දේශීය සිනමාවේ පුරෝගාමී සිනමා විචාරකයාට ගෞරවනීය ආචාරය !

ජනවාරි 28, 2021

මාධ්‍යවේදියකු යනු පොලිසියේ පහර කමින් වීදි සටන් කරන්නකු විය යුතුයැයි අදහන්නගේ මිම්මෙන් ගත් කල ආරියදාස මහතා කිසිවිටෙකත් මාධ්‍යවේදියකු නොවිණ. ඔහු මුළු ජිවිතයම වැඩි හැලහැප්පීමකින් තොරව යන්නට කැමැති සරල නිසංසල දිවියකට ඇලුම් කළ මිනිසෙකි. එහෙයින්ම ඔහු මාධ්‍ය ලෝකය ඇතුළත ආරවුල් සඳහා මැදිවූවකු නොවිණ. 1977 වසරේ ලේක් හවුස් ආයතනය ඇතුළත සිදු වූ බල පෙරළියේදී ඇති වූ ඇතැම් අශෝභන සිදුවීම්වලින් පීඩා විඳී එක් මාධ්‍යවේදියකු වූයේ ද ඔහුය.

"සර්. වචනයක් තියෙනවා අහගන්න.?" 

මම ඔහු අමතමින් පවසමි.

"මම කාටවත් වචන කියන්නේ නෑ.ඒ වුණාට ඔහේට වචනයක් කියන්න මා කැමැතියි."

මම වචනය පවසමි. එය ඉංග්‍රීසි වචනයකි. ඒ පිළිබඳ ඇති ශබ්දකෝෂයේ අර්ථ දැක්වීම මගේ සිත් ගත්තක් නොවේ. එයට වඩා වෙනත් අර්ථයක් මම බලාපොරොත්තු වීමි. වචනයේ අර්ථ නිරුක්ති ගණනාවක් පමණක් නොව එහි උත්පත්ති කථාව ද එහි භාවිත යෙදුම් තැන් ද මොහොතකින් දිග හැරෙන්නට පටන් ගනියි. තවත් දස වසරක් ඇවෑමෙන් මේ ලිපිය කියවන්නෙකු වෙතොත් ඔහු මා මේ සොයනුයේ ගූගල් සෙවුම් යන්ත්‍රයයැයි අනුමාන කරනු ඇත. එහෙත් මේ ගූගල් යන්ත්‍රය නොවේ. අන්තර්ජාල සෙවුම් යන්ත්‍ර ගැන නොඅසා තිබුණු යුගයක එකී යන්ත්‍ර ගැනත් එහි අන්තර්ගතය ගැනත් ගුරු මුෂ්ටියකින් තොරව අපට කියා දුන් පසුගිය සිකුරාදා එනම් 22 වැනි දින දී සිය සියවෙනි ජන්ම සංවත්සරයට දෙවසරකට මත්තෙන් දිවිසැරිය නිම කළ සාහිත්‍ය රත්න, රෝහණ ප්‍රදීප කලාකීර්ති ආචාර්ය විජයතුංග කරුණාරත්න එඩ්වින් ආරියදාසයන් ගැනය. සරසවිය මුල්ම පුවත්පතට දායක වූවන් අතරින් අද ඉතිරිව ඇති සිවු දෙනාගෙන් ජ්‍යෙෂ්ඨතමයා ඔහුය. සරසවිය හා සබැඳී ඔහුගේ ජීවන වෘත්තාන්තය මෙන් නොව මෙරට සිනමාව පිළිබඳ ඔහුගේ කාර්යභාරය ‌‌ඓතිහාසික එකකි. ඔහු මාධ්‍යවේදියකු ලෙස එක් යුගයකට හෝ එක් විෂයයකට හෝ සීමාවූවෙකු නොවේ. ද්විභාෂාවෙන් සන්නිවේදනයේ යෙදුණු ඔහු මෙරට ඉංග්‍රිසියෙන් සිංහල සිනමාව ගැන ලියන ලද පුරෝගාමියා ද වෙයි. සන්නිවේදනය නමැති විෂයය සාමාන්‍ය දුහුනන් දැනුම් වෙත සමීප කළ පුරෝගාමි ගුරුවරයා ද ඔහුය. එතුමන්ගේ අවසානය සමඟ මෙරට මාධ්‍ය ඉතිහාසයේ එක් පරිච්ඡේදයක් සම්පූර්ණයෙන් සමාප්ත විය. ඔහු ලේක් හවුස් ආයතනයට ගොඩැවැදී මුලින් ලැබූවේ මාර්ටින් වික්‍රමසිංහ, ඩෙන්සිල් පීරිස් , පියසේන නිශ්ශංක වැනි මහා පුවත්පත් කලාවේදින්ගේ ඇසුරය. එමෙන්ම ඔහුට ආයතනයේ නිර්මාතෘවූ ඩී.ආර්.විජයවර්ධන මහතාගේ මෙන්ම කළමනාකාර අධ්‍යක්ෂ එස්මන්ඩ් වික්‍රමසිංහ මහතාගේ ඇසුර ද ලැබිණ. මෙයින් මාධ්‍ය ඉතිහාසයේ විජයවර්ධන මහතාගේ ඇසුර ලද යුගය ද අවසාන වන්නේය. එමෙන්ම ආරියදාසයන් ශ්‍රීමත් අයිවර් ජෙනිංස්ගේ විශ්වවිද්‍යාල සමයේ එහි සිටි විද්‍යාර්ථින්ගෙන් දැනට ඉතුරු වුණ අතළොස්ස අතරින් කෙනෙකි. 

