පැංචාට සියයයි

ජනවාරි 14, 2021

දුවගෙන ආ පොඩි එකා බිත්ති කණ්ඩියකට මුවා වුණේ ය . ඔහුට පිටුපසින් සිය රැකවලාය. දැන් කිසිවකුට හෝ බියක් විය යුතු නැත. එහෙත් පසුපසට යන කැමරාව ඔවුන්ට නොපෙනෙන පසුපසින් ඇති ඉරණම අපට පසක් කරදෙයි. ඔවුන් දෙදෙනා පසුපසින් සිටගෙන සිටිනුයේ පොලිස් නිළධාරියෙකි. මේ පොලිස් නිලධාරියා පොඩි එකාගේ උපන් දවසේ සිට පසුපසින් එන එක්තරා ජාතියක කරුමක්කාරයෙකි. මේ සිනමා ඉතිහාසයේ අපූරු සිනමා සිත්තමක එන අමරණීය ජවනිකාවකි. මේ ජවනිකාවට මෙම මස 16 වැනි දිනට එනම් ලබන සෙනසුරාදාට වසර සියයකි. චිත්‍රපටය 'ද කිඩ්' ය. ද කිඩ් තිර ගත වූයේ 1921 ජනවාරි මස 16 වැනි දිනදීය. ලෝක සිනමාවේ චාලි චැප්ලින් නම් මහා යුග පුරුෂයා විසින් නිර්මාණය කරන ලද ද කිඩ් ඔහුගේ ප්‍රථම වෘත්තාන්ත චිත්‍රපටය වෙයි. එහි ප්‍රධාන චරිතය නිර්මාණය වනුයේ ද එයට වසර හයකට පෙරාතුව චැප්ලින් විසින් සිනමාවට හඳුන්වා දෙන ලද ජේත්තුකාර පාදඩයාගේ චරිතයෙනි. ද කිඩ් තිර රචනය මෙන්ම සංගිත නිර්මාණය හා නිෂ්පාදනය අධ්‍යක්ෂණය ද චාලි චැප්ලින්ගෙනි. තමන්ට ලැබුණු අපචාර චෝදනා හේතුවෙන් ස්විට්සර්ලන්තයට ගොස් පදිංචිව සිටි චැප්ලින් අමෙරිකාවට යළි පැමිණියේ 1972 වසෙර්ය. ඒ ඇකඩමි සම්මාන උලෙළේ ඔහු වෙත පිරිනැමුණු විශේෂ සම්මානය ලබා ගන්නටය. ඒ අවස්ථාවේ ඔහු වර්තමානයට ගැළපෙන පරිද්දෙන් චිත්‍රපටයේ දර්ශන කිහිපයක් කෙටි කොට එය නැවත සංස්කරණය කරන ලදී.

1921 වසරේ වැඩිම ආදායම ගත් චිත්‍රපට අතරින් එය ලබා ගත්තේ දෙවැනි ස්ථානයයි. 2011 වසරේ දී එක්සත් ජනපද කොංග්‍රස් පුස්තකාලය මඟින් ද කිඩ් සංරක්ෂණය කෙරිණ. ඒ එය සංස්කෘතික, ‌ඓතිහාසික හා සෞන්දර්යාත්මක වශයෙන් වැදගත් සිනමා කෘතියක් ලෙස හදුන්වාදෙමින්ය.

චිත්‍රපටය ආරම්භයේම එහි මෙලෙස සඳහන් වෙයි. සිනහවක් රැගත් පින්තූරයක සමහරවිට, කඳුළක් විය හැකිය. (A picture with a smile and perhaps, a tear)

