ඉතිහාස පරිච්ඡේදයක නිමාව දිලිප් කුමාර්

ජූලි 15, 2021

ඔහු එම සුන්දර පළාතට එන්නේ රැකියාවටය. පළාතේ සුන්දරත්වයට වසඟ වන ඔහු යෞවනයේ වියේ පසුවන අවිවාහකයෙකි. ඔහුට සුන්දර යුවතියක මුණ ගැසෙනුයේ අසල වනාන්තරයක් අසබඩදීය. ඔවුහු ප්‍රේමයෙන් වෙළෙති. එක්තරා දිනෙක මේ පෙම්වතිය අතුරුදන් විය. ඔහු වියෝවෙන් දැවෙනන්ට විය. ජීවිතයේ සියලු අවස්ථා ඔහු අපූරුවට සිය මුහුණ කැඩපතක් කොට අප හමුවේ ගෙනහැර පෑවේය. ඔහුගේ යෞවනත්වය අප සිත් අවදි කරන ලදී. ඔහුගේ ප්‍රේමය අපේ ද ප්‍රේමය විය. ඔහුගේ ප්‍රේම වියෝව අපගේ ද හද දවාලුයේය. ඉන්දියානු සිනමා කතන්දර පුරා ප්‍රේමය ද, වියෝව ද, ජයගැන්ම ද සුලබය. බොහෝ නළුවෝ එබඳු චරිත රඟපෑහ. එවිට ආදරයේ දී පියකරු මුහුණ ද වියෝවේ දී බාගෙට වැවුණු රැවුල ද සිදුවීම කියන්නට ඔවුන්ට උපකාරී වූයේය. එහෙත් මේ අපූරු සිනමා කෘතියේ දී අ‌පේ රංගන වේදියා එබඳු බාහිර උපකාරයකින් තොරව ඔහුගේ සිරුර සිය ප්‍රකාශනයෙහිලා උපයෝගී කර ගත්තේය. ඔහුගේ මුහුණ දහසක් සිතුවම් ඇඳීය හැකි චිත්‍ර පොතක් බඳුය. ඔහු එහි මහා සිතුවම් මැවුවේය. අවුරුදු අනූ අටක් ගෙවා ජීවිතයෙන් සමුගත්තේය. ඔහු දිලිප් කුමාර්ය. ඉන්දියානු සිනමා රංගනය ගැන ලියද්දි ත්‍රිමුර්තියක් ගැන ලිවිය යතුය. ඔවුහු ජනප්‍රියත්වයෙන් අනූන වූහ. පසු රංගන පරම්පරාවකට ආභාසය දුන් ගුරුවරු බඳු වූහ. පළමුව දිලිප් කුමාර්ය. දෙවැනුව රාජ් කපූර්ය. තෙවැනුව දේව් ආනන්ද්ය. මේ තිදෙනා අතරින් ද රංග වින්‍යාසයේ දී පෙරමුණ ගත්තේ දිලිප් ය. වයසින්ද වැඩිමලා දිලිප්ය. ඔහු උපන්නේ 1922 වසරේ දෙසැම්බර් මස 11 වැනි දිනය. දේව් ආනන්ද් 1923 වසෙර්ය. රාජ් කපූර් 1924 වසෙර්ය. සියල්ලටම පළමු ළමා නළුවකු ලෙස සිනමාවට පිවිසුණේ රාජු කපූර්ය. ඒ 1935 වසෙර්ය. දිලිප් සිනමාවට පිවිසෙනුයේ 1944 වසෙර්ය. රාජ් (යෞවනයකු ලෙස සිනමාවට පිවිසෙනුයේ දිලිප්ට පසුව 1947 වසරේ නීල්කමල් තුළින්ය) දිලිප් මෙන්ම රාජ් යන දෙදෙනා වර්තමාන පාකිස්තානයට අයත් පේශාවර්හි උපත ලද්දෝ වෙති. ඉන්දියානු සිනමාවේ මහා නළු ත්‍රිමුර්තිය අතරින් දෙදෙනෙක්ම එකම ගමක අසල්වැසියන් වීම දෛවෝපගත කාරණයක් වැන්න.

පලතුරු වෙළෙන්දෙකු වූ මොහමඩ් සර්වර් ඛාන් හා අයේෂා බේගම් යුවළගේ දරුවන් එකොළොස් දෙනාගෙන් පස් වැනියා යූසුෆ් ඛාන් නම් විය. ඔවුන් අයත් වූයේ පඨාන් නම් ජන කොට්ඨාසයටය.

දැඩි ඉස්ලාම් භක්තිකයන් වූ බැවින් යූස්ෆ්ගේ පියා සිනමාව වැනි රංග කාර්යයන් ප්‍රතික්ෂේප කළ පුද්ගලයකු විය. ගැටවර වියේ දී සිනමා රංගනයට ඇළුම් කළ යූසුෆ් මෙන්ම ඔහුට බාල සහෝදරයා වූ නසීර් ඛාන් ද සිනමාව පිළිබඳ උණකින් පෙළුණෝ වෙති. පේශාවර්හි සිට බොම්බායේ පදිංචියට පැමිණි ඛාන් පවුල සිය පුරුදු පලතුරු ව්‍යාපාරය පුළුල් කිරීමෙහි යෙදි සිටින බැවින් යූසුෆ් ද එහි නියැළිණ. එම ජීවන ගමන වෙනස් කරනුයේ වර්තමාන බොලිවුඩ් සිනමාවේ මහා සංධිස්ථානයක්ව කීර්තිශේෂභාවෝපගත වූ බොම්බේ ටෝකිස් සමාගමේ එවකට සභාපතිනිය වූ දේවිකා රාණිගේ ඇස හදිසියේම යූසුෆ්ගේ රුව ගැටීමෙනි. ස්වභාවයෙන්ම ලජ්ජාශීලී හා දැඩි ආගමික නැඹුරුවකින් යුත් තරුණයකු වූ යූසුෆ් ඛාන් මුලින්ම සිටියේ දෙගිඩියාවකිනි. එකම පාසැලේ දෙවසරකට බාල රාජ් කපූර් සිහිපත් කරන අන්දමට පාසැලේ නාට්‍යයකට තෝරාගත් දිලිප් පළාතක නොඉඳ පැන ගත්තේය. බොම්බේ ටෝකිස් සමාගමේ බහින කලාව මේ වනවිට ඇරඹී තිබිණ. හිමන්සු රායිගේ අභාවයෙන් පසු එහි හවුල්කරු වුණු වසටි ශේෂාද්රි මුඛර්ජි හා ඔහුගේ සොහොයුරු හා බොමබේ ටෝකිස් ප්‍රධාන නළු අශෝක් කුමාර් ඇතුළු පිරිසක් එයින් ඉවත්ව ෆිල්ම්ස්තාන් සමාගම ගොඩනඟා ගෙන තිබිණ. අලුත් නළුවකු සොයමින් සිටි දේවිකා රාණිගේ ඇස ගැටුණේ පූනා නගරයේ පලතුරු වෙළඳාමේ හා අවන්හලක් පවත්වා ගෙන යන පඨාන් ජන කොට්ඨාසයට අයත් තරුණයාය. රංගනයට කෙතරම් ඇළුම් කළ ද ලජ්ජාශීලීබවත් ආගමික නැඹුරුවත් ඔහුට හරහට හිටියේය. එයටත් වඩා පියාට දැක් වූ අසීමිත බයපක්ෂපාතීබව ද හේතුවක් විය. ඔහුගේ මුල්ම චිත්‍රපටය සමග යූසුෆ් ඛාන්ගේ නම දිලිප් කුමාර් ලෙස අලුත් කෙරිණ. මේ නම යෙදුවේ දේවිකා රාණි වුව එයින් ඔහු තම පියාගෙන් ටික කලකට ගැලවී ගත්තේය. ඒ පුවත්පතක පළ වූ ප්‍රවෘත්තිය තමාගේ නොව යනුවෙන් පවසමින්ය. එය තාවකාලික සැනසුමක් විය. තමාට වඩා එඩිතර මල්ලී නසීර් ඛාන් නළුවකු ලෙස ඉපැයූ මුල්ම මුදල පියා විසින් කීතු කීතු කොට ඉරා දමනු ලැබිණ.

