔහුගේ නිවෙසට කිසිවකු හෝ ගොඩවුණේ නැත. ඒ වනවිට අවුරුදු 99 ක් ආයු වළඳා සිටි හෙතෙම වෙනදා මෙන් සිය උපන්දිනය සමරන ආකාරයෙන් උත්සවශ්‍රීයෙන් එය සමරන්නට තරම් වාතාවරණයක් නොතිබුණු බැවින්ය. එහෙත් එදින ආචාර්ය ලෙස්ටර්ගේ සෙවණැල්ල බඳු සුමිත්‍රා පීරිස් මැතිණියගේ සිනමා නිර්මාණය වූ 'වෛශ්ණාවී' තිරගත වීම ආරම්භ කරන ලද්දේ මහා සිනමාවේදියාට ගෞරවයක් හැටියටය. එබැවින් උපන් දින කේක් ගෙඩිය කපන ලද්දේ කොළඹ රීගල් සිනමාහලේ සිට සුමිත්‍රා පීරිස් මහත්මියගේ ප්‍රධානත්වයෙන්ය. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් එයට වසර කිහිපයකට මත්තෙන් සිය අවසාන සිනමා කෘතිය වූ 'අම්මාවරුණේ' චිත්‍රපටය තිර ගත වූ දා එය සිය අවසාන චිත්‍රපටය යැයි නිල වශයෙන් නිවේදනය කළේය. ඒ 2006 වසෙර්ය. හරියටම ඔහුගේ මුල්ම වෘත්තාන්ත සිනමා කෘතියට පනස් වසර සපිරෙද්දීය. එයින් ගෙවුණු වසර ගණනාව මුළුල්ලේ ඔහු සිනමා කෘතියක් නිර්මාණය නොකළ ද සිනමාව පිළිබඳ අවදියෙන් සිටියේය. සුමිත්‍රා පීරිස් මැතිණිය වෛශ්ණාවී නිර්මාණය කරද්දී එම දර්ශන තලයේම රැඳී සිටියේය. තමා ගොඩ නැඟු මාවත ඔස්සේ පියමං කරන තරුණයන්ගේ සිනමාව ලොව පුරා සිනමා උත්සවයන් හිදි සම්භාවනාවට පාත්‍ර වේද්දී ඒ පිළිබඳ බලමින් පියකු ලෙස සතටු වුණේය.

ආචාර්ය ලෙස්ටර්ගේ අභාවයෙන් තුන් වැනි වසර අද සපිරෙද්දී ඔහුගේ ළඟම නෑයාගේ ජන්ම ශත සංවත්සරය ලබන ඉරිදා එනම් මැයි මස දෙවැනිදා සැමරේ. කොවිඩ් වසංගතය ලොව පුරා පැතිර නොයන්නට ආචාර්ය ලෙස්ටර්ගේ ළඟම නෑයාගේ ජන්ම සත සංවත්සරය කොළඹින් සැතැපුම් සිය ගණනක් ඈත කල්කටාවේදී සැමරෙනු නියතය. එපමණක් නොව මෙරට දී ද එය සැමැරීමට ඉඩ තිබිණ. මේ නෑයා සත්‍යජිත් රායිය. රායි ආචාර්ය ලෙස්ටර් ගේ නෑයකු යැයි පවසන්නේ රායි විසින්මය. නිකම්ම නොවේ ඔහු ලෙස්ටර් හඳුන්වා දුන්නේ ආසියාවේ මගේ නෑයා හැටියටය.

