නොදන්නා සිබිල්ගේ සිට දන්නා රුක්මණී දක්වා

ජනවාරි 27, 2022

සිංහල කථානාද සිනමාවට හත්තෑ පස් වසර සපිරෙද්දී එහි අතීතාවර්ජනයේ යෙදෙනු වස් පසුගිය සති‌යේ පළ කළ විශේෂ කලාපයේ සඳහන් කළ පරිද්දෙන් මෙරට සිනමාවේ රූපණ ඉතිහාසය සොයා යන්නට අපි තීරණය කළෙමු. එහි මුල් පෙළ සිනමා පෙම්වතියන් පිළිබඳවය.

අපේ මුල්ම නිළිය ලෙස ඉතිහාසයට එක්ව සිටිනුයේ සිබ්ල් ෆිම් නම් බර්ගර් ජාතික තරුණියයි. ඇය මුල්ම චිත්‍රපටය වූ රාජකීය වික්‍රමය චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑ වග ඉතිහාසයේ සඳහන්ය. ඇයගේ ඡායාරූපයක් හො වර්තමානයේ සොයා ගැනීමට නැත. ආචාර්ය එන්.එම්. පෙරේරා එහි ප්‍රධාන නළුවා වන අතර එතුමන් විසින් සඳහන් කරන කරුණු අනුව සිබිල් කොළඹ වොක්ෂොල් වීදියේ ජීවත් වූ බර්ගර් ජාතික යුවතියකි. එහි පැරැණි වැසියෝ කිසිවකු සියවසකට ආසන්න වද්දී වර්තමානයේ එහි නැත. ඔවුන්ගේ ඥාතියකු හෝ සොයා ගැන්මට අප කළ උත්සාහය තවමත් ව්‍යර්ථව පවති.

1929 වසරේ තිරගත කරනු ලද රොමානිස්ගේ ආදරය චිත්‍රපටයේ රඟපෑ නළුනිළියන් කවුරුන්දැයි සොයා ගන්නට නැත. එහෙත් 1936 වසරේ තිරගත කරන ලද පළිගැනීම චිත්‍රපටයේ රඟපෑ ශ්‍රියා කාන්තා යනු එකල සුප්‍රකට වේදිකා නිළියකි. ඇයගේ නම ඩබ්ලිව්. මිලි ආරියවතිය. කොහොමටත් පළිගැනීමට දායක වූ සියල්ලෝම ටවර්හෝල් ආශ්‍රිත පිරිසකි.

ලාංකික චිත්‍රපටයක රඟපෑවේ නැති වුවද අපේ සිනමා ඉතිහාසයේ ලියැවිය යුතු රූපණවේදිනියක වනුයේ මීරියම් පීරිස්ය. සුප්‍රකට ඉතිහාසඥයකු වූ පෝල් ඊ. පීරිස්ගේ දියණියක වන ඇය 1938 වසරේ මෙරට රූපගත කළ සෝල්ටන් කෝර්ඩා විසින් අධ්‍යක්ෂණය කරන ලද ද ඩ්‍රම් චිත්‍රපටයේ කැපී පෙනෙන චරිතයක් නිරූපණය කළාය. චිත්‍රපටයක ප්‍රධාන නාමාවලියේ නම සඳහන් මුල්ම නිළිය ද ඇයයි. එමෙන්ම ඉහළ වංශවත් පවුලකින් පැමිණි මීරියම් මුල්වරට නැටුම් ප්‍රසංගයක් පැවැත්වූ සිංහල යුවතිය ද වන්නීය.

