වර්ෂ 2023 ක්වූ December 11 වැනිදා Monday
අභිධර්මයට රන් පදක්කමක් ද ආධුනික ගී තරගයකින් පාකර් පෑනක් ද දිනූ සිනමා සඟරා කර්තෘ

වයස අවුරුදු හයේ සිට සිනමා සඟරා පත්‍ර මුදුණය කරනු දැක තිබුණු මා 1953 වසරේ තාත්තාට අයිති මුද්‍රණාලයේ ඒවා මුදුණාලයේ ඒවා මුදුණය කරනු දැක එයින් එන තීන්ත සුවඳ, ඊයට් සුවඳ,නළු නිළි ඡායාරූප දැකීමෙන් ෆොටෝ සුවඳ විඳ ඇත්තෙමි.
කොබ්බෑවල රණසිංහ කවියෙන් සංස්කරණය කළ ‘නිළිය‘ (ප්‍රථම වරට කවියෙන් නළු නිළි චරිත, චිත්‍රපට විචාර පළ වූ) සඟරාවත් - පවුලේ හිතවතෙකු වූ ධර්ම ශ්‍රී කල්දේරාත් මගේ මාමාත් (ගුණරත්න රත්නායක) සංස්කරණය කළ ‘චිත්‍රපටි‘ නම් චිත්‍රපට පත්තරයත් මට සිහිනෙන් ගෑ සුවඳක් සේ මතක ඇත. අප මුද්‍රණාලයට යාබඳ තිබූ ඈපා මුද්‍රණාලයේ උඩු මහලේ නවාතැන් ගෙන සිටි ‘තරුව‘ නම් චිත්‍රපටි සඟරාව (ජිනදාස නියතපාලට පසුව) සංස්කරණය කළ එම මුද්‍රණාලයේ මුද්‍රණය කළ සෝමපාල රණවීර අප පවුලේ කිට්ටුම හිතවතෙකි. ‘තරුව‘ මට යාන්තමට මතකයේ රැඳී ඇතත් ඔහු නායගම් නම් චිත්‍රපට නිෂ්පාදකවරයා ගේ අනුග්‍රහයෙන් සංස්කරණය කල‘චලන චිත්‍ර‘ චිත්‍රපට සඟරාව අපේ ගෙදරට ලැබිණ. අනාගතයේ ‘සිනමා පත්‍රකාරයකු‘ වීමට මූල බීජය ලැබුණේ මේ පරිසරය නිසාය. ටික කලකින් නායගම් සමඟ ඇති වූ මතභේදයක් නිසා සෝමපාල රණවීර ‘ලංකා චලන චිත්‍ර‘ සිනමා පත්‍රය පටන් ගත් අතර ධර්ම ශ්‍රී කල්දේරාගේ හා මාමා ගේ මිතුරෙකු වූ කේ.ජී.එම්.සමරවීරට ‘චලන චිත්‍ර‘ සිනමා සඟරාවේ සංස්කරණය ලැබිණ.
කාලය ගෙවී ගියේය. පුංචි කාලයේ සිටම චිත්‍රපට ලෝලයකු වූ මට පහළොස් හැවිරිදි වියේ දී ගාමිණී සිනමාහලේ තිරගත වූ ‘රන්මුතු දුව‘ චිත්‍රපටය නැරඹීමට ගිය විට මම විවේක කාලයේ සිනමා ශාලාවේ චොකලට්,කජු, කඩල පැකැට් අයිස් චොක්ස් විකුණු වෙළෙන්දාගේ තට්ටුවේ තිබූ ‘කලා‘ නම් සිනමා සඟරාව මුල් වරට මිල දී ගතිමි. මේ 1962 වසරය. එහි රන් මුතු දුවේ ගීත, පින්තුර මෙන්ම, රසමුසු ලිපි ද පළ වී තිබුණි. මට සිනමා ලිපි ලිවීමේ යටි සිතේ ආසාවක් තිබුණ ද ඒ කාලයේ මවගේ අකල් මරණය නිසා ඉගෙනීමට වැඩිපුර යොමු කිරීමට වැඩිහිටියෝ ඉඩ නුදුන්හ.
1967 වසරය. ඒ ඒ වන විට මම කොස්ගස්හත්දියේ චෛත්‍යලිංගම් සුට්ටු කඩයෙන් ‘කලා‘ සඟරාව මිල දී ගැනීමට පුරුද්දක් කර ගතිමි. එහි ලිතෝ මුද්‍රණයේ මුල් පිටුව ශෝභන ලෙස මුද්‍රණය වී තිබිණි. ‘මටත් ‘කලා‘ සඟරාවට ලියන්නට ඇත්තම්? මට සිතුණි.
