වර්ෂ 2023 ක්වූ September 28 වැනිදා Thursday
සිනමාව සමඟ බොල් වූ ණය සහ සිහින

සුරංගනා ලෝකයන් මවා සිටි මෙරට සිනමා ක්ෂේත්‍රය හිටි අඩියේ බිමට වැටෙන්නට පටන් ගත්තේ අසූව දශකයේ මැද භාගයේ පමණය. එය එක එල්ලේ නොවුණත් එහිලා වඩාත් පැහැදිලි වූයේ චිත්‍රපට සඳහා වැය කරන මුදල් ශිර්ෂ නිෂ්පාදකයන් හා ප්‍රදර්ශකයන් යන දෙඅංශ මඟින්ම පැහැදිලිව කපා දමන අන්දමයි. එයට පෙර වකවානුවේ චිත්‍රපටයක මංගල දර්ශනයක් යනු එක් ආකාරයක මඟුල් ගෙයක සිරි ගත්තකි. නමක් දිනූ සෑම නළුවෙක් හා නිළියක්ම එයට ගොඩවූයේ ඉතා හොඳීන් ඇඳ පැලඳ ගෙනය.
එහෙත් තවදුරටත් එසේ මවාපාන්නට තරම් ලෝකයක් සිනමාවේ නොවිණ. එම සමයේ සිනමාහල් ඉදිරියේ ඇති කටවුට් තිබුණේ වෙසක් තොරණ සිහි කරන විදුලි පහන් ආලෝකයෙන් හැඩ වෙමින්ය. සිනමාහලේ ඉදිරිපස ඇති මේ ආලෝක පුවරු සඳහා වැය වුණේ සිනමා ශාලාවේ විදුලි බ්ලෙන්ය. සිනමා ශාලාවලට ප්‍රේක්ෂකයන් ඇදී ඒමේ අඩුව සමග මේ විදුලි පහන් ආලෝකය ද නැති විය. ඒ වෙනුවට කටවුට් එකට එල්ල කළ විදුලි බල්බයකින් සියල්ල ආලෝකමත් කළේය. සිනමා තාරකාවන්ගේ රශ්මිය ද අනුක්‍රමයෙන් අඩුවන්නට වූයේ එබඳු මංගල දර්ශන හා මුහුරත් උලෙළ සිරිය අඩුවීමත් සමගය. මේ සුරංගනා රජ දහන දෙදරා යෑම අභ්‍යන්තරයේ සිටි සමහරුන්ට පෙනුණ ද එය ප්‍රසිද්ධියේ කීමට කිසිවකු හෝ කැමැති වූයේ නැත. එතෙක් වේලක් නැතත් වේලක් කමින් යැපෙමින් සිටි ඇතැම් සිනමා ශිල්පීන්ට එක්වරම කිසිදු හව්හරණක් නොවිණ. සමහර නම් දැරූ ශිල්පිහු පවා මැද පෙරදිග දුෂ්කර ක්‍රියාවේ නියැළී හෝ ජීවත් වන්නට මාන බැලූහ. චිත්‍රපට නිෂ්පාදන සංඛ්‍යාව වැඩි වුව ද ඒ හා සමාන වැඩි වන ජීවන වියදම උදෙසා සිනමා ශිල්පින්ට ගෙවන මුදල් ප්‍රමාණයන් ලොකු නොවිණ. නිෂ්පාදනය වූ චිත්‍රපට කෙසේ හෝ තිර ගත කොට පෝලිම අඩු කර ගැන්ම විනා වෙළෙඳපොළ පිළිබඳ කිසිදු තක්සේරුවක් නොවිණ. චිත්‍රපට ප්‍රේක්ෂකයන් සංඛ්‍යාව අඩු වන බව දිනෙන් දින පෙනී යද්දී එකම දිනයේ චිත්‍රපට දෙක තුන අලුතෙන් තිරගතවීම සිදුවිය.
