වර්ෂ 2023 ක්වූ December 01 වැනිදා Friday
මනමාල කතා මට කියපන් අහන් ඉන්න ආසයි

මනමාල කුරුල්ලෝ
නුඹ ගයන ගීත
හරිම ලස්සනයි...
පෙම් ගීත ගයන
නුඹේ හඬට
මම හරි ආසයි...
ඈ මෙවර මනමාල කුරුල්ලෝ ගයන ප්‍රේම ගීත ගැන කියයි. වසන්තයේ ආදරණීය සුවයෙන් මුසපත් වුණු ප්‍රේම ගීත ගයන ආදර කුරුල්ලන් ගේ ප්‍රේමණීය සිතුවිලි සුමියුරු හඬින් ඈ අපට කියයි. ජීවිතයත්, ගීතයත් සංගීතයත් සැමදා එකට බැඳි පවුරක් සේ කාලාන්තරයක් පුරා සුරැකිව තබාගෙන පුරා දශක ගණනාවක් ලාංකේය ගී කෙත තුළ සැරි සැරූ ඇය මායා රොඩ්රිගු ය. ‘මනමාල කුරුල්ලෝ’ ඇය ගායනා කරන නවතම ගීතයයි. මෙම ගීතය රචනා කර ඇත්තේ දැනට ඉතාලියේ ජීවත්වන අයිවන් ප්‍රනාන්දු විසිනි. සංගීතවත් කොට ඇත්තේ ද ප්‍රවීණ සංගීතඥ නවරත්න ගමගේ විසිනි.
මායා රොඩ්රිගු අපේ ගීත ලෝකය තුළ ගමන ආරම්භ කරනුයේ ගුවන් විදුලියේ ළමා පිටියෙනි. ළමා ගායිකාවක් වශයෙන් ගුවන් විදුලි මහා ගෙදරින් අත් පොත් තැබූ ඇයගේ විශේෂත්වය වූයේ කලකදී මෙරට හැර දමා විදේශයකට ගිය ද තම සංගීත දිවිය කිසිදා අමතක නොකිරීමයි. වසරක් පාසා මවුබිමට පැමිණෙන ඇය ගීතයක්, දෙකකින් සංගීත ලෝකයට සංග්‍රහ කරන්නට අමතක කරන්නේ නැත. ගෙවුණු අවුරුදු ගණනාව පුරාම ඈ විසින් ගායනා කරනු ලබන ගීත 50ට ආසන්න ප්‍රමාණයක් ඇත.
‘හැමදාම උදේ අතුපතර
දකින්න ආසයි මම වහන්වෙලා
දෙනෙත් යොමා
රෑට දකින්න ආසයි.
මල් පිපෙනා කලට
වසන්තයේ සුව විඳින්න ආසයි
මනමාල කතා මට කියපන්
අහන් ඉන්න ආසයි....
මල් පිපෙන කලට
වසන්තයේ සුව විඳින්න ආසයි
මනමාල කතා මට කියපන්
අහන් ඉන්න ආසයි...
ස්වභා සෞන්දර්යයත් සමඟ ජිවිතේ ගෙනයන විට එහි චමත්කාරය නොයෙක් ආකාරයෙන් නොයෙක් දෙනා විඳින ආකාරය අපි දැක ඇත්තෙමු. මෙම ගීතයේ ගීත රචකයා වූ අයිවන් ප්‍රනාන්දු ද එවන් සොබා සිරියක් ප්‍රේමනීය සංකල්පනාවකට කැටිකොට මේ ගීතය රචනා කර ඇත. මේ මඟින් තව දුරටත් ආශ්වාදනීය රසයක් බිහි වන්නේ ප්‍රවීණ සංගීතඥ නවරත්න ගමගේ මිහිරි ගී තනුව සහ සංගීතය නිසාය.
