සරාට ගහපු නිසා කැකුලාට ආපු මරණ තර්ජන ගැන රුවන් පෙරේරා හෙළිදරව් කරයි

ජූලි 15, 2021

 

නාඩගම්කාරයෝ කියන්නේ මේ වන විට මෙරට ටෙලිනාට්‍ය උන්මාදයක් වන තරමට ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වුණු නිර්මාණයක්. එහි එක් ජවනිකාවක ප්‍රධාන කතානායකයා වන සරාට "කැකුලා" සහ ඔහුගේ පිරිස පහර දෙනවා. එම ජවනිකාව විකාශය වුණු පසුව එළඹෙන්නේ කැකුලාට ප්‍රේක්ෂකයෝ සියල්ලෝ එක් වී දෙස් දෙවොල් තියන සමය. නාඩගම්කාරයෝහි කැකුලාගේ චරිතයට පණ පොවන්නේ සම්මානනීය දක්ෂ රංගන ශිල්පියෙක් වුණු රුවන් පෙරේරා. සරාට පහර දෙන එම ජවනිකාවට ප්‍රේක්ෂකයන් කෙතරම් සංවේදී වුණේදයත් කැකුලා නොහොත් රුවන් පෙරේරාට ප්‍රේක්ෂකයන්ගෙන් මරණ තර්ජන එන තැනට පත්ව හමාරයි. ටෙලිනාට්‍යයක චරිතයක් වෙනුවෙන් මෑතකදී රංගන ශිල්පියෙක් ලෙස ප්‍රේක්ෂකයන්ගෙන් වැඩියෙන්ම දෝෂදර්ශනයට ලක් වුණු මේ දක්ෂ රංගන ශිල්පියා මේ චරිතය ගැන වැඩිදුර කතා කරන්න සම්බන්ධ කරගත්තා.

 

සරාට ගහපු නිසා කැකුලට මරණ තර්ජන ආවා කියන කතාව මොකක්ද?

"නාඩගම්කාරයෝ" ටෙලිනාට්‍යයේ කැකුලාගේ චරිතය හිතන්න බැරි තරමට ප්‍රේක්ෂකයෝ අතරට ගියා. ප්‍රේක්ෂකයන්ගේ එකම හතුරා බවට කැකුලා පත්වුණා. නාඩගම්කාරයෝ කියන්නේ ලංකාවේ අතිබහුතරයක් බලන ජනප්‍රියම ටෙලිනාට්‍යය. ඒ නිසා ප්‍රේක්ෂකයන්ට කැකුලා හිතාගන්න බැරි තරම් දුෂ්ටයෙක් වුණා. සරා කියන්නේ නාඩගම්කාරයෝ නාට්‍යයේ හැමෝගෙම ආදරය දිනාගත්ත චරිතයක්. සරාට කැකුලා ගහපු එකට ප්‍රේක්ෂකයන්ගේ හිත රිදුණා. ඒ රිදීමත් එක්ක ඔවුන් කැකුලාගෙන් පළිගන්න තැන් හෙව්වා. නාඩගම්කාරයෝ නාට්‍යයක් කියලා හිතන්න බැරි තරමට එය ඔවුන්ගේ සැබෑ ජීවිතයට ළංවෙලා. එච්චරටම ප්‍රේක්ෂකයන්ගේ හිත ඇතුළට මේක කාවැදිලා තියෙන්නේ. සරාට ගහපු දවසේ ඉඳලා මට සමාජ ජාලාවලින් පණිවිඩ එනවා, පෝස්ට් හදලා දානවා. ඒවා මට විරුද්ධව නෙමෙයි කැකුලාට විරුද්ධවයි හැදෙන්න ඕනේ. "හැප්පිලා මැරෙන්න ඕනේ, ඕකාට හොඳක් වෙන්න එපා, අතපය කැඩෙන්න ඕනේ" වගේ දේවල් මට ආවා. අනුරාධපුර ගෑනු කෙනෙක් මට මැසේජ් කරලා "මගේ හස්බන්ඩ් ළඟ තුවක්කුවක් තියෙනවා. ඒක අරගෙන ඇවිත් තමුසෙට වෙඩි තියන්න සරාට දෙනවා" කිව්වා. තව කෙනෙක් දාලා තියෙනවා පෝස්ට් එකක් "සරා ඉක්මණින් සනීප වෙලා ඇවිත් කැකුලාට ගහපන් වෙන කාටවත් නෙමෙයි, මගේ මිනිහාට පේන්න" කියලා. තව සමහර අය මට කතා කරලා කිව්වා "වැඩිය දඟලන්න එපා, අපි සරාගේ පැත්තේ" කියලා. සමහර අයට මට නුගේගොඩට එන්න එපා, දෙහිවලට එන්න එපා, ගාල්ලට එන්න එපා කිව්වා. තව අය කිව්වා "ගම රත්නපුරේ වුණත් කරන්න දෙයක් නැහැ අපි කරපු වැඩේට විරුද්ධයි" කියලා. ඒ වගේ ලංකාවේ තැන් තැන්වල කැකුලාට විරුද්ධව කැරැල්ලක් හැදුණා.

