කුකුළාව බේරන්න ගිහින් චමීර කකුල තුවාල කරගෙන-ටීනා අත උලුක්කු කරගෙන

-වලවෙට්ටුවා අධ්‍යක්ෂ අලුත්වීදියගේ රනිල් කුලසිංහ-
ජූලි 15, 2021

 

 

රංගන ශිල්පියෙකු ලෙස කලක් ක්ෂේත්‍රයේ රැඳුණු මේ වනවිට අධ්‍යක්ෂවරයෙකු ලෙස නිර්මාණ කර්තව්‍යයේ නිරත වන කලාකරුවෙකි අලුත්වීදියගේ රනිල් කුලසිංහ. ඔහුගේ නවතම නිර්මාණ ප්‍රයත්නය "වලවෙට්ටුවා" නම් වේ. මේ දිනවල ස්වර්ණවාහිනී නාළිකාවෙන් විකාශනය වන එම ටෙලිනාට්‍යය සුන්දර ගැමි පරිසරයේ රූපරාමු සහිතව කුකුළු පොර සහ කඩබිවලින් සමන්විත වෙනස් ආකාරයේ නිර්මාණයකි. "වලවෙට්ටුවා" ගැන සේම තරුණ අධ්‍යක්ෂවරයෙක් ලෙස කලා ක්ෂේත්‍රය ගැන ඔහුගේ කියැවීම කුමක්ද යන්න අපි ඔහු හා මෙසේ කතාබහ කළෙ "වලවෙට්ටුවා" කියන්නේ මොකක්ද?

"වලවෙට්ටුවා" කියන්නේ මගේ හතරවෙනි ටෙලි නිර්මාණය. වලවෙට්ටුවා කියන නම හරි වෙනස් කියලා ගොඩක් අය කියනවා. වලවෙට්ටුවා කියන්නේ හිතුවක්කාර දඩබ්බර තරුණයන්ට. පොත්පත්වල තියෙන විදිහට අතීතයේදී තරුණයෝ වැරදිවලට හිරේ ගියාම නැවත නිදහස් කරලා එවන්නේ හිස මුඩු කරලා. ඒ අයට වැඩිහිටියෝ කියලා තියෙන්නෙ වලවෙට්ටුවෝ කියලා. මේ කතාව මගෙම කතාවක්. මගෙම තිරපිටපතක්. වෙනත් නිර්මාණයක් පාදක කරගෙන කළ එකක් නෙමෙයි. මට ඕනේ වෙලා තිබුණේ ලංකාවේ අපේ නැති වෙලා ගිය සංස්කෘතික වටිනාකම් නිර්මාණයක් ඔස්සේ ප්‍රේක්ෂකයන්ට පෙන්වන්න. කුකුළු පොර, කබඩි (චක්ගුඩු) වගේ අපේ ජන සමාජයේ තිබුණු දේවල් මේ කතාවට අඩංගු කළා මම. මේක මගේ ඔළුවේ මැවුණ මනඃකල්පිත කතාවක්. ඒ කතාව එහෙමම ප්‍රේක්ෂකයන්ට දෙන්න ඕනේ නිසා තමයි මේ ටෙලිනාට්‍යය වර්ණ පවා මම වෙනස් කරලා නිර්මාණය කළේ. "වලවෙට්ටුවා" කතාවේ ඉන්න චරිතවලට සමාජයෙන් සෑහෙන්න අසාධාරණකම් වෙලා තියෙනවා. ඒ අසාධාරණකම්වල පීඩනය ඔවුන්ගෙන් පිටවෙන්නේ වැරදි විදිහට. දඩබ්බර හිතුවක්කාර තරුණයන් තුළ තියෙන මනුස්සකම්, ඔවුන්ගෙන් සමාජයට ගන්න පුළුවන් දේවල්, ඔවුන්ට වැරදුණේ කොතැනද? මේ හැමදේම සමාජයට දෙන්න නිර්මාණයක් ඔස්‌සේ ගත්ත උත්සාහයක් තමයි "වලවෙට්ටුවා" කියන්නේ.