සඟරාව පළ කරන සිනමාස් සමාගම පිහිටා තිබුණේ මගේ නිවසේ සිට පයින් යන දුරිනි. ‘කලා‘ සංස්කාරකගේ නම ආරියරත්න කහවිටය. මම ඔහු ගැන විමසිලිමත් වීමි. ඔහු විවාහ වී සිටියේ එකල චිත්‍රපට පසුබිම් ගායිකාවක්, ගුවන් විදුලි ගායිකාවක් වූ මල්ලිකා ද සිල්වා සමඟය. ඇය ගුවන් විදුලියේ ‘ළමා පිටියේ‘ ගැයූ ‘ හිනැහේවී බෝනික්කා ඇස් නටවා බල බලා‘ ගීතය කුඩා කාලයේ මගේ ප්‍රියතම ගීතයක් විය. ‘මල්ලිකා අක්කා‘ මගේ දෙමපියන් ඇය කුඩා කාලයේ සිට දැන හැඳීන සිටි කොස්ගස් හන්දියේම පදිංචිව සිටියාය. ඇය ඒ වන විට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ රැකියාව කළ අතර උදේ බස් එකට නැඟීමට ගියේ අප නිවස අසලිනි.
දිනක් ඇය රැකියාවට යන වේලාවට බලා සිට ඇය පිටුපස දිව ගිය මම ‘මල්ලිකා අක්කේ මම ‘කලා‘ සඟරාවට ලියන්න ආසයි. කහවිට අයියාට කිව්වොත් .... උදව්ව ගන්න පුළුවන් වෙයි ද?‘
ඇය සිනාසුණා මිස කිසිවක් නොකිව්වාය.
පසු දා උදේ ඇය රැකියාව යන වේලව බලා ගෙදර එළියට වී සිටියේය.
‘මල්ලී මම කහවිට අයියාට කිව්වා. හෙට ඔයාට දවල් 11 විතර සිනමාස් එකට එන්න කිව්වා.‘ ඇය කීවේ සුපුරුදු නිහතමානී සිනාරුල්ල සහිතවය.
පසු දා මම කොටහේනේ අලුත් හෙට්ටිවිදීයේ අංක 117 දරණ සිනමාස් කාර්යාලය ගියෙමි.
මට මුල්වරට ‘කලා‘ සඟරාවට ලිවීමට දොරටුව ඇර දුන්නේ කහවිට මහතා බව කෘතඥතා පූර්වකව සඳහන් කරමි.
‘කවුරු ගැන මුලින්ම ලියන්නේ....‘
‘තිස්ස අබේසේකර ගැන?
‘හොඳයි, තිස්සව අඳුරනනවද?
‘ඔව්‘
මගේ මුල් ලිපිය මේ අයුරින් ‘කලා‘ සඟරාවේ පළවිය.
සිනමාස් කාර්යාලයේ දී මට ලෙනින් මොරායස්, නීල් රූපසිංහ, රොක්සාමි, සේනාධීර රූපසිංහ, සරත් රූපසිංහ, නිහාල් ඒ ජයසිංහ,බැප්ටිස්ට් ප්‍රනාන්දු, රොබින් ප්‍රනාන්දු මුල්වරට මා හඳුනා ගැනීමට හැකිවිය. ‘කලා‘ සඟරාවේ උප කර්තෘ ගුණරත්න පනාගොඩ මට හැම සහායක් දුන් අතර එහි පැමිණි කලාකරුවන් හඳුන්වා දුන්නේය. එකල ‘කලා‘සඟරාවට ලේඛකයන් රැසක් ලිපි ලියූහ. ඒ අයගෙන් ඇතැමෙක් මගේ හිතවතුන් වූහ. සිරිකහවල, අර්නස්ට් වඩුගේ, සුනිල් සමරකෝන්, වල්පොල විමල් ජයසිරි, චන්ද්‍ර ඉලංගකෝන් (පසුව ඩයමන්)දයා ආනන්ද රණසිංහ, ගල්ඔය ලාල් හේවාපතිරණ නුවරඑළියේ බී.ඒ.හේමපාල, අනෝජා මාසකෝරල, අලවත්තාගොඩ ප්‍රේමදාස, වින්සන්ට් ජයශාන්ත, වැලිහිඳ මුනිරත්න, උපාලි ඩී.කුරුප්පු හේමසිරි, ගල්පිට, රංජීත් එල්.අමරසුරිය මිල්රෝයි ධර්මරත්න එස්.රේන්මඩ් සිල්වා, අමරා පල්ලිය ගුරු, යසකමවල, විමලසිරි ජයලත්, නිහාල් ගුණරත්න, (කලා) සඟරාවට ලියූහ. මෙය අසම්පුර්ණ ලේඛනයකි. නමක් ගැන නම් කරත්වා!