කඩවුණු පොරොන්දුවට ප්‍රථමයෙන් සිංහල කථානාද චිත්‍රපටය වන්නට ඉඩ තිබුණු දිව්‍ය ප්‍රේමය චිත්‍රපටය ගැන මෙහිදි විමසා බලනු වටී. එම චිත්‍රපටය වැඩ අරඹනුයේ 1946 වසරේදීය. එහි අධයක්ෂ වූයේ ටී. තුරෙයිසිංහම් ය. තුරෙයිසිංහම් සිලෝන් තියටර්ස් සමාගම ආරම්භයේ මරදානේ ඔලිමිපියා සිනමාහලේ ප්‍රක්ෂේපණ යන්ත්‍ර කියාකරු විය. දිව්‍ය ප්‍රේමය චිත්‍රපටය නිර්මාණය වූවා නම් මෙරට කතානාද සිනමා රංගනයේ ගෞරවය මීගමුවේ මිනර්වා කණ්ඩායමට පෙරාතුව මරදානේ ටවර්හෝල් ආශ්‍රිත කණ්ඩායමට අත් වන්නට ඉඩ තිබිණ. එහෙත් දිව්‍යමය ප්‍රේමය නිෂ්පාදනයේ සිදු වූයේ යැයි කියන අර්බුද ඒ සියල්ල නතර කර දැමුවේය. එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රධාන නළු ඊ.සී.බී. විජේසිංහ රූපගත කරමින් සිටි මදුරාසියේ සිට ආපසු කොළඹ ආවේය. දිව්‍යමය ප්‍රේමයේ එතෙර ගිය මුල් පිරිස එහිදි දෙබස් කවන ලද මන ප්‍රයතනය චිත්‍රපටයට දායකවීමෙන් මුල්ම දෙබස් කැවූ පිරිස හැටියට ගෞරවය පමණක් දිනා ගත්හ. දිව්‍යමය ප්‍රේමය චිත්‍රපටයේ මුල් රංගනයට විමලා කාන්තා, හා ඇගේ වැඩිමහල් දියණිය ෆ්ලෝරි දේවි, ඇසිලින් රණසිංහ හා සීතා රණසිංහ දෙසොහොයුරියන් ද එතෙර ගිය නිළියන්ය. මේ සිව් දෙනාම ටවර්හෝල් ආශ්‍රිත නිළියන්ය. ඔවුන් කිසිවකු හෝ යළි සිනමාවට සම්බන්ධ වූවා නම් එසේ වූවේ එතරම් ප්‍රධාන නොවන චරිතාංග සඳහා පමණකි. එහෙත් විමලා කාන්තාගේ දෙවැනි දියණිය මෙරට සිනමාවේ ජනප්‍රිය හා සම්මානනීය ගායිකාවක මෙන්ම අපේ මුල්ම සංගීත අධ්‍යක්ෂවරිය ලෙසද වාර්තාවක් තැබූ එමෙන්ම ස්වකීය ගායනය හා සංගීතය සඳහා සරසවිය රණතිසර සම්මානයෙන් ද පුද ලද ආචාර්ය, විශාරද සුජාතා අත්තනායකයි. ඇසිලින් රණසිංහ පසුකලෙක සිරිසේන විමලවීරයන්ගේ චිත්‍රපට කිහිපයක සුළු චරිත නිරූපණය කළාය.

එබැවින් අපේ සිනමා රූපණ වරුණ ගැන සාක්ෂි සහිතව ලියන්නට සිදුවනුයේ කඩවුණු පොරොන්දුව සමඟය. කඩවුණු පොරොන්දුව නාමාවලිය පිරික්සීමේදී එහි රඟපෑ කාන්තාවන් රැසක් හෙළිදරව් වෙයි. රුක්මණී දේවි මෙහිලා ප්‍රමුඛ වෙයි. මුල්ම කථානාද චිත්‍රපටයේ මුල් ජවනිකාවේ පෙනී සිටින්නේ ද ඇයයි. නිෂ්පාදක නායගම් විසින් චිත්‍රපටය හඳුන්වාදීමේ කථනයේ රූප රාමුවලින් පසු කඩවුණු පොරොන්දුව ආරම්භ වනුයේ ද ඇයගේ සමීප රූපයකි. ජෙමිනි කාන්තා. ඇසිලින් බාලසූරිය, එව්ලින් බාලසූරිය, මීඩා පෙරේරා, රූපා දේවි හෙවත් එස්.ඩී. එලිසබෙත් එහි රඟපෑ කාන්තාවන්ය. අයිරාංගනී මිරියම් ජයමාන්න කඩවුණු පොරොන්දුව චිත්‍රපටයේ රඟපෑ එකම ළමා නිළිය වූවාය. ඇය එහි රංජනී නැතහොත් රුක්මණී සමඟ පෙම් බඳීන විවාහකයකු වූ වික්ටර් (පීටර් පීරිස්) හා ඔහුගේ භාර්යාව වූ ටෙක්ලාගේ (රූපවතී) දියණිය වූ ළදරු හිල්ඩා ලෙස චරිත නිරූපණයේ යෙදුණාය. චිත්‍රපටයේ ද හිල්ඩා අකල් මරණයකට ගොදුරු වන්නීය. සැබෑ ජීවිතයේ ද ළමා වියේදීම මීරියම් ජයමාන්න අකල් මරණයකට ගොදුරු වූවාය. මීරියම්, හා පවුලේ සාමාජිකයන් මහිංයගනයේ විනෝද චාරිකාවක යෙදෙන අතරතුර මහවැලි ගඟේ දිය නාමින් සිටියදී ඇය දියේ ගිලි මිය ගියාය. ඇය මිය ගියේ තම අතෙහි දී බැව් රුක්මණී වරෙක සිහිපත් කර සිටියාය. දැරිය එඩී ජයමාන්නගේ වැඩිමහල් සොහොයුරෙක් වූ ඔස්ටින් අබේසේකරගේ දියණියක වූවාය. පසුකලෙක බී.ඒ. ඩබ්ලිව් ජයමාන්න අයිරාංගනී නමින් චිත්‍රපටයක් නිර්මාණය කළ අතර රුක්මණී ඇය වෙනුවෙන් හෝ ගියෝ ගංගා ජලාසයේ ගිලාලා නැසී ගියේ යනුවෙන් ගීයක් ද ගායනා කළාය. බව්ජි බවුරා චිත්‍රපටයේ එන තූ ගංගා කී ගීතයේ තනුව අනුව යමින් ගීය රචනා කරන ලද්දේ හර්බට් එම්. සෙනෙවිරත්නය. සංගීතය එස්.එස්. වේදාගෙනි.

