සිනමාහල් ඇද වැටීමේ මුල් පියවර

රැකෙනු නැත්නම් තැවෙනු ! 3
මාර්තු 4, 2021

 

මෙම ලිපියෙහි දෙවැනි කොටස සරසවිය පෙබරවාරි මස 11 වැනි දින නිකුත් වූ ඊ කලාපයේ පළ විය.

- ලංකාවේ ටෙලිවිෂන විකාශය පුළුල්වත්ම එහි ජනප්‍රියම වැඩසටහන සිංහල චිත්‍රපටය වීම මෙරට සිනමා ප්‍රේක්ෂක සංඛ්‍යාව පුළුල්වීමක් ලෙස සලකනවාට වඩා බහුතරයගේ අවධානය යොමු වූයේ සිනමා ශාලාවට ප්‍රේක්ෂකයන් අඩුවීම ගැනය. තම වෙළෙඳපොළ ඉතා නුදුරේදී වෙනස්ව යා හැකි බවත් අලුත් වෙළෙඳපොළක් තමා ඉදිරියේ නිර්මාණය ව ඇති බවත් එය පෙර වෙළෙඳපොළටත් වඩා පුළුල් එකක් බැව් වටහා ගන්නට දේශීය සිනමා කර්මාන්තයේ බොහෝ දෙනා මැළි වූහ. සිනමාහල යනු සිනමාවේ එකම ආදායම ලෙස ඔවුහු විශ්වාස කළහ. එහෙත් ලෝකය වෙනස් වීම ආරම්භ වී තිබිණ. වෙනසකට සිදු වූයේ සිනමාහලින් බැහැරව චිත්‍රපට උපදවන ආදායම එකල ලෝකයේ ගණන් බැලුවේ අතිරේක ආදායමක් හැටියටය. කෙසේ වෙතත් සිනමා නිර්මාණ ප්‍රචාරය සඳහා ටෙලිවිෂනය යොදා ගැනීමේ මෙරට මුල් උත්සාහයන් මෙහිලා සඳහන් කරන්නට කැමැත්තෙමි. එයට හේතුව සිදුවන විපර්යාසය හදුනා ගන්නට ඔවුන් සමත්වූ බව එයින් පෙනෙන බැවින්ය. මේ අතරින් ලාංකේය ටෙලිවිෂනයේ විකාශය වූ මුල්ම චිත්‍රපට දැන්වීම පළ කරන ලද්දේ සිංහල චිත්‍රපටයක් සදහා නොවීම කැපී පෙනෙන සිදුවීමකි. මෙරට ටෙලිවිෂන උපයෝගී කරගෙන මුල්ම සිනමා දැන්වීම පළ කරන ලද්දේ 1981 වසරේ මැයි මාසයේ කොළඹ ලිබර්ටි ඇතුළු සිනමා ශාලා කිහිපයක තිර ගත වූ ශ්‍රී ලංකා-ඉන්දියානු හවුල් නිෂ්පාදනයක් වූ 'තී' නම් දෙමළ භාෂිත චිත්‍රපටය උදෙසාය. රජිනිකාන්ත් ප්‍රධාන චරිතය රඟපෑ එම චිත්‍රපටයේ දර්ශන ද චිත්‍රපටය නැරඹූ ප්‍රේක්ෂකයන්ගේ අදහස් ද කැටි කර ගත් මෙම දැන්වීම තී නැරඹීමට අලුත් උත්තේජනයක් සැපයූයේය. තී මහරාජා ෆිල්ම්ස් සමාගමේ කුලුඳුල් නිෂ්පාදනයයි. කෙසේ වෙතත් ටෙලිවිෂනය සඳහා මුල්ම සිනමා දැන්වීම තැනූ සිංහල චිත්‍රපටය වනුයේ මුවන්පැලැස්ස තෙවැනි කොටසයි. ඒ 1983 වසරේ සැප්තැම්බර් මාසයේ පමණය. මු. අරුක්ගොඩ අධ්‍යක්ෂණය කරන ලද එය ලින්ටන් ෆිල්ම්ස් නිෂ්පාදනයක්විය. වඩාත්ම දෛවෝපගත කාරණය නම් මුවන්පැලැස්සට පාදක වනුයේ ජනප්‍රිය ගුවන්විදුලි නාටකයක් වීමය. ගුවන්විදුලි නාටකයක් පාදක කර ගෙන තැනුණ චිත්‍රපටයක් මුල්ම ටෙලිවිෂන දැන්වීම සකස් කිරීම එක්තරා ආකාරයක් අපූරු සිදුවීමක් බැව් නොකියාම බැරිය. කෙසේ වෙතත් මෙරට සිනමාවට ටෙලිවිෂනයෙන් ලැබුණු විශාලතම සානුබලය ලැබුණේ ස්වාධීන රූපවාහිනී සේවය මඟින් ආරම්භ කරන ලද 'චිත්‍රගීත' නම් වැඩසටහනෙන්ය. මු. අරුක්ගොඩ, පී.රණතුංග සහ සුභාෂිණී හේමමාලා විසින් මෙහෙයවන ලද එය එකල ජනප්‍රිය වැඩසටහනක් විය. එය ඇරඹුණේ 1981 වසරේ පමණය. මේ කෙසේ වෙතත් 1983 වසර වන විටත් මෙරට චිත්‍රපට ප්‍රදර්ශනයේ දී සිංහල චිත්‍රපට සඳහා තිබුණ ආකර්ෂණය ඉහළ එකකි. වටහා නොගත් එකම දෙය අර්බුදයට මුහුණ දී ඇත්තේ සිනමා ශාලා සහිත වෙළෙඳපොළ බැව් හදුනා ගැන්මය. එම වසරවල චිත්‍රපට නැරඹීම සදහා ප්‍රේක්ෂක සහභාගීත්වය යළි විමසා බලමු. එමෙන්ම එම වසරේ තිර ගත කළ චිත්‍රපට සංඛ්‍යාව ද එහිලා සඳහන්ය.