 

ඔන්ලයින් ජීවිත ගත කරන මිනිස්සුන්ට රසවිදින්න ගම ආශ්‍රිතව ගොඩනැඟුණු ටෙලිනිර්මාණ බොහෝමයක් දැන් හැදෙනවා.?

වලවෙට්ටුවා කියන්නෙ මම දීර්ඝ ටෙලි නාට්‍යයක් විදියට පටන් ගත්ත වැඩක්. මට ඕන වුණේ දීර්ඝ ටෙලිනාට්‍යයක් විදිහට හෝ ගමේ තියෙන සුන්දරත්වය හැමෝටම පෙන්වන්න. කොළඹට ආසන්න ගමකට ගිහින් මේ දර්ශන රූගත කළා නම් අපිට මේ සුන්දර රූපරාමු පෙන්න ගන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසයි මම පොල්ගහවෙල තෝරගත්තෙ. ඒක ලොකු අභියෝගයක්. මගේ නිෂ්පාදක සමින්ද ගුණතිලකත් විශේෂයෙන් මතක් කරන්න ඕනේ. මගේ නිර්මාණ සහ මාව විශ්වාස කරලා තමයි ඔහු මේ ටෙලිනාට්‍යය නිෂ්පාදනය කළේ. අපේ මිනිස්සුන්ගේ ලේවල කොහොමත් අපේකම තියෙනවා. ගම කියන සංකල්පය එක්ක හැදුණු නිර්මාණ අපේ මිනිස්සුන්ට පෙන්නුවාම ඒකෙන් ලැබෙන මානසික සුවය වෙනස්. මම හිතන්නේ ඒ නිසාම තමයි ගම ආශ්‍රිතව නිර්මාණ හැදෙන රැල්ලක් ඇති වෙලා තියෙන්නේ.

 

"වලවෙට්ටුවා" පිටපතත් ඔබේ. මේ වගේ නිර්මාණයක් එකී ජනසමාජය ගැන හැදෑරීමකින් තොරව කරන්න අමාරුයි. ?

මම මොකක්හරි නිර්මාණයක් කරනකොට ඒ වස්තු විෂයයට සම්බන්ධ පොත්පත් කියවන පුරුද්දක් මට තියෙනවා. මම ගොඩක් පොත්පත් කියවන කෙනෙක්. ඒ වගේම මේ කතාවේ තියෙන කුකුළු පොර කබඩි වගේ දේවල් ගැන මම ගිහින් ඒවා බලලා හැදෑරීමක් වෙනම කරනවා. අපිට රූගත කිරීම්වලට කුකුළන් ලබාදෙන මාමාව ගෙන්වගෙන තමයි මම රූපගත කිරීම් කරන්නෙත්. කුකුළා අල්ලන විදිය පවා එයා තමයි රංගන ශිල්පීන්ට කියලා දෙන්නේ. ඒක හරිම සුන්දර අත්දැකීමක්. මේ කුකුළු පොර ගැන දැන් ළමයි දකිනවා තියා අහලවත් නැතුව ඇති. ඒත් තවමත් ලංකාවේ ග්‍රාමීය ජන සමාජයේ මේ කුකුළු පොර පැවැත්වෙනවා. අපි මේ රූපගත කිරීමවලට ගන්න කුකුළන් පවා පොරවලට දාන කුකුළන්. රුපියල් හැට, හැත්තෑදාහක් වටින කුකුළන් ඒ. මේක ලොකු අධ්‍යයනයකින්, හැදෑරීමකින් පසුව කරන වැඩක්.

 

"වලවෙට්ටුවා" ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිත දෙකත් විශේෂයි.?

