වර්ෂ 2023 ක්වූ December 07 වැනිදා Thursday
රීගල්ට එරෙහිව මැජස්ටික්

දේශිය සිනමාව ආරම්භය සඳහා ඩී.එස්.සේනානායකයන්ගේ දායකත්වය කෙසේවී ද යත් ඔහු සීමාසහිත ලංකා නෘත්‍ය සමාගමේ (සීමාසහිත සිලෝන් තියටර්ස්) ආරම්භක අධ්යක්ෂවරයෙක් විය. පසුකාලීනව පුර්ණ වශයෙන් දේශපාලනයට පිවිසි පසු සේනානායකයන් වෙනුවට සමාගමේ අනුප්‍රාප්තිකයා බවට පත්වනුයේ ඔහුගේ දෙවැනි පුත් රොබට් සේනානායකය. සිනමාව සම්බන්ධ ඔවුන්ගේ ආයෝජනය කෙබඳුද යත් පසු මෙරට මුල්ම කථානාද චිත්‍රපට ද්විත්වයෙහිම නිෂ්පාදකවරයෙකු ලෙස රොබට් සේනානායකගේ නම සඳහන්ය. ඒ කඩවුණු පොරොන්දුව නිපද වූ ශ්‍රී මුරුගන් නවකලා සමාගමේ හා අශෝකමාලා නිපද වූ සිලෝන් තියටර්ස් සමාගමේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයකු හැටියටය.
ඒ වන විට හුදෙකලා සිනමා සංග්‍රාමයක යෙදුණ ටී.ඒ.ජේ.නූර්බායි ද ලංකා නෘත්‍ය සමාගම ආරම්භයේ දීම එහි කොටස් කරුවකු බවට පත් වූවා පමණක් නොව අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයකු ද විය.නූර්බායි මිය යනතුරුම සමාගමේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයකුව සිටියේය.
නව සමාගමට ආරම්භයේ දී මදාන් සමාගමේ විවිධ අතවරවලට මුහුණ පෑමට සිදු විය. මෙය සාමාන්‍ය සිදුවීමකි. තම ව්‍යාපාරය හරහා තරග වදින්නට පිවිසෙන ඕනෑම කෙනෙකු මුලින් උපුටා දමන්නට පැරැන්නන් සැරැසීම ස්වාභාවික සිදුවීමකි. ආරම්භයේ සිටම මෙරට සිනමා ව්‍යාපාරයේ ඒකාධිකාරය ගොඩනැංවූ මදාන් තියටර්ස් සමාගමේ එකී හැසිරීම අනිවාර්යයෙන් බලාපොරොත්තු විය යුත්තකි. එහි කැපී පෙනෙන සිදුවීමක් වූයේ වැරයටි හෙවත් වොඩ්වේල් චිත්‍රපටයේ අයිතිය පිළිබඳ ගැටලුවයි.( 2019 ඔක්තෝබර් 17 වැනි දින සරසවිය අපේ සිනමා වත ලිපි මාලවේ පනස්වැනි කොටසේ මේ පිලිබඳ පළවිණ.) එය නැවත සිහිපත් කරන්නේ නම් මෙපරිද්දෙනි. 1925 වසරේ නිෂ්පාදිත ජර්මානු- අමෙරිකානු හවුල් නිෂ්පාදනයක් වූ චිත්‍රපටයක් සිලෝන් තියටර්ස් මඟින් වොඩ්වේල් නමින් ද මදාන් තියටර්ස් මඟින් වැරයිටි නමින් ද මෙරටට ආනයනය කෙරිණ. වොඩ්වේල් පළමුව ඔලිමිපියා සිනමාහලේ තිරගත වද්දී මදාන් තියටර්ස් විසින් ඔලිම්පියා සිනමාහලේ පාලකයන් වූ තම්බයියා හා ගාඩිනර්ටත් සිනමාහලේ කළමනාකරුවන් වූ ඩී.විජේසිංහ සහ එම්.සවරිමුත්තුටත් එරෙහිව නඩු පවරන ලදී. ඒ රුපියල් දෙදහසක වන්දියක් ද ඉල්ලා සිටිමිනි. අවසානයේ විනිසුරුවරයා විසින් මදාන් තියටර්ස් ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලදී. ඔලිම්පියා සිනමාහලේ වොඩ්වේල් තිරගත වූයේ සමච්චල් සහගත පුවත්පත් දැන්වීමක් ද සහිතවය. මේ මෙරට චිත්‍රපට ප්‍රදර්ශන අයිතිය පතා තවත් සමාගමක් නඩු පැවරූ මුල්ම අවස්ථාව විය. සමාගම් දෙකෙහිම තවත් තරගයක් අවසන් වනුයේ පාසන්ස් පාරේ (වර්තමාන චිත්තම්පලම් ඒ.ගාඩිනර් මාවතේ) එකල පැවැති එම්පයර් සිනමාහල් භුමියේ අයිතිය සිලෝන් තියටර්ස් මඟින් ලබාගැනීමෙනි.