දේවිකා රාණි මේ නම යෙදුවේ හින්දි සාහිත්‍යධරයකු වූ භග්වතී චරණ් වර්මාගේ උපදෙස් පරිදිය. ඒ අනුව නම් තුනක් යෝජනා කෙරිණ. ජෙහන්ගීර් එහි මුල් නම විය. දෙවැනුව වාසුදේව්ය. තෙවැන්න දිලිප් කුමාර්ය. යූසුෆ් ඛාන් තුන් වැනි නම තෝරා ගත්තේය. 1944 වසරේ තැනුණු 'ජ්වාර් භාටා' ඔහුගේ මුල්ම රංගනය විය. අමියා චක්‍රවර්ති අධ්‍යක්ෂණය කළ එම චිත්‍රපටය දුටු සිනමා විචාරක බාබුරාඕ පටෙල් මෙලෙස ලිව්වේය. 'මේ අලුත් නළුවාට රංගනයට පෙර විටමින් හා මාංශ ජනක ආහාර ලබා දිය යුතුය.' එපමණක් නොව දෙවැනි චිත්‍රපටය වූ 'ප්‍රතිමා' තිර ගත වද්දී පාතෙල් මෙසේ ලිව්වේය. 'මෙවැනි පෙනුමක් ඇත්තෙකු දකින විට අනාගතයේ ඔහු යළිත් රඟපාවිදැ'යි අපට සැක සිතේ.' (අපේ මහා නළු ගාමිණී ෆොන්සේකාගේ දෛවයෝගය රංගනය දුටු එකල සිටි ප්‍රබලතම සිනමා විචාරක ජයවිලාල් විලේගොඩ ලිවුවේ මේ නළුවා වෙනුවට රූකඩයක් යෙදුවා නම් හොඳ බවය).

අය්යාගේ මුල් චිත්‍රපට ත්‍රිත්වයම අසාර්ථක වුව ද මල්ලිගේ මුල් චිත්‍රපට සියල්ල ආදායම් අතින් ඉහළ විය. මේ දිලිප් උකටලී කරන්නට සමත් වූ කරුණක් වුව දෛවය හැම විටම එක තැන රැඳුණේ නැත. 'ආන්' චිත්‍රපටයට තෝරා ගැන්මෙන් පසු එහි අධ්‍යක්ෂ මෙහෙබුබ් හමුවට ගිය දිලිප් දුටු එහි කැමරා අධ්‍යක්ෂ ෆර්ඩේ එම්.අයිරානි "මේ වඳුරා කොහෙන් අල්ලා ගත් එකෙක්දැ'යි" මුහුණටම කීවේය. ඉන්දියානු සිනමාවට මහා රංගවේදියකු උපන්නේ එහෙමය. පසුකලෙක දිලිප්ගේ සම්පූර්ණ අනුකරණයක් වූ නැතහොත් 'වෙන්ඩ දිලිප්' කෙනෙකු වූ ෂාරුක් ඛාන් විසින් සම කරන තුරුම ෆිල්ම්ෆෙයාර් සම්මාන උලෙළේ හොඳම නළුවා ලෙස අට වතාවක්ම සම්මාන දිනා ගත්තේය. එමෙන්ම මුල්ම ෆිල්ම්ෆොයාර් සම්මාන උලෙළේ දී හොඳම නළුවා ලෙස දාග් චිත්‍රපටයට සම්මාන දිනා ගැනීමෙන් කළ වාර්තාව අසමසම එකකි.

ඔහුගේ මුල්ම චිත්‍රපටයේ සිට එනම් 1944 වසරේ සිට රංගනයේ නියැළුණේ 1998 දක්වා පමණකි. එහි චරිතාංග රංගනයෙන් දායක වූ චිත්‍රපට සංඛ්‍යාව 68 කට වැඩි නොවෙයි. 1970 දශකයේ ඔහු අවුරුදු පහක්ම සිනමාවෙන් බැහැරව සිටියේය. වසර ගණනාවකට පසු ඔහු යළි සිනමාවට පිවිසෙද්දී අම්තාබ් බච්චන් වැන්නෝ ඔහු අබිබවා ජනප්‍රියත්වය ලබා තිබිණ. ඔහු නැවත පිවිසි 'ක්‍රාන්ති' අතිශය ඉහළ ආදායමක් ලැබුවේය. ඔහු රංගනයේ නිරත දීර්ඝ කාලය මුළුල්ලේ විවිධ වකවානුවල බොහෝ නළුවෝ ජනප්‍රියත්වයේ මුදුන් පෙත්තටම නැංගාහ. එහෙත් දිලිප් ජනප්‍රියත්වයෙන් මෙන්ම රංගනයෙන් ද ඉදිරියෙන් සිටියේය.