‘කලා‘ සඟරාවේ තවත් සුවිශේෂී ලක්ෂණයක් නම් ජනප්‍රිය සිනමාවට මෙන්ම උසස් කලා රසවින්දනය. නරඹන්නට ලබා දීමට ප්‍රවීණ සිනමා ලේඛකයන් කවියන් හා විචාරකයන්ගේ ලිපි පළ කිරීමය. කරුණාසේන ජයලත්, අමරනාත් ජයතිලක, ඩී,වී. සෙනෙවිරත්න, පියල් වික්‍රමසිංහ, ජෝර්ජ් ලෙස්ලි රණසිංහ සිරිපාල තිලසේන, ධර්මසිරි ගමගේ, සුදාස් මාසකෝරාල, සරත් කුරේ කරුණාරත්න අබේසේකර, චිත්‍රානන්ද අබේසේකර, රුපාජයලත්, සිරිල්. ඒ.සීලවිමල, ඒ අතර වෙයි. ඩී.වී. සෙනෙවිරත්න කොටස් වශයෙන් පළ කළ සීරියල් කතා, රහස් පරීක්ෂක කතා ද, කරුණාසේන ජයලත් විසින් ලියූ ‘ගිරිමුදුන‘ (කොටස් වශයෙන්) නවකතා ද, මේ අතර කැපී පෙණුනි.
නවක සිනමා ලේඛකයන් රැසක් සිනමා පුවත්පත් කලාවට හඳුන්වා දුන් ආරියරත්න පසුව චිත්‍රපට තිර කතා රචකයකු දෙබස් රචකයකු ලෙස ප්‍රකට විය. චිත්‍රපට දැන්වීම ප්‍රචාරකයකු මෙන්ම චිත්‍රපට සම්බන්ධිකාරයකු ද විය.
1933 මැයි 08 වෙනිදා කොටහේනේ උපත ලැබූ කහවිටගේ දොන් ආරියරත්න පෙරේරා ගේ පියා වූයේ කොටහේනේ පදිංචි ඇල්ප්‍රඩ් පෙරේරා මහතාය. මහනුවර කටුගම්පොල උපත ලැබූ ඇඩ්ලින් විනිප්‍රිඩ් අබේසේකර මහත්මිය මව වුවාය. පස් දෙනෙකුගෙන් යුත් දරු පවුලක දෙවෙනියා ආරියරත්න ය. වැඩිමහල් අයියා බර්නාඩ් සෝමපාල ය. ශ්‍රීයලතා පියසීලී, චන්ද්‍රලතා, ස්වර්ණා සෙසු සහෝදර සහෝදරියන් වූහ. බාල නංගී ස්වර්ණා කහවිට පසුව චිත්‍රපට නිළියක් වී හොඳම නිළිය ලෙස සරසවිය සම්මානය දිනා ගත්තාය.
ආරියරත්නගේ පියා ලේක් හවුස් හී මුද්‍රණ අංශයේ සේවය කළේය. කොටහේනේ ගුණානන්ද විද්‍යාලයේ මුලික අධ්‍යාපනය ලැබූ ආරියරත්න කොළඹ කේරී විද්‍යාලයට ඇතුළු වී ඇත. තාත්තාගේ ඒකායන පර්මාර්ථය වූයේ පුතා රජයේ සේවයට යොමු කිරීමය.
‘මගේ හිත පාසල් යන කාලයේ සිටම යොමු වුණේ සිනමාවට. මේ නිසා අම්මගෙන් තාත්තාගේ තරවටු ලැබූ අවස්ථා ද බෝමයි. පාසල් යන කාලේ ඉඳලම මොරිස් දහනායක, ජෝතිපාල, මින්ටල් පෙරේරා ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා මගේ යාළුවෝ. අපි පරණ හින්දි සින්දුවලට බොරු වචන දාලා සින්දු කියනවා. තාලාද්, රාෆි, මුකේෂ් අපේ ජනප්‍රිය ගායකයෝ. මාගේ ප්‍රියතම නළුවා දිලිප් කුමාර්. දිලිප්ට වැඩිපුරම පසුබිම් ගී ගැයූ තාලාන් මෙහෙමුද්ම මම වැඩිපුරම ප්‍රිය කළා. ඒ කාලේ මට තරමක් දුරට ගීත ගැයීමේ ආසාවක් තිබුණා.