1981 සිංහල-26,864,982 -

තිර ගත කළ චිත්‍රපට සංඛ්‍යාව 35

දෙමළ-19,530,872-

තිර ගත කළ චිත්‍රපට සංඛ්‍යාව 18

ඉංග්‍රීසි-8,313,883 -

තිර ගත කළ චිත්‍රපට සංඛ්‍යාව 148

1982 වසරේ චිත්‍රපට ප්‍රේක්ෂක සංඛ්‍යාව මෙපරිද්දෙනි.

සිංහල-23,989,575 චිත්‍රපට සංඛ්‍යාව 38

දෙමළ-20,013,473 චිත්‍රපට සංඛ්‍යාව 28

ඉංග්‍රීසි -7,904,173 චිත්‍රපට සංඛ්‍යාව 123

එය 1983 වසරේ පරිවර්තනය වනුයේ මෙපරිද්දෙන්ය. එම වසරේ ජූලි මස 21 වැනි දින සිට සති දෙකක කාලයක් දිවයිනේ චිත්‍රපට ප්‍රදර්ශනය සහමුලින්ම අත්හිටුවනු ලැබිණ. එමෙන්ම අලුත් චිත්‍රපට තිර ගත කෙරුණේ මාස එකහමාරකට පසුවය. එසේ වුවද එම වසරේ ප්‍රේක්ෂක සංඛ්‍යාව මෙපරිද්දෙන්ය.