1922 වසරේ දෙසැම්බර් මස තුන් වැනි දින ගාල්ල උණවටුනේ මානවිල දී ඒබ්‍රහම් අප්පුහාමි සහ සිසිලියානා හාමිනේ යුවළගේ දූදරුවන් සය දෙනා අතරින් බඩපිස්සාව උපත ලද එඩ්වින් ආරියදාස සූරින්ට එඩ්වින් අප්පුහාමි නමින් තාත්තා විසින් නම් දුන්නද ලොකු අක්කා එනම් දයාවතී ඉස්කෝලේ හාමිනේගේ මඟ පෙන්වීමෙන් උප්පැන්නයේදීම අප්පුහාමි වෙනුවට ආරියදාස යන නම ඇතුළත් කෙරිණ. මුළු මහත් සමාජයටම අසීමිතව ආදරය කළ ඔහු එම ආදරය තමා වෙත පෙරළා ලැබෙන බැව් ඇදහුවේය. ඒ කුඩා කල සිට තම අක්කණ්ඩිය ඇතුළු පවුලේ සියල්ලන්ගේම නොමඳ ආදරය ඔහුට හිමිවූ හෙයින් ය. මේ නිසාම ලොව සිටින සියල්ලෝම තමා වැනි යැයි ඇදහූ ඔහු ඇතැමුන්ගේ මුලාකිරීම්වලට ද ලක්විණ. උණවටුන බෞද්ධ මිශ්‍ර පාඨශාලාවට ද මාගල්ල දේවාතුර ඉංග්‍රිසි පාසැලට ද එයින් පසු ගාල්ල මහින්දයට ද ඇතුළු වූ එඩ්වින් ආරියදාසයන් උපාධිය ලබා ගන්නේ කොළඹ විශ්ව විද්‍යාලයෙන්ය. ඒ වන විට පේරාදෙණිය විශ්වවිද්‍යාලයය ආරම්භ වී නොතිබිණ. මහින්දයේම ගුරුවරයෙකු ලෙස හා එයින් පසු ජෙනරල් ඉන්ෂුවරන්ස් නම් එවක පැවැති රක්ෂණ සමාගමක ඉහළ වැටුපක් සහිත රැකියාවකට එන එඩ්වින් ආරියදාසයන් මාධ්‍ය ජීවිතය ආරම්භ කරනුයේ 1949 වසරේ මාර්තු මස 3 වැනි දාය. ඒ වන විටත් පුවත්පත්වලට විවිධ දේ ඔහු ලියා තිබිණ. පාසැල් වියේදී අනාගත වෘත්තිය කුමක්දැයි විමසූ කල පුවත්පත් කතුවරයෙක් වන්නෙමැයි ඔහු පවසා තිබුණේ එදවස එබඳු කිසිදු පරිසරයක් දැක ගත නො හැකි අවදියකය. සැබැවින්ම ඔහු ශත දහයේ විශ්වවිද්‍යාලය ලෙස පතළ වූ එකල සිළුමිණ පුවත්පතට ලියන්නේ දොළොස් හැවිරිදි වියේදීය. වෘත්තිය පුවත්පත් කලාවේදියකු ලෙස ඉංග්‍රීසියෙන් ලියන්නට ඩේලි නිවුස් පුවත්පතට එක්වන ඔහු පියසේන නිශ්ශංකයන්ගේ මඟපෙන්වීම යටතේ එක්වන්නේ දිනමිණටය. ඉංග්‍රිසි කතුවැකි සිංහලට පෙරළා ලිවීම වෙනුවට සිංහලෙන් සිතා සිංහල කතුවැකි ලියන්නට පියසේන නිශ්ශංකයන් පුරෝගාමි වනුයේ තරුණ ආරියදාසයන් සමඟය. දිනමිණට එක්වූ දා පටන් අවසන් නින්දට වැටෙන තෙක්ම ඔහු අවදියෙන් සිටි මාධ්‍යවේදියකු විය. එඩ්වින් ආරියදාසයන් යනු සහමුලින්ම සියයට සියයක්ම ලේක්හවුස් නිෂ්පාදනයක් යැයි ගෞරව කළ යුත්තේ එබැවින්ය.