නෑයා යැයි පැවසුවේ නිර්මාණාත්මක අතින් හා ඔවුන් විඳී අත්දැකීම් මෙන්ම සිය නිර්මාණ හා හැගිම් ජනතාවට ප්‍රේරණය කරවන ආකාරයෙන් ගොඩ නැගුණු නෑකමය. ඒ නෑකම ලේ නෑකමකට වඩා ගෞරවණීයය. නැතිනම් රායි ආචාර්ය ලෙස්ටර්ට වඩා උසය මහතය. එමෙන්ම ඔහු ලෙස්ටර්ට වඩා අවුරුදු දෙකකට බාලය. ලෙස්ටර් උපන්නේ 1919 වසරේ අප්‍රේල් 5 වැනිදාය. සත්‍යජිත් රායි 1921 වසරේ මැයි මස 2 වැනිදා උපත ලද්දේය. ලෙස්ටර් සිය ජීවිත කාලය ඇතුළත වෘත්තාන්ත චිත්‍රපට 19 ක් අධ්‍යක්ෂණය කළේය. වසර 99 ක් ජීවත් විය. රායි අවුරුදු 70ක්ජීවත් විය. වෘත්තාන්ත චිත්‍රපට29 ක් අධ්‍යක්ෂණය කළේය. රායි මිය ගියේ 1992 වසරේ අප්‍රෙල් මස 23 වැනි දාය. මේ දෙදෙනාම ස්වකීය මුල් වෘත්තාන්ත සිනමා නිර්මාණ බිහි කරද්දී ලෝකයේ තැනෙන මහා සිනමා කෘතීන්ගේ ආස්වාදය විඳ තිබිණ. ආසියාවේ පැරැණිතම සිනමා සමාජය ලෙස සැලකූ 1940 වසරේ බිහි වූ කොළඹ සිනමා සමාජයේ ආචාර්ය ලෙස්ටර් ආරම්භක සාමාජිකයකු විය. ඉන්දියාවේ මුල්ම සිනමා සමාජය වන 1947 වසරේ බිහි වූ කල්කටා සිනමා සමාජය ආරම්භ කරන ලද්දේ සත්‍යජිත් රායි, චිදානන්ද දාස්ගුප්තා සමඟය.( චිදානන්ද , සුප්‍රකට සිනමාවේදිනි අපර්නා සෙන්ගේ පියාණන්ය. සුප්‍රකට නිළි කොන්කොන් සෙන් ශර්මා ගේ සීයාය.) 

ආචාර්ය ලෙස්ටර් සිය වෘත්තාන්ත සිනමාව ආරම්භ කරන සමය වන විට මෙරට සිනමා මාධ්‍ය හඳුනාගත් කිසිදු ගුරුවරයෙකු පහළව නොසිටියේය. එහෙත් සත්‍යජිත් රායි සිය මුල්ම සිනමා නිර්මාණය බිහි කරන විට කල්කටාවේ ඇතැම් සිනමාකරුවෝ සිනමා මාධ්‍යය හරහා කළ හැකි ශාක්‍යතාව ඔප්පු කරමින් සිටියහ. සත්‍යජිත් රායි එහි පරිපූර්ණ මිනිසා විය. ජාත්‍යන්තරය ජය ගත් මිනිසා විය. ඔහු සිනමාකරුවකු පමණක් නොවේ. සංගීතඥයෙකි. නවකථාකරුවෙකි. තිරනාටක රචකයෙකි. චිත්‍ර ශිල්පියකි. ආසියානු සිනමාවේ මහා පුරුෂයෝ ලෙස මේ දෙපොළම වැජඹුනහ. ඔවුහු ඔවුන්ගේ සිනමාවෙන් දෙරටම සිහින ලොවෙන් මුදා සැබෑ මානව දයාව ඉස්මතු කළහ. ජන ජීවිතය මේ යැයි ලොවට කියා සිටියහ. එහි සිටි මිනිසුන් ලෝකයටම පොදුය. ඔවුන්ගේ දුක සොම්නස, සතුට සියල්ල හැමවිටම සමසේ බෙදා ගත හැකි විය. එය ලෝකයටම පොදු විය. රේඛාවේ සේන මෙන්ම පාතේර් පංචාලියේ ඕපූ ද එක හා සමාන වනුයේ එහෙමය. එබැවින්ම ලොව පුරා විශිෂ්ට සිනමාකරුවන්ගේ සම්භාවනවට මේ මහා පුද්ගලයෝ ලක්වූහ. එමෙන්ම ඒ ඒ දේශයන්හි සිනමාව පිළිබඳ මහා සිනමා කෘතින් සසඳද්දි මේ දෙනෑයෝ හැමවිටම අපේ කලාපයේ වැජඹුනහ.