‘ඇත්තටම අයිවන් අපිත් සමඟ ඉතාලියේ ජීවත්වන කෙනෙක්. ඔහු ගීත රචනයේ යෙදෙන කෙනෙක්. දවසක් මටත් ඔහු ගීත රචනා කීපයක්ම දුන්නා ගායනා කරන්න කියලා. ඒ ගීත අතරින් මේ ගීතයට මගේ හිත ගිය නිසා මම ඒක තෝර ගත්තා. මේ ගීතයට ගී තනු නිර්මාණය කරල දෙන්න කියල මම දුන්නේ නවරත්න ගමගේ මහත්තයට. ඔහු ඉතාම උනන්දුවෙන් හරිම ලස්සන තනුවක් මේකට දාලා දුන්නා. මම පසුගිය අවුරුද්දෙ ලංකාවට ආවට පස්සේ තමයි මේ ගීතය වොයිස් කළේ. ඒත් එක්කම මම තව ගීතයක් කළා. ඒක මට ලියල දුන්නේ සගා ගුරුගේ. සඳරුවන් ජයසිංහ තමයි ඒක සංගීතවත් කළේ.
ඈ උමතුවෙලා - මුළු රැයක් පුරා
පෙම් හීනෙ පුරා - මගේ වෙලා ඉන්න ඔයා
මනමාල කතා - හදවතින් පුදා
පෙම් හාදු තියා - තුරුල් වෙලා
ආදරේ කෙරුවා..
මේ ගීතය මේ දිනවල නිතර ඇහෙන ගීත රැල්ලට තමයි ඔහු රචනා කළේ.
මායා ගීත ක්ෂේත්රයට පැමිණෙනුයේ ළමා වියේ සිට වුවත්, වැඩිහිටි ගායිකාවක් විලසින් ඇය ඇගේ ගමන අරඹනුයේ 1996 වර්ෂයේදීය. එවකට ලංකාවේ ජනපි‍්‍රයම ගායකයකු මෙන්ම සංගීතඥයකු වූ ක්ලැරන්ස් විජේවර්ධන ඇගේ සංගීත සම්ප්ර්රාප්තියේ මුල් ගමන්කරුවාය. ඇයට මුලින්ම ගීත නිර්මාණය කරලුයේ ක්ලැරන්ස් විජේවර්ධනය. ඇගේ ගීත ඇතුළත් ප්‍රසංගයක් මරදාන එල්ෆින්ස්ටන් රඟහලේ දී පැවැත්වීමට සියලු කටයුතු සූදානම්ව තිබියදී ක්ලැරන්ස් අවසන් ගමන් ගියේය.
‘ඇත්තටම ඒ ප්‍රංසගය කරගන්න බැරි වුණාට ක්ලැරන්ස් මට සින්දු 12ක් කැසට්පට වලට කරල තිබුණා. ඔහු ඉතාම මියුරු තනු හැදූ ඒ යුගයේ ජනපි‍්‍රයම සංගීතඥයානේ. කොහොම හරි ඊට පස්සේ මම ඉතාලියේ පදිංචියට ගියා. ඒ වුණාට මාස 6ක් එහේ මාස 6ක් ලංකාවේ ගෙවන ජීවිතයක් තමයි මට තිබුණේ. කලාවට, සංගීතයට තිබෙන ආදරේ නිසා තමයි මට එහෙම ජීවත් වෙන්නත් සිද්ධ වුණේ. මගේ විවාහයෙන් පස්සේ මගේ ස්වාමියා සිඩ්නි තමයි ඇත්තටම මගේ කලා ජීවිතේ පසු පස්සේ හිටපු ලොකුම හයිය. ඔහු තමයි මාව සංගීත සංදර්ශනවලට අරගෙන යන්නේ. ඒ වගේම මාස 6න් හයට ලංකාවට ඇවිත් මට කලා කටයුතු වල යෙදෙන්න නිදහස දුන්නේ එයා. මම ඉතාලියෙන් සංගීත සංදර්ශන කීපයක්ම කළා. මුලින්ම 1995 දී එකක් කළා. ඊට පස්සේ වසර 2000 දී ආරාධිත ශිල්පියා විදියට ගායන ශිල්පී ශාලිත අබේවික්‍රම ඉතාලියට ගෙන්නගෙන ෂෝ එකක් කළා. ඊට පස්සේ 2010 දී ශ්‍රේෂන් ආනන්දව ගෙන්නගෙන ‘ආනන්ද මායා රාත්‍රිය’ කියලා ලොකු සංගීත ප්‍රසංගයක් ඉතාලියේ කළා. 2012 දී මම තනියම ලොකු ෂෝ එකක් කළා. ඒක ටිකට් ෂෝ එකකුත් නොවෙයි. මගේ සැමියා සිඩ්නි තමයි එහි සියලු සංවිධාන කටයුතු සිද්ධ කළේ.