 

ඒ තර්ජන නිසා රුවන්ට හානියක් වුණාද?

නැහැ. මට හානියක් වුණේ නැහැ. මම කොහොමත් රූගත කිරීම් නැත්නම් මගේ ගෙදර ඉන්නේ. එළියට යන්නේ නැහැ මම. ඒත් කොට්ටාවේ මම ඉන්න පාරේ දෙන්නෙක් ඇවිත් මගේ ගේට්ටුවට ගහලා "ඇයි මොකෝ සරාට ගැහුවේ?" කියලා සද්දෙන් මගෙන් ඇහුවා. මම දැන් අවුරුදු හත අටක් එතන නතර වෙලා ඉන්නෙ පළවෙනි වතාවට තමයි මට නාට්‍යයකට එහෙම ප්‍රතිචාරයක් ලැබුණේ.

 

එච්චරට මිනිස්සු කුපිත වෙන්න තරම් හොඳට රඟපෑවේ කොහොමද?

මම ඒ චරිතේ රඟපෑවේ නැහැ. එච්චර මිනිස්සුන්ට කේන්ති ගන්න තරම් ඒ ජවනිකාව එහෙම වුණේ ඒකෙදි මම රඟපෑවේ නැති නිසා. රඟපෑවා නම් ඒ තරම් කතාබහ කරන එකක් නැහැ.

 

කැකුලා කියන්නේ නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යය මැදින් සම්බන්ධ වුණු චරිතයක්. මේ චරිතය රුවන්ට ලැබෙන්නේ කොහොමද?

මේ චරිතයට මට ආරාධනාව ලැබුණේ අධ්‍යක්ෂ ජයප්‍රකාශ් සිවගුරුනාදන්, පිටපත් රචක සද්ධාමංගල සූරියබණ්ඩාර සහ නිෂ්පාදක චාමර සමරවික්‍රම කියන තිදෙනාගේම කැමැත්ත සහ තෝරාගැනීම මත. ඔවුන් මේ චරිතයට සුදුස්සා කවුද කියලා කතාබහ වෙන අතරවාරයේ මගේ නම යෝජනා කරලා. ඉතින් ඔවුන් මාව විශ්වාස කරලා මට ඒ චරිතය දුන්නා. විශේෂයෙන් කියන්න ඕනේ කැකුලාගේ චරිතයෙන් මම ජනප්‍රිය වෙන්න කලින් මාව හැමෝම දන්නේ "ඩිංකා" කියලා. හාරකෝටියේ ඩිංකාව පිටපතට ගේන්නේ සද්ධාමංගල සූරියබණ්ඩාර මහත්මයා. ඒ ඩිංකාව කාචගත කරන්නෙ සිවගුරුනාදන් මහත්මයා. ඩිංකා ඔළුවේ හිටපු අයගෙන් ඩිංකාව ඉවත් කරලා කැකුලා කියන චරිතය ප්‍රේක්ෂකයන් අතරට ගෙන ගියෙත් මේ දෙපළ. ඒ ගෞරවය ඔවුන්ට හිමිවිය යුතුයි. ඒ වගේම සද්ධාමංගල අයියාගේ බිරිඳ චේතනී විජේතුංග මහත්මියව මතක් කරන්න ඕනේ. චේතනී අක්කා මගේ කලා ජීවිතයේ ගොඩක් තැන්වලදි මට උදව් උපකාර කරපු කෙනෙක්. ඇය මං ගැන කතා කරලා මට චරිත යෝජනා කරලා මගේ හැකියාව නිතරම අගය කරන කෙනෙක්.

මේ ටෙලිනාට්‍යයේදී රණ්ඩු සරුවල් මැද වුණු අමතක නොවන සිදුවීම් මතක් කරමු?

