අවුරුදු 59 යනු වයසක්ද ?

අප්‍රේල් 8, 2021

 

'සරසවිය' ලබන සෙනසුරාදාට එනම්, අප්‍රේල් මස 10 වැනි දිනට 59 වැනි වියට පා තබයි. සරසවිය දොරට වැඩියේ 1963 වසරේ අප්‍රේල් මස 10 වැනිදා බදාදා ය.

එය ගෙවුණු 58 වැනි අවුරුද්ද ගත කළේ ලෝක ඉතිහාසයේ ඉතාම දරුණුම අර්බුදයන්ට මුහුණ දෙමින්ය. එහෙත් එම අර්බුදය වටහා ගැනීම නිසාම එය අර්බුදයකට වඩා සරසවියට සොඳුරු අත්දැකීමක් විය. එමඟින් සිදුවූයේ වෙනදාටත් වඩා පාඨක සමූහයක් සරසවිය හා එක්වීමය.

මෙයින් වසර පනස් අටකට පෙරාතුව මහා පුවත්පත් කලාවේදියකු මෙන්ම කවියකු ද වූ මීමන ප්‍රේමතිලකයන්ගේ පුරෝගාමීත්වයෙන් යුතුව සරසවිය ගොඩ නැඟෙන්නේ සිනමා පුවත්පතක් ලෙස නොව පවුලේ සතිපතා සාර සංග්‍රහයක් හැටියටය. එහෙත් එය හැදුණේත් වැඩුණේත් එයින් මසකට පසු එහි මුල් පුටුව බාරගත් විමලසිරි පෙරේරා මහතාගේ අදහස් අනුවය. එබැවින් මීමන මහත්මයා වැදුවාට සරසවිය හැදුවේ විමලසිරි පෙරේරා මහතාය. සරසවිය වැනි පුවත්පතක් පිළිබඳ එවක ලේක්හවුස් ආයතනයේ සභාපති රංජිත් විජයවර්ධන මහතාගේ සිතට අදහසක් යොමු කරන ලද්දේ, විමලසිරි පෙරේරා මහතා ඉන්දියාවේ කළ සංචාරයකින් පසුවය. සරසවිය බිහිවන සමය වන විට මෙරට සිනමාව හා සම්බන්ධ පුවත්පත් රාශියක් තිබිණ.

ඒ වන විට ලේක්හවුස් ආයතනයේ සිටි ජයවිලාල් විලේගොඩ, එඩ්වින් ආරියදාස , බෙනඩික්ට් දොඩම්පේගම වැනි සිංහල හා ඉංග්‍රීසි සිනමා විචාරකයෝ යහපත් සිනමාවේ දිශානතිය පිළිබඳ ජනතා සිත් සතන් වෙනස් කරලීමේ කාර්යයෙහි පුරෝගාමී නිරත වීමක යෙදී සිටියහ. මෙරට මුල්ම සිනමා උලෙළ ද 'දිනමිණ' පුවත්පත මඟින් පවත්වා ලාංකේය සිනමාව වෙනුවෙන් එහි මෙහෙවර ගොඩනංවා තිබිණ.

සරසවිය ආරම්භයේ සිනමා කලාවට වෙන්වූයේ පිටු තුනක් පමණකි. බුදු දහම පිළිබඳව ද, ළමා ළපටින්ටද, ජ්‍යෝතිෂයටද, වනිතාවන්ට ද එහි පිටු වෙන්ව තිබිණ. කලා ලෝකයේ සිනමාව මෙන්ම සාහිත්‍යයට ද, නාට්‍යයට ද, කවියට ද එහි වැඩි ඉඩක් තිබිණ. මුල් යුගයේ කවිය සම්බන්ධයෙන් එහි වැඩි ඉඩක් ලැබුණේ එහි මුල් කතුවරුන් තිදෙනාම කොළඹ යුගයේ කවීන් ලෙස පතළව සිටි බැවින් විය යුතුය. (මීමන ප්‍රේමතිලක, විමලසිරි පෙරේරා සහ ධර්මදාස බොතේජු කර්තෘන්)

සරසවිය සිනමා උලෙළ 1964 වසරේ ජූලි මස 10 වැනි දින පැවැත්වීම මෙරට සිනමාවේ ඉමහත් ප්‍රබෝධයට හේතු විය. ඒ එම මුල්ම සම්මාන උලෙළේ ගොඩ නැංවූ තරු අලංකාරය නිසාම නොවේ. මෙරට සිනමාවේ සම්මාන සඳහා මුල්වරට අන්තර්ජාතික ප්‍රමිතියක් එමඟින් හඳුන්වා දෙන ලද බැවින්ය. මේ ප්‍රමිතිය කෙතරම්දැයි වටහා ගැනුණේ සරසවිය සම්මාන උලෙළ පවත්වා හය මසකට පසුවය. එනම් සරසවිය මුල්ම සම්මාන උලෙළේ හොඳම චිත්‍රපටය වූ 'ගම්පෙරළිය' 1965 ජනවාරි මස 21 වැනි දින නවදිල්ලියේ පැවැති ඉන්දියානු අන්තර්ජාතික සිනමා උලෙළේ දී ලොව හොඳම චිත්‍රපටය ලෙස සම්මානය දිනා ගැන්මත් සමඟය.