නමුත් 2018 අගෝස්තු මාසේ මමත්, සිඩ්නිත් දෙන්නම ලංකාවට ඇවිත් ඉන්නකොට හදිසියෙම අසනීප වෙලා සිඩ්නි ජීවිතයෙන් සමුගන්නවා. ඇත්තටම කිවුවොත් මම ටී.එන්.එල් රූපවාහිනියේ වැඩසටහනක ඉන්නකොට එළියේ ලොබි එකේ වාඩිවෙලා හිටපු සිඩ්නි තමයි හදිසියේ නැතිවෙන්නේ. මගේ කලා ජීවිතේ හැම දේකටම මගේ පසු පසින් හිටපු ඔහුගේ වියෝ වීම මට කොහොමටත් දරාගන්න බැරි වුණා. ඒ නිසා මම අවුරුදු 04ක් සින්දු කියන්නෙම නැතුව හිටියා. නමුත් ඉතාලියේ ඉන්න මගේ රසික රසිකාවන් වගේම ලංකාවේ ඉන්න අයත් මට කියන්න ගත්තා ඔහුට කරන උපහාරයක් වශයෙන් නැවත සින්දු කියන්න කියලා. මොකද සිඩ්නි හැමදාමත් කැමති වුණේ මම සින්දු කියනව දකින්න. ඉතින් ඒ නිසා තමයි 2022 දී මම මේ සින්දුවෙන් ආයිත් සින්දු කියන්න පටන් ගත්තේ. 2023 ඔක්තෝබර් මාසේ මම ඉතාලියෙදි තව දෙන්නෙක් සමඟ එකතුවෙලා ‘තුන්සිතක ගී’ කියලා. ගීත ප්‍රසංගයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ මැණික් අබේසිංහ සහ සුභා ද අල්විස් එකතු කරගෙන.’
ලස්සන මල් වගේ
මේ තරුණ තරුණියන්
සේවය කරන්න යාවි
වෙළෙඳ කලාපේ
චරිතය රැකගෙන
සේවය අකුරට කර
එන්නකෝ මගේ යෙහෙළියේ....
(ස්ටැන්ලි පීරිස් / මායා රොඩ්රිගු)
යොවුන් සිහින දුටුවේ එදා
සවන් පිරුණ පෙම් ගී ගයා
ඔබ දුක් හාදු ගෙනදුන් සුවේ
ආදරය සෙල්ලමක් නොවේ.
(ක්ලැරන්ස් විජේවර්ධන)
මායා ගායනා කළ මෙම ගීත ද්විත්වයට එකල ප්‍රසංග වේදිකාව තුළ විශාල ජනපි‍්‍රයත්වයක් හිමිව තිබුණි. ස්ටැන්ලි පීරිස් සහ ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ සංගීතය ඊට ප්‍රධානතම හේතුවක් වූ බව මායා පවසයි.
ඉන් පසු කලෙක මායා කැසට් ගීත ක්ෂේත්රයට ද පිවිසි නමුත්, වර්තමානය වන විට මේ සියල්ල කල් ඉකුත් වී යූ ටියුබය දක්වා ගොස් ඇත. එබැවින් ඇගේ නවතම ගීතද මින් ඉදිරියට යූ ටියුබ් නාලිකා හරහා අපට රසවිඳිය හැකිය. කෙසේ වෙතත් හැමදාමත් හෙමින් ගමනකින් දුර ගමනක් ආව ඇගේ ඉදිරි බලාපොරොත්තුව ද තමන්ට හැකි අයුරින් හොඳ නිර්මාණ කරමින් සෙමින් ගමනක නියුතු වීමටය.