කොම්පඤ්ඤවීදියේ රීගල් සිනමාහල ආරම්භ කොට මාස කිහිපයක් ඇවෑමෙන් නව සුඛෝපභෝගි සිනමාහලක් ආරම්භ කිරීමට මදාන් තියටර්ස් සමත් විය. ඒ බම්බලපිටිය ගාලුපාරේ අංක 10 දරන තැන පොල් ඉඩමක ඉදි කරන ලද මැජස්ටික් සිනමාහලයි. එය කථානාද සිනමාහලක් විය. මැජස්ටික් සිනමාහල ආරම්භ කරනුයේ 1930 වසරේ දෙසැම්බර් මස 3 වැනි දිනදීය. එහි ආරම්භක චිත්‍රපටය වූයේ 1929 වසරේ වෝර්නර් බ්‍රදර්ස් සමාගම මගින් නිපදවන ලද ඔන් විත් ද ෂෝ නම් සංගීතමය චිත්‍රපටයයි. මුල්ම වර්ණ කථානාද චිත්‍රපටය ලෙස ලෝක සිනමාවේ ඉතිහාසගත වන්නේ ඔන් විත් ද ෂෝ චිත්‍රපටයයි. ඇලන් ක්‍රොස්ලන්ඩ් විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටයේ ජෝ ඊ.බ්‍රවුන්, බෙටී තොම්ප්සන්, ආතර් ලේක්, එතල් වෝටර්ස් ආදිහු එහි චරිත නිරූපණය කළහ. සිනමාහල විවෘත කරන ලද්දේ කොළඹ නගරාධිපති ඊ.ඒ. නිව්න්හැම් මහතා විසිනි. මදාන් තියටර්ස් සමාගම මඟින් මෙරට ඉදි කරන ලද මුල්ම කථානාද සිනමාහල වූ එම්පයර් සිනමාහල (පබ්ලික් හෝල් ) මෙන්ම එල්ෆින්ස්ටන් සිනමාහල ද විවෘත කරන ලද්දේ නිවුන්හැම් අතින් වීම විශේෂයකි.
සිනමා සමාගම් තරග වැදීමේ ප්‍රතිඵලය ප්‍රේක්ෂකයන්ට වාසිදායක වූයේය.
චිත්‍රපට ප්‍රදර්ශනයේ මදාන් ඒකාධිකාරය බිද වැටීමේ ප්‍රතිඵලය ද ලොව ජනප්‍රිය චිත්‍රපට නැරඹීමේ මෙන්ම වඩා සුඛෝපභෝගී සිනමාහල්වල පහස ලැබීමට ප්‍රේක්ෂකයන්ට අවකාශ ලැබීමය. එම්පයර් සිනමාහලට වඩා හොඳීන් රීගල් සිනමාහල ඉදිකිරිමත් එයටත් වඩා දැවැන්ත ලෙස මැජස්ටික් සිනමාහල ඉදිවීමත් මේ තරගකාරි අවස්ථාවේ ස්වරූපය පෙන්වා දෙයි. ගාලු පාරේ වර්තමානයේ ඇති මැජස්ටික් සිටි සංකීර්ණ භූමියේ බිහි වූ මෙම සිනමාහල 1993 අප්‍රේල් මස 30 වැනි දින ටීනේජ් මියුටාන්ට් නින්ජා ටර්ටල්ස් -2 චිත්‍රපටය ප්‍රදර්ශනයේ අවසානයත් සමග වසා දැමිණ. එයට පෙර 1991 අප්‍රේල් මස 4 වැනි දින එම භූමියේ එක් කොටසක අලුත් සාප්පු සංකීර්ණයක් මැජස්ටික් සිටි නමින් විවෘත විණ. ඒ එම බිම්කඩෙහිම බම්බලපිටිය දුම්රිය පොළ පාරට මුහුණලාගෙනය. එයින් පසු ගාලු පාරට මුහුණලා පිහිටි දැවැන්ත සිනමාහල මත සාප්පු සංකීර්ණයේ දෙවැනි අදියර ගොඩනැඟිණ. එහි ඇති වත්මන් සිනමා ශාලා