ගම්පෙරළිය එදා මෙදා තුර මෙරට බිහිවූ විශිෂ්ටතම සිනමා කෘතියක් ලෙස අවිවාදාත්මකව පිළිගැන්ම ම සරසවිය සම්මානයේ ප්‍රමිතිය පිළිබඳ ලද විශිෂ්ට සහතිකයකි.

පවුලේ සියල්ලට එක සේ රස විදිය හැකි පුවත්පතක් ලෙස බිහි වූ සරසවිය, සිනමා පුවත්පතක් ලෙස නම් ලබන්නට ගත්තේ සිනමා සම්මාන උලෙළ සමඟ වුවත් ඒ වන විට සරසවිය සිය අනන්‍යතාව කලා ලෝකය ඔස්සේ ගොඩ නඟමින් උන්නේය. ඒ සරසවිය තුළ තිබූ ආගමික පිටු මඟින් බුදුසරණ පුවත්පතට ද, ළමා ළපටින්ගේ පිටු මිහිර පුවත්පතට ද, කාන්තාවන්ගේ පිටු මඟින් තරුණී පුවත්පතට ද, ඡ්‍යොතිෂ පුවත් සුබසෙත නමින් ද නව පුවත්පත් සමූහයකට දොර විවරවීමත් සමඟය. සිනමාව, සාහිත්‍යය, සංගීතය ආදි වූ සියලු කලාවන් සපිරි පුවත්පතක් ලෙස සරසවිය සිය අනන්‍යතාව ගොඩ නඟන්නේ එයින් පසුවය. පී.කේ.ඩී. සෙනෙවිරත්නයන් විසින් තබන ලද 'සරසවිය' නාමය බඹරැන්දේ සිරි සීවලි හිමිපාණන් විසින් එක හෙළා අනුමත කරන ලද්දකි. සරසවිය කිසිදු භේදයකින් තොරව ගෞරවනීය පුවත්පතක් ලෙස මෙරට කලාකරුවන් හා පාඨකයන් විසින් බාරගත් වගට දිය හැකි හොඳම සහතිකය නම් එවකට ලේක් හවුස් ආයතනය හා තරග වැදි ටයිම්ස් ආයතනයේ සේවයේ නියුතු ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් සදාකල් පවතින සරස්වතී අභිනන්දන ගීතය සරසවිය වෙනුවෙන් රචනා කර දීමය. අද මෙරට සියලු කලා උත්සවයන්හි ආරම්භයේ වැයෙන පණ්ඩිත් අමරදේවයන් ගයන 'ජගන් මෝහිණී මධුර භාෂිණී' ගීය මේ සර්වකාලින ගේයපද රචනයයි. සරසවිය යනු ජාතික සම්පතක් විනා එය තරගකාරි පුවත්පත් ආයතනයක ප්‍රකාශනයක් ලෙස සලකා කටයුතු කළේ නම්, කිසිකලෙක එබඳු ගීතයක් සරසවිය වෙනුවෙන් ඔහු අතින් ලියැවෙන්නේ නැත. එපමණක් නොව අද පවා සරසවිය සම්මාන උලෙළ යනු සෙසු මාධ්‍ය ආයතන පවා ජාතික උත්සවයක් සේ සලකා කටයුතු කරනු ලබන්නකි. ඒ සරසවිය යනු මෙරට කලා ලෝකයේ ජාතික මෙහෙවරක යෙදෙන පුවත්පතක් ලෙස ගෞරවය දිනා ගත් බැවින්ය.

ගත වුණ කාලය ඇතුළත සිනමාව පමුඛ කොට ගත් විවිධ කලා ප්‍රකාශන මෙට ඇතිවිණ. වැජඹිණ. නැතිවිණ. එහෙත් සරසවිය දිගටම පැවතිණ. එයට හේතුවක් වනුයේ එය ලේක් හවුස් මවු සෙවණේ වැඩීම යැයි පැවසීම ඇත්තය. එමෙන්ම එය කාලීනව වෙනස්වීම ද ඒ හා සමානව ඇත්තය. මේ වෙනස්වීම සරසවිය නිරන්තරයෙන් දැන සිටින්නේය. මේ වන විට නාට්‍ය කලාව හැර සෙසු සියලු කලාවන් තිබෙන්නේ ඕනෑම තැනක සිට ග්‍රාහකයාට, නැතහොත් පාඨකයාට එක්විය හැකි ආකාරයටය. පුවත්පත් කලාව පවා අද බොහෝ විට 'මොබයිල් ෆෝන් එකකින්' කියැවිය හැකි මට්ටමට පත්ව ඇති බව නොරහසකි. ලොව පුරා බොහෝ සිනමා සඟරා කියවනු ලබනුයේ ද එමඟින්ය. වර්තමානය යනු එයයි.