සත්‍යජිත් රායි උපත ලබනුයේ එවකට බ්‍රිතන්‍යයට අයත්ව තිබුණ ඉන්දියාවේ කල්කටා නගරයේය. ඔහුගේ පරම්පරාවම බෙංගාලයේ සුප්‍රකට ලෙඛකයෝ වූහ. එය ඇරඹෙනුයේ ඔහුගේ මුත්තනුවන් වූ උපේන්ද්‍රකිශොර් රායි චෞද්රි ගෙනි. ඔහු බෙංගාලයේ ජීවත් වූ විශිෂ්ට ගණයේ ළමා කතා රචකයෙකි. උපේන්ද්‍ර ගේ භාර්යාව වූ බිදුමුඛි දේවි ඉන්දියාවේ මුල්ම වෛද්‍යවරිය වූ කාදම්බිනි ගංගුලි හා බෙංගාලයේ විශිෂ්ට චින්තකයකු වූ ද්වර්කනාත් ගංගුලි ගේ දියණියයි. ඔවුනගේ මුල් පරම්පරාව අයත් භූමිය වර්තමානයේ අයත් වනු‌යේ බංග්ලා දේශයටය. ඒ 1947 වසරේ ඉන්දියාව බෙදී යාමේ ප්‍රතිඵලයකි. උපේන්ද්‍රගේ එක් දියණියක වන සුඛාලතා රාවෝ ළමා කතා රචිකාවකි. පුතු සුකුමාර් බෙංගාලි ලේඛකයකු හා කවියකු විය. ඔහුගේත් භාර්යාව සුප්‍රභා දේවිගේත් එකම පුතු සත්‍යජිත් රායි මහා සිනමාකරුවාය. සත්‍යජිත් රායිට තුන් හැවිරිදි වියේ දී සුකුමාර්ගේ පිය සෙනහස සදහටම අහිමි විය. එතැන් පටන් ඔහු හැදුණේ අම්මාගේ සෙවැණැල්ල යටය.

ඔහු වෘත්තිය ජීවිතය ආරම්භ කරනුයේ වාණිජ චිත්‍ර ශිල්පියෙකු හැටියටය. ඒ කල්කටාවේ පිහිටි බ්‍රිතාන්‍ය වෙළෙඳ දැන්වීම් සමාගමකය‍ . මාසික වැටුප ඉන්දියානු රුපියල් 80 කි. හතළිස් ගණන්වල අග එය ඉන්දියාවේ හැටියට සැලකිය යුතු වැටුපකි. සිනමාව පිළිබඳ ඔහුගේ නොතිත් ඇල්ම වැඩෙනුයේ ළමා වියේමය. සුප්‍රකට ඉන්දියානු සිනමාකරු නිතින් බෝස් ඔහුගේ සමීප නෑයෙකු විය. ඔහු 'දිදාර්' චිත්‍රපටය රූප ගත කරද්දී එය නැරඹීමට චිත්‍රාගාරයට ගිය ද එහි රඟපාමින් සිටි දිලිප් කුමාර් විසින් මේ ආගන්තුක තරුණයා දර්ශන තලයෙන් ඉවත් කරන ලෙස නිතින් බෝස්ට දන්වා සිටියේය. තමා විසින් චිත්‍රාගාරයෙන් ඉවත් කරන ලද අධ්‍යක්ෂවරයාගේ නෑයා පසුකලෙක ඉන්දියානු සිනමාව ලෝක සිනමාවේ ඉහළින් ඔසවා තබන්නෙකු වනු ඇතැයි දිලිප් කුමාර්ට නිකමටවත් නොසිතිණ. මේ අවදියේ සුප්‍රකට ප්‍රංශ සිනමාකරු ශාන් රෙනෝවා ඉන්දියාවේ රූප ගත කරන ලද 'ද රිවර්' චිත්‍රපටයට දායක වන්නට ඉඩ ලැබීම සත්‍යජිත් රායි නම් සිනමාකරුවා ගේ බිහිවීමට එක් හේතුවක් විය. 1948 වසරේ දී රැකියාව නිසා සය මසක් එංගලන්තයට ගිය අවස්ථාවේ විටෝරියො ඩිසිකා ගේ 'ද බයිසිකල් තීව්ස්' නරඹන්නට ඉඩ ලැබීම මේ අතරවාරයේ ලද තවත් උත්තේජනයක් විය. චිත්‍රාගාරයෙන් බැහැරව සාමාන්‍ය මිනිසුන්ගේ සිතුවිලි හා ක්‍රියාකාරකම් එක්තැන් කරන්නට හැකිනම් ඉන්දියාව ඒ සඳහා කථා සාගරයක් මවනු ඇත.