1984 වසර පමණ වන විට එයට ආයෝජනය කරමින් සිටි බලසම්පන්න චිත්‍රපට නිෂ්පාදකවරු බහුතරයක් චිත්‍රපට ව්‍යාපාරයෙන් බැහැර වූහ. චිත්‍රපට නිෂ්පාදනය කර බලා සිටිනවාට වඩා අඩු අවදානම් සහිත එමෙන්ම වඩා වැඩි ලාභදායි ව්‍යාපාර කෙරෙහි ඔවුහු යොමුවන්නට පටන් ගත්හ. එයට හේතු කිහිපයක් තිබිණ. ඒ වන විට මෙරට සිනමා වෙළෙදපොළ අනුක්‍රමයෙන් පටු වනු චිත්‍රපට බලධාරින් කිසිවකු හඳනා ගත්තේ නැත. එක් පැත්තකින් මෙරට පැවැති ත්‍රස්තවාදි ක්‍රියා ඇතුළු දේශපාලන අරගල ද මෙහිලා බලපෑ බව සත්‍යයක් වුවත් එයටත් වඩා එහිලා අවධානය යොමු විය යුත්තේ සිනමාවට පරිබාහිර වෙනත් විනෝද මාධ්‍යය ඉස්මතු වීමය. අසූව දශකය අවසාන වන විට රටේ දෙකොනම ගිනි ගෙන තිබිණ. එමෙන්ම අනූව දශකය මැද වන විට නව පාරිභෝගික පැළැන්තියක් මෙරට බිහි විය. මේ බහු භාණ්ඩික පාරිභෝගික සමාජය ගොඩ නැංවීමෙහිලා වඩාත් වැදගත් මෙහෙයක් ඉටු කරන ලද්දේ ටෙලිවිෂනය මගින්ය. 1982 වසරේ දී මාර්ග ආයතනය මගින් කරනු ලබන සමීක්ෂණයකට අනුව මෙරට ටෙලිවිෂනයේ වැඩි පුරම පේ‍්‍රක්ෂකයන් නරඹන වැඩ සටහන ප්‍රවෘත්ති වූ අතර දෙවැනි තැන ගත්තේ සිංහල චිත්‍රපටයයි. 1990 වසරේ දී එමඟින් සිදු කරන ලද සමීක්ෂණය අනුව වඩාත් ජනප්‍රිය වැඩසටහන් බවට සිංහල ටෙලි නාට්‍ය තැන දිනා ගෙන තිබිණ. 1987 වසරේ රූපවාහිනි පර්යේෂණ අංශය පෙන්වා දෙන අන්දමට ඒ වන විටත් මෙරට සෑම දස දෙනෙකුටම එක් ටෙලිවිෂන් යන්ත්‍රයක් හිමිව තිබිණ. එමෙන්ම 1984 වසර වන විට සිය රාත්‍රි 9.30 දර්ශනය සිනමාශාලා විසින් අවලංගු කරනු ලද්දේ ටෙලිවිෂනයේ බලපෑම මතය. ඒ වන විට රටේ පැවැති තත්ත්වය මත සිනමා ශාලාවකට යනවාට වඩා ටෙලිවිෂනය ඉදිරියේ අසුන් ගැනීම ආරක්ෂා සහිත විය. 1990 වසරේ දී මෙරට බලපත්‍ර ලාභී ටෙලිවිෂන සංඛ්‍යාව 926000කි. එය සාමාන්‍ය ජනගහනය අනුව ගත් කල සෑම හය දෙනෙකුටම එක් ටෙලිවිෂන් යන්ත්‍රයක් බැගින් අයත්ව තීබණ. එම සමීක්ෂණ වාර්තා අනුව ද ටෙලි නාට්‍ය යනු මෙරට ජනප්‍රියම වැඩ සටහන බවට පත්වනුයේ චිත්‍රපටයට ටෙලිවිෂනයේ තිබුණු තැණ ද අත්පත් කර ගනිමින්ය.
1993 වසර වන විට මෙරට පෞද්ගලික නාළිකාවන් විකාශය ආරම්භ කර තිබිණ. එමෙන්ම ඒ වන විටත් ස්වාධින රූපවාහිනිය ද දිවයිනම ආවරණය වන පිරිදි සිය විකාශයන් පුළුල් කොට තිබිණ. එමෙන්ම සිනමා ශාලාවල හතර මායිමකට ඒ වන විටත් වැද්ද ගන්නට ඉඩ නොදුන් හින්දි චිත්‍රපට විකාශය කරන්නට ද ජාතික රූපවාහිනිය හැර සෙසු සියලු නාළිකාවෝ සැරසී සිටියහ. ස්වාධීන රූපවාහිනිය මේ අතරින් පුරෝගාමි කටයුත්තක යෙදුණ අතර එය 1984 තරම් ඈතක දී පවා හින්දි චිත්‍රපට කිහිපයක්ම විකාශය කළේය. එහිදි සුපුරුදු පරිදි සිනමාවේ විරෝධය නිසාම එය තාවකාලිකව අත්හිටවූවත් 1990 වසර වන විට සතිපතා හින්දි චිත්‍රපටයක් විකාශය කිරිම ආරම්භ කළේය. මෙහිදි අදාළ චිත්‍රපටය සඳහා සතිපතා අනුග්‍රහය දක්වන ලද්දේ ඒ වන විට යළි චිත්‍රපට නිෂ්පාදනයට අවතීර්ණව චිත්‍රපට කිහිපයක්ම එකවර නිෂ්පාදනයේ යෙදුණ ඊ.ඒ.පී. චිත්‍රපට සමාගම වීම වැදගත් කරුණකි. ඒ වන විට මෙරට ව්‍යාපාරික මට්ටමින් චිත්‍රපට නිෂ්පාදනයේ යෙදුනේ ද ඊ.ඒ.පී සභාපතිනියව සිටි සෝමා එදිරිසිංහ සහ තිලක් අතපත්තු පමණකි. මෙහිදී සිය පාරිභෝගිකයා වූ ප්‍රේක්ෂකයන් ග්‍රහණය කර ගැන්මේ ව්‍යාපාරික අවශ්‍යතාව මෙන්ම යුතුකමද ටෙලිවිෂන බලධාරිහු සිනමා බලධාරින්ට වඩා අවබෝධ කර ගෙන සිටින බැව් පැහැදිලිය. කෙසේ වෙතත් ටෙලිවිෂනය මඟින් හින්දි චිත්‍රපට දිගින් දිගට විකාශය නිසා සිනමාවට තවත් මරු පහරක් වැදිණ. ඒ වන විට ජනාකර්ෂණීය සිනමා කෘතින්ගෙන් සියයට අනූනවයක්ම හින්දි චිත්‍රපට අමුඅමුවේ කොපි කරමින් සෑදු ඒවාය.
