එකම සිංහලයා තිමති වීරරත්නයි

ඉන්දියානු සිනමා නාමාවලියේ ලාංකික සිනමාකරුවෝ
ජූලි 16, 2020

ලාංකේය සිනමා ඉතිහාසය පුරාම සදහන්ව තිබෙන්නේ ඉන්දියානු සිනමාකරුවන් විසින් සිංහල චිත්‍රපට හදන ලද විස්තරයක් පමණි. මුල්ම ලාංකේය චිත්‍රපටය වූ රාජකීය වික්‍රමය හැදූ ගුප්තා ගේ සිට මෑත භාගයේ උදුම්බරා නිර්මාණය කළ කේ. චමත්රාජ් දක්වා ඉන්දියානු සිනමාකරුවන් විසි හත්දෙනෙකු අපේ සිනමා නාමාවලියේ හමුවෙයි. එහෙත් බොහෝ දෙනා නොදන්නා කරුණක් වනුයේ ලාංකේය සිනමාකරුවන් කිහිප දෙනෙකුගේ නම් ද ඉන්දියානු සිනමා නාමාවලියේ සදහන්වන විත්තියයි. ඔවුන් අපට මුණ ගැසෙන්නේ දකුණු ඉන්දියානු සිනමා නාමාවලියේ වීම මෙහි ඇති විශේෂත්වයයි. ඔවුන් මෙරට ඉපැදුණු නැතහොත් මෙරට සම්භවයක් ඇති පුද්ගලයන් වීම විශේෂයකි. මේ ලිපියේ මුල් කොටස ගිය සතියේ පළ වූ අතර මේ පළවෙන්නේ අවසාන කොටසයි.

1962 වසරේ තිරයට ආ දේව සුන්දරී චිත්‍රපටය මෙරට වැඩිම ගීත ගණනක් අඩංගු චිත්‍රපටයක් ලෙස සැලකෙයි. ජෝ අබේවික්‍රමයන් සිනමා රංගනය උදෙසා මුල්වරට එක් වූයේ ද එම චිත්‍රපටය සඳහාය. දේව සුන්දරී චිත්‍රපටයේ අධ්‍යක්ෂ ඉන්දියානුවකු වන සී.වී.රාජ්ය. එහි තිරනාටක රචකයා මෙන්ම සම අධ්‍යක්ෂවරයා වනුයේ එම්.එච්.එම්. මූනාස්ය. දේව සුන්දරී සඳහා මූනාස් පාදක කර ගනුයේ ඔහු විසින්ම එයට තිර රචනය ලියා දෙමළ බසින් සම අධ්‍යක්ෂණය කරන ලද උලගම් නම් චිත්‍රපයයි. ඒ 1954 වසෙර්ය. උලගම් සම අධ්‍යක්ෂවරයා වනුයේ ද එල්.එස්.රාමචන්ද්‍රන්ය. උලගම් කෙසේ වෙතත් දේව සුන්දරී සාර්ථක වූයේ නැත. මූනාස් ගේ සොහොයුරා පසු කලෙක මෙරට ජනප්‍රිය චිත්‍රපට නිෂ්පාදකවරයෙකු මෙන්ම කලක් කථානායකවරයෙක් ලෙස ද කටයුතු කළ එම්.එච්.මොහමඩ්ය.

