දැනෙනවාද? ඇහෙනවාද? නැත්නම් පෙනෙනවාද?

මාර්තු 25, 2021

රැකෙනු නැත්නම් තැවෙනු ! 5

අපේ සිනමාවේ අර්බුදය ගැන ලියන ලිපි මාලාව

 

 

අන්තර්ජාලයට ඇබ්බැහි ව සිටින මා වැනි ම බයිස්කෝප් පිස්සන් අමන්දානන්දයට පත් කරන ප්‍රවෘත්තියක් පසුගිය සතියේ අසන්නට ලැබිණ. එනම් අන්තර්ජාලය පිළිබඳ දැනට වඩා ලිහිල් පැකේජයන් ලබන අප්‍රේල් මාසය වන විට හඳුන්වාදිය යුතු බවට විදුලි සංදේශ නියාමන කොමිසම මඟින් නියෝග කර ඇති බවය.

මෙය මා වැන්නන්ට වැදගත් ප්‍රවෘත්තියක් වන්නේ චිත්‍රපට නැරඹීමට අපට ඇති අවස්ථා මෙයින් පහසු වන බැවින්ය. එය හරියට හිතුවොත් සිනමා හා ටෙලිවිෂන යන කර්මාන්ත දෙකටම මෙය බලපාන්නකි. කොටින්ම සිනමාවේ හා ටෙලිවිෂනයේ ග්‍රාහකයන් නැතහොත් ප්‍රේක්ෂකයන් මෙමඟින් ඉහල දැමිය හැකි බැවින්ය.

පසුගිය සති කිහිපය ඇතුළත මා විසින් විග්‍රහ කරන්නට උත්සාහ කරන ලද්දේ මෙරට සිනමා කර්මාන්තය පාලනය කිරිමේ යතුර අප වැනි චිත්‍රපට ලෝලින් අතට පත් කර ගත් අන්දමය . ආනන්ද ජනක හැඟිමකින් වෙළෙන්නට සමත් චිත්‍රපට හදන්නේ නැතිනම් හෝ ගෙදරට වඩා හොඳට චිත්‍රපට නැරඹීමට සිනමා හලේ ඉඩ නැතිනම් ඒ සිනමාවත් ඒ සිනමාහලත් යන දෙඅංශයම අප විසින් ප්‍රතික්ෂප කරනු ලබන බව තර්කානුකූලව හා ආදරයෙන් යුතුව පෙන්වාදීමය. තව දුරටත් අපේ සිනමාව පවතිනුයේ සිනමාහල නමැති ගොඩනැගිල්ලේ පමණක් නොවන බව පෙන්වාදීමය. මේ තත්ත්වය මෙරටට පමණක් බලපෑ කරුණක් නොවන බවත් ඒ සියලු කාරණාවලට විසඳුම් ලෝකය විසින් අත්හදා බලා ඇති බවත් එමඟින් පැහැදිලි කරදුන්නෙමි. ගැටලුව වූයේ වසර විසිපහක් පමණ කාලයක් ඔඩු දුවමින් තිබුණ ලෙඩකට එක රැයින් විසඳුම් සෙවීමේ අනතුරය. රෝගය වසංගන්නේ නැතිව මුලින්ම වටහා ගත්තා නම් මෙරට සිනමා කර්මාන්තය අද මුහුණ දෙන බොහෝ ගැටලුවලට විසඳුම් ලැබෙනු ඒකාන්තය. සිනමාවේ හිමිකාරිත්වය පැවැරී ඇත්තේ ප්‍රේක්ෂකයන්ට විනා වෙනත් කිසිවකුට හෝ නොවේ. ඔවුන් දිනා ගැන්ම සිනමා හා ටෙලිවිෂන ව්‍යාපාරකයන්ගේ අභිප්‍රාය විය යුතුය. එබැවින් එහි තව දුරටත් කොලේ යටින් දමා ඇදිලි වැනි බාල ගේම්වලට ඉඩ නැත.