‘ආරී, උඹටත් හොඳට සින්දු කියන්න පුළුවන් නිසා ‘ආධුනික පැය‘ට ඇප්ලිකේෂන් එකක් දාපන්....‘ මොරිස් දහනායක දිනක් කීවේය.
එතකොට මම තේරී කොලේජ් එකෙන්, මොරිස් ආනන්දෙත් ඉගෙන ගන්නවා. 1954 ගුවන් විදුලියේ වෙළෙඳ සේවයෙන් ප්‍රචාරය වූ ‘බුෂල්ගේ ආධුනික පැයට මොරිස්ගේ බලකිරීම නිසා මම ඉදිරිපත් වුණා. මා සමඟ මොරිස් ජෝතිපාලත්, ආර්.සිවනන්දන්, වී.වර්ධරාජා, හරූන් ලන්ත්‍රා, ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරාත, ‘ආධුනික පැයෙන්‘ ජයගත් ආධුනික ගායකයෝ. මම ‘ආධුනික පැයට‘ කිව්වේ තාල්ද් මෙහෙමුද් ගේ හින්දි ගීයකට සිංහල වචන යෙදූ ගීතයක් මාව තේරුණා. ආධුනික පැයට හොඳම ගායකයා තෝරා ගත්තේ අසන්නන් එවන තැපැල් පත් අනුවයි. මෙසේ තේරෙන ගායකයෝ ගායිකාවෝ ‘ජයග්‍රහක පෙළපාලිය‘ නම් වෙළෙඳ සේවයේ ගුවන් විදුලි තරඟය තේරුණා. තරඟ මම මුල්තැනට තේරී ‘පාකර් 51‘ පෑනක් දිනාගත්තා. එදා මම ගායනා කළේ සිංහල වචන යෙදූ තාලාද් ගේ ගීතයක්.‘ ආරියරත්න කහවිට වරක් අපට කීවේය.
ආරියරත්න කහවිට කුඩා කල සිට ම බොදු හැදියාවක් තිබූ දරුවකුව සිටි බව පැවසේ. කොටහේනේ දීපදුත්තාරාමයේ දහම් පාසලට නොවරදවාම ගිය ආරියරත්න ගෙදර දී උදේ හවසනොවරදාම පන්සිල් ගෙන දෙමාපියන්ට වැන්ද බව ඔහුගේ බාලම නැගණිය ස්වර්ණා (සරසවි සම්මාන ලැබූ නිළිය) අප සමඟ පැවසුවාය.
‘අයියා නොවරදවාම දහම් පාසලට ගියා. අභිධර්මයට වැඩිම දක්ෂතාව ලැබූ ශිෂ්‍යයා අයියා. කොටහේනේ දීපදුත්තාරම විහාරස්ථානයේ ජිනරතන නායක හාමුදුරුවන්ගේ හොඳම ගෝලයා වූ අයියා දහම් පාසලේ වාර්ෂික ත්‍යග ප්‍රදානෝත්සවයක දී අභිධර්මයට එවකට අග්‍රාණ්ඩුකාරයව සිටි සර් ඔලීවර් ගුණතිලක මහතා අතින් රන් පදක්කමක් ලබා ගත් සිනමාවට වඩා අයියා ආගම ධර්මයට ලැදියාවක් තිබුණේ.‘
පාසලේ දී ටක්ෂොප් එකෙක් තේ විවේකයේ දී ගෙදරින් කන්න දෙන මුදලින් ශත කිහිපයක් ඉතුරු කර ගත්තා ආරියරත්න කහවිට ශත 60 කට ‘ෆිල්ම් ෆෙයාර්‘ සඟරාව ද ශත 35කට ‘ස්ක්‍රීන්‘ පත්‍රය ද මිල දී ගෙන හින්දි සිනමාවේ තොරතුරු සොයා ගෙන එවකට තිබූ ‘තරුව‘විනෝදය‘ ‘චිත්‍රපටි‘ පත්‍රවලට ලිපි ලියා යැවීය. ‘ඉරිදා ‘ලංකාදීප‘ පත්‍රයේ පළ වූ ‘චිත්‍රපටි චක්‍රය‘ අතිරේකය සංස්කරණය කළ කරුණාසේන ජයලත් ආරියරත්නට හඳුනාගැනීමට ලැබීම ඔහුට සිනමා පුවත්පත් කලාවට ප්‍රවේශ වීමට මඟක් විය. ලංකාදීප පත්‍රයේ පළ වූ ‘ටිකිරි පොකුර‘ ලිපි සම්පාදනය කළ ඔහුට සිනමා සඟරාවක් පටන් ගැනීමට අවස්ථාව ලැබුණේ ද ජයලත් නිසාය. මරදානේ ඩිබ්‍රග්ස් පාරේ හැරෙන තැනම තිබූ ගුණරත්න සහ සමාගම (මුද්‍රණාලයේ) කළමනාකරු වූ ධර්මදාස කුලතුංග ජයලත්ගේ ගජ මිතුරෙකි.
