රැකෙනුනැත්නම් තැවෙනු !

සිනමාවේ අර්බුදය ගැන විමසීමක්
පෙබරවාරි 11, 2021

 

ජනගහනය මිලියන 21 ක් වූ රටක සිනමාශාලා කරා 2019 වසරේදී ප්‍රේක්ෂකයන් ඇදී එන්නේ 5,121,918 ක් නම් එය බරපතළ ප්‍රශ්නයකි. කෙසේ වෙතත් එයින් සිංහල චිත්‍රපට නරඹන ප්‍රේක්ෂක සංඛ්‍යාව සෙසු චිත්‍රපට නරඹන ප්‍රේක්ෂක සංඛ්‍යාවට වඩා වැඩිවීම එක් අතකින් සැලකිය යුතු කරුණකි. 1979 වසරේ මෙරට ජනගහනයට වඩා වැඩි සිනමා ප්‍රේක්ෂක සංඛ්‍යාවක් මෙරට සිටියේය. එමෙන්ම 2019 වසර වන විට මෙරට චිත්‍රපට ප්‍රේක්ෂක සංඛ්‍යාව පහළටම ගියේය.

මේ කාරණා දෙකම බැලූ බැල්මට එසේ පෙනුණ ද මේ යට ඇති කතාව වෙනම සිතා බැලිය යුතුය. 1979 වසරේ ප්‍රේක්ෂක සංඛ්‍යාව එපමණ ඉහළ ගිය ද රටේ මුළු ජනගහනයෙන් සියයට විසිපහක් වත් චිත්‍රපට නැරඹුවේ නැත. එසේ නම් ජනගහනයට වඩා වැඩි ප්‍රේක්ෂක සංඛ්‍යාවක් ගණනය වූයේ කවර හෙයින්ද? එකම හේතුව නම් සිනමාව ප්‍රධාන විනෝද මාධ්‍යයව තිබූ එකල බොහෝ ප්‍රේක්ෂකයන් තමන් කැමැති චිත්‍රපටය කිහිප වාරයක්ම නැරඹීම සිරිත කොට ගෙන තිබීමය. සිනමා රසිකයන්ගේ හැටි එහෙමය. යටත් පිරිසෙන් වසරකට වරක් හෝ සිනමාශාලාවකට ගොඩ නොවැදුණ පිරිසක් ද මෙරට වූහ. මේ පිළිබඳ පෞද්ගලික උදාහරණයක් ගෙනහැර පාන්නට ද කැමැත්තෙමි. 1980 වසරේ මා උසස් පෙළ පන්තියට එක්වද්දී මෙරට විවිධ පළාත්වලින් අලුත් සිසුහු කිහිප දෙනෙක්ම පාසැලේ අපේ පන්තියට පැමිණියහ. ඔවුහු අතරින් බහුතරය කිසි කලෙකත් සිනමා ශාලාවකට ගොඩ වැදී තිබුණේ නැත. එමෙන්ම ඇතැමෙකුගේ පදිංචිය හා සිනමාශාලා අතර ඇති දුර සැලකූ කල එලෙස සිනමාහලට යෑමට හැකියාවක් තිබුණේ ද නැත. මේ සියල්ලෝම බයිස්කෝප් පිස්සන් ලෙස විරුදාවලි ලත් අප වැන්නන් අපතයන් ලෙස සැලකූ අතර චිත්‍රපට නරඹා අප ඒවා රසවත් කොට පවසනු විස්මයෙන් යුතුව අසා සිටියහ.