මේ නිර්මාණයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ චමීර ලියනගේ සහ ටීනා ශනෙල්. චමීරව මම දීර්ඝ කාලයක් තිස්සේ දන්නවා. ඒත් ඔහු මගේ කිසිම නිර්මාණයක හිටියේ නැහැ. මම ඔහුට චරිතයක් දෙන්න හොඳම අවස්ථාවක් එනකම් බලාගෙන හිටියේ. සෑහෙන්න කැපවීමකින් වැඩ කරන ගොඩක් දක්ෂ රංගන ශිල්පියෙක් චමීර ලියනගේ කියන්නේ. මේ වගේ ටෙලිනාට්‍යයක ප්‍රධාන චරිතය කරන්න ලොකු කැප කිරීමක් කරන්න ඕනේ. මේ ටෙලිනාට්‍යය වෙනුවෙන් චමීරට එයාගේ රූපය වෙනස් කරන්න වුණා. තව නිර්මාණ දෙක තුනක් අත්හරින්න වුණා. අධ්‍යක්ෂවරයෙක් විදිහට ඔහුව හසුරුවන්න හරිම ලේසියි. හැම ජවනිකාවක්ම අපි දෙන්නා කතාබහ කරලා ගොඩනැඟුවේ. මම හිතනවා මේ ටෙලිනාට්‍යය අවසන් වෙද්දී චමීර ලංකාවේ දක්ෂ නළුවෙක් විදියට හැමෝගෙම හිත්වල රැඳෙයි කියලා. ඒ වගේම ටීනාව විශේෂයෙන් මතක් කරන්න ඕනේ. මගේ හිතේ තිබුණා මගේ නිර්මාණයකින් නිතර දෙවේලේ දකින කෙනෙක් කවදාවත් දැකපු නැති විදිහට වෙනස් කරන්න. වලවෙට්ටුවා ටෙලිනාට්‍යයේ වෙල්මාගේ චරිතයට ටීනා හොඳයි කියලා හිතුණේ ඒ කාරණාවත් එක්කමයි. පිටපත එක්ක මම ටීනා එක්ක මේ චරිතය ගැන කතා කරද්දි ටීනා මේ වගේ චරිතයක් එයාට ලැබෙන තෙක් ලොකු උනන්දුවකින් ලොකු ආශාවකින් බලාගෙන හිටියා කියලා මට තේරුණා. ටීනා ඒ අභියෝගය භාරගත්තා. ටෙලිනාට්‍යයේ කොටස් කිහිපයක් රූගත කිරීම් අවසන් වන මේ මොහොතේ ටීනා මේ චරිතය වෙනුවෙන් කරපු කැපකිරීමට මම ආඩම්බර වෙනවා. ඒ චරිතය වෙනුවෙන් කැපවීම, උත්සාහය, හැදෑරීම් දැක්කම මට හරිම පුදුමයි. ටීනා ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙන ප්‍රවීණයොත් එක්ක පවා කතා කරලා ඒ අයගෙන් පවා මේ චරිතය ගැන අහලා තමන්ගේ අඩුපාඩු හදාගන්නවා. ටීනාත් "වලවෙට්ටුවා" ටෙලිනිර්මාණයට ලොකු සාධාරණයක් කරනවා.

මේ නිර්මාණයට ප්‍රවීණ සහ නවක රංගන ශිල්පීන් රාශියක් දායක කරගෙන තියෙනවා. කොහොමද ඔවුන්ගෙන් ලැබෙන සහයෝගය?

උපරිම සහයෝගයක් ලැබෙනවා. මම ක්ෂේත්‍රයේ රංගන ශිල්පියෙක් විදිහට වැඩ කරපු කෙනෙක්. ඒ නිසා මට ප්‍රවීණ, තරුණ, නවක හැම රංගන ශිල්පියෙක්ම වගේ මුණ ගැහිලා තියෙනවා. එකට වැඩ කරලා තියෙනවා. කොහොමත් මම එහෙම මුණ ගැහෙනකොට වැඩිහිටියන්ට අමතරව දක්ෂ තරුණ රංගන ශිල්පීන්ව මගේ ඔළුවේ තියාගන්නවා. ඔවුන්ටත් අවස්ථාවක් ලබාදෙමින් තමයි මම පිටපත් රචනය කරන්නේ. මේ හැමෝම වලවෙට්ටුවා තමන්ගේ කරගෙන මේ නිර්මාණයට දායක වෙන්නේ. රටේ පවතින සෞඛ්‍ය තත්ත්වයත් එක්ක පොල්ගහවෙල වගේ දුෂ්කර පළාතක රූගත කිරීම් කරද්දී ප්‍රවීණයෝ මේ හැමදෙයකටම උපදෙස් දෙමින් මට ලොකු සහයෝගයක් ලබාදෙනවා. ඩබ්ලිව්. ජයසිරි, මාදිනී මල්වත්ත, දමිතා අබේරත්න, කුමාර තිරිමාදුර මේ හැමෝවම මතක් කරන්න ඕනේ. ඔවුන් වැඩිහිටියෝ විදිහට උඩින් මේ වලවෙට්ටුවා ටෙලිනාට්‍ය අල්ලගෙන ඉන්නවා. තරුණයෝ විදිහට අපි අපේ මහන්සිය වැය කරලා මේ නිර්මාණය කරනවා. මම හිතන විදිහට මේ නිර්මාණය මේ තරම් සාර්ථක වෙන්නත් හේතුව ඒකයි.