කඩවුණු පොරොන්දුව චිත්‍රපටයේ රංගනයේ යෙදුණ නිළියන් ගැන සඳහන් කරද්දී එහි තිදෙනෙකු ගැන අනිවාර්යයෙන් සඳහන් කළ යුතු වෙයි. එක් අයෙක් රුක්මණී දේවිය. දෙවැන්නිය චිත්‍රපටයේ ගායනයෙන් හා රංගනයෙන් රුක්මණී හැරුණු විට චිත්‍රපටයට දායක වන ජෙමිනි කාන්තා ය. තෙවැන්නිය චිත්‍රපටයට රූපාදේවි නමින් සම්බන්ධ වන එස්.ඩී. එලිසබෙත්ය. මේ තිදෙනාම බී.ඒ. ඩබ්ලිව් ජයමාන්නගේ මිනර්වා නාට්‍ය කණ්ඩායමේ නිළියන්ය. එලිසබෙත් මේ අතරින් වැඩිමහල්ලාය.

රුක්මණී කථානාද සිනමාවේ මෙරට මුල්ම සිනමා නිළිය පමණක් නොව ගායිකාව ලෙස ද ගෞරවය ලබන්නීය. හැත්තෑ පස් වසරක කථානාද සිනමාවේ නිළිය හා ගායිකාවක යන දෙඅංශයෙන්ම ජනකාන්ත තාරකාවක් අපට ඒ හැර දැක ගත හැකි වන්නේ නැත. ඇතැම් සිනමා තාරකාවෝ ගායනයෙහි හපන් කම්පෑව ද ඇතැම්විට ඉඳහිට හෝ චිත්‍රපටයක පසුබිම් ගායනයේ යෙදුණ ද ඒ කිසිවකු හෝ ගායිකාවක ලෙස ඉස්මතු වූයේ නැත. විටෙක රුක්මණීගේ රංගන පරාසයට බාධාවක් වන අන්දමටම ඇයගේ ගීත ඉස්මතුවී යයි. සැබැවින්ම ඇය රූපණවේදියෙහි ප්‍රතිභාව පළ කරන්නට සමත්වනුයේ පසුකාලීනව වැඩිහිටි චරිත සමඟය. එයට හේතුව සංස්කෘත හා පාර්සි නාට්‍ය ඔස්සේ ඉන්දියානු සිනමාවට ඇබැබ්හිව අපට ද හුරුවූ ගායනය රංග ප්‍රකාශයේදී ඉස්මතු කරලීමෙන් ඇයගේ මුල් යුගයේ රංගනය භාව ප්‍රකාශනයෙහිලා ගායනයට සීමා කරවීමය. මුල් දශකයේ එන කටපාඩම් කරගෙන අනිවාර්යයෙන් කිව යුතු දෙබස් කියැවීම ඇගේ රංගනයේ පරාසය තවත් සීමා කර දැමුවාය. කඩවුණු පොරොන්දුව චිත්‍රපටය තිරගත වනවිටත් රුක්මණී මෙන්ම ඇගේ සැමියා වූ එඩී ජයමාන්නත් මෙරට ජනප්‍රිය නළු නිළි යුවලකි. ඒ බව කඩවුණු පොරොන්දුව චිත්‍රපටය පිළිබඳව පළ කළ දැන්වීම්වල ද පසක් වෙයි. මුල්ම සිංහල කථානාද චිත්‍රපටය ලෙස පමණක් නොව රුක්මණී හා එඩීගේ නම් චිත්‍රපට දැන්වීම්වලට යොදා ගැනීමෙන් නිෂ්පාදකයන්ට අමතර වාසියක් ලැබුණු වගක් පෙනෙන්නට තිබේ. කඩවුණු පොරොන්දුව චිත්‍රපටය පිළිබඳ චිත්‍රපටය තිරගතවීමට මත්තේන් පළ කරනු ලබන දැන්වීමක සඳහන් වනුයේ ලංකාවේ කෝකිල පක්ෂියා නමින් ප්‍රකට රුක්මණී දේවී යනුවෙනි. ඒ චිත්‍රපටයට පෙරාතුව ඇයට ලැබුණු ජනප්‍රියත්වය පෙන්වා දෙනු ලබන සාධකයකි. සාමාන්‍යයෙන් සිදුවනුයේ සිනමාව හරහා ජනප්‍රිය වීම වුවත් රුක්මණී හෝ මිනර්වා කණ්ඩායම සම්බන්ධව එය එසේ නොවේ. ඒ වන විටත් ඇය රංගනයෙන් පමණක් නොව ගායනයෙන් ද නමක් තබා සිටියාය. ඇගේ ගී තැටිවලට ඉහළ ඉල්ලුමක් තිබිණ. එබැවින් කඩවුණු පොරොන්දුවට එය වෙස් වලා ගත් ආශිර්වාදයක් වන්නට ඇතැයි අනුමාන කළ හැකිය. ඇය රඟපෑ මුල් චිත්‍රපට අටම වේදිකා නාට්‍ය පාදක කරගත් ඒවා විය. චිත්‍රපටය සඳහා රූපයට පරිවර්තනය කළා විනා ඒවායේ ඇති නාට්‍ය දෙබසක් හෝ වචනයකින් වෙනස් කළ බවක් දැන් ගන්නට නැත. කුසුමලතා නම් මෙරට මුල්ම දෙමළ භාෂිත චිත්‍රපටය සැඟවුණ පිළිතුර නාට්‍ය පිටපතටම දෙමළ බසින් පරිවර්තනය කර රූගැන්වීමක් හෝ සිංහල පිටපතටම දෙබස් කැවීමක් නිසා එය ද නාට්‍යයානුසාර චිත්‍රපටයක් බැව් අමුතුවෙන් කිවයතු නොවේ.