ජෝ දේව් ආනන්ද්ගේ නම අපේ සිනමාවේ ඇත්තේ අතිශය ජනප්‍රිය චිත්‍රපට ගීතාවලියක් සමගය. ගීතා, සුජීවා, සුනේත්රා, සූකිරි කෙල්ල, ඔබයි මමයි, මිනිසුන් අතර මිනිසෙක් සහ ලාංකික දෙමළ චිත්‍රපටයක් වන පාසනීලා නිර්මාණය කරන ලද්දේ ජෝ දේව් ආනන්ද්ය. ඔහු වෘත්තියෙන් යාපනයේ විදුහල්පතිවරයෙකි. ඉංග්‍රිසි ගුරුවරයෙකි. ඔහුගේ නම ඉන්දියානු දෙමළ සිනමා නාමාවලියට එක්වන්නේ රත්තත්තින් රත්තමේ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා හැටියටය. කොළඹ එවකට පැවැති බ්‍රයිටන් හොටෙල් ආයතනයේ අධිපති එස්.කේ.ආරියරත්නම් නිපද වූ රත්තත්තින් රත්තමේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළේ ජයශංකර් හා රාධිකා, නාගේෂ්, හා අශෝකන් වැනි ඉන්දියානු නළු නිළියන් වන අතර ගීතා කුමාරසිංහ එහි ප්‍රධාන චරිතයක් රඟපෑවාය. ගීතා එහි රඟපෑවේ ජයශංකර් ගේ සොහොයුරියගේ චරිතයයි. එමෙන්ම ඇය එම චිත්‍රපටයේ රංගනය උදෙසා මෙරට ජනාධිපති සම්මාන උලෙළේ දී හොඳම සහාය නිළියට හිමි සම්මානය දිනා ගැන්ම විශේෂයකි. රාධිකා ද ශ්‍රී ලාංකික සම්භවයක් සහිත නිළියකි. ( ඇයගේ මව රීටා ප්‍රනාන්දු ශ්‍රී ලාංකික කාන්තාවකි. ඇය සිංහබාහු නාට්‍යයේ මුල්වරට සිංහයා ලෙස රඟපෑ මාක් ඇන්ටනි ප්‍රනාන්දුගේ සොහොයුරියයි).රත්තත්තින් රත්තමේ තිර ගත වූයේ 1980 වසෙර්ය.

දකුණු ඉන්දියානු සිනමා නාමාවලියේ අධ්‍යක්ෂවරුන් අතර එකම එක සිංහල නාමයක් ද සිනමාකරුවෙකු ලෙස හමුවෙයි. ඔහු සරසවිය රණ තිසර සම්මානයෙන් ද පිදුම් ලද තිමති වීරරත්නයි. තිමති සිනමාවට පිවිසෙනුයේ කැමරා අධ්‍යක්ෂවරයෙකු හැටියටය. දිල් තේරා දිවානා, කාශ්මීර් කි කලි වැනි ජනප්‍රිය චිත්‍රපට රැසක කැමරා සහායක ලෙස කටයුතු කළ තිමති සිනමා කැමරාකරණය පිළිබඳ ප්‍රවීණ ඉන්දියානු කැමරා අධ්‍යක්ෂ වී.කේ.රෙඩ්ඩි යටතේ පුහුණුව ලද්දෙකි. ඔහු සිංහල සිනමාවට දායක වනුයේ රොබින් තම්පෝ හැදූ සුදෝසුදු චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂ හැටියටය. දැවෙන පිපාසය චිත්‍රපටය සමඟ චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසෙන ඔහු තිමති ෆිල්ම්ස් නම් සිය නිෂ්පාදන සමාගම වෙනුවෙන් චිත්‍රපට රාශියක් නිපදවා අධ්‍යක්ෂණය කළේය. මේ දෑස කුමටද? සංගීතා, රජ දවසක් හා වන බඹරා ඔහු අධ්‍යක්ෂණය කළ සිංහල චිත්‍රපට වෙයි. එහෙත් ඔහු ඉන්දියානු දෙමළ චිත්‍රපටයක් අධ්‍ය්‍යක්ෂණය කළ එකම සිංහල සිනමාකරුවා ලෙස ඉතිහාස ගත වන්නේ 1980 වසරේ තිර ගත කරන ලද නැංගූරම් චිත්‍රපටය සමඟය. විජය කුමාරතුංග සමග එවකට ජනප්‍රිය හා සම්මානනීය ඉන්දියානු නිළියක වන ලක්ෂ්මී එහි චරිත නිරූපණය කළාය. එහි ඉන්දියාවෙන් මුත්තුරාමන් සමඟ සබීතා පෙරේරා, ෆරීනා ලායි, ඒ.ඊ.මනොහරන්, ලංකාවෙන් ද එයට දායක වූහ. තිමති වීරරත්නගේ ආදරණිය දියණිය සංගීතා විරරත්න එවකට සිනමාවට දායකව නොසිටියාය. දකුණු ඉන්දියානු සිනමා ඉතිහාසයේ සිංහල සිනමාකරුවකු චිත්‍රපටයේ නිර්මාණය කළ මුල්ම අවස්ථාව එය විය.