 

රූපගත කිරීම්වලදී වුණු අමතක නොවන සිදුවීම් ගැන ගැනත් මතක් කරමු?

අම්මෝ... ඒ වගේ සිදුවීම් නම් එමටයි. ප්‍රධාන කාරණාව තමයි කුකුළන් එක්ක රූපගත කිරීම් කරද්දි තියෙන අමාරුව. අපේ රංගන ශිල්පීන්ට කුකුළන් එක්ක ගනුදෙනු කරන්න හුරු නැහැනේ. එයාලා කුකුළන් අල්ලන්න පවා මුලින්ම බය වුණා. ඒත් දැන් එයාලට ඒක පුරුදුයි. මේ අදත් චමීරයි ටීනායි බයිසිකලේ කුකුළෙක්ව අරගෙන යන්න ගිහිල්ලා ඒ දෙන්නාම බයිසිකලෙන් කුකුළා එක්කම වැටුණා. ඊටපස්සේ චමීර බොහොම අමාරුවෙන් බයිසිකලේ අල්ලගෙන බේරුණේ. කුකුළාව බේරන්න ගිහින් චමීර කකුල තුවාල කරගෙන, ටීනා අතත් උලුක්කු කරගෙන ඉන්නේ. ඒ වගේ ඕනේ තරම් සුන්දර අත්දැකීම් තියෙනවා. විශේෂයෙන් කියන්න ඕනේ අපේ "වලවෙට්ටුවා" මුළු කණ්ඩායමම හරිම විනෝදෙන් මේ වැඩේ කරන්නේ. මගේ මුළු කාර්ය මණ්ඩලයටත් මම විශේෂයෙන් ස්තුති කරනවා. කැමරාකරණයෙන් ශැගී අයියා, ඉන්දික ලක්මාල්, කලා අධ්‍යක්ෂණය බුද්ධි සංජයගෙන්, වේශ නිරූපණය මනනුවන් රූපසිංහ, සහාය අධ්‍යක්ෂණය නලින්ද ධර්මසිරි, නිෂ්පාදන කළමනාකරණය තරිඳු පෙරේරා, සචින් දීමන්ත. මේ හැමෝම වයසින් අඩු තරුණයෝ පිරිසක්. මේ හැමෝවම මම ආදරෙන් මතක් කරනවා.

 

කොරෝනා වසංගත තත්ත්වයත් එක්ක ටෙලිනාට්‍යයේ රූගත කිරීම් කටයුතු දුෂ්කර ඇති?