රුක්මණී ගී ගැයු හැම අවස්ථාවකම ඇය වෙනුවෙන් කිසිදු වෙනත් ගායිකාවක් හෝ සම්බන්ධ වූ වගක් පළ නොවේ. එබැවින් රංග කාර්යයේදී භාව ප්‍රකාශයන්ට මුල් යුගයේ සිදුවූයේ ඇයගේ අද්වීතිය හඬ උපයෝගි කරගන්නටය. වේදිකා අනුවර්තිත චිත්‍රපටයන්ගේ පමණක් නොව නවකතාවක්ට පාදක කරගත් මුල්ම චිත්‍රපටය වූ කැලෑ හඳ චිත්‍රපටයේ සිට සිරියලතා හා දෛවයෝගය දක්වා ඩබ්ලිව්.ඒ. සිල්වා ශූරින්ගේ නවකතා ත්‍රිත්වයක්ම ප්‍රධාන චරිත රඟපෑවේ රුක්මණි දේවියයි. සිරියලතා හරහා ඇය නිෂ්පාදනයට දායක වූ මුල්ම කාන්තාව හැටියට ද උමතු විශ්වාසය චිත්‍රපටයෙන් ඇය මුල් වරට ද්විත්ව චරිත නිරූපණය කිරීමේ මුල්ම නිළිය හැටියට වාර්තාවක් තැබුවාය. එමෙන්ම ෆිල්ම් ෆෙයාර් සඟරාවේ කවරය සැරසූ මුල්ම ශ්‍රී ලංකේය නිළිය ද ඇයයි. ඇයගේ අවසාන රංගනය මෙරට ප්‍රේක්ෂකයන්ට දැක ගත හැකි වූයේ ඇර සොයිසා චිත්‍රපටය සඳහාය. මෙම කාලය ඇතුළත ඇයට පෙම්වතිය මෙන්ම මව හැටියට ද රඟපාන්නට ලැබිණ. ඇය සිය සැමියා එඩී ජයමාන්න සමඟ චිත්‍රපට රාශියක චරිත නිරූපණය කළ ද ඇයට ඔහු සමඟ අඹුසැමියන් හැටියට රඟපාන්නට ඉඩකඩ ලැබුණේ කවට අන්දරේ චිත්‍රපටයේය. ඒ වන විට ඇය 37 හැවිරිදි වියේ පසුවූවාය. ඇය අවසාන වරට පෙම්වතියක් ලෙස රඟපෑවේ 1967 වසරේ පිපෙන කුමුදු චිත්‍රපටයෙනි. නිළියක් හැටියට ඇය තරම් ප්‍රතිරූපයක් ගොඩනැඟූ තවත් සිනමා තාරකාවක් නැති තරම්ය. නළඟන චිත්‍රපටය සම්බන්ධව ඇති වන සමාජ කතිකාව එයට හොඳම නිදසුනකි.

 

ලබන සතියේ තව කොටසක්