සිංහල-19,277,218 චිත්‍රපට සංඛ්‍යාව 33

දෙමළ -13,824,398 චිත්‍රපට සංඛ්‍යාව 16

ඉංග්‍රිසි-8,681,339 ඉංග්‍රිසි චිත්‍රපට සංඛ්‍යාව 104

1983 වසරේ සිදුවන ජූලි කලබලය සමඟ සිනමා ශාලා කිහිපයක් මෙන්ම මෙරට තිබුණු ප්‍රධාන චිත්‍රාගාරය වූ 'විජයා' චිත්‍රාගාරය ද ගිනි තබනු ලැබිණ. ඒ වන විට සිලෝන් ස්ටුඩියෝවේ තිබුණේ ශබ්දාගාරය හා රසායනාගාරය පමණකි. පසුතල සහිත දර්ශනතලයේ ඒ වනවිට චිත්‍රාගාරයේ හිමිකරු වූ මෙරට ප්‍රමුඛ පෙළේ චිත්‍රපට නිෂ්පාදකවරයාව සිටි කේ.ගුණරත්නම්ගේ කේ.ජී.එක්ස්ප්‍රස් නම් බස්රථ ගාල් කර තිබිණ. මෙම බස් රථ කොළඹ හා යාපනය අතර ධාවනය වූ අශෝක් ‌ලේලන්ඩ් වර්ගයේ බස්රථ විය. බොහෝ දෙනා සිනමා කර්මාන්තයේ ඇද වැටීමට සිනමා ශාලා හා චිත්‍රාගාර ගිනිලෑම හේතුවක් ලෙස පෙන්වා සැනසුණ ද ඇත්ත එය නොවේ. මෙවර කොවිඩ් වසංගත සමයේ මෙන්ම එය අඬන්න සිටි එකාගේ ඇහැට ඇඟිල්ලකින් ඇන්නා හා සමාන දෙයක් විය.

1983 වසරේ ජූලි මාසයේ කලබල ඇති වන විට එම වසරේ ජනවාරියේ සිට ඒ දක්වා තිර ගත කළ සිංහල චිත්‍රපට සංඛ්‍යාව 24 කි. 83 වසර නිම වන විට චිත්‍රපට සංඛ්‍යාව 33 කි.

1983 වසරේ තිර ගත කළ සිංහල චිත්‍රපට අතරින් සැලකිය යුතු ආදායමක් ලද්දේ වසන්ත ඔබේසේකර විසින් නිර්මාණය කරන ලද දඩයම පමණකි. නිර්මාණාත්මක අතින් ජනාකර්ෂණීය සිනමා කෘතියක් ලෙස විචාරක මෙන්ම ප්‍රේක්ෂක අවධානය ද එය නොඅඩුව ලැබුවේය. එබඳු එක් චිත්‍රපටයක සාර්ථකත්වය මත සියල්ලෝ සතුටින් සැනසී ගත්හ. ප්‍රදර්ශකයෝ හැර කිසිවකු හෝ කර්මාන්තයේ පත්ල හිල් වෙමින් පවතින බැව් නොදුටූහ. ඔවුන්ටද එය වැටහුණේ ආදායම අඩුවන බැව් පෙනුණ හෙයින්ය. ඉංග්‍රීසි චිත්‍රපට උන්මාදය කොළඹ හා ප්‍රධාන නගරවල සීමිත ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනූවක් විය. එහෙත් තිර ගත වූ සිංහල චිත්‍රපට බහුතරය සිනමා ශාලා නඩත්තු කිරිම සඳහා පොහොසත් නොවිණ. එයට හේතු කිහිපයක් තිබිණ. එකක් නම් 1972 වසරේ සිට 1979 දක්වා රාජ්‍ය චිත්‍රපට සංස්ථාවේ පැවැති සිනමාකරණයට අදාළ නීතිරීති අවලංගු වීමය. අනෙක ඒ වන තෙක් චිත්‍රපට නිෂ්පාදනයේදී ණය සහන ලබා දුන්නේ කොන්දේසි සහිතවය. ඒ අනුව තිරනාටකය අනුමත කර ගත යුතු අතර සී ශ්‍රේණියේ තිරනාටක සඳහා ණය මුදල් අනුමත වූයේ නැත. 1977 වසරේ බිහි වූ රජය 1971 වසරේ රාජ්‍ය චිත්‍රපට සංස්ථා පනත සංශෝධනය කළ අතර එතෙක් චිත්‍රපට සංස්ථාවේ සාමාන්‍යාධිකාරි සතු සියලු බලතල සභාපති වෙත පවරා දෙන ලදී. එතෙක් දැඩි ප්‍රතිපත්තිමය පාලනයක් යටතේ සිනමා කර්මාන්තය හසුරුවාලන ලද සාමාන්‍යාධිකාරි ඩී.බී.නිහාල්සිංහ සිය ඉල්ලා අසවීම බාර දී ගෙදර ගියේ මේ සිදුවීමෙන් පසුවය. එයින් පසු සංස්ථාවේ සභාපතිධුරයට පත් වූ උපසේන මාරසිංහ විසින් චිත්‍රපට සඳහා ණය ලබාදීමේ වැඩපිළිවෙළ පුළුල් කරන ලදී. ඇත්ත නම් ඒ වන තෙක් සංස්ථාව මඟින් සිදු කර තිබුණේ කුඩා වේල්ලකින් මහ ගඟක් නවතනවා වැනි වැඩකි. එක් තැනකින් මේ සියල්ල බුරුල් වුවුහොත් වේල්ල කැඩී යන්නේ අහල පහළ සියලු දෑ සමතලා කරමින්ය.