ඒක තමයි අපිට තියෙන ලොකුම අභියෝගය. රටේ පවතින තත්ත්වයත් එක්ක නිෂ්පාදකවරයාට මේ සඳහා අමතර වියදමක් දරන්න සිද්ධ වෙනවා. ඉදුම් හිටුම්, කෑමබීම මේ හැමදේම සෞඛ්‍යාරක්ෂිතව සිද්ධ වෙන්න ඕනේ. විශේෂයෙන් මතක් කරන්න ඕනේ ආරක්ෂක අංශ අපිට ලබදෙන දායකත්වය. ඒ වගේම ස්වර්ණවාහිනී නාළිකාවට අපි විශේෂයෙන් ස්තූතිවන්ත වෙන්න ඕනේ. ඔවුන් නිතරම අපේ වැඩේ අධීක්ෂණය කරනවා. මාස දෙකකට ආසන්න කාලයක් අපේ මුළු කණ්ඩායමම සෞඛ්‍යාරක්ෂිතව පරිස්සමෙන් මේ වැඩේ කරගෙන යනවා. මේ කොරෝනා උවදුර අද හෙට ඉවර වෙයි කියලා හිතන්න බැහැ. ඒත් කලාව එහෙම ලේසියෙන් ඉවර වෙන්න දෙන්න බැහැ. දැන් හැමෝම ගෙවල්වලට හිර වෙලා මානසික පීඩනයෙන් ඉන්න කොට ඔවුන්ට ලබාදෙන්න තියෙන එකම සහනය කලාව. ඒ වෙනුවෙන් අපි අපේ ජීවිතත් ආරක්ෂා කරගෙන පරිස්සමෙන් මේ වැඩේට කැප වෙනවා. ඒක ලොකු අභියෝගයක්. වලවෙට්ටුවා කණ්ඩායමේ සාමූහිකත්වය මත තමයි මේ වැඩේ සෞඛ්‍යාරක්ෂිතව සාර්ථකව කරගන්න ලැබෙන්නේ.

 

ටෙලිනාට්‍යයට ලැබෙන ප්‍රතිචාර ගැනත් කියමු?

ඉතාමත්ම හොඳ ප්‍රතිචාර ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙනවා. ගොඩක් අය කියන්නේ මේක හරිම වෙනස් කතාවක් කියලා. ඒ ප්‍රතිචාරයට මම කැමතියි. ඒ වගේම ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් පවා ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. "වලවෙට්ටුවා" නිර්මාණයට දකුණු ඉන්දියානු ආභාසය තියෙනවා කියලා ගොඩක් ප්‍රවීණයෝ මට කිව්වා. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ ඩොනල්ඩ් ජයන්ත අයියා කතා කරලා මට කිව්වා "ඒකේ ෆිල්ම් ෂොට් තියෙනවා මල්ලි. මම අවුරුදු දොළහකට පස්සේ ටෙලිනාට්‍යයක ට්‍රේලර් එකක් බලලා ටෙලිනාට්‍යයක් බැලුවා" කිව්වා. ඒ වගේම චන්දන වික්‍රමසිංහ මහත්මයා පළවෙනි කොටසම බලලා කතා කරලා කිව්වා "මම මේකේ ට්‍රේලර් එක බලලා ටෙලිනාට්‍යය බලන්න හිටියේ. ලංකාවේ උඹ වගේ දක්ෂ තරුණයෝ ඉන්නවා කියලා හිතෙද්දිත් සතුටුයි" කිව්වා. නර්තන ශිල්පියෙක් විදිහට ඔහුට මේ නිර්මාණයේ නළුනිළියනගේ හැසිරීම ගැන දැනෙන දේවල් මට කිව්වා. ඒ වගේම ක්ෂේත්‍රයේ අධ්‍යක්ෂවරු, සහාය අධ්‍යක්ෂවරු, නළු නිළියෝ මගේ මිතුරෝ හැමෝම කතා කරලා මේ නිර්මාණය අගය කළා. අපි ගත් උත්සාහය යම්කිසි මට්ටමකට හරි සාර්ථකයි කියලා මේ ප්‍රතිචාරවලින් වැටහෙනකොට හරිම සතුටක් දැනෙනවා.

 

අධ්‍යක්ෂණයට ගිහින් රංගන ශිල්පියා කියන භූමිකාව රනිල්ට මඟහැරෙයිද?