පොදුවේ ගත් කළ ද මෙරට සිනමාව පැවැතියේ තමන් හිසට තම අතමය යන න්‍යාය ගුරු කොට ගෙනය. ඒ සිනමාවට ආයෝජනය කළ බහුතරය එහිම වෘත්තිකයන් වීමය. සිනමා නිෂ්පාදනයට අවතීර්ණය වූවෝ එහිම නියැළුණ පිරිසය. මෙහිලා නිළි රැජන මාලිනි ෆොන්සේකා පුරෝගාමි මෙහෙවරක් ඉටු කළාය. විශේෂයෙන් ඇය 1984 වසරේ සසර චේතනා වැනි චිත්‍රපටයක් නිර්මාණය කිරීම ඒ අවදියේ දැවැන්ත අභියෝගයක් පමණක් නොව නිර්භය මුහුණදීමක් බැව් ඉඳුරාම පැවැසිය යුතුය. යළි සිනමාවට ප්‍රේක්ෂකයා අද්දවා ගන්නට නම් එබදු චිත්‍රපට තැනීමට සිතීම සාධාරණ කරුණකි. මේ චිත්‍රපටය සාර්ථක වීම මත තවත් එවැනිම කිහිප දෙනෙකුම චිත්‍රපට නිෂ්පාදනය සඳහා යොමුවිමක් විය. සෝනියා දිසානායක, අනෝජා වීරසිංහ ඒ අතර ප්‍රමුඛ වූහ. එහෙත් බහුතරය සසර චේතනා ගත් මඟ අනු දැක්කේ නැත. ඒ වෙනුවට අඩු ආයෝජනයකින් වැඩි ලාභයක් ඉපැදවීම සිරිත කොට ගත්හ. කිසිවකුට හෝ දැවැන්ත වියදමක් දැරීමට හැකියාවක් හෝ එබඳු චිත්‍රපටයක වියදම ආවරණය කර ගත හැකි වෙළෙඳපොළක් තිබුණේ ද නැත. කොටින්ම චිත්‍රපට නිෂ්පාදනයේදී කබල් අශ්වයා ගඟෙන් කෙසේ හෝ එතෙර කරවා ගැන්ම එකම වෑයම විය. මෙහිදි තෝරාගත්තේ බොහෝ විට ජනප්‍රිය හින්දි චිත්‍රපටයක් වීඩියෝ යන්ත්‍රයක් මඟින් යළි නිර්මාණය කිරීමය. එය මුල්වරට අත්හදා බලා සාර්ථක වූයේ 1981 වසරේ මෙරට ටෙලිවිෂන යන්ත්‍ර පැමිණි අලුතමය. ඒ යසපාලිත නානායක්කාර විසින් අධ්‍යක්ෂණය කරන ලද නැවත හමුවෙමු චිත්‍රපටය සඳහාය. කස්මේවාදේ නම් හින්දි චිත්‍රපටය වීඩියෝ මඟින් දර්ශන තලයේ දී පවා නරඹමින් කෙතරම් රූපයෙන් රූපයට අනුකරණය කළේ ද යත් එහි එන ඇතැම් ත්‍රාසජනක දර්ශන සඳහා වීඩියෝ පටයම සිනමා තිරයට ගෙන ඉදිරිපත් කළේය. මේ ශෛලිය වඩාත් ප්‍රචලිත කරන ලද්දේ 1987 වසරේ පමණ ඔබට දිවුරා කියන්නම් චිත්‍රපටය සමගය. තේරි කසම් නම් හින්දි චිත්‍රපටය ඒ අනුව අනුකරණය විය. අද කවර විවේචනයක් කළ ද ඒ අවදියේ සිනමාවේ නියැලුණ බොහෝ පිරිසට පණ නල ගැට ගැසීමට මෙය හේතුවූ බව ඇත්තය. එහෙත් අඩු වියදමකින් තැනුණු මෙබඳු චිත්‍රපට නිෂ්පාදනය අතින් ඉතා අවර ගණයේ විය. මේ සමඟ සිනමා ශාලා තත්ත්වය ද එන්න එන්නම නරක් විය. සිංහල පමණක් නොව ආනයනිත හොලිවුඩ් චිත්‍රපට සඳහා වුව වෙනසක් නොවිණ. එකල සුඛෝපභොගි සිනමා ශාලා ලෙස ගැනුණු මරදානේ නිව් ඔලිම්පියා, බම්බලපිටියේ පැරැණි මැජස්ටික් සිනමා ශාලාව වැනි ශාලාවල ද පහසුකම් අඩුවිය.