එක් අතකින් නූතන සිනමා කලාවේ හැඩ ගැස්ම පිළිබඳ දැනුමට පාරම්පාරිකව ලත් බෙංගාල සාහිත්‍යයේ ප්‍රබෝධයත් රායිගේ බිහිවීමට හා නැඟී සිටිමට හේතු වූ බව මෙහි වැදගත්ම කරුණය. රායි උසස් අධ්‍යාපනය හදාරනුයේ ශාන්ති නිකේතනය අයත් විශ්ව භාරතීයේය. මේ බෙංගාලයේ මහා සාහිත්‍යවේදී රබීන්ද්‍රනාත් ථකූරයන් විසින් ගොඩ නඟන ලද අධ්‍යාපන ආයතනයයි. එබැවින් සම්ප්‍රදායික බෙංගාලි සාහිත්‍යය හා ජීවිතය පිළිබඳ දැනුම සිය අධ්‍යාපනය මඟින් ද ලබන්නට රායිට හැකියාව තිබිණ. චිත්‍ර ශිල්පියෙකු ලෙස රායි එවකට විශිෂ්ට චිත්‍ර ශිල්පින් ලෙස සැලකුණු නන්දලාල් බෝස් සහ බෙනෝද් බෙහාරි මුඛර්ජි යටතේ චිත්‍ර ශිල්පය හැදෑරුවේය. (පසුකලෙක රායි විසින් නිර්මාණය කරන ලද 'දි ඉනර් අයි' වාර්තා චිත්‍රපටයට පාදක වනුයේ මුඛර්ජි පිළිබඳවය.) එමෙන්ම සම්ප්‍රදායික ඉන්දියානු කලාවන් පිළිබඳ ඔහු තුළ තිබුණේ පෘථුල දැනුමකි.

සිනමාව නම් නූතන කලාව මගින් ඔහු ගොඩ නඟනුයේ ඔහුට ආවේණික වංග සාහිත්‍යයේ රූපමය අන්දරයයි. ඔහුගේ මුල්ම චිත්‍රපට නිර්මාණය වූ පා‌තේර් පංචාලි බිභූති බූෂන් බන්ධෝපාධ්‍යාය නම් වංග ලේඛකයාගේ එනම් නවකථාව ඇසුරු කොට ගෙන සැකසුණකි. කොටස් දෙකකින් යුත් මේ නවකථාව රායි අතින් සිනමාවට නැඟෙනුයේ තුන් ඈදුතු චිත්‍රපට හැටියටය. සිනමාවේ මෙන්ම සම්ප්‍රදායික බෙංගාලි කතා කලාව අනුව යමින් ඔහු විසින් නිර්මාණය කරන ලද , ෆෙලුඩා, ලාල් මෝහන් ගංගුලි ප්‍රොෆෙසර් ෂොන්කු වැනි චරිත ඇතුළත් කතන්දර ඉතා අපූරු විස්මය ජනක ඒවාය. පසුකලෙක ස්ටීවන් ස්පිල්බර්ග් අතින් සිනමාවට නැඟුනු ක්ලෝස් එන්කවුන්ටර් ඔ‌ෆ් තර්ඩ් කයින්ඩ් හා ඊ.ටී වැනි ප්‍රබන්ධ මුලින් සත්‍යජිත් රායි විසින් රචනා කරන ලද කෘතින් බව කුප්‍රකට රහසකි. (මේ හොලිවුඩ් හොරකමට මඟ පෑදුවේ ලාංකික සිනමාකරුවකුව සිටි මයික් විල්සන් බව පැවසේ.) ඔහු විසින් බොලිවුඩ් සුපරි තාරකාවන් රැසක්ම කාටුන් චිත්‍රපයට නඟන ලදුව දි ඉලස්ට්‍රේටඩ් වීක්ලි ඔෆ් ඉන්ඩියා සඟාරාවේ දිගු කලක් එක දිගට පළ විය.