බච්චන් හා එක්ව කළ එකම රංගනය වූ 'ශක්ති' චිත්‍රපටයේ සිනමා රංගනයේ දී දිලිප් හා සසඳන්නට නම් අම්තාබ් තවත් දුර යා යුතුව ඇති බැව් එක් රූප රාමුවකින් දෙකකින්ම පෙන්වා දෙන්නට ඔහුට හැකි විය. බොහෝ නළුවන් මෙන් ලැබෙන හැම චිත්‍රපටයකටම දායක වීම ඔහුගේ සිරිත නොවිණ. එක්තරා අවධියක ඇතැම් හින්දි සිනමා නළු නිළියන් හැඳින්වූයේ ටැක්සි නළුවන් හැටියටය. උදේ එක් චිත්‍රපටයක රඟපාන ඔවුහු සවස තවත් චිත්‍රපටයක රඟන්නට සැරසෙති. එහෙත් දිලිප් කිසි කලෙක මේ තරගයට හසු නොවිණ. එහෙත් අන් සියලු නළුවන් අබිබවා දිලිප් ඉන්දියානු සිනමාවේ මහා රංගන ශිල්පියා බවට පත්වූයේ කෙලෙසද? එකක් නම් ඔහු එකිනෙකට සමාන චරිතවලදී පවා පළ කළ විස්මිත වෙනස්කම්ය. චරිතයක බාහිරින් නොව අභ්‍යන්තරයෙන් එයට පිවිසෙන ඔහු කවර හෝ තැනක ඇති ඉස්මතු කළ යුතු සාධනීය ලක්ෂණ ග්‍රහණය කර ගනියි. ඇතැම් ඉන්දියානු සිනමා විචාරකයන් පුරුද්දට මෙන් ඔහුට ද මාලන් බ්‍රැන්ඩෝ ලක්ෂණ ඇතැයි චෝදනා කළ ද, දිලිප් පවසන පරිද්දෙන් ඔහුට වඩාත් බලපෑම් කරන ලද්දේ පෝල් මුනි හා ලෝරන්ස් ඔලිවියර්ය. මුල් දශකය පුරා ඔහු ස්ටැනිස්ලොව්ස්කිගේ රංගනවේදය හැදෑරුවේය. අසීමිතව බටහිර චිත්‍රපට නැරඹූ ඔහු සමකාලීන ඉන්දියානු චිත්‍රපට නරඹා තිබුණේ අඩුවෙනි. ඔහු මාලන් බ්‍රැන්ඩෝගේ රසිකයකු විය. බ්‍රැන්ඩෝගේ මුල්ම සිනමා කෘතිය ද තිරගත වනුයේ 1950 වසෙර්ය. මේ සියලු ක්‍රමවේද අතරින් තමාගේම නැතහොත් ඉන්දියානු කලාපයේ හැසිරීමෙන් තමාගේම ක්‍රමවේදයක් ගොඩ නැඟුවේය. දිලිප් චිත්‍රාගාරවල පහන් කරමින් සාදවලට කාලය දිය කරනවාට වඩා අප්‍රමාණව කියැවූවෙකු විය. ඔහුගේ රංගනය පිළිබඳ පරාසය සහජ හැකියාව පමණක් නොව මේ අසිමිත දැනුම් පිපාසය මත්තෙහි රැඳුණක් විය. ඔහු ඇසුරු කරන ලද්දේ බොම්බායේ ධනවතුන් නොව කවීන්ය. ලේඛකයන්ය. සංගීතඥයන්ය. උගතුන්ය. මිනිසෙකුගේ නිර්මාණ පසුපස ඔහු ඇසුරු කරන මිනිසුන්ගේ සේයාවන් දැකිය හැකිය. බනී රූබන් විසින් පළ කළ දිලිප් කුමාර් චරිතයේ (පරිවර්තනය ටෝනි රණසිංහ) ඔහුගේ මුල් සිරිත ගැන කියාපායි.

ඔහුගේ සිනමා ජීවිතයේ මුල් පියවරේ සිට ප්‍රධාන පෙළේ චිත්‍රපට සමාගම් මඟින් නිපද වූ චිත්‍රපට හා අධ්‍යක්ෂවරුන් පමණක් තෝරා ගැන්මට ඔහුට හැකි විය. දෙවැන්න තිර නාටකය ගැන ඔහු කළ බලපෑමය. එබැවින් කැමරාවෙන් පසුපස සිදුවන ක්‍රියාවලියේ සිට ඔහුට දායක වීමට ඉඩ ලැබිණ. තෙවැන්න තම කීර්තියෙන් අයුතු ප්‍රයෝජනයක් ගැනීමට කිසිවකුට හෝ ඉඩ නොතැබීමය. ඔහු හැම විටම තම රංගනය තිරයේ දිස් වන අයුරු බලා සිටියේය. ඒ ගැන අනුන් කියන කතාවලට සවන් දුන්නේය. වරද නිවරද කරන්නටත් කළ වරද නැවත නොකරන්නටත් ඔහු එයින් උගත්තේය.

දිලිප්ගේ මුල් චිත්‍රපට සියල්ලේම ඔහු පරාජිත පෙම්වතා විය. මඳක් මුහුණට සැලෙන දඟකාර කෙස් රොදක් සහිත විලාසිතාව (දිලිප් කට්) ඉන්දියාවේ පමණක් නොවන පනස් ගණන්වල මෙරට තරුණයන්ට ද බලපෑමක් විය. මේ පිළිබඳ අපූරු මතකයක් ලියන එක් තැනැත්තකු වනුයේ ප්‍රවීණ ලේඛක කරුණාසේන ජයලත්ය. ජයලත් විසින් නිර්මාණය කළ ගොළු හදවතේ සුගත් වීරසේකරගේ ස්වරූපය ඇතුළත දිලිප් කුමාර්ගේ සෙවණැල්ල වැටී ඇති බව නොරහසකි. එමෙන්ම ජයලත් මහත්තයා කලකට ඉහත සරසවියට ලියන ලද ලිපියක සඳහන් වූයේ ඔහු දිලිප් මෙන් කොණ්ඩ රැල්ලක් මුහුණට දමාගත් අන්දමය. රංගනයේදී ප්‍රේම වියෝවට දිලිප් කෙතරම් ආතුර වූවා ද යත් එයින් මිදීමට ඔහුට මානසික ප්‍රතිකාර පවා අවශ්‍ය වූ බව වරෙක පැවසිණ. ඔහු එයින් මුදා ගැනුණේ දකුණු ඉන්දියාවේ කොයිම්බතූර්හි පක්ෂාරාජා චිත්‍රපට සමාගම මඟින් නිෂ්පාදනය කළ 'අසාද්' චිත්‍රපටයෙනි. අසාද් භාෂා හයකින් එකවර නිර්මාණය කළ අතර සිංහලෙන් තැනුණේ 'සූරසේන' නමින්ය. හර්බි සෙනෙවිරත්න සිංහල චිත්‍රපට‌යේ දිලිප් කුමාර්ගේ චරිතය නිරූපණය කළේය.

