සිත බිඳි ප්‍රේමය මිතුරාට පුද කළ සදා නොමැකෙන මිත්‍රත්වය

අප්‍රේල් 6, 2023

ධරණි යනු ජීවිකාව සඳහා ගල් අඟුරු සොරකම් කරන වීර්ලපල්ලිහි තරුණයකි. තම මිත්තණිය සමඟ ජීවත් වන ඔහුගේ කුඩා කල පටන් හොඳම මිතුරා සූරි සහ මිතුරිය වෙන්නිලා ය. ධරණි යොවුන් වියේ පටන් වෙන්නිලා හට ආදරය කළ නමුත් වෙන්නිලාගේ ආදරය හිමි වන්නේ සූරිටය. වෙන්නිලා හට දුකක් දීමට නොසිතන ධරණි තම ආදරය කැප කර ඔවුන් දෙදෙනා විවාහ කර දීමට තීරණය කරයි. ඒ කෙසේ වෙතත්, ගමේ දේශපාලනය හේතුවෙන් තිදෙනාගේ ජීවිතවලට බලපෑම් ඇති වන්නේ නොසිතූ අයුරිනි. එහි එක් ප්‍රතිඵලයක් වන්නේ වෙන්නිලා සමඟ විවාහ වූ දිනයේ සූරි අභිරහස් ලෙස ඝාතනය කිරීමයි. තම මිතුරා සහ ආදරණීය මිතුරිය වෙනුවෙන් තම ජීවිතය කැප කළ ධරණි මෙම සිදුවීම් සමඟ ඉදිරියට මුහුණ දෙන්නේ කෙසේද?

ධරණිගේ කතාව අපට දැක ගත හැකි වන්නේ පසුගිය මාර්තු 30 වැනිදා සිට රිදී තිරයේ දිග හැරුණු දසරා (ච්චඵචපච) චිත්‍රපටයෙනි. දසරා යනු තෙළිඟු ක්‍රියාදාම ත්‍රාසජනක චිත්‍රපටයක් වන අතර එය නවක සිනමාකරුවකු වන ශ්‍රීකාන්ත් ඔඩෙලා විසින් රචනා කර අධ්‍යක්ෂණය කරන ලදී. එහි ධරණි ලෙස නානි සහ වෙන්නිලා ලෙස කීර්ති සුරේෂ් රංගනයෙන් දායක වෙති. චිත්‍රපටය රූගත කර ඇත්තේ තෙලන්ගානා ප්‍රාන්තයේ ගොඩවරිඛානි අසල සිංගරේනි ගල් අඟුරු ආකර පසුබිම් කරගෙනය.

මෙම චිත්‍රපටයේ දසරා නම් අර්ථය සුවිශේෂි වේ. දසරා හෙවත් විජයදශමි ලෙසින් ද හඳුන්වනු ලබන්නේ සෑම වසරකම නවරාත්‍රි අවසානයේ සමරනු ලබන ප්‍රධාන හින්දු උත්සවයකි. විවිධ හේතූන් මත විජයදශමි සමරනු ලබන අතර ඉන්දියාවේ විවිධ ප්‍රදේශවල එකිනෙකට වෙනස් අයුරින් සමරනු ලැබේ. ඉන්දියාවේ දකුණු, නැඟෙනහිර, ඊසානදිග සහ ඇතැම් උතුරු ප්‍රාන්තවල, විජයදශමි දුර්ගා පූජාවේ අවසානය සනිටුහන් කරන්නේ ආරක්ෂාව සඳහා දුර්ගා දේවිය මහීෂාසුර නම් යක්ෂයාට එරෙහිව ලැබූ ජයග්‍රහණය සිහිපත් කරමිනි. උතුරු, මධ්‍යම සහ බටහිර ප්‍රාන්තවල දුසෙරා ලෙසද හඳුන්වන මෙම උත්සවය රාවණා රජුට එරෙහිව රාම දෙවියන්ගේ ජයග්‍රහණය සිහිපත් කරයි.

 

 

[email protected]