චිත්‍රපට නිෂ්පාදන සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ නළු නිළියන් ඇතුළු බොහෝ දෙනා කාර්යබහුල විය. චිත්‍රපට කර්මාන්තයේ වෙළෙඳපොළ අනුක්‍රමයෙන් හීන වෙමින් පවතින බව ඔවුහු වටහා නොගත්හ. එසේ වටහා ගැන්මට හේතුවක් නොවිණ. කල දුටු කල වළ ඉහ ගන්නා න්‍යායෙන් ප්‍රදර්ශකයන් හා ප්‍රේක්ෂකයන් හැර අන් සියලු දෙනාම කාර්ය බහුල විය. නිෂ්පාදන ධාරිතාව වැඩිවත්ම එය බෙදාහැරීමේ ක්‍රමවේදය පුළුල් කරන ලද්දේ තිබුණ සිනමා ප්‍රදර්ශක මණ්ඩලවලට අයත් ශාලා යළි බෙදා මණ්ඩල සංඛ්‍යාව වැඩි කිරීමෙන් පමණකි. නිෂ්පාදනය සදහා ණය ලබා දීමේ එකම ඇපය එයට රැඟුම් පාලක මණ්ඩල සහතික දින අනුව අනිවාර්යනේ ප්‍රදර්ශනය කිරිම සිදුවන බව පමණකි. ඒවායේ ප්‍රමිතිය ගැන කිසිදු සහතිකයනක් නොවිණ. ප්‍රේක්ෂක සංඛ්‍යාව එයින් වර්ධනය නොවිණ. ඇතැම් විට චිත්‍රපට තිර ගත කරවීම සඳහා ප්‍රධාන සිනමා ශාලා තෝරා ගත්තේ කිසිදු ක්‍රමවේදයකින් තොරවය. සුද්දා නම් ළමා චිත්‍රපටය තිර ගත කරවීමට එබදු මණ්ඩලයක් කඩිනමින් සම්පාදනය කරන ලද්දේ මාලිගාවත්තේ රූබි හා එවකට නාරාහේන්පිට පැවැති මොන්ටෝ නම් සිනමාහල් කේන්ද්‍ර කර ගනිමින්ය. චිත්‍රපට ආකර්ෂණය සඳහා මාරසිංහ යුගයේ සොයා ගන්නා ලද තවත් ක්‍රමවේදයක් ව තිබුණේ කළු සුදු චිත්‍රපට වෙනුවට වර්ණ චිත්‍රපට හඳුන්වා දීමය. එයට විශේෂ සහනාධාර ද ලැබිණ. වර්ණ චිත්‍රපට හඳුන්වා දීම බැලූ බැල්මට වරදක් නොවුවත් එයින් සිදුවූයේ චිත්‍රපට නිෂ්පාදනය සඳහා වන වැය ශිර්ෂය සියයට දෙසීයකින් එකවර ඉහළ යෑමය. වර්ණ චිත්‍රපට සඳහා සහන දුන් සංස්ථාවට නඩු හබ ගොඩකට පැටලෙන්නට සිදුවූයේ ඒ වන තෙක් දිග් ගැස්සෙමින් තිබුණ සිනමා පෝලිමේ නිෂ්පාදකවරුන් අධිකරණ පිහිට පැතූ හෙයින්ය. ප්‍රේක්ෂකයන්ගේ ජීවන රටාව ද වඩා සරල දිවියක සිට හෙමිහිට පාරිභෝගික සමාජයේ ගොදුරක් වන්නට පටන් ගත්තේ ඒ වනවිට මෙරට ආර්ථික රටාව ද වෙනස් වෙමින් පැවැති තත්ත්වයක් යටතේය. එබැවින් එතෙක් විනෝදාස්වාදයේ මුල් තැන සැපයූ සිනමාව වෙනුවට වෙනත් විකල්ප සොයා යන්නට ඔවුහු ද පුරුදු වූහ. බයිස්කෝප් පිස්සෝ පවා චිත්‍රපට තෝරා ගන්නට පුරුදු වූහ.