අධ්‍යක්ෂවරයෙක් වෙන්න ඕනේ කියන අදහස ඇතිවයි මම රංගනය ගැන හදාරන්න හෝ රංගනයේ නිරත වෙන්න උත්සාහ කළේ. මම ගොඩක්ම කැමති මාව අධ්‍යක්ෂවරයෙක් විදියට දකිනවාට. මම විෂයය හදාරන කොටත් නළුවෙක් වෙනවට වඩා අධ්‍යක්ෂවරයෙක් වෙන්නයි ගොඩක් දේවල් හැදෑරුවෙත්. ඒත් මට මුලින්ම රඟපාන්න වුණා. ඒත් මට අදටත් රඟපාන්න ආරාධනා ලැබෙනවා. ඒත් මම ආස අධ්‍යක්ෂවරයෙක් විදියට කලාවේ රැඳෙන්න. පුළුවන් වෙලාවට මම රඟපානවා. මම අධ්‍යක්ෂණය කරන ටෙලිනාට්‍ය දෙකක රූගත කිරීම් කරන අතරත් මම ඉරේෂ් ලොකුබණ්ඩාරගේ නිර්මාණයක රඟපෑවා. මගේ ප්‍රතිපත්තියක් තියෙනවා මම අධ්‍යක්ෂණය කරන නිර්මාණවල රඟපාන්නෙ නැහැ කියලා. අධ්‍යක්ෂණය කියන්නේ ලොකු භාරධූර කර්තව්‍යයක්. දෙකම පටලවගන්නවට වඩා කැමති දෙයින් ඉදිරියට යන එක හොඳයි කියලා හිතෙනවා. හොඳ පිටපතක් ලැබුණොත් කාලය වෙන් කරගෙන රඟපාන්නත් බලාපොරොත්තුවක් තියෙනවා.

 

 

කලාකරුවෙක්ට තමන්ගේ පෞද්ගලික ජීවිතේ වෙන හැලහැප්පීම්, සිත් රිදීම්වල ප්‍රතිඵලය ඔහු අතින් ප්‍රශස්ත නිර්මාණ බිහි වීම කියලා කතාවක් තියෙනවා. රනිල්ටත් ඒක අදාළද?

ජීවිතයේ හොඳ කාල වගේම නරක කාල හැමෝටම එනවා. ඒ දේවල්වලින් ජීවිතයට ලැබෙන පන්නරය හරිම වෙනස්. ඒ දේවල් එක්ක නිර්මාණ ගැටගැහෙන්නේ හරිම පුදුම තැනකින් කියලා මම විශ්වාස කරනවා. පෞද්ගලික අත්දැකීම් එක්ක ලැබෙන සමාජ අවබෝධය හරිම වෙනස්. විශේෂයෙන් ජීවිතය කඩා වැටීම්වලටත් වැඩිය වෙන්වීම් කියන දේ හැමෝටම ගන්න පුළුවන් අත්දැකීම් නෙමෙයි. ඒක හැමෝටම ලැබෙන්නේ නැහැ. හරිම සීමිත ප්‍රමාණයකට විතරයි ඒ අත්දැකීම ලැබෙන්නේ. ඒ සීමිත ප්‍රමාණයම නිර්මාණකරුවන් නම් ඔවුන්ගේ අතින් හැදෙන නිර්මාණ හරිම ප්‍රබලයි. ඒක මම දැකලා තියෙනවා, අහලා තියෙනවා. නමුත් අද මම ඒක අත්දැකීමෙන්ම දන්නවා. ඒ අත්දැකීම බුද්ධිය පාවිච්චි කරලා හැසිරුවොත් අපේ ජීවිත සාර්ථක වෙයි.

ඒ වෙන්වීම් දරාගන්න අමාරු ඇති?

හැමෝම දන්නේ හැමෝම කතා කරන්නේ මගේ විවාහ ජීවිතය අසාර්ථක වුණු එක විතරයි. මට නැති වීම් ඇති වීම් ඕනේම දෙයක් දරාගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒත් මට මගේ අම්මා නැතිවෙනවා කියන එක දරාගන්න බැහැ. නිර්මාණකරුවෙක් විදිහට මම මෙතැනට ඇවිත් තියෙන්නේ මගේ අම්මා තාත්තා මට දුන්නු ශක්තිය නිසා. මගේ අම්මා මීට මාස තුනකට කලින් නැති වුණා. ඒක තමයි මේ මොහොතේ මගේ ජීවිතේ දරාගන්න අමාරුම දේ. ඒත් අම්මා නැති වුණ එකත් එක්ක මොකද්දෝ ලොකු ශක්තියක් දැන් මට තියෙනවා. අම්මා නැතිවෙද්දි "වලවෙට්ටුවා" ටෙලිනාට්‍යය පටන් අරගෙන මාස දෙකක්. ඊට මාස දෙකකට පසුවත් මම වැඩ කළා. පිටපත ලිව්වා. අම්මා නැති වෙලා තුන්මාසයක් යද්දි ටෙලිනාට්‍යය විකාශය වෙනවා. මට මේ වෙලාවේ අභියෝගය තියෙන්නේ මාත් එක්කම.