මම සරාට ගහන්න යන දවසේ එදා දවසම වැස්ස. උදේ ඉඳලා හැන්දෑවේ තුන විතර වෙනකල්ම සජිතට ගහන ජවනිකාව තමයි අපි කළේ. පැය භාගයක් වැස්සොත් ඒ ජවනිකාව තිබුණු වාඩිය ළඟ මඩ වෙනවා. ඒ මඩ ටික අයින් කරලා ආයිමත් රූපගත කිරීම් පටන්ගත්තාම ආයිමත් වහිනවා. ඒ නිසා අපි ඒ ජවනිකාවට සෑහෙන්න මහන්සි වුණා. ඒ වගේම සරා කැකුලාට ගහන දවසේ සරා කැකුලාගේ අතට පිස්තෝලේ විසිවෙන්න පයින් ගහනවානේ. ඒ පාර ඇත්තටම මට වැදිලා අත ටිකක් ඉදිමුණා. ඒක මමයි සජිතයි දෙන්නම කතා වෙලයි කළේ ඒ ජවනිකාව තාත්වික වෙන්න ඕනේ නිසා. සජිත කියන්නේ හරිම දක්ෂ නළුවෙක්. වර්තමානයේ ඉන්න තරුණයන් ගත්තාම සෑහෙන්න ඉදිරියෙන් ඉන්න හරිම සහයෝගයෙන් වැඩ කරන නිහතමානී කෙනෙක්. එදා ඒ ජවනිකාව අපි එක සැරෙන්ම රූගත කළා. පිස්තෝලේ නළලට වැදිලා සජිතගේ නළලත් ටිකක් නිල් වෙලා තිබුණා. ඒ ජවනිකාවේ සජිත පිස්තෝලේ මගේ අතේ තියෙද්දිම එයාගේ නළලට තද කරගත්තා. එතකොට මට පිස්තෝලෙ ඈත් කරන්නත් බැහැ, සජිතට රිදෙන්නේ නැතුව ඒක කරන්නත් ඕනේ. ඒක අමතක වෙන්නේ නැහැ.

 

කැකුලාගේ චරිතය ගැන ක්ෂේත්‍රයෙන් ඔබට ඇහෙන්න මොනවගේ ප්‍රතිචාරද?

කැකුලාගේ චරිතයට ලැබෙන්න තියෙන හොඳම ප්‍රතිචාරය ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂවරයා, නිෂ්පාදකවරයා සහ පිටපත් රචකයා යන මුල් පුරුක් තුනෙන් ලැබුණා. ඉතාමත් හොඳට මේ චරිතය නිරූපණය කළා කියලා ඔවුන් කිව්වා. ඊට අමතරව ප්‍රවීණ නළු සනත් ගුණතිලක මට කතා කරලා ප්‍රතිචාර දුන්නා. ඒ වගේම මගේ ගුරුතුමා ජැක්සන් ඇන්තනී මාව විශේෂ ඇගයීමකට ලක් කළා. මේ චරිතය මම ඉතාමත්ම හොඳට කරනවා කියලා හැමෝම කියනවා. කිසිම කෙනෙක් මේ වෙනකන් චරිතයට සෘණාත්මක ප්‍රතිචාරයක් දුන්නේ නැහැ.

 

ඔබේ ගුරුවරයා ජැක්සන් ඇන්තනීගෙන් මේ චරිතයට ලැබුණු ප්‍රතිචාරය නොකිව්වොත් ඒක අඩුවක්.

ජැක්සන් සර් එක්ක මම වැඩ කරන්න පටන් අරගෙන අවුරුදු පහළොවක් විතර වෙනවා. සජිත කියන්නේ සර්ගේ පුතා. පුතායි ගෝලයායි එකතු වෙන තැන ඉතාම හොඳ රංගනයක් නොතිබ්බොත් ඒක පුදුමයක් කියලා තමයි සර් කිව්වේ.

 

ඉදිරියේදී කැකුලාගේ චරිතයට සම්මානයක් ලැබේවිද?

සම්මාන බලාගෙන මම රඟපාන්නේ නැහැ. නමුත් මම දෙන දේ හරියට කරනවා. ඒක හරියට කළාම සුදුසු නම් සම්මාන ලැබෙනවා. මම එහෙම සම්මානනීය වෙනවා නම් එහෙම මහන්සි වෙලා චරිත කරපු ටෙලිනාට්‍ය තව කීපයක්ම විකාශය වෙන්න නියමිතයි. හොඳම නළුවා සම්මානය කවදාහරි ගන්න මගේ අරමුණක් තියෙනවා. ඒකට වැඩි කාලයක් නැහැ. ඉක්මනින්ම පුළුවන් වෙයි කියලා මම හිතනවා.