එහෙත් මේ වන විට තත්ත්වය එයට වඩා වෙනස්ය. එදාටත් වඩා අද උපන් බහුතරයක් කිසිකලෙක සිනමා කෘතියක් නරඹන්නට සිනමාශාලාවකට ගොස් නැත. වර්තමානයේ ඇතැම් විශ්වවිද්‍යාල තුළ පවා සිනමාව විෂයයක් සේ හදාරන්නට ඉඩ සලසා ඇත්තේය. එහෙත් ඒ අතර සිනමාශාලාවකට ජීවිතයේ එක්වරක් හෝ නොගිය සිසුන් බොහොමයකි. එසේ වුව ද ඔවුන් නරඹන ලද චිත්‍රපට සංඛ්‍යාව ඉතා ඉහළය. ඒ සිනමාව එසේ පැවැතිය දී එය නරඹන මාධ්‍යය වෙනස් කරලන්නට සාමාන්‍ය ජනතාව පුරුදු වූ බැවින්ය. එකල සිනමා ශාලාවකට නොගොස් අධ්‍යාපනයෙන් ඉහළම තැනට ගිය අප පන්තියේ මිතුරන් දැන් මා අමතන්නේ ඔවුන් අද විඳී චිත්‍රපටයක් ගැන කියන්නටය. එහෙත් ඔවුන් කිසිවකු හෝ සිනමාශාලාවකට ගොස් චිත්‍රපටයක් නරඹනවා යන්න ඉන් අදහස් කරන්නේ නැත. ලෝකයේ සිනමා නිෂ්පාදකවරු සිය නිර්මාණ වඩා පුළුල්ව වෙළෙඳපොළට අවතීර්ණ කිරිමේ උපාය මාර්ගයන්ගේ නියැළී සිටිය ද මෙරට සිනමාව ඒ ගැන අවධානය යොමු කර නැත. එය නිෂ්පාදකයන්ට මෙන්ම ප්‍රදර්ශකයන්ට ද එක ලෙස දැනෙන්නට පටන් ගත්තේ කොවිඩ් වසංගතය සමඟ සිනමා ශාලා වසා දැමූ පසුවය. ඇත්ත නම් අඬන්න බලා සිටි සිනමා කර්මාන්තයට කොවිඩ් ඇඟිල්ලෙන් ඇන්නේය.

මෙරට සිනමාවේ ප්‍රේක්ෂක අවරෝහණය ආරම්භ වනුයේ 1980 වසරේ පටන්ය. 1983 ජූලි කලබල සමයේ මෙරට ප්‍රමුඛ සිනමාශාලා කිහිපයක් ගිනිබත් වීමත් දැවැන්තම චිත්‍රාගාර විනාශ වීමත් මෙරට සිනමාවේ විපත්තිදායක කාලය ආරම්භය සඳහා හේතු වීයැයි පැවසුව ද ඒ වන විට ද සිනමාවේ බහින කලාව ආරම්භව තිබිණ. මෙරට සිනමා කර්මාන්තය හැම විටම ප්‍රේක්ෂකයා නැත්නම් තම පාරිභෝගිකයා ගැන සලකන ලද්දේ අඩු තක්සේරුවකින්ය. සිනමා කර්මාන්තයේ වරෙක නිෂ්පාදකයා වීරයා වෙද්දී ඔහුට දුෂ්ටයා ලෙස පෙනුණේ ප්‍රදර්ශකයා නැතහොත් සිනමාශාලා හිමියාය. සිනමාශාලා හිමියා නැතහොත් ප්‍රදර්ශකයා වීරයා වූ හැමවිටම ඔහුට දුෂ්ටයා ලෙස පෙනුණේ මෙරට චිත්‍රපට නිෂ්පාදකයාය. ඔවුන් දෙදෙනා අතර පොදු එකඟතාවක් තිබිණ. ඒ කවුරු වීරයා වුවත් කවුරු දුෂ්ටයා වුවත් ජෝකර් ලෙස ප්‍රේක්ෂකයාට සැලකීමය. කවර තරමේ බාල චිත්‍රපටයක් වුවත් තිරගත කරවන ලද්දේ එකී සැලකීම මතය. සමහර සිනමාශාලා මිහිපිට අපායන් බඳු විය. ප්‍රේක්ෂකයා ස්වකීය වින්දනය උදෙසා ගෙවන මුදලට කිසිදු වගකීමක් තිබුණේ නැත. එහෙත් එක් දෙයක් ගැන ගෞරවයෙන් කිව යුතුය. 1979 වසර වන විට සිනමාශාලාවල මූලික පහසුකම් කොයි හැටිවෙතත් කොළඹ රීගල් සිනමාහලේ පමණක් නොව මැදවච්චියේ ශාන්ති සිනමාහලේ වුව ප්‍රක්ෂේපණය ඉතා ඉහළ තත්ත්වයක තිබිණ. අද මෙන් ඩොල්බි ඇට්මොස් ශබ්ද ගැන අසාවත් නොතිබුණු එකල තිබුණේ මොනෝ ශබ්ද ක්‍රමය පමණකි. එහෙත් ඒ ගැන කිසිත් නොදන්නා ප්‍රේක්ෂකයාට ජෝතිපාලයන්ගේ ගීතයකදී ඩොල්කියේ ශබ්දය සිනමාහලේ හැම අතම සිසාරා හොඳීන් ඇසෙන්නට සැලැස්වීම එකල සිනමාහල් හිමියෝ හා ප්‍රක්ෂේපණ යන්ත්‍ර ක්‍රියාකරුවෝත් තම වගකීම ලෙස සැලකූහ. සිනමාහලේ රූපය අඳුරු වූ සැණින් වහල ගැලවෙන හූවක් ලැබෙන වග ද ඔවුහු ඉඳුරා දැන සිටියහ. එමෙන්ම චිත්‍රපට නරඹන්නට නම් සිනමාහලට විනා වෙන කොහේ හෝ යා නොහැකි වග ද ඔවුහු දැන සිටියහ. එබැවින් කවර දුකක් හෝ විඳ ශාලාවෙන්ම සිනමා කෘතිය නැරඹිය යුතු වග ඔවුහු අවබෝධ කර ගත්හ. එබැවින් කොළඹ නගරයේ පවා ඇතැම් සිනමාශාලා පෝලිම් කටුකම්බිවලින් ආවරණය කර තිබුණේ හිට්ලර්ගේ සිර කඳවුරක විලාසය සිහිපත් කරවමිනි. ජනතාව මෙල්ල කිරීම සඳහා පොලීසිය කැඳවීම කොයි හැටි වෙතත් පළාතේ නම ගිය චණ්ඩි කිහිප දෙනෙක්ම ශාලාවන්ට සේවය සැපයූහ.