ටෙලීවිෂනය සුඛෝපභෝගි භාණ්ඩයක් ලෙස සැලකු එකල, වීඩියෝ යන්ත්‍රයක් සතුවීම එයටත් වඩා ඉහළ තත්ත්වයක් බැව් අමුතුවෙන් කිවයුතු නොවේ. ටෙලිවිෂනය මෙරටට පැමිණියේ මැදපෙරදිග රැකියාවල නිරත මුල් පිරිස මෙරටට යළි පැමිණි අවදියේයි. ඔවුන් විසින් සාමාන්‍ය ජනයා අතරට අරගෙන ගිය විවිධ අලුත් භාණ්ඩ අතර ටෙලිවිෂනය මෙන්ම කැසට් යන්ත්‍රයට ද වීඩියෝ යන්ත්‍රයට ද ලැබුණේ ඉහළ තැනකි. වීඩියෝ පට කුලියට දීමේ ආයතන ඇරඹුණේ එයින් පසුවය. කලින් හිතවතුන් අතර හුවමාරු වූ වීඩියෝ පට වෙනුවට ඒවා කුලියට දෙන ආයතන වෙතින් දිනපතා කුලියට එලෙස වීඩියෝ පටයක් ලබාගත හැකි විය. මේ ඇතැම් වීඩියෝ අලෙවිහල් සාමාජික මුදලක් අය කළ අතර එය ඉතා සුළු මුදලක් විය. ඇතැම් තැනක ඇපයට ලබා ගත්තේ හැදුනුම්පත හෝ රියැදුරු බලපත්‍රයයි. වඩා පුළුල් ලෙස ව්‍යාපාරය ගෙන ගිය එවකට බම්බලපිටියේ පැවැති මැරතන්, හෝ ජිනි වීඩියෝ හෝම්, වැල්ලවත්තේ ප්‍රෙෂස් , හැව්ලොක් පාර් ලැගොඩාන් වැනි ආයතන රුපියල් දහසක පමණ සාමාජිකත්ව මුදලක් යාවජීව ලෙස ලබා ගත්තේය. ඇතැම් වීඩියෝ බෙදා හරින තැනක සිංහල චිත්‍රපට ද රහසේ අලෙවි කෙරිණ. ඒ, ඒ සඳහා ඇති ඉහළ ඉල්ලුම පෙනී ගිය හෙයින්ය. විජය රාමනායක නිෂ්පාදනය කළ 'ආරාධනා' චිත්‍රපටය මෙලෙස හොර රහසේ වීඩියෝ පිටපතක් ලෙස නිකුත් කිරීමට එරෙහිව ඔහු විසින් අධිකරණයේ පිහිට පැතූ අතර එහිදී ඉල්ලු සම්පූර්ණ මුදලම ගෙවන ලෙස අදාළ වීඩියෝ නිෂ්පාදකයාට නියෝග කෙරිණ. මේ සියලු අවස්ථා පෙන්වා දෙන ලද්දේ සිනමාව හැසිරවීමේ යතුර සිනමා ප්‍රේක්ෂකයක් විසින් අනුක්‍රමයෙන් ලබා ගන්නා ලද අන්දමය. නැතහොත් චිත්‍රපට නරඹන ක්‍රමවේදය වෙනස් වන අන්දමය.