‘කුලේ, අපි චිත්‍රපට සඟරාවක් පටන් ගනිමු ද? හොඳ ඉල්ලුමක් තියෙනවා.‘ ජයලත් කළ යෝජනාවට එකඟ වූ ධර්මදාස, සංගීත අධ්‍යක්ෂ පී.එල්.ඒ.සෝමපාල සමඟ මුදල් යොදවා එය මල්ඵල ගැන්විය.
සංස්කාරක ලෙස නිර්මාමිකව සඟරාව කරන්නැයි ජයලත්ට ධර්මදාස කීව ද ඔහු කීවේ - නෑ කුලේ, අලුත් කොල්ලෙකුට අත දෙමු. මිනිහා ආරියරත්න කහවිට. කියාය.
හැමවිටම නව පරපුරට නිර්ලෝභීව අත හිත දෙන කරුණාසේන ජයලත් එවකට 18 හැවිරිදි ආරියරත්නට ඒ තැන ලබා දුන්නේය. ආරියරත්න සංස්කරණය කළ ‘සිනමා දීප‘ දොරට වැඩියේය.
1955 වසරේ සිනමාස් සමාගම තම නිෂ්පාදනය කළ ‘දොස්තර‘ චිත්‍රපටයට ප්‍රචාරයක් හැටියට සිනමා පත්‍රයක් ඇස්.පියසේන ගේ සංස්කරණයෙන් ප්‍රකාශයට පත් කළ අතර රුක්මණී දේවි විසින් රචිත මගේ ජීවිත විත්ති‘ නම් ග්‍රන්ථයක් නිකුත් කළේය. මේ කෘතිය ලිව්වේ කරුණාසේන ජයලත් විසිනි. මේ පොතේ සම්බන්ධිකරණය කළ ජයලත් චිත්‍රපට ගීත රචක කරුණාරත්න අබේසේකර හා සිනමාස් අධිපති කේ. ගුණරත්නම් අතර සමීප ඇසුරු නිසා දිනක් මෙසේ කීවේය.
‘ජයලත් ‘මට ‘කලා‘ පත්තරය ලිතෝ ෆ්‍රින්ට් එකෙන් මැගිසින් එක කරන්න හොඳ එඩිටර් කෙනෙක් හොයලා දෙන්න. පත්තරේ කරපු එස්. පියසේන ලේක්හවුස් එකේ එඩිටෝරියල් එකට යනවලු.
‘හොඳ එඩිටර් කෙනෙක් ඉන්නවා. ආරියරත්න කහවිට කියලා. දැනට ෆිල්ම් මැගසින් එකක් කරලා එක්ස්ප්‍රීරියන්ස් තියෙනවා.
ජයලත් රෙකමන්ඩ් කරනවා නම් අපි එයා තෝරා ගමු. කරුත් (කරුණරත්න අබේසේකර) ඔය හාදයා ගැන කියලා තිබුණා.
ආරියරත්න කහවිට විසින් සංස්කරණයෙන් ‘කලා‘ අලුත් මුහුණුවරකින් 1955 වසරේ ඇරඹුවේය. ඒ සඳහා ජයලත්ගේ උපදෙස් ඔහු ඉමහත් ශක්තියක් විය. ‘ලංකාදීපයේ‘ ප්‍රවීණ පත්‍රකලාවේදීන්, ලේඛකයන් කහවිටට අයෝම ශක්තියක් විය. නවක ලේඛක ලේඛිකාවන්ට විශේෂාංග ලිපි ලීවීමට අත හිත දුන්නේය. ‘දහසක් මල් පිපේවා‘ යයි ඔහුගේ එකම අරමුණ විය.