1953 වසරේ නිර්මාණය කරන ලද රායිගේ මුල්ම වෘත්තාන්තය වන පාතේර් පංචාලි 1956 වසරේ කාන් සිනමා උලෙළේ හොඳම මානව වාර්තාවට හිමි සම්මානය දිනා ගත්තේය . එය ඉන්දියාව දිනා ගත් මුල්ම අන්තර්ජාතික සිනමා සම්මානය නොවේ. ඒ වනවිට කාන් උලෙලේදීම චේතන් ආනන්ද්ගේ 'නීච් නගර්', වී.ශාන්තාරම්ගේ 'ඩොක්ටර් කොට්නිස් කී අමර කහානි' වැනි චිත්‍රපට සම්භාවනාවට පාත්‍රව තිබිණ. නව තාත්විකවාදි සිනමාවේ සෙවණැල්ල බිමල් රෝයි විසින් තැනූ 'දෝබිගා සමීන්' හරහා ඉන්දියානු සිනමාවට ගෙන තිබිණ. ආචාර්ය ලෙස්ටර් සම්ප්‍රදායික සිංහල සිනමාව උඩු යටිකුරු කර 'රේඛාව' හදන්නේ පතේර් පංචාලි කාන් උලෙළේ සම්මාන දිනන එම වසරේමය. චිත්‍රපටයට නැඟීමට පෙරාතුව රායි බන්ධෝපාධ්‍යයගේ 'චන්දර් පහාර්' නවකථාවේ පිට කවරය නිර්මාණය කළේය. සිනමාකරුවකු වන්නට ප්‍රථමයෙන් ඔහු පොත් කවර නිර්මාණකරුවෙකු හැටියට ද නමක් දිනා ගත්තේය. ශ්‍රී ජවහර්ලාල් නේරුගේ ඩිස්කවර් ඔෆ් ඉන්ඩියා නම් සුප්‍රකට ග්‍රන්ථයේ ද කවරය රායි ගේ නිර්මාණයකි. ඔහු පතේර් පංචාලි සිනමා නිර්මාණයක් කරන්නට ප්‍රථමයෙන් ළමා කෘතියක් හැටිය ද ආම් අන්තීර් බේපු නමින් නැවත නිර්මාණය වද්දී එහි කවරය නිර්මාණය කළේය. මේ නවකථාව සිනමා කෘතියක් බවට පරිවර්තනය කරන්නට ඔහු වඩාත් පෙලැඹුණේ එම අවස්ථාවේය.