වීඩියෝ යන්ත්‍ර සමඟ වීඩියෝ චිත්‍රපට ප්‍රදර්ශනය කිරිමේ ස්වයං රැකියාවක් බිහිවිය. ඒ 1984 වසර පමණ වන විටය. ඇතැම් ටෙලිවිෂන් යන්ත්‍ර හිමියකු පවා සිංහල චිත්‍රපටය විකාශය වන දාට සුළු මුදලක් එය නරඹන්නන්ගෙන් අයකිරීමේ ප්‍රවෘත්තියක් ද වාර්තා විය. වීඩියෝ යන්ත්‍ර මඟින් චිත්‍රපට ප්‍රදර්ශනය වීම එහිම දෙවැනි පියවර සේ සැලකීම යුක්ති සහගත විය. සමහරු ඒ සඳහා තාවකාලික මඩු ඉදි කළහ. මේ අලුතෙන් තැනුණු විඩියෝ සිනමා ශාලා සිනමා ශාලාවන්ගේ ප්‍රාථමික අවධිය සිහිපත් කළේය. බොහෝ අලුත් දෙමළ , හින්දි හා ඉංග්‍රිසි චිත්‍රපට මේ විඩියෝ ශාලා වල තිර ගතවූයේ සිනමා ශාලා අන්දමන්ද කරවමින්ය. මෙරට සමාජයට ආගන්තුක වූ අසභ්‍ය චිත්‍රපට (නධපදධඨපචනඩර ථධමඪඥඵ) සාමාන්‍ය ජනතාව අතරට ගියේ මේ සමඟය. ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය මඟින් ඉවත් කරන ලද චිත්‍රපට දර්ශන කිසිදු වාරණයකින් තොරව වීඩියෝ පට මඟින් ඇතැම්විට ප්‍රදර්ශනය කෙරිණ. ඒ වන විට මෙරටට සිනමා ශාලා සඳහා ආනයනය කරන ලද දෙමළ චිත්‍රපට පැමිණියේ ඒවා ඉන්දියාවේ තිර ගත කොට මාස කිහිපයක් ගත වූ පසු වුවත්, මේ ලෑලි මඩුවල ඉන්දියාවේ අලුතෙන් එළි දැක්වූ දෙමළ චිත්‍රපට එහි තිර ගත වූ දාට පසුව දාම දැක ගත හැකි විය. එමෙන්ම අපේ සිනමා ශාලාවල හතර මායිමට හෝ වද්දා ගැනීමට අවසර නොලැබුණු හින්දි චිත්‍රපට ද මේ සිනමා ශාලාවල ප්‍රදර්ශනය විය. ලෑලි බංකු ආසන ලෙස තිබුණු ව්‍යාපාරය කෙතරම් ජනප්‍රිය එකක්ද යත් ඇතැම් ශාලා මහල් කිහිපයකින් යුතුව ඉදි කර තිබිණ. ඒවායේ පහත මාලයේ සාමාන්‍ය දෙමළ චිත්‍රපට ප්‍රදර්ශනය වූ අතර ඉහළ මාලයන්ගේ ප්‍රදර්ශනය කරන ලද්දේ වාරණයෙන් මිදුණ චිත්‍රපටයන්ය. ලණුවක් වැනි ආධාරකයක් සහිතව ඉහළ මාලයට යා යුතුය. හදිසියේ හෝ පොලිසිය පැමිණි වහාම එකවරම ඉහළ මාලයේ ඇති චිත්‍රපටය වෙනස්ව ගියේය. මෙම ව්‍යාපාරය කෙතරම් පැතිර ගියේද යත් එයට මුහුණ දී ගත නොහැකි වූ ජින්තුපිටියේ මයිලන් සිනමා ශාලාව වසා දැමිණ. සිනමා ශාලාව වටා පමණක් එකල මේ වීඩියෝ ශාලා තිප්පොල්වල් දොළහක් හෝ දහතුනක් විය. 'ලේඩි චැටලීස් ලවර්' චිත්‍රපටය වැල්ලවත්තේ සැවෝයි සිනමාහලේ තිර ගත වද්දී එහි අසංක්ෂිප්ත විඩියෝ පටය ඒ අසලම මඩුවක පෙන්වනු ලැබිණ. එපමණක් නොව එහි හිමිකරුවෝ සිනමා හලේ දොරටු විවෘත වන තුරු බලා සිටින ප්‍රෙක්ෂකයන්ට කැපූ නැති චිත්‍රපටය නරඹන්නට එහි එන්නැ'යි විවෘතව ආරාධනා කළහ.

 

 

රැකෙන්නට හෝ තැවෙන්නට නම් ඊළඟ කොටස කියවිය යුතු යැයි සිතමි