මුල් චිත්‍රපට ත්‍රිත්වයම අසාර්ථක වූ නමුත් ඔහුගේ මුල්ම සිනමා ජයග්‍රහණය 1947 වසරේ සිදු විය. ඒ් 'ජුග්නු' සමඟය. ඔහු එතැන් පටන් රඟපෑ චරිත විවිධ විය. 'දාග්' තමාගේම හැසීරීම ගැන පශ්චාත්තාප වන බේබද්දෙකි. 'අමර්' චිත්‍රපටයේ නොසිතූ මොහොතක තමා අතින් සිදු වූ හරිගැස්විය නොහැකි වරදකට මුහුණ දෙන්නෙකි. 'දේව්දාස්' චිත්‍රපටයේ හදවත බිඳී යනුයේ ළමා වියේ පෙම්වතිය අහිමිව යෑමෙනි. 'මදුමතී' චිත්‍රපටයේ පෙම්වතිය අතුරුදන් වෙයි. මේ සියලු වියෝවන්හි එකිනෙකට වෙනස් අන්දමින් පරාජිත පෙම්වතෙක් වන දිලිප් 'මූගල් ඊ අසාම්' චිත්‍රපටයෙන් මුහුණ දෙන්නේ උභතෝකෝටික ගැටලුවකටය. ඔහු එහි සලීම් කුමරුය. මහා අක්බාර්ගේ පුත්‍රයාය. ඔටුන්න හිමි කුමාරයාය. කුමාරයකුට තම සිතෙහි ඇති හැඟීම් ප්‍රකාශ කළ හැක්කේ කෙලෙසද? පාර්සි වේදිකාව ගුරු කොට සිනමා රංගනයට පිවිසෙන කපූර් පවුලේ ආදිතමයා වන පෘත්විරාජ් කපූර් සිනමා තිරය මත දී ද වේදිකාවෙන් ගුරු කොට ගත් රංගනය ඉස්මතු කරවද්දී දිලිප් එම රූප රාමුවේම සලීම් කුමරුගේ චරිතය ගොඩ නංවන්නේ බැලූ බැල්මට නිරායාසයෙනි. එහෙත් මේ චරිතය වටහා ගැන්මට නම් කවර තරමේ අභ්‍යාසයක නියැළිය යුතුව තිබිණිද? ඔහු සිනමා රූපය හසුරුවන අන්දම දැන සිටියේය. එහි භාවයන් ප්‍රකාශ කළ හැක්කේ අදාළ රූප රාමුවේ පමණකි. ඉන් එහා කිසිදු ඉරියව්වක් එයින් බැහැර කිසිදු වදනක් කිසිවකුට හෝ ග්‍රහණය වන්නේ නැත. මේ යුගය අතිශය භාවාතිශය රංගනය මූලධර්මයක් සේ සැලකූ යුගයකි. එහෙත් දිලිප් රඟපෑ චිත්‍රපට පැල් බැඳගෙන තිරගත විය. 'මෙහෙබුබ්' වැනි නිෂ්පාදකයකු පවා 'නයාදෝර්' වැනි චිතපටයක් ගැන වැඩි විශ්වාසයක් තැබුවේ නැත. එහෙත් එක දිගට මාස ගණනක් අසුනක් ලබා ගැන්ම අරගලයක් විය. එවකට ඉන්දියානු සිනමාවේ සියලු ආදායම් වාර්තා 'ආන්' චිත්‍රපටය මඟින් සහමුලින් බිඳලන ලද අතර එහි වාර්තාව බිඳ හෙළන ලද්දේ 'මූගල් ඊ අසාම්' විසිනි. එය ලද ආදායම අද ඉන්දියානු රුපියලෙහි වර්තමාන වටිනාකම හා සසඳද්දී සාපේක්ෂව අද ඉහළම ආදායම ලැබූ චිත්‍රපටයකටත් වඩා වැඩිය. එය 2004 වසරේ දී සම්පූර්ණයෙන් නව තාක්ෂණයෙන් වර්ණ චිත්‍රපටයක් ලෙස යළි සැකසුණු අතර එවර ද එය ඉහළ ආදායමක් ඉපැයීමට සමත් විය.

2004 වසරේ චිත්‍රපටය තිරගත වද්දී චිත්‍රපටයේ නව ආයෝජකයන් එහි ආරම්භක උත්සවයට පැමිණෙන්ට ආරාධනා කරන ලද්දේ ඉන්දියානු රුපියල් කෝටියකට ආසන්න මුදලක් දිලිප්ට ගෙවීමට ද සැලසුම් කරමිණි. එහෙත් දිලිප් එය තරයේ ප්‍රතික්ෂේප කරන ලද්දේ තමන් මේ රඟපෑවේ කළු සුදු චිත්‍රපටයක විනා වර්ණ චිත්‍රපටයක නොවන බව පවසමින් එහි ගෞරවය ද ආරක්ෂා කරමින්ය.