මාධ්‍යවේදියකු යනු පොලිසියේ පහර කමින් වීදි සටන් කරන්නකු විය යුතුයැයි අදහන්නගේ මිම්මෙන් ගත් කල ආරියදාස මහතා කිසිවිටෙකත් මාධ්‍යවේදියකු නොවිණ. ඔහු මුළු ජිවිතයම වැඩි හැලහැප්පීමකින් තොරව යන්නට කැමැති සරල නිසංසල දිවියකට ඇලුම් කළ මිනිසෙකි. එහෙයින්ම ඔහු මාධ්‍ය ලෝකය ඇතුළත ආරවුල් සඳහා මැදිවූවකු නොවිණ. 1977 වසරේ ලේක් හවුස් ආයතනය ඇතුළත සිදු වූ බල පෙරළියේදී ඇති වූ ඇතැම් අශෝභන සිදුවීම්වලින් පීඩා විඳී එක් මාධ්‍යවේදියකු වූයේ ද ඔහුය. කෙසේ වෙතත් සටන්කරුවකු නොවුණ ද ආරියදාස මහතා කිසි විටෙකෙත් වැරදි දේ මාධ්‍ය වෘත්තිය තුළ ජනගත කරන්නට ගියේ නැත. ඔහු ලියූ දේ නිවැරැදි විය. එමෙන්ම ලියූ දේ වෙනුවෙන් පෙනී සිටියේය. එමෙන්ම ලෝකයේ ඇසූ පිරූ තැන් සහිත ඔහුගේ දැනුම නිර්ලෝභීව බෙදා දෙන්නට කළ ප්‍රයත්නයෙදීත් එඩ්වින් ආරියදාස මහතාණන් හා සම වන්න‌ට වෙනත් කිසිවකු හෝ සමත්වූයේ නැත. ඔහු සරල සුන්දර හා සාමාන්‍ය ජනයාට ඉතා පහසුවෙන් ග්‍රහණය කර ගත හැකි සිංහලෙන් මෙන්ම ඉංග්‍රිසියෙන් ද ලිවිවේය.

එදා මෙදාතුර ඔහු විසින් ලියන ලද ලිපි සංඛ්‍යාව විසිපන් දහසකට ආසන්න බැව් වරක් සටහන්ව තිබිණ. එමෙන්ම ගුවන්විදුලියේ ද ටෙලිවිෂනයේ ද ඔහු විසින් සහභාගි වූ වැඩසටහන් සංඛ්‍යාව ද අති විශාලය. මේ විවිධ විෂයයන් යටතේය. එය එක් කරුණකට විෂයකට සීමාවූවක් නොවේ. විටෙක කලාව ගැනය. විටෙක විද්‍යාව ගැනය. විටෙක බුදුදහම ගැනය. ආරියදාස මහතාගේ ලිපි බහුතරය තිබුණේ පුවත්පත් පිටු අතරය. විද්‍යුත් මාධ්‍ය ලෝකයේ නම් ගුවන් තරංග අතරය. මුලින් දිනමිණට එක්වන නමුදු ආරියදාස මහතා ගේ ලිපියකින් සැරසුණේ නැති කිසිදු ලේක්හවුස් පුවත්පතක් නොවිණ. එමෙන්ම මාධ්‍ය දිවිය ඇතුළත ඔහු අතින් නොලියැවුණු විෂයයක් ද නොමැති තරම්ය. එකල නවයුගය පුවත්පතේ කතුවරයා ලෙස ඔහු විසින් ලොව සාර දැනුම පිටු ගණනාවකට කැටි කළ අන්දම එදා ගැටවර වියේ සිටි මෙරට පාඨකයන්ට තවමත් සිහියේ ඇති කරුණකි.