එයින් පසු අමෙරිකාවේ දුප්පතුන්ට වෙන්වූ රෝහලකින් අලුත උපන් බිළිඳකු රැගෙන යන මවකගේ දර්ශයනයකට යොමුවෙයි. දරුවා සමඟ පිටත්වන මව හා දරුවා දෙස බලන රෝහලේ මුරකරු හා සාත්තු සේවිකාව හෙමිහිට මුමුනන්නේ මෙබඳු අසරණ මව්වරුන්ගේ පොදු ඉරණම ඔවුන් දන්නා නිසා විය යුතුය. ඒ ගැන කියන දෙබස් නැත. ද කිඩ් තැනෙන යුගය චැප්ලින් පැවසූ අන්දමට සිනමාවේ ශුද්ධ වූ යුගයයි. කථා කියනුයේ රූපයෙන් පමණකි. මේ මව අවිවාහක එකියකි. ඇය අත ඇත්තේ නොපෙනෙන අනාගතයකි. සුවිසල් මන්දිරයක් ඉදිරිපිට නවතා ඇති සුඛෝපභෝගී මෝටර් රථයක පසු අසුනේ ඇය දරුවා හොවාලනුයේ දරුවා කිසියම් තැනක හොඳීන් වැඩෙනු ඇතැයි අපේක්ෂාවෙන් කුඩා සටහනක් ද සහිතවය. දරුවාගේ පියා චිත්‍ර ශිල්පියෙකි. ඔහු ඉදිරියේ උඳුන මත ඇති තරුණියගේ රුව එයට දෙස් දෙයි. මේ චිත්‍රය ගිනි අඟුරු ගොඩක් බවට පත් වනුයේ අහම්බෙනි. එය තව දුරටත් බේරා ගන්නට ඔහුට වුවමනාවක් නැති තරම්ය. මේ අළු මතින් ඔහු සිය පයිප්පය දල්වා ගනියි. උයනක බංකුවක අසුනක වාඩි වී සිටින ඇයට දරුවා පිළිබඳ හැඟීම පසෙක ලන්නට නොහැකිය. ඇය දරුවා ආපසු සොයා යද්දී දෛවෝපගත අන්දමින් දරුවාගේ ඉරණම තීන්දු වී හමාරය. සොරුන් දෙදෙනෙකු විසින් සොරා ගෙන යන ලද රථයේ සිටි දරුවා ඔවුන් දකිනුයේ අතරමඟදීය. ඔවුහු දරුවා අතරමඟ දමා යති. ජේත්තුකාර පාදඩයා අවතීර්ණය වනුයේ එවිටය. එය දුප්පතුන්ගේ නිවාස පද්ධතියකි. පාදඩයා ඉහළ මහලකින් වැටෙන කුණු ගොඩකින් වරක් බේරුණ ද දෙවැනි වර එසේ බේරෙන්නට අපොහොසත්ය. කබායෙන් එළියට ගන්නා සිගරට් පෙට්ටියේ බහාලූ එහෙන් මෙහෙන් ඇහිඳ ගෙන තිබූ සුරුට්ටු කැබැල්ලක් ඔහු දල්වා ගන්නේ වැදගත් මහත්මයෙකු හැටියටය. ඒ සැණින් ඔහු දකින්නේ කුණු ගොඩ අසල සිටින දරුවාය. ඔහුගේ ඊළඟ වෑයම මේ දරුවාගේ සැබෑ හිමිකරු සොයා දරුවා ඒ අතට පත්කිරිමටය. ඒ හැම තැනම සිටින්නේ පොලිස් නිලධාරියාය. දරුවා තමා ළඟම තබා ගන්නට පමණක් නොව ජෝන් නමින් නම් කරන්නට ද ඔහුට සිදුවන්නේ එහෙමය. අනතුරුව ගත වන වසර පහක් ඇතුළත බොහෝ දේ වෙනස්ව තිබේ. දරුවා හොඳීන් සුවසේ වැඩී ඇත. එපමණක් නොව පාදඩයා ජෝන් ට ආදරණීය පියෙක් වී අවසානය. ඒ අතර කාලයේ ඔහුගේ මව ධනවත් කාන්තාවක් බවට පත්ව සිටින්නීය. එහෙත් ඇය තවමත් දරුදුකෙන් පෙළෙන්නීය. වර්ණ භේදයෙන් තොරව පවා ඇය හැම පොඩි එකෙකුගෙන්ම තමා විසින් අතහැර දමන ලද දරුවාගේ මුහුණ සොයන්නීය.

බැලූ බැල්මට පසුකලෙක ගොඩනැඟෙන හින්දි චිත්‍රපටයක එන කථාවක් යැයි සිතුණ ද චැප්ලින් එය මානව දයාව පිළිබඳ අපූරු රූපමය ගීතයකට යොමු කරවන්නේ සිය විශිෂ්ට මාධ්‍ය හැසිරවීමත් සමඟය. මේ ප්‍රේක්ෂක ඇසට කඳුළක් උණාදෙන වර්ගයේ සිනමා කෘතියකි.