චිත්‍රපට රංගනයේ දී ඔහුගේ සමකාලීන හිතවතා වූ රාජ් කපූර් හා ඔහු අතර හීතල යුද්ධයක් නොතිබුණා නොවේ. රාජ් සිනමා තිරයට පිවිසෙනුයේ හාස්‍යය මුසු රංගනයක් ගෙන එමිනි. ඔවුන් දෙදෙනා එකට රඟපෑවේ 'අන්දාස්' චිත්‍රපටයේය. දේව් හා දිලිප් එකට රඟපෑවේ 'ඉන්සානියත්' චිත්‍රපටයේය. රාජ්ට වඩා හාත්පසින්ම වෙනස් ජීවන රටාවක් දිලිප් සතු විය. මේ නළුවන් තිදෙනා එනම් රාජ්, දේව් හා දිලිප් පිළිබඳ බොලිවුඩ්හි පැරණි රස කතාව යාං හෑල්ලක් ඇත. එය මතු පිටින් පෙනෙනවාට වඩා ගැඹුරු අර්ථයක් ගෙන දෙන්නකි. එනම් දිලිප් කිසිවිටකත් ඌරු මස් කන්නේ නැත. දේව් කිසිවිටෙකත් හරක් මස් කන්නේ ද නැත. එහෙත් රාජ් මේ කිසිවක් අත අරින්නේ නැත. තිර රචක කේ.ඒ. අබ්බාස් 'අවාරා' තිරනාටකය ගෙන එන ලද්දේ මෙහෙබුබ්ටය. දිලිප් යොදා අවාරා තනන්ට මෙහෙබුබ් සැරසෙද්දී එම තිරනාටකය ඩැහැ ගන්නට රාජ් සමත් විය. මෙහෙබුබ්ගේ අග්‍රගණ්‍ය චිත්‍රපටය සේ සැලකෙන 'මදර් ඉන්ඩියා' තනද්දී දිලිප් එහි රඟපානුයේ නම් තම පෙම්වතිය වන නාර්ගිස් එයට එක් නොකරන්නට තරම් රාජ් තර්ජනාත්මක විය. අවසානයේ දිලිප් වෙනුවට සුනිල් දත් එයට එක් විය. නාර්ගිස් සිය සිනමා ගමනේ අග්‍රගණ්‍ය චරිතය නිරූපණය කළාය. දිගු කලක් දිලිප්ගේ චිත්‍රපටවල පෙම්වතිය වූ වෛජයන්තිමාලා 'සංගම්' තනද්දී රාජ් කපූර් ගෙන්වා ගත්තේය. එහෙත් දිගු කලක් අවිවාහකව සිටි දිලිප්ගේ විවාහ මංගල්‍යයේදී දණගාමින් දිලිප්ගේ සොහොයුරිය ළඟට යන්නට රාජ්ට සිදු විය. ඒ වෘත්තීය අරගලය කොයි හැටි වෙතත් පෞද්ගලික මිත්‍රත්වය ඉහළ තිබුණ බැවින්ය.

එහෙත් දිලිප් රාජ් හෝ දේව් ආනන්ද් මෙන් චිත්‍රපට අධ්‍යක්ෂණයට යොමු නොවිණ. නිතින් බෝශ්ගේ 'ගංගා ජමුනා' මෙන්ම ඒ.ආර්. කාදර්ගේ 'දිල් දියා දර්ද් ලියා' යන චිත්‍රපට යුගලම එහි අධ්‍යක්ෂවරුන්ට අවශ්‍ය පරිදි නොව දිලිප්ට අවශ්‍ය පරිදි සකස් කළ චිත්‍රපට ලෙස පතළය. කීර්තිමත් සිනමාකරුවෙකු මෙන්ම දිලිප් කුමාර් සිනමාවේ නඟා සිටි අධ්‍යක්ෂවරයෙකු වුව ද ගංගා ජමුනා බොහෝ විට හැඳින්වූයේ දිලිප්ගේ චිත්‍රපටයක් හැටියටය. එහි නිෂ්පාදක දිලිප් විය. නිතින් බෝශ් අවසාන වරට අධ්‍යක්ෂණය කළ චිත්‍රපටය ද එය විය. ගංගා ජමුනා චිත්‍රපටය දුටු ලෝක ප්‍රකට සිනමාකරුවකු වූ ඩේවිඩ් ලීන් පෞද්ගලිකව එහි විශේෂ සංස්කරණයක් තැනුවේය. අන්තර්ජාතික සිනමා උත්සව රැසකට ඉදිරිපත් කරන ලද්දේ එකී විශේෂ සංස්කරණ පිටපතයි. ගංගා ජමුනා කාලෝවිවාරි සිනමා උලෙළේ විශේෂ ජූරි සම්මානය දිනා ගත්තේය. ඩේවිඩ් ලීන් ඒ වන විට ලෝරන්ස් ඔෆ් ඇරබියා නිර්මාණය කරමින් සිටියේය. එහි ප්‍රධාන චරිතයක් වූ ෂෙරීෆ් අලි සඳහා ලීන්ගේ මුල්ම තේරීම දිලිප් කුමාර් විය. දිලිප් එය ප්‍රතික්ෂේප කරනු ලැබුවේ එය තම සීමාවට අයත් නොවන බව පවසමින්ය. ඊජිප්තුවේ ඕමාර් ෂෙරිෆ්, ලෝරන්ස් ඔෆ් ඇරබියා මඟින් හොලිවුඩ් නළුවකු බවට පත්වනුයේ දිලිප් විසින් එම චරිතය ප්‍රතික්ෂේප කළ හෙයින්ය. එහෙත් දිලිප් විසින් අධ්‍යක්ෂණය කරන්නේ යැයි එකල පුවත්පත්වල පළ වූ 'කාලිංග' අඩක් නිර්මාණය කළා විනා කිසිවිටෙකත් එළි දැක්වූයේ නැත. ඔහුගේ අවසාන රංගනය වූ 'කිලා' රගපෑ චිත්‍රපට අතරින් අති අසාර්ථකම චිත්‍රපටය විය. දිලිප් සමඟ අමිතාබ් බච්චන්, ෂාරුක් ඛාන් යොදා සුභාෂ් ඝායි 'මදර්ලන්ඩ්' නමින් චිත්‍රපටයක් නිර්මාණය කරන්නට සැරසුණ ද දිලිප් විසින් එයින් ඉවත්වීමත් සමඟ චිත්‍රපටයේ වැඩ අතරමඟ නතර විණි. කිලා චිත්‍රපටය අසාර්ථකවීමත් සමඟ සිදු වූ පසු ඔහු සිනමාවෙන් ඉවත්විණ. එවර ඉන්දියානු පාර්ලිමේන්තුවේ මහාරාෂ්ට්‍රය නියෝජනය කරන්නට කොංග්‍රස් පක්ෂය මඟින් ලෝක් සභා මන්ත්‍රිවරයෙකු ලෙස දිලිප් කුමාර් පත්කරන ලද්දේ එයින් පසුවය. මුම්බායි නගරයේ ෂෙරීෆ් ධුරය ද ඔහු කලක් දැරුවේය.

දිලිප් හින්දි මෙන්ම උර්දු, පන්ජාබි, මරාති, ඉංග්‍රීසි, බෙංගාලි, ගුජරාටි, පර්සියානු සහ අවවාඩි භෝජ්පූරි වැනි උපභාෂා චතුර ලෙස කථා කළේය. ඔහු විශිෂ්ට සංගීතලෝලියෙකු වූ අතර 'කොහිනූර්' සඳහා සිතාර් වාදනය කරන ආකාරය ද ඉගෙන ගත්තේය. රිෂිකේෂ් මුඛර්ජි අධ්‍යක්ෂණය කළ 'මුෂාෆිර්' චිත්‍රපටයට ඔහු සලීල් චේදරීගේ සංගීතයට ගීයක් ද ගායනා කළේය. ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රිය කළ අතර ඔහු පාසල් වියේ දී වඩාත් ප්‍රිය කරන ලද්දේ ක්‍රිකට් ක්‍රීඩාවට හා පාපන්දු ක්‍රීඩාවටය.