මෙරට සිනමා ඉතිහාසයේ ඉංග්‍රිසි පුවත්පත් අතර සිංහල සිනමාවට ඉඩක් නොලැබුණු තරම්ය. එහෙත් ඉංග්‍රිසි පාඨකයන්ට සිංහල සිනමාව හඳුන්වා දීමේ පුරෝගාමියා වූයේ ද එඩ්වින් ආරියදාසයන්ය. ඔහු සිනමාව සම්බන්ධ මුල්ම ලිපිය ලියනුයේ 1949 මාර්තු මස 11 වැනි දිනය. ඒ ඔහු ලේක් හවුස් ආයතනයේ රැකියාවට පිවිසි අලුතමය. 'සිංහල චිත්‍රපටකාරයන්ට ආදර්ශ පාඩමක්' යන මැයෙන් ඔහු විසින් එමඟින් ලියන ලද්දේ හැම්ලට් චිත්‍රපටය පිළිබඳවය. 1950දී ඔබ්සර්වර් පුවත්පතට ද සිංහලීස් ෆිල්ම්ස් නමින් හෙතෙම ලියන්නේ වසරේ සිංහල චිත්‍රපට පිළිබඳවය. මේ මෙරට සිංහල චිත්‍රපට පිළිබඳ ඉංග්‍රිසියෙන් ලියැවුණු මුල්ම වාර්ෂික සමාලෝචනයයි. ඔහු සිංහල සිනමාව ඉංග්‍රීසි පාඨකයන්ට යා කළ අන්දමට ම ලෝක සිනමාව සිංහල පාඨකයන්ට ද යොමු කළේය. හැත්තෑව දශකයේ පිබිදුණ තරුණ පරපුරේ සිනමාකරුවන් ඉංග්‍රීසි පාඨකයන් වෙත යොමු කරන ලද්දේ එඩ්වින් ආරියදාසයන්ය. පසු කලෙක ඔහු විසින් සාමාජිකත්වය නොදැරූ සිනමා, සාහිත්‍ය ටෙලිවිෂන් සම්මාන විනිශ්චය මණ්ඩලයක් නොවුණ තරම්ය. ඔහු සරසවිය හරහා ලෝක සිනමාවේ මහා නිර්මාණ පාඨකයන්ට ගෙනාවේය. 1995 වසරේ සරසවිය සම්මාන උලෙළේ විනිශ්චය මණ්ඩල සාමාජිකයකු වූ ඔහු 2002 වසරේ සරසවිය සම්මාන උලෙළේ විනිශ්චය මණ්ඩල සභාපති විය. මේ හැම අවස්ථාවකම ඔහු සතු පුළුල් දැනුම එම විනිශ්චය මණ්ඩලයන් පිළිබඳ ගෞරවයෙන් කථා කිරිමට හේතුවිය. 2007 වසරේ සරසවිය සම්මාන උලෙළේ දී සිනමා සාහිත්‍යය උදෙසා කළ මෙහෙවර හේතුවෙන් පිදෙන රණපාල බෝධිනාගොඩ අනුස්මරණ සාහිත්‍ය සම්මානයෙන් ද පිදුම් ලද්දේ එතුමන්ය.