 

ජීවිතයේ ගත්ත සමහර තීරණ ගැන පසුතැවෙනවාද?

කවදාකවත් නැහැ. ඒකට හේතුව මම මගේ ජීවිතය ගැන තීරණ ගන්නේ අනාගතය ගැන නොදැන. මම අද ගන්න තීරණයක් වුණත් ඉස්සරහට වරදින්න පුළුවන්. මම පසුතැවෙන්නේ මම අවංක නොවුණා නම්, වරදක් කළා නම්. ඒ නිසා මම පසුතැවෙන්නේ නැහැ. මම අවංකයි. මම වරදක් කළේ නැහැ. ජීවිතයේදී විවාහය කියන කාරණාවෙදි අපි එකට ජීවත් වෙනවා වගේම ජීවත් වෙන්න බැහැ කියන තැනට ආවාම අපි ඒකෙන් ඉවත් වෙලා තියෙනවා. නීත්‍යනුකූලවම ඉවත් වෙලා තියෙනවා. ඒ නිසා මොකටද මම පසුතැවෙන්නේ? අපි උත්සාහයන් ගන්නවා. ඒවා අසාර්ථක වෙන්න පුළුවන්. ඒ අසාර්ථකවීම්වලින් හයිය අරගෙන ඊළඟ උත්සාහය සාර්ථක කරගන්නවා.

 

චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න බලාපොරොත්තුවක් නැද්ද?

ඒක තමයි මගේ හීනය. එදා ඉඳලාම මම මහන්සි වෙන්නේ ඒකට. චිත්‍රපට අධ්‍යක්ෂණය තමයි මම මේ ටෙලිනාට්‍ය හරහා පර්යේෂණ කරමින් හොයන්නේ. ඒ වෙනුවෙන් තමයි මම මේ අත්දැකීම් එකතු කරගන්නේ. මම කවදාහරි චිත්‍රපටයක් කරනවා. ඒකට දැන් ඉඳලාම සූදානම් වෙනවා. අවුරුදු දෙකක ඉඳලා චිත්‍රපටයකට පිටපත ලියනවා, වෙනස් කරනවා. ඒක අවුරුදු දෙකද දහයද ගියත් මම කොහොමහරි කරනවා.

 

ඉදිරි වැඩකටයුතු ගැන කිව්වොත්?

මේ දවස්වල "වලවෙට්ටුවා" රූගත කිරීම් කරමින් පවතිනවා. "වලවෙට්ටුවා" ටෙලිනාට්‍යයටත් පෙර මම "පානාමංකඩ" කියලා ටෙලිනාට්‍යයක් කරන්න පටන් ගත්තා. උඩරට නැටුම් සම්ප්‍රදාය ගැන ලොකු විමර්ශනයක් එක්ක කරපු නිර්මාණය ඒක. විශේෂිත රංගන ශිල්පීන් ශිල්පිනියන් කොට්ඨාසයක් ඒ සඳහා දායක වුණා. එයත් ඉදිරියේදී ස්වර්ණවාහිනී නාළිකාවේ විකාශය වෙන්න නියමිතයි. ඒ වගේම ඉරේෂ් ලොකුබණ්ඩාගේ ටෙලිනාට්‍යයක රඟපෑවා මම. ඊට අමතරව තවත් ටෙලිනාට්‍යයක් ගැන නිෂ්පාදකවරයෙක් එක්ක කතාබහක් යනවා.