 

දිලිප් සිනමාවේ නම් දැරූවේ පරාජිත පෙම්වතා හැටියටය. ඔහුගේ පෙම් කතාවලට සිනමා පුවත්පත් හා ඕපාදූපවල ඉහළ තැනක් තිබිණ. එමෙන්ම සිනමාවේ අහිමි පෙම්වතා අත්පත් කර ගන්නට විවිධ වයස් කාණ්ඩවල රසිකාවියෝ තැත් කළහ. ඒ අතර ධනවත් කාන්තාවෝද එමට සිටියහ. රාජ් කපූර්ගේ මැසිවිල්ලකට අනුව දිලිප්ට ලැබුණු පෙම් හසුන් ඔහුට ලැබුණු පෙම් හසුන්වලට වඩා සංඛ්‍යාවෙන් ඉතා ඉහළය.

කාමිණී කෞශල් හා බැඳී ප්‍රේමය දිලිප්ගේ ප්‍රේම කතාවන්හි මුල් තැන ගත්තේය. සිය සොහොයුරියගේ මරණයත් සමඟ ඇගේ සැමියා සමඟ විවාහ වන්නට කාමිණීට සිදුවිය. 'නදියා කේ පාර්' චිත්‍රපටයේ දී හමු වූ කාමිණී සමඟ ඔහු චිත්‍රපට හතරක රඟපෑවේය. ඔවුන් අවසන් වරට එකට රඟපෑවේ 'ආර්සු' චිත්‍රපටයේය. ඉන්දියානු සිනමාවේ එවකට සිටි උගත්ම නිළියක සේ ගැනුණු කාමිණී දිල්ප්ගේ ආකල්ප හා හොඳීන්ම පෑහුණු යුවතිය වූවාය. එමෙන්ම දිලිප් කුමාර්ට ඇය පැහැදිලි අත්වැලක් වූවාය. මේ ප්‍රේම වියෝව බෙහෙවින් ඔහුගේ සිතට වේදනා ගෙන දුන් කාරණයක් විය. අනෙක් අතට හින්දු-මුස්ලිම් වෙනස ද එහි බලපෑම් කළ කොටසක් විය. ඔහුගේ ජනප්‍රිය හා ඛේදවාචකයකින් කෙළවර වූ ප්‍රේම කතාවක් වන මධුබාලා ඔහුට මුණ ගැසෙන්නේ 'තරානා' චිත්‍රපටයෙනි. මධුබාලා ද දිලිප් අයත් පඨන් ජන කොට්ඨාසයට අයත් වූවාය. මේ ප්‍රේම වෘත්තාන්තය කෙලවර වනුයේ උසාවියකිනි.

දිලිප් මෙන්ම මුම්ටාස් ජෙහාන් බේගම් මධුබාලා ලෙස නම් කරන ලද්දේ ද දේවිකා රාණි විසින්ය. මධුබාලා හා දිලිප් අතර පෙම් සබඳතාව බිඳ වැටෙනුයේ ඇගේ පියා අතාවුල්ලාගේ අනවශ්‍ය බලපෑම් නිසා බව ප්‍රසිද්ධ කතාවක් විය. මධුබාලාගේ පියා ඇතුළු පවුල යැපුණේ ඇය විසින් උපයන ලද ධනය නිසාය. එබැවින් හැම විටම ඇයගේ පාලනය තිබුණේ පියා සතුවය. කෙසේ වෙතත් 'නයා දෝර්' චිත්‍රපටයට මුලින් තෝරා ගෙන සිටි මධුබාලා වෙනුවට වෛජයන්තිමාලා තෝරා ගැනිණ. එයට එරෙහිව පැවැති නඩුවේදී දිලිප් බී.ආර්.චොප්රාට පක්ෂව කරුණු පැවසුවේය. කිසි දිනෙක යළි හමු නොවන්නට මෙන් දිලිප් හා මධුබාලා වෙන්විණ.

1969 මධුබාලා අකල් මරණයකට ගොදුරු වන විට ඇය කිෂෝර් කුමාර්ගේ භාර්යාව වූවාය. එහෙත් නාර්ගීස්, මීනා කුමාරි, නාලිනි ජයවන්ත්, වෛජයන්තිමාලා, වහීදා රෙහ්මාන් ඇතුළු නිළියන් සමඟ දිලිප්ගේ පෙම් කතා එකල ඉන්දියානු සිනමා පිටුවලට තොග ගණනේ මාතෘකාවන් සැපයීය. එමෙන්ම දිලිප් සමග කිසිකලෙක එකට රඟපෑමට වරම් නොලද සුරයියා ද ඔහුගේ පෙම් කතාවල චරිතයක් බවට පත්ව සිටියාය. එහෙත් මේ හැම කතාවකම තිබුණේ විශිෂ්ට නළුවකුගේ රංගන ආකර්ෂණය ද නැතහොත් සැබැවින්ම ප්‍රේමය ද දන්නේ ඔවුන් පමණකි. සිනමාවේ පැරැණි රූප රාමු සොයද්දී එය සැබැවින්ම ඇති කරගත් ප්‍රේමයකැයි අදහන්නට ප්‍රේක්ෂයක් වූ අපි පෙළඹී සිටිමු. රංගනයේදී අනෙකාගේ සිරුරේ භාෂාව හැදෑරීම අත්‍යවශ්‍ය වෙයි. එකිනෙකට වෙනස් පෙම්වතියන් රැසක් මැද යාවත්කාලින වූ දිල්ප්ගේ ප්‍රේම ජවනිකා මේ සිරුරේ භාෂාවෙන් පමණක් වටහාගත් ඒවාදැයි සිතන්නට ඉඩ නැත. එහෙත් ඔහු මහා රංගනවේදියකු බව ඔහුට ගෞරවයක් ලෙස සඳහන් කළ යුතුය.