චැප්ලින් සිය සිනමා ජීවිතයේ පාදඩයා ගේ චරිතය සිනමාවට හදුන්වාදෙනු ලබනුයේ 1914 වසරේ තැනුණු ද කිඩ් ඔටෝ රේසස් චිත්‍රපටය සමඟය. 1936 වසරේ මොඩර්න් ටයිම්ස් චිත්‍රපටය දක්වාම ඔහු මෙම අමරණීය චරිතයේ ජීවත් විය. තමාට වඩා ලොකු කලිසමත්, ඇඟට හිර වුණු කබායත්, බස්තමත්, තොප්පියත් තඹ දොයිතුවක් නැතත් ධනවතෙකුගේ විලාසයත් පෙන්වන මේ චරිතය සිනමාවේ මුල් යුගයේ මුදල් උපයන යන්ත්‍රයක් විය. හොලිවුඩයේ මේ පාදඩයා ලංකාවේ පවා ආදරයට ලක්වූයේය. ඒවා අධ්‍යක්ෂවරයාගේ බුද්ධි මහිමය සාමාන්‍ය ප්‍රේක්ෂකයා ඉදිරියේ තබා ප්‍රදර්ශනය කරන ජාතියේ චිත්‍රපට නොව විවිධ මට්ටමේ සිනමා රසිකයන්ට විවිධ තලයන්ගේ සිට විවිධ මට්ට්මෙන් රස විඳීය හැකි චිත්‍රපට විය. සිනමාහල්වල තිබුණේ එක් පුවරුවකි. චාලි මෙහි සිටී (charlie is here) යන පුවරුව පමණකි. එයම සිනමා ශාලාවල ජනයා පිරී ඉතිරෙන්ට ප්‍රමාණවත්ය. එහෙත් චැප්ලින් යනු විකටයකු නොවිණ. ඔහු ඉංග්මාර් බර්ග්මාන්, ආන්ද්‍රෙ තර්කොව්ස්කි වැනිම වූ සිනමා මුනිවරයෙක් ලෙස සලකනුයේ එබැවිනි. ඔහු කිසි දිනෙක හොඳම නළුවා වූයේ නැත. චැප්ලින් ගේ සිනමාවට ගුරුවරයකු නොවිණ. එහෙත් සිනමා රූප රාමුවකින් දහසක් දේ පැවසිය හැකිය යන්න ඔහු සනාථ කළේය. එඩ්වින් එස්. පෝටර්, ඩී.ඩබ්ලිව්.ග්‍රි‌ෆිත් , සර්ජි අයිසන්ස්ටයින් වැනි සිනමාකරුවන් අතර පුරෝගාමී මෙහෙවර හා සර්වකාලීන සිනමාකරුවෙකු ලෙස චාලි චැප්ලින් වැදගත් වන කාරණා කිහිපයකි. එයින් පළමුවැන්න යාන්ත්‍රික නිර්මාණයක් වූ සිනමාවට හදවතක් ගෙන දුන්නේ ඔහු ය . දෙවැන්න එම හදවත සර්වකාලින බැවින් යුක්තවීමය. එබැවින් ශතවර්ෂයකට පසුව වුවද ඔහුගේ සිනමා කෘති නවතාවයෙන් යුක්තව කියැවිය හැකිය. අලුත් අර්ථකථන දිය හැක්කේය. ද කිඩ් ද අයත් වනුයේ එම ගණයටය.

අනාථ දරුවකු හා පාදඩයකු පිළිබඳ මේ පුවත හරහා මිනිසුන්ට සිනාසෙන්නට සලසන සිනමාකරු ඒ හරහා ජීවිතය පිළිබඳ අපූරු පාඩමක් ද කියා දෙන්නට සමත් වෙයි.

ද කිඩ් චිත්‍රපටය නිර්මාණය වන සමයේ චැප්ලින් තම කුලුඳුල් දරුවා වූ නෝමන් ස්පෙන්සර්ගේ වියෝවෙන් දැවෙමින් උන්නේය. සිය පළමු බිරිය වූ 16 හැවිරිදි මිල්ඩ්‍රඩ් හැරිස් ඔහු හා විවාහ වනුයේ තමා ඔහු අතින් ගැබ්ගෙන ඇති බව හඟවමින්ය. එහෙත් එය බොරුවක් වුවත් එයින් පසු ඇය ගැබිණියක බවට පත්වෙයි. නෝමන් එයින් ලද දරුවාය.දරුවා ජීවත්වූයේ දින තුනකි. මිල්ඩ්‍රඩ් හා චැප්ලින් විවාහය එයින් කෙළවර විය. ඔහු ද කිඩ් හදන්නේ එහෙමය. අමෙරිකාවේ මැවෙන පාදඩ ජීවිතය එයින් වසර ගණනාවකට එපිට ඔහු ලන්ඩනයේ දී ලද අත්දැකීම්ය. සිනමාකරුවකු ලෙස ඔහුගේ විශිෂ්ටත්වය ඉස්මතු වන අවස්ථාඅතර එකී අත්දැකීම් සිය සිනමා ප්‍රකාශනයෙහිලා භාවිත කරන අන්දම විමසීමේදී වඩා පැහැදිලිව.