‘මගේ සිනමා පත්‍ර ගුරුවරයා කරුණාසේන ජයලත් කරුණාරත්න අබේසේකර, ප්‍රේමනාත් මොරායස් මට ජීවිතේ කිසිදා අමතක වෙන්නේ නැහැ. කහවිට නිහතමානීව මතක් කළේය. මාසයේ 10 වැනිදාත් 25 වෙනිදාත් නිකුත් වූ ‘කලා‘ සිනමා සඟරාව ‘වනමෝහිනී‘ චිත්‍රපටය තිරගත වූ කාලයේ පිටපත් 25,000ක්ද, ‘සංදේශය‘ තිරගත වූ කාලයේ පිටපත් 30,000ක් පමණ අලෙවි වූ බව ඔහු කීවේය. අංගුලිමාල, රන්මුතු දූව, චණ්ඩියා, අල්ලපු ගෙදර, හතර දෙනාම සූරයෝ චිත්‍රපට සිනමාස් සිනමාහල් වල තිරගත වන කාලයේ ‘කලා‘ වර්තාගත අලෙවියක් තිබූ බව ඔහු විස්තර කර ඇත.
‘කලා‘ සඟරාව කොතරම් ජනප්‍රිය වී ද ගත් සිනමාස් අධිපති ගුණරත්නම් හා එහි සිනමාස් හි සේවක සැවොම කතා කළේ ‘මිස්ටර් කහවිට‘ කහවිට මහත්තයා ‘කහවිට‘ ‘කලා‘ කලා මහත්තයා ‘මිස්ටර් කලා‘ කියා ය.
ආරියරත්න කහවිට තම අනාගත බිරිඳ හමුවන්නේ මිතුරෙකුගේ ගෙදර සාදයකදීය. ඒ කාලේ මල්ලික ද සිල්වා නම් ඇය ජනප්‍රිය ගුවන් විදුලි ගායිකාවකි. ගුවන් විදුලි ළමා පිටියේ ළමා ගායිකාවක් ලෙස හිනැහේවි බෝනික්කා තනිවම ඇයි මේ උදේ - ලේනගේ පිට මැද ඉරි තුන වාගේ. බකමුණෝ හූම් හුම් ගීත වලින් රටම හඳුනාගෙන තිබුණි. ජෝතිපාල සමඟ ඇය ‘හැන්දැවේ මං බලා හිටියා සුදෝ එනකල් කියා‘ ගීතයත් ගයා තිබුණි. එදා සාදයේ දී ආරියරත්තනට මල්ලිකා පිළිබඳ සිතක් ඇති විය. ඇයගේ යහපත් ප්‍රතිචාර ඉක්මනින් විවාහ වූයේ 1963 ජුනි 12 වැනිදා ය. ඔවුන්ට අප්සරා හා චන්දිම නයනජිත් දියණියක් හා පුතෙකු සිටි.
මල්ලිකා අපට කීවේ ‘රත්නේ‘ (සැමිය) ‘කලා‘ නමින් සිනමා සඟරාවක් කළා කියලා. මම දැන හිටියේ නෑ. එයා කියලා තිබුණේ සිනමාස් එකේ විධායක නිලධාරියෙක් කියලා. විතරයි.
ආරියරත්න කහවිට නම් චිත්‍රපට කතා රචකයා දෙබස් රචකයකු ලෙස සිනමා කේෂ්ත්‍රයට එක් වන්නේ ‘මහ රෑ හමු වූ ස්ත්‍රිය‘ නවකතාව ඇසුරෙන් ඔහු දෙබස් රචනය කළේය. නීල් රූපසිංහ ගේ ‘හතර දෙනාම සූරයෝ‘ චිත්‍රපටයේ දෙබස් රචකයා ලෙස ඔහුගේ කුසලතා ජයසිලාල් විලේගොඩ විචාරකයා ගේ ප්‍රශංසාවට ලක්විය. එදින සූරයා අදත් සූරයා‘ හොඳම වේලාව, ලස්සන කෙල්ල - ආදරේ හිතෙනවා දැක්කම, කවුද රාජා, දුප්පතාගේ හිතවතා, චිං චිං නෝනා, හොඳට හොඳයි. ඔන්න මාමේ කෙල්ල පැනපි, ලස්සන දවසක්, සිතාරා උනනත් දාහයි මළත් දාහයි, යුගයෙන් යුගයට, හිතත් හොඳයි වැඩත් හොඳයි ඇතුළු චිත්‍රපට වල ඔහු දෙබස් රචනා කර ඇත.