 

කැකුලා ඉස්සරහට නාඩගම්කාරයොන්ට මොනවා කරයිද?

මේ චරිතයේ ඉදිරිය ගැන මම ලොකුවට කතා කරන්නේ නැහැ. පිටපත් රචකයාගේ තීරණය අනුව චරිතය ගොඩනැඟෙයි. දැනට ඒ චරිතය නිර්මාණකරුවා භාවිත කරපු විදිහ අනුව තමයි මේ තරම් ප්‍රතිචාර ලැබෙන්නේ. සද්ධාමංගල සූරියබණ්ඩාර කියන්නේ හරි අපූරු පිටපත් රචකයෙක්. ඒ අපූරු පිටපත අපූරු විදිහට රූප රාමුවට ගන්නේ අධ්‍යක්ෂ ජයප්‍රකාශ් සිවගුරුනාදන්. ඒ අය තමයි දන්නේ කැකුලා ඉස්සරහට මොනවා කරයිද කියලා.

 

මේ දවස්වල කෙරෙන අනිත් කලා කටයුතු ගැනත් කියමු?

ස්වර්ණවාහිනී නාළිකාවේම විකාශය වන සුදත්ත තිලකසිරිගේ නිර්මාණයක් වෙන "ටීචර් අම්මා" ටෙලිනාට්‍යයෙත් මම චරිතයක් කරනවා. ඊට අමතරව සියත නාළිකාවේ විකාශය වෙන චාමර පෙරේරාගේ "එන් කවුන්ටර්" ටෙලිනාට්‍යයේ සහ ස්වාධීන රූපවාහිනීයේ විකාශය වෙන චරිත් අබේසිංහ අධ්‍යක්ෂණය කරන "තාදි" ටෙලිනාට්‍යයේ මම රඟපානවා. ඊට අමතරව දයාරත්න රටගෙදර මහත්මයාගේ අලුත් ටෙලිනිර්මාණයකට ආරාධනා ලැබුණා. ඒකේ රූගත කිරීම් ළඟදීම පටන්ගන්නවා.

 

ගිලීමලේ ගෙදරදි ඔබේ ගුරුවරයාට දීපු භෝජන සංග්‍රහය ගැන හැමෝම කතා කරනවා.?

ඒක මම ජැක්සන් සර්ගේ "කළුගඟ දිගේ" වැඩසටහනට කරපු වැඩක්. ඊට කලින් මම ජැක්සන් සර්ගේ උපන්දිනයකට ඔහුව පුදුම කරන්න ඒ වැඩේ කළා. ඊටපස්සේ තමයි ඒ වැඩසටහනට මම ඒක කළේ. මම හිතන්නේ ලංකා ඉතිහාසයේ කලා ක්ෂේත්‍රයේ ගෝලයෙක් විසින් ගුරුවරයෙක්ට කරපු පළමුවෙනි භෝජන සංග්‍රහය ඒක වෙන්නැති. ව්‍යංජන තිස් දෙකක් එක්ක කෑම වේලක් මම ජැක්සන් සර්ට දුන්නා. ඒ ඔක්කොම නිතර දකින්න නොලැබෙන අපේ පළාතට අයිති ගමේ කෑම.

 

ඔබේ පරම්පරාවෙන් පසුව එන තරුණ පරපුරේ රංගන ශිල්පීන් ගැන මොකද හිතෙන්නේ?