යාපනයේ වල්ලිපුරම්හි ඉහළම පවුලකට අයත් ටී (තංගරාජ්) අර්ජුන අධ්‍යාපනය ලද්දේ කොළඹ රාජකීය විදුහලෙනි. කොළඹ කෞතුකාගාරයේ ඇති මෙරට ඉතිහාසය හෙළිදරවු කරන ඉපැරැණි රන් සන්නසක් වූ වල්ලිපුරම් රන්පත ආරක්ෂා කොට බාර දෙන ලද්දේ අර්ජුනගේ පියාණන් වූ එස්. තංගරාජා මහතාය. ඔහු කොළඹ ශාන්ත තෝමස් විදුහලේ සුප්‍රකට ගුරුවරයෙකුව සේවය කළේය. අර්ජුනගේ මව රංජනා තංගරාජ් ඉන්දියානු නාට්‍ය ශාස්ත්‍රය හැදෑරූ මෙරට මුල්ම කාන්තාව වන අතර ඇය පසුව මෙරට රූප ගත කරන ලද දි අවුට්කාස්ට් ඕෆ් දි අයිලන්ඩ් චිත්‍රපටයේ ද රඟපෑවාය. එම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලද්දේ බ්‍රිතාන්‍ය සිනමාවේ දැවැන්තයකු වූ කැරොල් රීඩ් විසින්ය. අර්ජුන සිනමාකරණය හැදෑරුවේ ලන්ඩන් සිනමා පාසැලෙනි. ලන්ඩන් සිනමා පාසැලේ දී සිනමාකරණය හැදෑරූ මුල්ම ලාංකිකයා වන අර්ජුන බෲනායි රාජ්‍යයේ රාජකීය චිත්‍රපට අංශයේ මුල්ම අධ්‍යක්ෂවරයා ද විය. පසුව මෙරටට පැමිණ කලියුග කාලේ නමින් සිය මුල්ම වෘත්තාන්ත චිතපටය නිර්මාණය කරන ලද ඔහු විසින් එය දෙමළ දෙබස් කවා කලියුගකාලම් නමින් තිර ගත කරවන ලදී. ඔහු තැනූ වසන්තේ දවසක් අතිසාර්ථක චිත්‍රපටයක් වූවා පමණක් නොව අදාළ වර්ෂයේ වැඩිම ජනාධිපති සම්මාන සංඛ්‍යාවක් දිනා ගැන්මට ද සමත්විය. සාරා ඔහුගේ තෙවැනි චිත්‍රපටයයි. ඔහු ඉන්දියානු සිනමා අධ්‍යක්ෂවරුන්ගේ ගොන්නට හසුවන්නේ 1981 වසරේ නිර්මාණය කරන ලද වසන්තත්තිල් ඔරු වානවිල් චිත්‍රපටය සමඟය. එහි මෙරටින් රොබින් ප්‍රනාන්දු රඟපෑ අතර රාධිකා, ප්‍රතාප් පොතෙන්, දිල්ලි ගනේෂ් ඇතුළු දකුණු ඉන්දියානු නළු නිළියෝ රැසක් චරිත මැවූහ.

හැත්තෑව දශකයේ ජනපි‍්‍රය සංගීත ශිල්පියකු වූ ෂන් ශ්‍රී ලංකාවෙන් ගාමිණි ෆොන්සේකා, ඉන්දියාවෙන් රාධා සලූජා ද යොදා ගනිමින් ඉලය නීලා නමින් චිත්‍රපටයක් නිර්මාණය කළේය. එහෙත් 1983 කලබල සමඟ මේ චිත්‍රපටය දෙරටේම තිරගත නොවිණි.