සිනමාව මෙරට ජනතාවගේ ප්‍රධාන විනෝදාස්වාදය බවට පරිවර්තනය වූයේ පසුගිය සියවසේ තෙවැනි දශකයේ ආරම්භයත් සමඟය. කතානාද සිනමාව ලොව පුරා ඉගිල යද්දී එයට වසඟ වුණ ප්‍රේක්ෂකයෝ නාට්‍ය අතහැර සිනමා ශලාවලට රොක්වූහ. එමෙන්ම රට පුරා බොහෝ රංග ශාලා ඉතා ඉක්මනින් සිනමාශාලා ලෙස පරිවර්තනය විය. එතෙක් ඉහළ සමාජ තත්වයකට හිමිකම් කී නාට්‍යකරුවන් අතරින් සිනමාවට අනුවර්තනය වන්නට ඉඩ කඩ නොලද්දෝ අතුරුදන්ව ගියහ.

1947 වසරේ කඩවුණු පොරොන්දුව නමින් මුල්ම කතානාද සිනමා කෘතිය තිරගත වන විට චිත්‍රපට නිෂ්පාදනය හැර අන් සියලු අතින් මෙරට සිනමා කර්මාන්තය ස්ථාපිතව තිබිණ. ඕනෑම දුකක් විඳගෙන සිනමාශාලාවට ගොඩ නොවී දවසක් හෝ ගෙවන්නට බැරි තරම් සිනමාවට ඇබ්බැහිව සිටි සංඛ්‍යාව දිනෙන් දින වැඩිවෙමින් තිබිණ. තමන් කැමැති චිත්‍රපටයක මුල් දින දර්ශනය නරඹන්නට ඈත ගම් නියම්ගම්වලින් පවා කොළඹ සිනමාශාලා සොයා ආ පිරිස විශාල විය. ඒ සිනමාශාලාව හැර චිත්‍රපට නරඹන්නට වෙනත් විකල්ප නැති හෙයින්ය. එබැවින් ස්ථාවර සිනමාශාලා මෙන්ම ජංගම සිනමාශාලා ද එකල එම අවශ්‍යතාව පිරිමැසීය.