1949 වසර සත්‍යජිත් රායිට වැදගත් වසරකි. ඔහු සිය දීර්ඝ කාලීන පෙම්වතිය මෙන්ම ආදරණීය නෑනණ්ඩිය ද වූ බිජෝයා දාස් හා විවාහ විණ. සිනමාවේදී සන්දිප් ඔවුන්ගේ එකම පුතනුවන්ය. එමෙන්ම ශාන් රෙනෝවා 'ද රිවර් 'චිත්‍රපටය නිර්මාණය කරන්නට ඉන්දියාවට පැමැණියේ ද මේ වසරේමය. ඔහු පතේර් පංචාලි සිනමාවට නැඟිම පිළිබඳ රෙනෝවා සමඟ ද සාකච්ඡා කළේය. ප්‍රංශ සිනමාකරුවා එය ඉහළින් අගය කළේය. 1952 වසරේ රූප ගත කිරිම් ආරම්භ කළ ද පතේර් පංචාලි අවුරුදු දෙකක් තිස්සේ රූ ගැන්වණු චිත්‍රපටයකි. චිත්‍රපටය හමාර වන විට බිජෝයාගේ රන් ආභරණ සියල්ල උකස් කොට අවසන්ය. පතේර් පංචාලිට පසු ඔහු විසින් නිර්මාණය කරන ලද 'අපරාජිතෝ' වැනිස් සිනමා උලෙළේ හොඳම චිත්‍රපටයට හිමි 'ස්වර්ණ සිංහ' සම්මානය දිනා ගැන්ම ඔහු වඩාත් ජාත්‍යන්තර අවධානය දිනා ගත් අවස්ථාව විය. එයින් පසු ඔහු විසින් නිර්මාණය කරන ලද පරාශ් පතාර්, ජල්ශඝාර්, හා ඕපු ත්‍රිත්වයේ අවසානය වන ඕපු සංසාර් රායිගේ විශිෂ්ටත්වය ලොවට කියා පෑවේය. ඕපු සංසාර් ඔහුගේ ප්‍රියතම රංගවේදියා වූ සෞමිත්‍ර චැටර්ජි සිනමාවට හඳුන්වා දුන් අවස්ථාව විය. රායිගේ සිනමාවේ සෙසු සහපිරිවර අතර කැමරා අධ්‍යක්ෂ සුබත්‍ර මිත්‍රා සහ කලා අධ්‍යක්ෂ බන්සි චන්ද්‍රගුප්ත ඉස්මතු වෙයි. මේ තුන් හවුල දීර්ඝ කාලයක් එක්ව කටයුතු කළේය. මුල් චිත්‍රපට කිහිපයෙහි ඔහුගේ සංගීතවේදියා වූයේ පණ්ඩිත් රවි ශංකර්ය. අනතුරුව තම සිනමාකෘතින් සදහා සංගීත නිර්මාණය රායි විසින්ම සිදුකරන ලදී. රායිගේ සිනමා කෘති බොහෝ විට පාදක කර ගත්තේ බෙංගාලි සාහිත්‍ය කෘතින්ය. බිභූති භූෂන් බන්ධෝපාධ්‍යාය මෙන්ම තාගෝරයන්ද ඔහුගේ සිනමාවට වස්තු විෂයයන් ගෙනාවේය. රායි තමාගේම කථාවක් සිනමාවට නැඟුවේ කන්චන්ජුංගා හරහාය. ඔහුගේ චිත්‍රපට අතර වඩාත්ම වාණිජමය වශයෙන් සාර්ථක සිනමා කෘතිය ලෙස සැලකෙනුයේ 'ගූපි ගයින් බගා බයින්' ය. එයට පාදක වනුයේ ඔහුගේ සීයා වූ උපේන්ද්‍ර විසින් රචනා කරන ලද කෘතියකි.

ඔහුගේ කල්කටා ත්‍රිත්වය නමින් හැදින්වෙන සිනමා කෘතින් වූ ප්‍රතිද්වන්දී, සීමාබද්ධ, හා ජනආරණය එක් අතකින් ඒ වනවිට ඉන්දියාවේ නැඟී එන වාමවාදී සිනමා විචාරකයන්ට දුන් පිළිතුරක් වැනිය. හැත්තෑව දශකයේ බිහි වූ නව සිනමාකරුවෝ ඔවුන්ගේ පුරෝගාමී සිනමාකරුවන් විවේචනය කිරිම සිරිතක්ව කොට ගත්හ. ප්‍රංශයෙන් ආරම්භ වුණු මෙම මතවාදි රැල්ල ලොව පුරා පැතිර ගියේය. රායි ද එහි ගොදුරක් විය. ඔවුන්ගේ බරපතළ චෝදනාව වූයේ සමකාලින සමාජ ගැටලු මේ සිනමාකරුවන් විසින් වුවමනාවෙන්ම මඟ හරින බවකි. රායිගේ චිත්‍රපට අතරින් වාර්තා චිත්‍රපට ද්විත්වයක් පමණක් (රබීන්ද්‍රනාත් ඨකූර්, හා සිකිම්) ඉංග්‍රිසි බසින් නිර්මාණය කරන ලදී. ඔහු හින්දි බසින් ද නිර්මාණය කරන ලද්දේ චිත්‍රපට ද්විත්වයකි.(ශත්රන්ජ් කේ කිලාඩි, සද්ගති) සෙසු චිත්‍රපට තමන්ට හුරුපුරුදු බෙංගාලි බසින්ම නිර්මාණය කිරිමට සත්‍යජිත් රායි වගබලා ගත්තේය. රායි ගේ අවසාන චිත්‍රපටය වූයේ 1992 වසරේ නිර්මාණය වූ 'ආගන්තුක්' ය. මිය යන්නට ටික දිනකට මත්තෙන් රෝගීව සිටි ඔහු වෙත ඇමෙරිකානු සිනමා ඇකඩමිය මඟින් විශේෂ ඔස්කාර් සම්මානයක් පිරිනැමිණ.