මේ තර්ජනය සිනමාවට පමණක් නොව ටෙලිවිෂනයටත් එක්කය. ඒ කාලයේ පෙන්වූ ඕනෑම වැඩ සටහනක් ටෙලිවිෂනය ඉදිරිපිට නැරඹූ අප තව දුරටත් එසේ නරඹන්නට කාලය මිඩංගු කරන්නේ නැත. ධ්ර්‍ථඊඍ (ධ්දබඥපදඥබ ර්‍ථපධබධජධත ඊඥතඥමඪඵඪධද) ක්‍රමවේදය ලංකාවේ ආරම්භ වූයේ මෙයින් අවුරුදු ගණනාවකට මත්තෙන් එනම් 2008 වසරේදීය. ඒ සමඟ වීඩියෝ ඔන් ඩිමාන්ඩ් ක්‍රමය ද මෙරට ආරම්භ විය. එහි ගෞරවය හිමිවිය යුත්තේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයටය. 1997 වසරේ පමණ අමෙරිකාවේ බිහි වූ නෙට්ෆ්ලික්ස් ආයතනය ලොව පුරා සිනමාව උඩු යටිකුරු කරනු ඇතැයි කිසිවකු හෝ සිතන්නට නැත. 2021 වසර වන විට නෙට්ෆ්ලික්ස් සතු ලොව පුරා ග්‍රාහක සංඛ්‍යාව මිලියන 203.7 ක් විය. 2020 වසර වන විට එහි මෙහෙයුම් ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 1.2 ක් විය. ඒ හා තරග වදින ඇමේසන් ප්‍රයිම් සතු ග්‍රාහක සංඛ්‍යාව මිලියන 150 කි. ඩිස්නි ප්ලස් 94.9 කි. හුලු 35.4 කි. ර්‍ණඊර්‍ථ (ධමඥප බඩඥ බධන) ක්‍රමවේදය භාවිතා කරන මේ සියලු ධාරාවන් හරහා සිනමා ශාලාවේ තැන ස්මාට් ටෙලිවිෂනය ටද , ස්මාට් දුරකථනයට ද ලැබිණ. ස්මාට් නොවන ටෙලිවිෂනයක් ස්මාට් කරන්නට ද ඉඩ ලැබිණ. ඒ සිනමාවේ හා ටෙලිවිෂනයේ සියලු වැඩ සටහන් පාලනය කිරීමේ යතුර ප්‍රේක්ෂකයා වූ අපට ලැබිණ. ටෙලිවිෂන චැනල සිය වැඩ සටහන් අතරතුර දැන්වීම් එකක් නොව සීයක් දමා අපේ කාලය කා දැමුවාට දැන් ගැටලුවක් නැත. වැඩ සටහන් කවර වේලාවක විකාශය කළාට ද අපට ගැටලුවක් නැත. හේතුව ටෙලිවිෂන් වැඩ සටහන් ද බහුතරය කැමැති වේලාවක කැමැති තැනක සිට නරඹන්නට ඇති හැකියාවයි.

වර්තමානයේ අපේ ජීවිතය පෙර පරම්පරාව හා සසදද්දී තාක්ෂණය අතින් වඩා පහසුයැයි බැලූ බැල්මට පෙනුණ ද නොදැනුවත්වම අප කාර්ය බහුල වී ඇත්තේය. අපේ ළමා වියේ දී එදා වේල සඳහා පොල් කඩෙන් ගාගන්නා යුගයක් ඇති වෙතැයි නො සිතුවෙමු. එහෙත් කලබලකාරි ජීවන රටාව සදහා මෙකී නොකි සියලු අවශ්‍යතා පහසු වෙමින් පවතී. බැංකුවකට නොයා බැංකුකරණයේ යෙදීමේ සිට සියලු දෑ ඇප් මඟින් විසඳෙන ලෝකයක සිනමාව හා ටෙලිවිෂනය ඇතුළු රූප මාධ්‍යය එතරම් සරල ප්‍රවාහයකට හසුවීම බලාපොරොත්තු විය යුතුය. මේ සියල්ල ජීවිතයෙන් පලා යන්නට නොදි ග්‍රහණය කර ගන්නා දේ බැවින්ය. කලකට ඉහත සාමුහික වින්දනය ගෙන දුන් සිනමාව මේ වන විට හුදකලා වින්දනයක් බවට පත්වෙමින් පවති. තවමත් වෙනස් නොවන්නේ වේදිකාව පමණකැයි විශ්වාස කරමි. අන් සියලු කලා මාධ්‍ය විවෘත වෙළෙඳ පොළට පිවිසෙනුයේ තරග කරන්නටත් එක්කය. එපමණක් නොව කලකට ඉහත පුරෝගාමි සිනමාකරුවකු වූ ඩී.ඩබ්ලිව්. ග්‍රිෆිත් බලාපොරොත්තු වූ පරිද්දෙන් සිනමාව මේ වනවිට අලුත් පරම්පරාව අතට පත්ව ඇත්තේ එදා පරපුරේ පෑන් පැන්සල් විධියටය. එපමනින් සෑහීමට පත් නොවී ඔවුහු තම නිර්මාණ අන්තර්ජාලය හරහා වඩා පුළුල් ලෝකයකට ගෙන යති. සයිබර් අවකාශයේ සියලු දෑ එක හා සමාන නොවුණත් එය ලබා දුන් අවකාශය වඩා පුළුල් එකකි. එබැවින් මේ ප්‍රවණතා අඩුවෙන් ලඝු කොට දැක්විය යුතු නැත.

සෑම ටෙලිවිෂන් නාළිකාවකටම අන්තර්ජාල වෙබ් අඩවියක් හෝ යූ ටියුබ් ධාරාවක් ගොඩ නැගුණේ මේ අරගලය ජයගන්නටය. එසේ නොවී කිසිදු ටෙලිවිෂන නාළිකාවකට තව දුරටත් පැවැත්මක් නොමැත. මෙහි දී සිදුවන දේ ගැන දෙස් දෙවොල් නොතියා හා ආඩපාලි කීමෙන් වැළකී පවතින විපර්යාස වටහා ගැන්ම හා ඒ සමඟ අනුගත නොවී වෙළෙඳ පොළ ජයග්‍රහණය කළ නොහැකිය. නැතහොත් හණමිටිය කර තියා ගත් එකාට වන දේ සිදුවන බව සහතිකය.