1972 වසරේ රාජ්‍ය චිත්‍රපට සංස්ථාව බිහි කිරීමෙන් පසු චිත්‍රපට බෙදා හැරීම අයිතිය රජයට පවරා ගත් පසු සිනමාස් සමාගමේ සේවකයන් සංස්ථාවට අනුයුක්ත වූ පසු කහවිට එහි ප්‍රචාරක නිලධාරියකු ලෙස පත්වීමක් ලැබිණ. 1976 සංස්ථාවෙන් සමුගත් කහවිට
නවක නළු නිළියන් සිනමාවට හඳුන්වා දුන්නේ කහවිට සටන් නළුවකු වූ රොබින් ප්‍රනාන්දු ‘චණ්ඩියා‘ චිත්‍රපටයෙන් හඳුන්වා දුන්නේය. එහෙත් කිසිදින තම සොහොයුරි ස්වර්ණ කහවිට සිනමාවට යොමු නෙකළේය. ඇය ‘රහස් දූපත‘ නම් අර්වින් ජයමාන්නගේ චිත්‍රපටයේ රඟපෑමට හොරෙන් සොහොයුරියක් සමඟ ගිය දින ඔහු ගෙදර යකා නැටූ හැටි ස්වර්ණා මතක් කළාය. ‘බිනරමලී‘ වැනි කලාත්මක චිත්‍රපටයක රඟ පා හොඳම නිළිය ලෙස සරසවිය සම්මාන ලැබූ පසු ඔහු තම සොහොයුරියට රඟපෑමට අවසර දුන්නේය.
බිරිඳ මල්ලිකා පවසන්නේ තම සැමියා කිසිම දිනක ‘කලා‘ සඟරාවෙන් කිසිම උපකාරයක් නොකළ බවය. එඩ්වින් සමරදිවාකර, කරුණරත්න අබේසේකර, මයිකල් සින්නස් ලියනගේ, දයා විමලවීර ඇතුළු සිනමා කේෂත්‍රයේ හිතුවතුන් නිසා පමණක් චිත්‍රපට ගී ගැයූ බව ඇය ආඩම්බරයෙන් පවසා අදට වැඩිය හෙට හොඳයි උදළු - පාරා වළළු- වීදුරු ගෙවල් - මහ රෑ හමු වූ ස්ත්‍රිය, රං ඔන්චිල්ලා - යට ගිය දවස චිත්‍රපට වල පසුබිම් ගැයූ ඇගේ කලා ජීවිතය මෙවැනිම ලිපියකින් ලිවීමට අදහස් කරමි.
ආරියරත්න කහවිට යනු පිළිවෙළට ජැන්ඩියට, පිරිසුදුව තැන්පත් චරිතයකි. මිනිසුන්ගේ දුකට පිහිටවෙන, ඔවුන්ට හැකි උපකාරයක් කරන, කිසිවෙකුගේ ඉල්ලීමක් හැකි උපරීම ලෙස ඉටුකර දුන්, පන්සල් ඇසුරට කැමති, දනට පිනට ලැදි කෙනෙකි. කොටහේනේ වාසල පාරේ පදිංචිව සිටි ඔහු කොටහේනේ ප්‍රධාන පන්සල් දෙක වන දීපදුත්තාරාමයට හා පර්මානන්ද විහාරයේ ක්‍රියාශීලී දායකයකු විය. උදේම නාගෙන බිල්ක්‍රීම් වලින් ලස්සනට හිස කෙස් ඇලෙන ලෙස පීර ගන්නා ඔහුට පිළිවෙළට ඇඳීමට කැමති සුවඳ විලවුන් ගලවා ප්‍රසන්න සිනාවකින් මුව සරසා සිටින චරිතය. ඔහුගේ ඉරිදා දිනයට හිත මිතුරු මොරිස් දහනායක සමඟ සාන්ත ජෝන්ගේ මාළු කඩේට ගොස් ඉස්තරම් මාළු මිලදී ගැනීම මා දන්න කලේ විශේෂ රාජකාරියකි.