මේ මහා සිනමාකරුවෝ සිනමාව ලෝකයේ මිනිසුන් පොදු මිනිසුන් බවට පරිවර්තනය කළහ. ඔවුහු දෙපොළම මිනිස් ජිවිත සියුම් ලෙස කණපිට හරවා එහි ඇතුලු හද ගැබට ඇතුළුව එය විනිවිද පෙන්වන්නට සමත් වූහ. දෙලොවක් අතර හා නිධානය චිත්‍රපට ද්විත්වයෙහිදී ආචාර්ය ලෙස්ටර් මේ විශිෂ්ටත්වය ඉස්මතු කරවනුයේ රායි අභිබවා යමින්ය. එහෙත් කල්කටාවේ මෙන්ම කොළඹ ද උපන් මිනිසුන්ගේ හැඟිම් එක් තැනකදී පොදු බවට පත්වෙයි. පොදු මානව දයාව හා මානව හැඟීම් එලෙස ඉස්මතු කළ හැක්කේ සිනමාකරුවන්ගේ අවංක චේතනාවන්ට පමණකි. පතේර් පංචාලි යේ එන ඕපූ හෝ රේඛාවේ සේන යන දෙදෙනාම එකිනෙකා නොහඳුනන ගැමි දරුවෝ වෙති. එහෙත් ඔවුන් දෙදෙනාම එක සේ විඳීන්නට අපට හැකි වෙයි. ඒ සිනමාකරුවන්ගේ මානව ප්‍රේමය හා එය රූපය මඟින් හකුලා දැක්වීමේ ශක්‍යතාව අනුවය.

රායි සිනමාකරණයෙන් බැහැරව බොහෝ කලාවන්ගේ ඇසූ පිරූ තැන් ඇතිව සිටියේය. ආචාර්ය ලෙස්ටර් ද එබන්දෙකි. රායි ස්වකීය සිනමාවෙන් බැහැරව වෙනත් සිනමාකරුවන්ගේ නිර්මාණ සඳහා දායක වූ අවස්ථා එමටය. ආචාර්ය ලෙස්ටර් එලෙස දායක වනුයේ සුමිත්‍රා පීරිස් මැතිණියගේ චිත්‍රපට උදෙසා පමණකි. රායි සංගීතවේදියකු හැටියට ශේක්ෂිපයර් වාල්ලා , භක්ෂා බදාල්, ගංගාසාගර් මේලා, පතීක් චාන්ද් වැනි චිත්‍රපට රැසකටම සංගීත අධ්‍යක්ෂනයෙන් හා තිර රචනයෙන් දායකව ඇත්තේය.

සිනමාව කෙරෙහි යම් රටක අලුතින් සිතන්නට පුරුදු කළ මේ මහා සිනමාකරුවන් දෙපොළම අද අප අතර නැත. ඔවුහු සමකාලීන සමාජය පමණක් නොවි මිනිසුන්ගේ ඇතුළු සිතට ද ගැඹුරින් ඇතුලු ව එය කණපිට හරවා අපට ගෙන හැර පෑහ. එමෙන්ම ඔවුන් සිනමාකරණයෙහිලා පෑ අවංක හැඟීම ඔවුන්ගේ සිනමාව සදා අමරණීය බවට පත් කර ඇත්තේය.