කෙසේ වෙතත් ඔහුගේ ජීවන සහකාරිය වූ සයිරා බානු සමග ඔහු රඟපාන්නේ විවාහයෙන් පසුවය. ඇය ඔහුට වඩා අවරුදු විසි තුනකින් බාලය. ඒ වන විට ඇය සිනමා කෘතින් රාශියකින් ජනප්‍රියත්වයේ කිරුළ දිනා සිටියාය. සුප්‍රකට සිනමා තාරකාවකව සිටි නසීම් බානුගේ දියණියක වූ සයිරා උපන් දිනයේ ඇය බලන්නට පියා සමඟ රෝහලට ගියේ දිලිප් යැයි ප්‍රසිද්ධ කතාවක් විය. විවාහය වන විට සයිරා හා රාජ්න්ද්‍ර කුමාර් අතර ප්‍රේම සබඳතාවක් ගැන පුවත්පත් ගිනි අවුලා තිබිණ. ඒ වන විට රාජේන්ද්‍ර කුමාර් දරු තුන් දෙනෙකුගේ පියෙකි. ඒ වකවානුවේ ජනප්‍රිය චිත්‍රපට රාශියකම ප්‍රධාන චරිතය රඟපෑවේ රාජේන්ද්‍ර කුමාර් හා සයිරා බානුය. විවාහකයකු වීම පමණක් නොව රාජේන්ද්‍ර කුමාර් හින්දු බැතිමතෙකු ද විය.1966 වසරේ ඔක්තෝබර් දෙවැනි දින මේ සියලු කටකතා අවසන් කොට දිලිප් කුමාර් හා සයිරා බානු විවාහ වූහ. විවිධ කටකතාවලට කාලය සමඟ වියැකෙන්නට ඉඩ දුන් නමුත් 1981 වසරේදී මේ විවාහයේ යම් දෙදරීමක් ඇති විණ. එයට හේතු වූයේ දරුවකු පිළිබඳ අවශ්‍යතාව බව පැවසෙයි. දිලිප් දෙවැනි වර සිය ආගමේ චාරිත්‍රානුකූලව ආස්මා සහීමා සමඟ විවාහ වූයේය. 1972 වසරේදී සයිරා බානු දරු ප්‍රසූතියකට මුහුණ දුන්න ද එය අනපේක්ෂිතව අවසන් විය. ඔහු ආස්මා සමඟ විවාහ වන්නේ එයින් පසුවය. දරුවකු පිළිබඳ අවශ්‍යතාව දිල්ප්ගේ සිතෙහි රැව් දුන්නේය. එහෙත් ආස්මා සමඟ විවාහය 1986 වසර වන විට දික්කසාදයකින් අවසන් විය. එතැන් පටන් මිය යන තෙක්ම සයිරා බානු දිලිප්ගේ සහකාරිය වූවාය.

ඉන්දියාව බෙදී යාමේදී සිනමාවේ බොහෝ දෙනෙක් පාකිස්තානයට ගියහ. ඒ අතරින් සාර්ථක වූයේ නූර්ජෙහාන් පමණකි. පාකිස්තානයේ නිර්මාතෘ මොහමඩ් අලි ජින්නා පැවසූ අන්දමට පාකිස්තානය සතු විය යුතු මැණික් දෙකකින් එකක් ඔවුන්ට අහිමි විය. හිමි වූයේ නූර්ජෙහාන්ය. අහිමි වූයේ දිලිප් කුමාර්ය. පාකිස්තානය පසුකලෙක එනම් 1997 වසරේදී එරටින් පිරිනැමෙන ඉහළම සම්මානය වූ නිශාන් ඒ ඉම්තියාස් සම්මානය දිලිප් කුමාර්ට පිරිනැමුවේය. ඔහු ජීවිතයේ අවසන් වරට සිය උපන් ගම බලා ගිය ගමනේදීය ඒ. එය ඉන්දියාවේ හින්දු අන්තවාදි ඇතැමුන්ගේ දෝෂදර්ශනයට ලක් විණ. මේ සම්මානය ආපසු පාකිස්තානයට පවරා දිය යුතුය හෝ ඔහු පාකිස්තානයට පදිංචියට යායුතුයැයි ශිව සේනා ඇතුළු හින්දු අන්තවාදින්ගේ අදහස විය. එහිදී ඔහු රැක ගන්නට ඉදිරිපත් වූයේ අමිතාබ් බච්චන් ඇතුළු වර්තමාන පරම්පරාවයි.

1991 වසරේ දී ඉන්දියාව මේ විශිෂ්ටයාට පද්ම භූෂන් සම්මානය පිරිනැමුවේය. 1993 වසරේ ෆිල්ම්ෆෙයාර් යාවජීව සම්මානය ද 1995 වසරේදී ඉන්දියානු සිනමා කර්මාන්තයේ පිරිනැමෙන ඉහළම සම්මානය වූ දාදා සහාබ් පාල්කේ සම්මානය ද ඔහුට පිරිනැමිණ. 2015 වසරේ දී පද්ම විභූෂණ සම්මාන ද ඉන්දියානු රජය මඟින් දිලිප් කුමාර් වෙත පිළිගන්වනු ලැබිණ.

දිලිප් යනු ඉන්දියානු සිනමාවේ බිහි වූ විශිෂ්ටතම රංගධරයෙකු මෙන්ම වඩාත්ම පසු පරපුරකට ආභාසය දුන් නළුවා වෙයි. ඉන්දීය සිනමා රංගනය ගැන ලිවිය යුත්‌තේ දිලිප්ට පෙර පරම්පරාව හා පසු පරම්පරාව ලෙසය. මෝතිලාල් වැන්නෝ මුල් පරම්පරාවේ වැදගත් නළුවන් වූහ. අම්තාබ් බච්චන්, නස්රුද්දින් ෂා, කමල් හසන්, ෂාරුක් ඛාන්, අමීර් ඛාන් වැන්නෝ දිලිප්ගේ රංගන සෙවණ යටතේ හැදුණෝය, ළමා වියේ දිලිප් වීරයා බවට පත් කර ගත්තෝය. දිලිප් කිසි විටෙකත් සිනමාව හැදෑරුවෙකු හෝ රංගනය උරුම කරගත් පවුලකින් පැවත එන්නෙකු ද නොවිණ. එහෙත් හැදෑරීමෙන් ඇසුරු කළ ඔහුගේ සෙසු පුද්ගලයෝ දිලිප් කුමාර් සම්පූර්ණ නළුවකු බවට පත් කළහ. ඔහුගේ රංගන පාසල වූයේ ද ඔහුමය. මහා සිනමාවේදී සත්‍යජිත් රායි පළ කළ අන්දමට දිලිප් කුමාර් යනු රංගනයේ අග්‍රඵලයකි. එනම් ඔහු චරිතයක රඟපානවා නොව එහි සම්පූර්ණයෙන් ජීවත් වෙයි.