එම සිනමා කර්මාන්තයට සෘජුවම අවදානමකට මුහුණ පාන්නට සිදුවූයේ ටෙලිවිෂනයේ ආරම්භය සමගය. 1979 වසරේ අප්‍රේල් මස 14 වැනි දින ස්වාධීන රූපවාහිනිය සිය මුල්ම විකාශය ආරම්භ කරන ලද්දේ තලවතුගොඩ වික්‍රමසිංහපුර සිට කොළඹ අවට කිලෝමීටර් 15 ක වට ප්‍රමාණයකටය. පසුව එම විකාශයන් කිලෝ මීටර් පනහක ප්‍රමාණයකට පුළුල් කරනු ලැබිණ. ස්වාධීන රූපවාහිනිය දකුණු ආසියාවේ මුල්ම පෞද්ගලික රූපවාහිනී සේවය වූ අතර කලාපයේ මුල්ම වර්ණ රූපවාහිනී සේවය ද විය. 1982 වසරේ ජාතික රූපවාහිනිය ආරම්භ කරන ලද්දේ ම මුළු රටම ආවරණය වන පරිද්දෙනි. එහි මුල් යුගයේදී ඉන්දියාවේ රාමේශ්වරම් නගරය දක්වා ප්‍රදේශයකට එය නැරඹිය හැකිව තිබිණ. මෙරට රූපවාහිනී නාළිකාවක මුල්වරට සිංහල චිත්‍රපටයක් විකාශය වූයේ 1980 වසරේ අප්‍රේල් මස 13 වැනි දිනදීය. ඒ මඩොල්දූව චිත්‍රපටයයි. අනතුරුව සෑම සිකුරාදාවකම සිංහල චිත්‍රපට විකාශය වන්නට පටන් ගත් අතර එය සිනමාශාලාවලටද සෘජුව බලපාන්නට වූ බව එකල පුවත්පත් වාර්තා හෙළිදරවු කරයි. ජාතික රූපවාහිනිය රට පුරා විකාශනයන් ආරම්භ කරන විට මෙරට අලෙවි කර තිබුණු ටෙලිවිෂන් යන්ත්‍ර සංඛ්‍යාව 56,125කි. ජාතික රූපවාහිනිය විකාශයන් ආරම්භ කළ දිනයේම එනම් 1982 වසරේ පෙබරවාරි මාසයේ 14 වැනි දින ඒ වන විට මෙරට තිර ගත නොකළ චිත්‍රපටයක් වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ 'පිංහාමි' චිත්‍රපටය විකාශය කෙරිණ. (පිංහාමි පසුව තිර ගත කරන ලද්දේ කලියුගය චිත්‍රපටය සමඟය.) ජාතික රූපවාහිනිය විකාශය ආරම්භ කළ මුල් වසර අවසාන වන විට මෙරට ටෙලිවිෂන් යන්ත්‍ර සංඛ්‍යාව 130,825ක් බවට පත්විය. 1979 වසරේ මෙරට තිබුණු මුළු යන්ත්‍ර සංඛ්‍යාව 2810කි.