ඊළඟ පරම්පරාව ගැන හොඳ බලාපොරොත්තු තියාගන්න පුළුවන් නළුවෝ ඉන්නේ අතේ ඇඟිලි ගානට විතරයි. දැන් ක්ෂේත්‍රයට එන අය එන්නේ කිසිම හැදෑරීමකින් තොරව. අවුරුදු උත්සවේකට ගිහින් අවුරුදු කුමාරයා වෙලා ටෙලිනාට්‍යයක රඟපාන්න එනවා. එහෙම නැත්තන් රියැලිටි වැඩසටහනක නටලා හරි සිංදුවක් කියලා හරි ටෙලිනාට්‍යක රඟපානවා. එහෙම නැත්නම් මොඩ්ලින් කරලා, ටික්ටොක් කරලා, මියුසික් වීඩියෝවලින් රඟපාන්න එනවා. මේ අය ඔක්කොම පෙනුමින් ඉතාම හොඳ ලස්සන අය. ඇඟ හදාගෙන, කොණ්ඩේ හදාගෙන ඉන්න අය. එයාලා හිතන්නේ නළුවා කියලා මිනිස්සු හිතන්නේ එහෙම පෙනුම නඩත්තු කරන අයට කියලා. නළුවාට රඟපාන්න පුළුවන් වෙන්න ඕනේ චරිතයක් නිරූපණය කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ ශරීරයට චරිතයක් නිරූපණය කරන්න බැරි නම් එයා නළුවෙක් වෙන්නේ නැහැ. ඒ වගේම මේ ක්ෂේත්‍රයේ ඉන්නවා වෘත්තිමය රංගන ශිල්පීන් ශිල්පිනියන්. ඒ අය ඒ තැන හදාගෙන තියෙන්නේ ලොකු කාලයක් ක්ෂේත්‍රයේ ඉඳලා, රංගනය හදාරලා, කැප කිරීම් කරලා. මේ අය අතරට අර වගේ රංගනය ගැන හැදෑරීමක් නැති අය එනවා. ඒ එන්නෙත් ප්‍රධාන චරිතවලට. ඔවුන් අපේ ප්‍රවීණයන්ට කතා කරන්න දන්නේ නැහැ, ගරු කරන්න දන්නේ නැහැ. එහෙම එන අය අඩුම තරමේ රංගන වැඩමුළුවකටවත් යන්න ඕනේ. සද්ධාමංගල සූරියබණ්ඩාර මහත්මයා කරනවා හොඳ රංගන පුහුණු වැඩමුළුවක්. දැනට රංගන ක්ෂේත්‍රයට එන්න ඉන්න කෙනෙක්ට මේ ගැන හදාරන්න හොඳ වැඩමුළුවක් ඒක. ඒ වගේ වැඩමුළුවකට ගිහින් ක්ෂේත්‍රය ගැන හදාරලා දැනුමක් අරගෙන එනවා නම් මේ කලාව තුළ රැඳෙන්න පුළුවන් අවස්ථාව වැඩියි.

 

කොරෝනා වසංගත තත්ත්වය එක්ක කලාව එක තැනක නතර වෙලා?

කලාවේ ප්‍රධාන මාධ්‍යයන් වුණු වේදිකා නාට්‍ය, සිනමාව අපෙන් ඈත් වෙමින් තියෙනවා. මම රඟපාපු ජැක්සන් ඇන්තනී මහත්මයාගේ අධ්‍යක්ෂණයක් වන "එකගෙයි සොකරි" චිත්‍රපටයත් මේ කොවිඩ් වසංගතය නිසා පෙන්වගන්න බැරුව ඉන්නේ. මේ කාලය වෘත්තීමය කලාකරුවන්ට විශාල බලපෑමක් වුණ කාලයක්. අපේ රටේ කලාකාරයෝ ගොඩක් පෝසත් අය නෙමෙයි. මං ඇතුළු කලාකාරයො බහුතරයක් කොළඹ පදිංචි වෙලා ඉන්නේ කුලී ගෙවල්වල. චිත්‍රපට නැත්නම්, ටෙලිනාට්‍ය නැත්නම් ඒ කුලියවත් ගෙවාගන්න විදිහක් නැහැ. මේ මොහොතේ කලාකරුවන් සෑහෙන්න ප්‍රශ්න ගොඩක ඉන්නේ.

 

ඉදිරි වැඩකටයුතු ගැනත් කියමු?

ඉදිරියේදී මම රඟපාපු ටෙලිනාට්‍ය අතරින් මම ආසාවෙන් කරපු වැඩක් "අක්කරගල". ඒක රෝහණ සමරදිවාකරගේ නිර්මාණයක්. ඒ වගේම ප්‍රසන්න ප්‍රදීගේ "ටිකිරා" කියලා ටෙලිනාට්‍යයක් එන්න තියෙනවා. ගමක මෝඩ කොල්ලෙක්ගේ චරිතයක් මම ඒකේ රඟපෑවා. තව නිර්මාණ කීපයක්ම විකාශය වෙන්න තියෙනවා. තව ටෙලිනිර්මාණ කීපයකට ආරාධනා ලැබිලා තියෙනවා. ඒත් මම මේ දවස්වල ටෙලිනාට්‍ය කීපයක් භාර අරගෙන රඟපාන නිසා තවත් වැඩ භාරගන්න අමාරුයි. දයාරත්න රටගෙදර වගේ කෙනෙක් එක්ක වැඩ කරන්න ලොකු ආසාවක් මට තිබුණා. ඔහු ආරාධනා කරපු නිර්මාණය මම භාරගත්තා.