මෙරට මාධ්‍ය අධ්‍යයනය සඳහා අද හතු පිපෙන්නාක් මෙන් තැන් ඇතත් මේ කටයුත්තෙහි පුරෝගාමී වූයේ ඔහුය. ඒ 1969 තරම් ඈතකය. ඒ දෙහිවල කණිෂ්ඨ කාර්මික විද්‍යාලයේ පාඨමාලාවක් අරඹමිනි. එකල ජන සන්නිවේදනය නමින් වචනයක් භාවිතා නොවුණ අතර එයට යෙදුණ නම වූයේ ජන විඥාපනය යන්නය. පසුකලෙක කැලණිය විශ්වවිද්‍යාලයේදී ජන සන්නිවේදන විෂය හඳුන්වා දෙන අවස්ථාවේදී එහිලා පුරෝගාමි මෙහෙවරක යෙදුණෝ මහාචාර්ය විමල් දිසානායකයෝ හා එඩ්වින් ආරියදාසයෝය. එහෙත් එඩ්වින් ආරියදාසයන්ගේ දැනුම බෙදාදීම පාඨමාලාවකට සීමාවූවක් නොවිණ. ඔහු වෙත සමීපව යමක් විමසන තරුණ මාධවේදියා කවර මට්ටමේ වුවද මුවග නැඟෙන කුඩා සිනහව සමග ඔහු සිය දැනුම් පොත පෙරළා අවශ්‍ය අත්වැල සපයන්නේය. මෙහිලා ඔහුට වඩාත් මහෝපකාරිවනුයේ ඔහු සතු වූ අසීමිත ධාරණ ශක්තියයි. එය යම් කෙනෙකුට ඉතා කලාතුරකින් පමණක් පිහිටන ජාතියේ එකකි. මේ දැනුම අප වැනි ආධුනිකයන්ට එකල පිහිටවූයේ වරක් දෙවරක් නොවේ. එමෙන්ම ඔහු කිසිවිටෙකත් තරුණයකුගේ දැනුම අවතක්සේරු කළේ ද නැත. එමෙන්ම කෙනෙකුට ලැබි යුතු ගෞරවය නොපැකිලවම ලබා දුන්නේය. එඩිවින් ආරියදාසයන් පිළිබඳ ලියන ලද මේ ලිපිය තුළ ඔහු පිළිබඳ සම්පූර්ණ ආවරණය කිරිම කළ හැකි දෙයක් නොවේ. ඔහු පිළිබඳ සහමුලින්ම ලියනවා යනු මෙරට මාධ්‍ය ඉතිහාසය පිළිබඳ අත්පොතක් ලිවීමය. ආරියදාස මහතා කිසි කලෙක විවාහ වූයේ නැත. (ඔහුගේ මහළු වියේදී බෑණනුවන් වූ (වැඩිමහල් සොහොයුරියගේ පුතනුවන්) සුමිත් පෙරේරා හා මාලිනි යුවළ මෙන්ම මුණුපුරන් ද මේ මහා පුරුෂයා ආදරයෙන් රැක බලා ගත් බව සඳහන් කළ යුතුය.) 

එමෙන්ම කිසි විටෙකත් අප වැනි තරුණයන්ට බැහැයි නොකියූ මේ මහා මාධ්‍ය දැවැන්තයා ගැන මගේ පෞද්ගලික අත්දැකීම් පෙළක් ද එයට ඇතුළත් කළ යුතුය. ළමා වියේ නොවැරැදීම සතිපතා ලැබුණු මිහිර පත්තර ගොන්න වෙනුවට මම සරසවිය කියවන්නට පටන් ගත්තෙමි. අපේ අම්මා මිහිර වෙනුවට මට නවයුගය රැගෙන දුන්නේය. එය ලෝකය පිළිබඳ අලුත් ඇසකින් බලන්නට යොමු කළ අවස්ථාවක් විය. මේ පුවත්පත් දෙකෙහිම එඩ්වින් ආරියදාස මහතාගේ ලිපි පළ විය. කතුවරයා පිළිබඳ හැඟීමක් නොවුණ ද මේ ලේඛකයා පිළිබඳ වරෙක කතාබහක යෙදුණේ මගේ මව ඇගේ මව ඉදිරියේය. ආච්චි අම්මා එකවරම අපේ අම්මාට පැවසූ කාරණයක් තවමත් මගේ සිහියේ ඇත්තේය.

“ඇයි ඔයා එඩ්වින් දන්නැද්ද? දයාවතී ඉස්කෝලේ හාමිනේ ගේ මල්ලී “.

