කුමරිය බේරා ගැනීමට යන වික්‍රමාන්විත ගමන

'The Super Mario Bros.
අප්‍රේල් 6, 2023

සුපර් මාරියෝ බ්‍රදර්ස් හෙවත් සුපිරි මාරියෝ සොහොයුරන්ගේ වික්‍රමයන් රැගත් වීඩියෝ හෝ පරිගණක ක්‍රීඩා, ක්‍රීඩා කර හෝ අවම තරමින්, එහි දසුනක් හෝ කිසි දිනෙක නොදුටු අයෙක් වර්තමානයේ ළමුන් අතර පමණක් නොව වැඩිහිටියන් අතරද දුලබ විය යුතුය. තම සොහොයුරා සමග කුමරියක් බේරා ගැනීමට වික්‍රමාන්විත ගමනක යෙදෙන සිය නිල කම්කරු ඇඳුම් ඇඟ ලා ගත් මාරියෝ සොහොයුරන්ගේ වීඩියෝ හා පරිගණක ක්‍රීඩා මාලාව පමණක් ලොව පුරා ඇ. ඩොලර් බිලියන 22 කට වඩා වැඩි ආදායම ලබා ඇති බව සඳහන් වේ. 1981 වසරේ පළමු වරට ඇරැඹි 'මාරියෝ' ක්‍රීඩා මාලාව ලෙසම ගත් කළ, එය මේ වන විට ලොව වැඩිම ආදායම් ලැබූ වීඩියෝ ක්‍රීඩා මාලා අතර දෙවැනි ස්ථානය හිමි කරගෙන ඇත.

පසුව රූපවාහිනී කතා මාලා සහ චිත්‍රකතා බවටද පත් වූ මෙම වීඩියෝ ක්‍රීඩා මාලාව ඇසුරින් 1993 වසරේ සජීවී චිත්‍රපටයක් නිර්මාණය වුණු අතර එය නොසිතූ ලෙස වාණිජමය ලෙස අසාර්ථක වීමත් සමඟ සිය වීඩියෝ ක්‍රීඩාවන්ගෙන් චිත්‍රපට නිර්මාණය කිරීමේ අයිතිය අන් ආයතනයන්ට පැවරීමට බිය වූ එහි නිර්මාණක නින්ටෙන්ඩෝ ආයතනය සහ මාරියෝ චරිතයේ නිරිමාතෘ ෂිගෙරු මියමොටො ඔවුන් විසින්ම චිත්‍රපටයක් නිර්මාණය කිරීමේ අරමුණෙහි පසුවිය. කාලයාගේ ඇවෑමෙන් වසර 30 කට පසු එම අරමුණ සාක්ෂාත් වී ඇති අතර මේ මස 5 වැනිදා සිට 'The Super Mario Bros. Movie'  නමින් පරිගණක සජීවරණ - ෆැන්ටසි - වික්‍රමාන්විත චිත්‍රපටයක් ලෙස මෙම චිත්‍රපටය ලොව පුරා තිරගත වනු ඇත.

ඈරොන් හෝවත් සහ මයිකල් ජෙලෙනික් අධ්‍යක්ෂණය කර ඇති මෙම චිත්‍රපටය, මැතිව් ෆොගල් ගේ තිර රචනයක් වන අතර ක්‍රිස් මෙලෙඩන්ඩ්‍රි සහ ශිගෙරු මියමොටෝ ගේ නිෂ්පාදනයකි. හඬ දායකත්වයෙන්, ක්‍රිස් ප්‍රැට්, ආන්යා ටේලර් ජෝයි, චාලි ඩේ, ජැක් බ්ලැක්, කීගන් මයිකල් කී, සෙත් රෝගන්, ෆ්‍රෙඩ් ආර්මිසන් ඇතුලු ප්‍රවීණ රංගන ශිල්පීන් පිරිසක් සම්බන්ධ වෙති.

 

[email protected]