දිලිප් කුමාර් කිහිප වරක්ම ලංකාවට පැමිණියේය. වරක් 'ආන්' චිත්‍රපටයේ මංගල දර්ශනය 

වෙනුවෙන් මෙහි පැමිණීමට නියමිතව තිබුණ ද ඒ වෙනුවෙන් මරදානේ එල්ෆින්ස්ටන් සිනමාහලේ තිරගත වෙමින් තිබුණු 'සිරිසඟ බෝ' චිත්‍රපටය දින දෙකක් ඇතුළත ශාලාවෙන් ඉවත් කිරිමට එකල ප්‍රදර්ශකයෝ කටයුතු කළහ. එහෙත් 'ආන්' ප්‍රදර්ශනය කල් ගිය හෙයින් දිලිප්ගේ ගමන ද ටික දවසකට කල් ගියේය. 'කොහිනූර්' චිත්‍රපටය මෙරට තිරගත වද්දී ද දිලිප් මෙරටට පැමිණියේය. සුප්‍රකට මාධ්‍යවේදී අභාවප්‍රාප්ත රැලෙක්ස් රණසිංහයන් විසින් දිලිප්ගේ ඡායාරූප ලබා ගත්තේ ඒ දවසේය.

දිලිප් කුමාර් බෙංගාලි බසින් තැනුණු චිත්‍රපටයක හැර වෙනත් කිසිදු භාෂාවකින් චිත්‍රපටවල රඟපෑවේ නැත. එලිසබෙත් ටේලර් හා රඟපාන්ට නියමිතව තිබුණු 'ටාජ්මහල්' චිත්‍රපටය ද නිර්මාණය වූයේ නැත. දිලිප් යොදා සිංහල චිත්‍රපටයක් නිර්මාණය කරන්නට 1958 වසරේ සැලසුමක් තිබිණ. ඒ 'දෛවයෝගය' චිත්‍රපටයයි. උතුරු ඉන්දියාවේ පූනාහි ප්‍රභාත් චිත්‍රාගාරයේ රූප ගත කළ දෛවයෝගය සඳහා දිලිප්ට ආරාධනා කර තිබිණ. එය අධ්‍යක්ෂණය කරන ලද්දේ දිලිප්ගේ මුල් යුගයේ අති සාර්ථක චිත්‍රපටයක් වූ 'හල්චල්' නිර්මාණය කළ එස්.කේ, ඕජාය. එමෙන්ම එහි සංගිත නිර්මාණය කළ සජ්ජාද් හුසේන් දිලිප් රගපෑ හල්චල් හා සන්ග්දිල් යන චිත්‍රපට ද්විත්වයෙහිම සංගීත අධ්‍යක්ෂවරයාය. ඔහු දිලිප් සමීපව ඇසුරු කළ සංගීතඥයන්ගෙන් කෙනෙකි. එය නිෂ්පාදනය කළ ඊ.එෆ්. ද සොයිසා හා ඇල්ෆ්‍රඩ් සොයිසා යන දෙසොහොයුරන් මේ සඳහා වෙහෙස වුවද චිත්‍රපටයේ ප්‍රධාන නිළි රුක්මණි දේවිය එයට විරෝධය පළ කළ බව පැවසේ. ඩබ්ලියු ඒ. සිල්වා සූරීන් අතින් ලියැවුණු දෛවයෝගය චිත්‍රපටයේ මහානාද ගේ චරිතයට සේනාධීර කුරුප්පු තෝරා ගැනුණේ දිලිප් වෙනුවටලු.

2001 වර්ෂයේ සරසවිය සම්මාන උලෙළේ ප්‍රධාන ආරාධිතයා වන්නට නියමිතව සිටියේ දිලිප් කුමාර්ය. දිලිප් මේ ආරාධනාව බාර ගත්ත ද ඔහු මුල්වරට හෘදයාබාධයකට ගොදුරු වූයේ මේ අවදියේය.

මේ දීර්ඝ ගමනට දිලිප් කැමැති වුවත් ඔහු රැගෙන එන්නට සයිරා බානු කිසිවිටෙකත් කැමැති වූයේ නැත. ඒ හෘදය සැත්කමක් තිබියදී දුර ගමනක යෙදීමේ අභියෝගය තම සැමියාට පවරන්නට ඇය අකැමැති වූ හෙයින්ය. කොහොමටත් එයින් පසු පසුගිය වසර ගණනාව ඇතුළත දිලිප් මුම්බායි නගරයෙන් පිටත ගිය වගක් පළ නොවේ. නොඑසේ නම් 2001 වසරේ සරසවිය සම්මාන උලෙළේ ප්‍රධාන ආරාධිතයා ලෙස දිලිප් කුමාර් සහභාගි වන්නට තිබිණ.

දිලිප් කුමාර් 2021 වසරේ ‍ජූලි මස 7 වැනි දින උදේ 7.30ට මුම්බායි හි හින්දුජා රෝහලේ දී මෙලොව හැර ගියේය. එදිනම ජුහු හිදී සම්පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව ඔහුගේ අවසන් කටයුතු සිදු කෙරිණ. දිලිප් කුමාර් සමඟ අවසන් ගමන ගියේ ඉන්දියානු සිනමාවේ පමණක් නොව අපේ කලාපයේ සිනමාවේ කොටසකි. ඔහු ඉන්දියාව හා ලංකාව නිදහස ලබන්නට පෙර පරම්පරාවේ බිහි වූවෙක් වෙයි. එමන්ම මෙරට සිනමා රසික ප්‍රජාවට යහපත් රංගනය පිළිබඳ මුල්ම අත්පොත තැබූ සුපිරි නළුවා වෙයි . සිනමාව විෂයයක් කොට නොව ජීවිත පරිඥානයෙන් එය හදාරා ජනප්‍රියත්වයත් කුසලතාවත් එක ලෙස රැකගත් සිනමා පරම්පරාව මෙයින් අවසන්ය. අපේ රටේ ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, ටෝනි රණසිංහ සිනමා ත්‍රිමූර්තිය මෙන්ම ඉන්දියාවේ ගොඩනැඟුණු දිලිප්, රාජ්, දේව් සිනමා තුන් කටුට්වේ ද අවසානයා නික්ම ගියේය. ඉතිහාස පරිච්ඡේදයක අවසානය යැයි සඳහන් කළ යුත්තේ එහෙයින්ය.

 

ඡායාරූප - රැලෙක්ස් රණසිංහ

අනුග්‍රහය - රනිල් රණසිංහ

 

---------------------------