සංකීර්ණයේ මුල්ම සිනමාහල ආරම්භ වූයේ එයින් වසර තුනකට පසු 1995 වසරේ නොවැම්බර් මාසයේ 24 වැනි දින දීය. එහි මුල් වරට ප්රදර්ශනයවූයේ ස්පීඩ් චිත්‍රපටයයි. එය ප්ලැටිනම් නමින් නම්වූයේ 2011 වසරේ දෙසැම්බර් මස 2 වැනි දින එහි සෙසු සිනමා ශාලා වූ සුපිරියර්, ගෝල්ඩ් හා අල්ට්රා විවෘතවීමත් සමඟය. එය ඒ වන විට කොළඔ ඉදිවුණු නවීනතම සිනමා සංකිර්ණය විය. පැරැණි සිනමාහල හරියටම පිහිටා තිබුණේ වර්තමානයේ දකුණු පස පිහිටි ප්ලැටිනම් සිනමා ශාලාව හා වම් පස පිහිටි සුපිරියර්,ගෝල්ඩ්, හා අල්ට්රා අතරතුර සම්පූර්ණ බිම්කඩෙහිය.
පැරැණි මැජස්ටික් සිනමාහල ආසන 700කින් පමණ සමත්විත වූ දැවැන්ත සිනමාහලක් විය. එමෙන්ම කොළඹ නගරයේ තිබුණු ඉහළ ගණයේ සිනමාහලක් ලෙස ද එය කිරුළු පැලැඳ සිටියේය. රීගල් සිනමාහලට එරෙහිව ගොඩනැගුණ ද දස වසරක් ගතවන්නට මත්තෙන් මැජස්ටික් මෙන්ම එම්පයර් ද සිලෝන් තියටර්ස් පාලනයට අයත්වීම අපූරු දෛවෝපගත කාරණයක් විය.
1930 වසර වන විට එළැඹි කථානාද සිනමාව සමග දේශිය සිනමා ව්‍යාපාරය නාට්‍ය අබිබවා ප්‍රේක්ෂකයන් ඇද බැඳ ගත්තේය. කොටහේනේ ගෙයිටි නෘත්‍ය ශාලාව සිනමාහලක් බවට පරිවර්තනයව සිලෝන් තියටර්ස් හා එක්විය. ආරම්භයේ සිටම ජනප්‍රිය ඉන්දියානු චිත්‍රපට මධ්‍යස්ථානයක් වූ ගෙයිටි සිනමාහල තුන් වැනි ලාංකික චිත්‍රපටය වූ පළිගැනීම චිත්‍රපටය ද තිර ගත කළ සිනමාහලයි. එය 1995 වසරේ මැයි මාසයේ 24 වැනි දින අලුයම කොළඹ නගරයට අධික වැසි වසන අතරතුර මහ පොළවට පාත්වූයේ යුගයක් නිමා කරමින්ය. එමෙන්ම කාටවත් කරදරයක් ඇති නොකොටය.ඒ වන විට එහි තිරගතවූයේ එස්.පී. මුත්තුරාමන් අධ්‍යක්ෂණය කරන ලද පාණ්ඩියන් චිත්‍රපටයයි.
1930 වන විට සිනමාවේ ව්‍යාප්තියත් සමඟ මෙරට නාට්‍යකරුවන් බලවත් කණගාටුදායක ඉරණමක්ට මුහුණ දෙනු පෙනෙයි. “ඇනී බොතේජු නෝනා මහත්මිය“ රඟපාන ඉන්ද්‍රසභා නාට්‍යය ආර්ය සිංහල නාට්‍ය සභාව මඟින් නිෂ්පාදනය කරන ලදුව මරදානේ ටවර රඟහලේ රාත්‍රි 9.30ට වේදිකා ගතවන්නේ යැයි පුවත්පත් දැන්වීම් පළවීමෙන් මේ බව සනාථ වෙයි. ඉන්ද්‍රසභා යනු පාර්සි නාට්‍ය සමාගම් මඟින් කිහිපවතාවක්ම වේදිකා ගත කරනලද ජනප්‍රිය නාට්‍යයේ සිංහල පරිවර්තනය විය.