මේ සඳහා ප්‍රේක්ෂකයා එන්නේ නැතැයි දොස් පැවරුවා විනා ඔවුන් ඇද ගැනීමට කිසිදු වෑයමක් සිදු නොවිණ. අඩු මුදලට සිංහලෙන් තැනූ චිත්‍රපට කබල් ශාලාවකට වී නරඹනවාට වඩා සිංහල උපසිරැසි සහිතව ඔරිජිනල් චිත්‍රපටය නැරඹීම වඩා ලාබදායි බැව් ප්‍රේක්ෂකයෝ වටහා ගත්හ. සිනමාහලේ තත්ත්වය වෙනස් වූවා කියා හෝ චිත්‍රපටය අවර නිෂ්පාදනයක් වූවා හෝ ප්‍රවේශ පත්‍රයේ මිල වෙනස් වූයේ නැත. ගෙදරදී නම් ටෙලිවිෂනය වසා දැමීම හෝ චැනල මාරු කොට තමන් කැමැති දෙය නරඹන්නට ඔහුට ඉඩකඩ ලැබිණ. එමෙන්ම චිත්‍රපට සඳහා එක්තරා රාජ්‍ය බැංකුවක් අත් දිග හැර ණය දුන්නේ අදාළ නිෂ්පාදනය සළකා බලා නොව සංස්ථාවේ ලියා පදිංචිය පමණක් ඇපයට තබා ගෙනය. සමහර සිනමාකරුවන් එදා වේල යැපීම සඳහා කවරෙක් හො අතැති මුදල සිනමාවට ආයෝජනය කරවන ලද්දේ බැංකුවේ ණය මුදල ලබා ගත හැකි යන අපේක්ෂාව දල්වමින්ය. අවසානයේ බැංකු ණය ලබා ගෙන ද චිත්‍රපටය නිම නොවුණ කළ ඒ සඳහා ගෙවල් දොරවල් ද උකස් කළ සමහරු සොයා ගන්නට ද ආගිය අතක් නැති විය. තනන හැම චිත්‍රපටයක්ම තිර ගත වීමේ ප්‍රතිපත්තිය මත බැංකුව ණය දුන්නේය. (එහෙත් මේ සම්බන්ධයෙන් වුව විජය කුමාරතුංගයන් රඟපාන්නේ නම් ණය ලබා නොදුන් බව චිත්‍රපට නිෂ්පාදක පත්මසිරි කොඩිකාර මහතා මා සමඟ පැවසුවේය) කෙසේ හෝ වේවා 1989 වසරේ සිට තිර ගත කළ චිත්‍රපට අතරින් සියයට අනූ නවයකම නාමාවලියේ ස්තූතිය පිරි නැමුණේ යථෝක්ත් රාජ්‍ය බැංකුවටය. මේ ක්‍රමයේ අනිටු විපාකය පිළිබඳ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ලද එකම සිනමා වෘත්තිකයා රංගවේදිනි, සම්මානනීය චිත්‍රපට නිෂ්පාදිකා ගීතා කුමාරසිංහ පමණකි. මේ ඇතැම් චිත්‍රපට කිසි දිනෙක තිර ගත නොවිණ. ඒ සියලු මුදල් බොල් ණය බවට පත්විය. එහෙත් අනුක්‍රමයෙන් සිනමා ශාලාව වෙනුවට පාරිභෝගික සමාජයේ කොටස්කරුවන් කරවන්නට ටෙලිවිෂනයේ තරගකාරිත්වයට හැකි විය.
සිනමා අර්බුදය තවත් උග්‍ර වූයේ එයින් පසුවය. සිනමා හල තවදුරවටත් මඟ හරින්නට ප්‍රේක්ෂකයා පොලඹවන ලද්දේ එම කාරණයයි.
රැකෙනු නැත්නම් තැවෙනු තවත් ඉදිරියට