ආරියදාස මහතාගේ ලොකු අක්කණ්ඩිය දයාවතී ඉස්කෝලේ හාමි‌නේ යනු අපේ අම්මාගේ ද ගුරුතුමියකව තිබිණ. පසුකලෙක මට ආරියදාස මහතා දැන හඳුනාගන්නට ඉඩ ලැබෙන්නේ අසල්වැසියෙකු හැටියටය. මේ හිතවත්කම කෙතරම් ද යත් එකල ආරියදාස මහතා සිනමා කෘතියක් නරඹන්නට යෑමේදී මා ද කැටුව යන්නට පටන් ගත්තේ ඒ පිළිබඳ මගේ පිපාසය වටහා ගත් පසුවය. ඇතැම් විශේෂ දර්ශනයක දී එහි සිටින ප්‍රභූවරුන්ට මා හඳුන්වා දෙන්නේ සිනමාව පිළිබඳ මගේ යම් දැනුමක් වී නම් එය ඉහළම අත්තේ තබමින්ය. කෙසේ වෙතත් මේ හඳුන්වාදීම අවංක අකුටිල සිතින් කළ එකකි. ඒ පිළිබඳ මගේ එක් මතකයක් මෙලෙසය. ඒ ඩයනා කුමරිය ගේ මරණය සිදුවූ දිනයේය. 'පැපරාසි'- එය මට අලුත් වචනයක් විය. ආරියදාස මහත්තයා පැපරාසි යනු කවරෙක්ද යන්නත් ඒ පිළිබඳ දීර්ඝ විස්තරයක් ද පවසා වැඩිදුරටත් පැවසුවේ මේ වචනය හැටේ දශකයේ පමණ වෙනත් භාෂාවකින් ඉංග්‍රිසියට පැමිණි වචනයක් හැටියටය. මගේ මතකයට ආවේ ඒ සමයේ මා සතුව තිබුණු ෆෙඩ්රිකෝ ෆෙලිනිගේ ල ඩොල්ස් විටා චිත්‍රපටයේ එන අනුන්ගේ ඕපාදූප සොයන පැපරස් නම් ඡායාරූප ශිල්පියා ගැනය. මම ඒ බැව් එතුමන්ට පවසා සිටියෙමි. පසුදින ඩයනා කුමරියගේ අවමඟුල පිළිබඳ සජීවී රූපවාහිනි විකාශයකි. එය මෙහෙය වවන ලද්දේ එඩ්වින් ආරියදාස මහතාය. (එයට එච්.එම්.ගුණසේකර මහතාත් හවුල්වීයැයි මගේ මතකයේ ඇත) වැඩසටහන අතරතුර පැපරාසින් ගැන මට පැවසූ සියලු කරුණු ආරියදාස මහතා තවත් නැවුම් ආකාරයෙන්ම ඉදිරිපත් කළේය. මේ අතරවාරයේ ල ඩොල්ස් විටා චිත්‍රපටයේ එන චරිතය ඇසුරෙන් මේ වචනය බිඳුණ වග පැවසූ එතුමන් ඉතාම නිර්ලොභී හා නිරහංකාර ව මේ වචනය එතුමන්ට සොයා දුන්නේ මා යැයි ප්‍රකාශ කළේය. එදවස කිසිවකු ‌නොදන්නා මා පිළිබඳ සජීවි වැඩසටහනකදී පැවසීම මට ජීවිතයේ ලැබුණු විශාල අවස්ථාවක් විය. පසුකලෙක මා ලේක් හවුස් ආයතනයට වෘත්තියෙන් එක් වද්දී මා පිළිබඳ චරිත සහතිකය ලිවුවේ ද එතුමන් බැව් කෘතවේදීව සටහන් කරනුයේ ජීවිතයේ යම් කලෙක ලබා දුන් අත්වැල් ගැන නමස්කාර කරමින්ය.

ආරියදාස මහතා අද අප අතර නැත. ඔහු අපට කියා දුන් දැනුම් සම්භාරය හැර ඔහු සතු මහා දැනුම් සාගරය ද ඒ සමග අහිමි විය. තවදුරටත් විශිෂ්ට ධාරණ ශක්තියෙන් යුත් දැනුම් සම්භාරයකට ඉඩක් අවශ්‍ය වනු නැතැයි මට විටෙක සිතේ. ගූගල් වැනි අන්තර්ජාල සෙවුම් යන්ත්‍ර ඒ දැනුම් එක් රැස් කොට තබා ඇත. එහෙත් ඒ ආරියදාස මහතා මෙන් නොව කිසිදු වග විභාගයකින් තොරවය. කවර තරමේ දැනුම් සම්භාරයක් ගුලි කොට මුදා හැරිය ද ගූගල් ට හෝ වෙනත් සෙවුම් යන්ත්‍රයකට එඩ්වින් ආරියදාස නම් ඇවිදින විශ්වකෝෂයක් වන්නට නොහැකිය. ඒ එඩ්වින් ආරියදාස විද්වතාණන් වැනි දයාර්දයෙන් පිරි හදවතක් මේ සෙවුම් යන්ත්‍රවලට එක් කරන්නට කිසිවකුත් සමත්ව නැති හේතුවෙන්ය. එඩ්වින් ආරියදාස දිවි සිරිත දන්නා අපට එතුමන්ට නිර්වාණය දුර නැති බව නම් විශ්වාසය.