සිනමා කර්මාන්තය මෙරට සිනමාහලෙන් වෙන්ව ගෙවල් දොරවල් හරහා වඩා විශාල ප්‍රේක්ෂක සමූහයක් දිනා ගත් ආකාරය පසුගිය වකවානුවේ අපි පැහැදිලි කර දුන්නෙමු. වර්තමානයේ ලොව පුරා පුවත්පත් වැනි මාධ්‍ය පවා මේ අලුත් ලෝකය සමඟ ඉදිරියට යන්නේ යාවත්කාලින වෙමින්ය. සරසවිය සිය අනන්‍යතාව නොබිඳ එහි ඉදිරි ගමන සකසා ඇත්තේය. පසුගිය කොවිඩ් වසංගතයෙන් රටම වසා දැමූ මුල් අවස්ථාවේ සරසවිය ඊ ප්‍රකාශනයක් ලෙස දොරට වැඩියේය. එයට පෙර වෙබ් අඩිවියෙන් මෙන්ම සමාජ ජාලා ඔස්සේ ද සරසවිය නවමු ලෝකය සමඟ මුසු වෙමින් පැවතිණ. අද සරසවිය පැරැණි 'චණ්ඩියා' චිත්‍රපටයේ ගීතයක පදමාලාව කියවන්නට පමණක් දීමෙන් නොනැවතී එය අසන්නට ද ඉඩ දෙන්නේ එබැවින්ය.

මේ 59 වසරට සියවසක් මිනිසුන්ගේ අත්දැකීම් සරසවිය ලබා ඇත්තේය. මේ කාලය ඇතුළත ලෝකය බරපතළ අයුරින් වෙනස් වූයේය. හැටේ දශකයේ සරසවිය උපදින සමයේ මෙරට හා ලෝකයේ මිනිසුන් සිතූ පැතූ ආකාරය මේ වන විට සහමුලින්ම වෙනස් ව ගොස්ය. එසේ වෙනස් වීම ස්වාභාවික දෙයකි. එකල මිනිසුන් කිසිකලෙක සිහිනෙන් හෝ නො පැතූ බොහෝ දෑ මේ වනවිට සිදුවෙමින් පවතී. ලොරි බාගයක පමණ පටවාගෙන ආ යුතු චිත්‍රපටයක් ගෙදරකට කඩා වැදී සිනමා ශාලාවක නොවිඳී රසාස්වාදයක් ලබා දෙනු ඇතැයි එකල කිසිවකු හෝ සිහිනෙන් වත් සිතන්නට නැත. එහෙත් එම සිහින සියල්ල සැබෑවට සිදුවෙමින් පවතී. කලා මාධ්‍යයන්ගේ විචාර විධි ක්‍රම සියල්ලම එදාට වඩා වෙනස්ය. මේ සියල්ල අතර අතීතය ද වර්තමානය ද සමඟ අනාගතයට පිවිසිමට සරසවිය සමත්ය. මේ වසර පනස් නවය පුරා සරසවිය සමඟ ආදරයෙන් බැඳුණු පාඨකයන් මෙන්ම එය ගෙන එන්නට සිය නැණ නුවණ මෙහෙය වූ මිනිසුන් බොහොමයකි. එහි කතුවරුන් ලෙස කටයුතු කළ මීමන ප්‍රේමතිලක, විමලසිරි පෙරේරා, ධර්මදාස බොතේජු, ග්‍රැන්විල් සිල්වා, ඒ.ඩී.රංජිත් කුමාර, තිලකරත්න කුරුවිට බණ්ඩාර, සුසිල් ගුණරත්න, අනුර බණ්ඩාර රාජගුරු, දීප්ති ෆොන්සේකා, සුනිල් මිහිඳුකුල, ගාමිණී සමරසිංහ යන මහත්ම මහත්මීන් එහි මහ පුටුව හොබවමින් එයට පණ පෙවූහ. ඔවුන්ගේ නායකත්වය යටතේ විවිධ කාලයන්හි සරසවිය හැඩ කළ ලේඛකයන් ද එමටය. මුල්ම සරසවිය කවරය හැඩ කරන ලද්දේ ජී.එල්. ගෞතමදාසයන්ගේ සිත්තමකින්ය. අදටත් දිදුලන සරසවිය අකුරු සැලසුම තලංගම ජයසිංහගෙනි. මෙතුවක් සරසවිය ගෙන ආ මේ නම් කියූ නොකියූ සියලු ලේඛක, පාඨක භවතුන්ටත් එයට ජීවය දුන් සියලුදෙනාටත් පින් සිදුවේවා!