ටෙලිවිෂනය මෙරට ගම් නියම්ගම් සැරිසරද්දී එහි ජනප්‍රියම වැඩසටහන වූයේ සිංහල චිත්‍රපටයයි. එකල සුඛෝපභෝගී භාණ්ඩයක් ලෙස සැලකුණ ටෙලිවිෂන ඇතැම් ගම්මානයක තිබුණේ එකක් හෝ දෙකක් පමණකි. ටෙලිවිෂනයක් තමන් සතු වීම ගමක නම් සැලකිය යුතු තත්ත්වයක් විය. එය කුඩා සිනමාශාලාවක හිමිකාරත්වය හා සමාන විය. එහි ජනප්‍රියම වැඩසටහන වූ සිංහල චිත්‍රපටය විකාශය වන දවසට ටෙලිවිෂනය ඇති නිවෙසට අවට ගැමියන් රොක්වූයේ සිනමාශාලාවකට ජනයා රොක් වන ආකාරයටය. සිකුරාදා සිංහල චිත්‍රපට සඳහා සම්ප්‍රවර්තිත ආදායම සලකා බැලීම ආරම්භ වන දිනයයි. ටෙලිවිෂනයේ චිත්‍රපට විකාශය ආරම්භ වීමත් සමඟ සිකුරාදා සවස සිනමාහල් සඳහා පැමිණි ප්‍රේක්ෂක සංඛ්‍යාවේ විශාල අඩුවීමක් දක්නට විය. එදිනට ටෙලිවිෂන් යන්ත්‍ර ඉදිරියේ අසුන් ගත් පිරිස වැඩිවිය. කිසිදු අපහසුවකින් තොරව හා මඟ වියදමකින් තොරව චිත්‍රපටයක් නරඹන්නට ලැබීම පහසුවක් විය. ලෝකය වඩා දියුණු වනුයේ කම්මැළිකම නිසා බව සමහරු කියන්නේ කට කහනවාට නොවේ. පයින් යන්නට ඇති කම්මැළිකම නිසා වාහන සොයා ගත් බවත් අසුනින් නැඟිට චැනල මාරු කරන්නට කම්මැළි නිසා රිමෝට් කන්ට්‍රෝලයක් සොයා ගත් බවත් මේ කතාවට ඇතුළත්ය. කෙසේ හෝ වේවා බස් රථවල තදබදය සහිතව ගොස් අනේක විධ දුක් විඳ චිත්‍රපටයක් නරඹනවාට වඩා ගෙදරට වී ටෙලිවිෂනයේ චිත්‍රපට නැරඹීම හැම අතින්ම පහසුය. අතරින් පතර පෙන්වන දැන්වීම් කාලය තේ කෝප්පයක් බීම වැනි විවේක සඳහා වෙන් කෙරිණ. එයට මුහුණ දීමට වඩා මට්ටු කිරීම සඳහා ක්‍රමවේද දෙකක් උපයෝගි කර ගැන්මට බලධාරිහු වග බලා ගත්හ. පළමුවැන්න ලෙස ඔවුහු සිකුරාදා හෝ සති අන්තයේ ටෙලිවිෂනයේ චිත්‍රපට ප්‍රදර්ශනය සහමුලින් අත්හිටුවාලීමට කටයුතු කළහ. එමෙන්ම සිනමාව රසවිඳීන්නට නම් සිනමාහලටම යා යුතුය යන ඉතා ඉක්මනින් ඇස් පනාපිට යල් පැන ගිය න්‍යායක් ඉදිරිපත් කළහ. එහෙත් ජීවිත කාලය තුළ කිසිදු චිත්‍රපටයක් නොදුටු, එමෙන්ම චිත්‍රපට නැරඹීම යනු පාපකර්මයකැයි ඇදහූ ඇතැමුන්ට එලෙස චිත්‍රපට දැක ගන්නට ඉඩ සැලැස්වීමේ වටිනාකම අවබෝධ කර ගන්නට බොහෝ දෙනා කැමැති වූයේ නැත. කාලයේ හැටියට ටෙලිවිෂනය නම් සුඛෝපභෝගී යන්ත්‍රයට එහි හිමිකරුවන් විශාල මුදලක් ගෙවා ඇති බවත් එමෙන්ම එය නිවෙසේ පාවිච්චිය සඳහා වෙනම අවසර පත්‍රයක් ලබාගෙන ඇති බවත් සිනමා කර්මාන්තයේ නියැළුණෝ අමතක කළහ. (එකල ටෙලිවිෂන් සඳහා වසරකට රුපියල් දෙසිය පනහක් ද රේඩියෝ යන්ත්‍ර සඳහා වසරකට රුපියල් විස්සක් ද ගෙවා බලපත්‍රයක් ලබා ගත යුතු විය.) කොටින්ම මේ උල්ලංඝනය කරනුයේ මානව අයිතිවාසිකමක් බැව් බොහෝ දෙනෙකුට අමතක විය.

 

රැකෙනු නැත්නම් තැවෙනු

ලබන සතියට...