පසුගිය කාලයේ අතිශය සම්භාවනාවට පාත්‍ර වූ ඇතැම් ටෙලි නාට්‍ය බොහෝ ප්‍රේක්ෂකයා දිනා ගත්තේ ටෙලිනාට්‍ය විකාශය වන නාළිකාවෙන් නොව යූ ටියුබ් ධාරාව හරහාය. එමඟින් ටෙලි නාට්‍ය විකාශයේ දී ලබන ආදායමට වඩා අති විශාල ආදායමක් උපයා ගැන්මට නාළිකාවෝ සමත්වූහ. සිනමාවේ හා ටෙලිවිෂනයේ මෙම විපර්යාසය බොහෝ බලධාරින් විසින් වසංගනු ලැබූ නමුත් පසුගිය කොවිඩ් සමයේ එය එළිදරව් වීම වැළැක්විය නොහැකිය. කෙසේ වෙතත් සුපුරුදු පරිදි මෙම විපර්යාසයන් වහා හඳුනාගන්නට සිනමාවට වඩා ටෙලිවිෂන බලධාරින් ක්‍රියාත්මක වීම කැපී පෙනෙයි. අලුත් ඉඩකඩ නිර්මාණකරුවන් සිය වාසියට හරවා ගන්නා අවස්ථා ද එමටය. මෑත භාගයේ විකාශය වූ කැන් යූ හියර් මී ටෙලි නාට්‍යය නිර්මාණය කළ සුනිල් කොස්තා එය ජාතික රූපවාහිනිය මඟින් විකාශය කිරිමේ දී එහි අයිතියෙන් කොටසක් ලබා ගැන්ම මෙරට නිෂ්පාදනයන් සම්බන්ධයෙන් ජයග්‍රහණයකි. මෑතක එක්තරා සංගීත වැඩ සටහනකට ආරාධනා ලද සංගීතඥයකු හා ගායකයකු අදාල නාළිකාවේ ආරාධනය ප්‍රතික්ෂප කරන ලද්දේ එම නිර්මාණ අන්තර්ජාලයට මුදා හැර ලබන ආදායම සලකා බැලීමෙන් පසුවය.

එමෙන්ම තව දුරටත් චිත්‍රපට නිෂ්පාදන ආදායම සිනමාහල් වලින් පමණක් සොයා ගැන්මට යෑම සිදුවිය යුත්තක් නොවේ. පසුගිය වකවානුවේ උපත ලද බොහෝ දරුවන් කිසිකලෙක සිනමා හලකට ගොඩ වැදුණවුන් නොවේ. එකල බොහෝ ස්ථාන හඳුන්වා දෙන ලද්දේ සිනමාහල් නමින්ය. එහෙත් වර්තමාන පරපුර පවතින සිනමාහල් සම්බන්ධව ද දන්නේ අල්පයකි. ඔවුන්ට එය බොහෝ විට තවත් ගොඩනැඟිල්ලකි. මේ අප රටේ පමණක් නොව ලෝකයේම ස්වභාවයයි. මේ සම්බන්ධ ගවේශනයක් සිනමාව පැත්තෙන් සිදුව නොමැති බව අපගේ විශ්වාසයයි. සිනමා කර්මාන්තය සම්බන්ධයෙන් මෙරට ව්‍යාපාරික සොයාබැලීම් සිදුව ඇත්තේ අල්පයකි.

නිෂ්පාදකවරුන්ට සිය නිර්මාණ වඩා විශාල වෙළෙඳ අවකාශයක් වෙත ගෙන යෑමට දැන් හැකියාව ඇත්තේය. මේ වන විටත් මෙරට සිනමා නිර්මාණ සඳහා ධාරාවන් (Streaming)  කිහිපයක් ආරම්භ වී ඇත. ඔවුන් පවා එක දෙයක් වටහා ගත යුතුය. ඒ ඇතැම් ධාරාවන් චිත්‍රපට හා ටෙලිනාට්‍ය විසුරුවනුයේ කිසිදු ප්‍රමිතියකින් තොරවය. මේ ව්‍යාපාරයක් විනා ජාවාරමක් නොවිය යුතුය. හේතුව ලොව පුර විසිරුණ මේ වෙළෙඳ පොළේ දේශිය නිර්මාණකරුවා සතු අවකාශය එයින් විනාශ වන නිසා පමණක් නොව තව දුරටත් සිනමාව හා ටෙලිවිෂනයේ බලසම්පන්න පුද්ගලයා ප්‍රේක්ෂකයා බැව් වටහා ගත යුතු හෙයින්ය. එයටත් වඩා අපේ තරුණ පරපුර සිටින්නේ ලෝක නිර්මාණයන්ගේ චමත්කාරයෙන් මත්වෙමින්ය.