දෙමළ සිනමාවේ පමණක් නොව දකුණු ඉන්දියානු සිනමාවේ නව රැල්ලේ පුරෝගාමි සිනමාකරුවා ලෙස බහුමානයට පාත්‍රවනුයේ ශ්‍රී ලාංකිකයෙකි. සිනමාකරුවකු ලෙස දකුණු ඉන්දියානු සිනමාවේ කෙතරම් ගෞරවයට පාත්‍ර වුවද ඔහුට යළි කිසිකලෙක ලංකාවට එන්නට ඉඩ නොලැබුණේ නියමිත වලංගු ගමන් බලපත්‍රයක් නොමැති වීම හේතු කොටගෙනය. ඉන්දියානු ජාතික සම්මාන හයකින් ද ෆිල්ම්ෆෙයාර් සම්මාන පහකින් ද තමිල්නාඩු හා කේරළ සිනමා සම්මාන ගණනාවකින් ද බාලු මහේන්ද්‍රන් පිදුම් ලද්දේය. මඩකලපුවේ උපන් බාලනාදන් බෙන්ජමින් මහේන්ද්‍රන් හෙවත් බාලු මහේන්ද්‍රන් මඩකලපුවේ මෙතෝදිස්ත හා ශාන්ත මයිකල් විදුහල්හි අධ්‍යාපනය ලද අතර ඔහු වෘත්තිය ජීවිතය අරඹනුයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සැලසුම් ශිල්පියකු හැටියටය. ජෝ දේව් ආනන්ද්ගේ පාසනිලා චිත්‍රපටයෙන් සිනමාවට පිවිසෙන බාලු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අක්කර පහ සහ සුගතපාල සෙනරත් යාපාගේ හන්තානේ කථාව චිත්‍රපට සඳහා ද දායක වූයේය. කෙසේ වෙතත් ඔහු ඒ අවදියේම පූනාවේ ඉන්දියානු සිනමා පාසලට ඇතුළත් වූයේය. ඔහු එයින් පිටවන්නේ රන් පදක්කම් ලාභී සිසුවකු හැටියටය.

ඔහු රාමු කාරියත්ගේ මලයාලම් භාෂිත නෙල්ලු චිත්‍රපටයෙන් කැමරා අධ්‍යක්ෂවරයකු ලෙස දොරට වඩින අතර බාලුගේ මුල්ම අධ්‍යක්ෂණය 1977 වසරේ එළි දුටුවේ කෝකිලා නමින් කන්නඩ චිත්‍රපටයක් හැටියටය. අලියාද කෝලංගල් ඔහුගේ මුල්ම දෙමළ භාෂිත චිත්‍රපටය විය. මුදුපානි, මූන්ද්ම් පිරෙයි, ඕලංගල්, නීලක්ෂණා, සද්මා, ඕමක්කුයල්, යාත්‍රා, වීඩු, සන්ධ්‍යාරාගම්, වන්න වන්න පූක්කල්, මරුපඩියම්, සති ලීලාවතී, ඇතුළු චිත්‍රපට රැසක් නිර්මාණය කළ ඔහුගේ අවසාන චිත්‍රපටය තලයිමුරයිගල් නම් විය. ද්‍රවිඩ භාෂාවට අයත් සියලු භාෂාවන්ගෙන් චිත්‍රපට නිර්මාණය කළ ඔහු හින්දි බසින්ද (සද්මා) චිත්‍රපට නිර්මාණය කළේය. ඔහුගේ චිත්‍රපට අතරින් මෙරට තිර ගතව ඇත්තේ අතළොස්සකි. බාලු මහේන්ද්‍රන් මිය ගිය පුවත චෙන්නායි සිනමා කර්මාන්තයට කෙතරම් තදින් දැනුණේද යත් ඔහුගේ අවමඟුල පැවැත්වූ දවසේ ප්‍රාන්තයේ සියලු සිනමාහල් වසා දමමින් හා චිත්‍රපට රූප ගත කිරීම් නවත්වමින් ඔහුට ගෞරව කරන්නට සිනමා කර්මාන්තය තීරණය කළේය. වර්තමාන ජනප්‍රිය දෙමළ සිනමාවේ සිනමාකරුවන් වූ බාලා, වෙට්‍රිමාරන්, රාමු, සීනු රාමසාමි ආදින් මෙන්ම කැමරා අධ්‍යක්ෂවරුන් වූ සන්තෝශ් ශිවන්, රවී කේ.චන්ද්‍රන්, නටරාජා සුබ්‍රමානියම්, කේ.වී.ආනන්ද් ආදින් සිය ගුරුවරයා ලෙස සලකනුයේ බාලු මහේන්ද්‍රන්ය. වෙට්‍රිමාරන් සිය මුල්ම ජනාධිපති සම්මානය රැගෙන පළමුව කරන ලද්දේ සිය ගුරුතුමා වූ බාලු මහේන්ද්‍රන්ගේ දෙපා මුල තබා ආශිර්වාදය පැතීමය.