මා සමඟ ගිය දිනක හොඳ තෝරා කූරියෙක් තෑගි කිරීමට ඔහු අමතක නොකරයි. හැම විටම බදාගෙන කැමට නොව අන් අයටත් බෙදා දෙන අනුන්ගේ හිතමිතුරන්ගේ ගෝලබාලයන්ගේ යහපත ගැන සිතූ සුවිශේෂ පුද්ගලයෙකි. කෑමට බීමට ලෝභ නැති පිරිසුදු සිතින් ඒවා අනුන් සමඟ භූක්ති විඳ, කිසිදා යටිකුට්ටු වැඩ කුමන්ත්‍රණවලට තුන් හිතකින්වත් සම්බන්ධ නොවූ මිනිසෙකු බව අදත් ඔහු අත හිත දුන් කලාකරුවෝ කියති. ඔහුගේ තවත් මා දුටු විශේෂයක් නම් උණු උණුවේ දුම් දමමින් පිසූ දවල් ආහාරය අනුභව කිරීමය. අලුත් හෙට්ටිවීදියේ සිට කොටහේනේ නිවස සිට උණු උණු දවල් කෑම අරගෙන කන්තෝරුවට එමට වෙන් වූ සේවකයෙක් ද එකල විය.
කහවිට මෙන්ම පිරිසුදු පුද්ගලයෙකි. ඔහුගේ ජිවිතයේ අංක 1ක පිරිසුදුකම බිරිය මල්ලිකා කීවාය. නාන කාමරයට යන ඔහු දත්වල සිට කකුලේ නියපොත්ත දක්වා හොඳීන් සුද්ද නොකොට පිටතට නොපැමිණෙන බව ඇය සිනාසෙමින් කීවාය. තමාගේ කමිස කලිසන්, සරම්, ඇද ඇතිරිලි මැද ගැනීමට ඔහු වැඩි කාලයක් ගත කරන අතර ගෙදර දොරේ වැඩවලට බිරියට ද උපකාර කර ඇත. තිර නාටක ලියන වේලාවට සිගරට් පැකට් දෙක තුනක් ඔහු අවශ්‍ය වී ඇත.
සිනමා කලාවට ඔහුගෙන් සිදු වූ සේවයට ඇගැයීම නොලැබුණු බව කහවිටයන් මට කීවේ ‘කලා‘ සඟරාවෙන් සමුගත් පසුය. තමන් උදව් කළ ඇතැම් අය දැක දැකත් ඉවත බලාගත් තමාට මදි පුංචිකම් ගැන කලකිරීමෙන් පසුවිය. තමා දරුවෙකු මෙන් රැක බලාගෙන හදා වඩා ගත් ‘කලා‘ සඟරාවේ අයිතිය ලබා ගැනීමට සිනමාස් සමාගමේ අධිති ගුණරත්නම් හමු වූයේය.
“උඹට තමයි“ ‘කලා‘ අයිති. මේ උඹේ දරුවා. මම අද ‘කලා‘ තාත්තාට ඒක පවරනවා.‘
මේ තරම් මී පැණි වැනි වදන් පෙළක් ජීවිතයේ අසා නොතිබිණි. ‘කලා‘ සඟරාවට නව පණක් ලැබිණි. ඒ සඳහා අලුත් පරපුරක් එක් විය. ශරීයස් සුරනිමල, අතුල මහවලගේ, ප්‍රසන්න පරණවිතාන, සුනිල් ලීනස්, කැමිලස් පෙරේරා, විපුල් ධර්මප්‍රිය ජයසේකර ආනන්ද විමලවර්ධන, යාපා බණ්ඩාර සෙනෙවිරත්න මේ අතර විය. කරුණසේන ජයලත් ඩබ්ලිව්.නවරත්න, සහ අපට ද විටත් විට සහාය ලබා දෙන්නට හැකිවිය. ඔහුට බොරු මුහුණු පෙන්නූ ආත්මාර්ථකාමියෝ ද හොඳ මුහුණු පෙන්වූහ. 1983 කළු ජුලියන් සමඟ ‘කලා‘ වට හෙනහුරු අපලය උදාවිය. ‘සිනමා සාහිත්‍යයේ පුරෝගාමියා‘ නමින් පුංචි පුස්තිකාවක් ප්‍රවීණ සිනමා ලේඛක සුනිල් ලීනස් විසින් 2014 ජූලි 22 වෙනිදාට යෙදී තිබූ 20 වැනි ගුණ සමරුව වෙනුවෙන් ලියා ශ්‍රී ලංකා සිනමා කලා සංගමය මඟින් ප්‍රකාශයට පත් කිරීම පමණකි. ආරියරත්න කහවිට‘ වෙනුවෙන් කළ එකම උපහාරය වන්නේ.
1994 ජූලි 22 වෙනිදා දියවැඩියා රෝගයෙන් පීඩා විඳ ඔහු අපෙන් සමුගත්තේය.