චැප්ලින් සමඟ ජෝන් ලෙස රඟපානු ලබන පැංචා ජැකී කූගන් ලෝක සිනමාවේ මුල්ම ළමා තාරකාව ලෙස සැලකිණ. ජැකී කූගන් විසින් මෙහි දක්වන ලද රංග ප්‍රතිභාව බොහෝ ප්‍රතිභාපූර්ණ නළුවන් අබිබවා යන්නක් බැව් පෙනෙන්නකි. ඔහු ලද ආදායම තම මව හා සුළු පියා විසින් රිසි සේ වියදම් කළ අන්දමට එරෙහිව පසුකලෙක ඔහු පැවරූ නඩුව හේතුවෙන් අමෙිරිකානු ළමා නළුවන් උදෙසා 1939 වසරේ දී වෙනම ප්‍රඥප්තියක් බිහි වූ අතර එය හදුන්වනුයේ කූගන් ප්‍රඥප්තිය හැටියටය.

චිත්‍රපටයේ එක් අවස්ථාවක අම්මා වෙනත් දිළිඳු දරුවකු අත තබා නළවද්දී ඒ අසලම බිම ඉඳගන්නේ ජෝන්ය. අම්මා ඔහු හඳුනා නොගන්නා නමුත් ඉතිරිව ඇති තෑගි දරුවා අත තබා යයි.

ද කිඩ් චිත්‍රපටයේ එන ඉතාම විශිෂ්ටතම පරිකල්පනය නම් පාදඩයා මුඩුක්කුව ස්වර්ගයක්ව දකින සිහිනයයි. ඔහු පසුපස හඹා යන පොලිස් නිලධාරියා ද එහි දේවදූතයෙක් බවට පරිවර්තනය වෙයි. සිහිනය හමාර වනුයේ දේවදූතයා පාදඩයා ගෙලින් ගෙන සෙළවීමේදීය. චිත්‍රපටය පුරා ජේත්තුකාර පාදඩයා හා දරුවා මෙන්ම පොලිස් නිලධාරියා ද එකිනෙකා හඹා යති. චිත්‍රපටය හමාර වනුයේ පොලිස් නිලදරුවා පාදඩයා මහා මන්දිරයකට ගෙන හැරලීමෙනි. එහි දොර අරිනුයේ නැවත හමුව සිටි මවු පුතු දෙදෙනාය. චිත්‍රපටය නිමවනුයේ පාදඩයා එම නිවසට ඇතුළුවීමෙන්ය.

ද කිඩ් චැප්ලින් ගේ සෙසු නිහඩ චිත්‍රපට මෙන්ම උපසිරැසි වලට වඩා රූපමය ප්‍රකාශනය වෙත වැඩි බරක් දැරූ චිත්‍රපටයකි . එබැවින්ම සිනමාවේ නිහඩ වත බිඳ එයට ශබ්දය ඇතුළු කිරීම නිසා සිනමාවේ අනන්‍යතාව නැතහොත් ශුද්ධ වූ සිනමාව එමගින් මියගියේ යැයි චැප්ලින් පසුකලෙක නැඟූ මැසිවිල්ල සාධරණය. ඒ චැප්ලින්ගේ සැබෑ සිනමාව ද කථානාද සිනමාවේ ඉපැදීමත් සමඟ වියැකුණු බව පෙනෙන හෙයින්ය. ඔහු අවසන් වරට නිර්මාණය කරන ලද චිත්‍රපටය වන මෙෂියර් වර්ඩු වැනි කථානාද චිත්‍රපටයක් දේශපාලන අර්ථයෙන් විචාරකයන්ගේ ප්‍රශංසාව ලද ද එහි පෙර සිනමාවේ තිබුණු අවංක ස්වරූපය දැක ගත නොහැකිය.

එය වඩාත්ම පැහැදිලිව දැකිය හැක්කේ සිය වැනි වසරේදී පවා ද කිඩ් නොව පැරණිය වන රමණිය චිත්‍රපටයක් ලෙස රස විදින්ට සමත්ව ඇති හෙයින්ය.

 

අරුණ ගුණරත්න