රෝස කැකුළට අවුරුදු අසූවයි

වේල්ස්ට අවුරුදු 106 යි
මැයි 6, 2021

 

එය මහා මන්දිරයකි. ස්ථානය ඇමෙරිකාවේ ‌ෆ්ලෝරිඩා ප්‍රාන්තයයි. මේ මහා මන්දිරය සතු දැවැන්ත උද්‍යානයකි. එහි නැති දෙයක් නැත. මේ දැවැන්ත මන්දිරයේ කවුළුවකින් එබී බලන කල මරණ මංචකයේ වැදී සිටින මිනිසෙකි. පුවත්පත් ලෝකයේ දැවැන්තම ව්‍යපාරිකයා වූ චාල්ස් ෆොස්ටර් කේන් සිය නිදි යහන මත අවසන් හුස්ම හෙළන්නට සූදානම්ය. තමා අවට තිබුණු සියලු ධනස්කන්ධය හැරදා යා යුතු මොහොත පැමිණ ඇත. මේ සා ධනස්කන්ධයකට කීර්තියකට හිමිකම් කීවකු සිය ජීවිතයේ අවසන් මොහොතේ කුමක් තෙපලනු ඇති ද? මරණාසන්න මොහොතේ සිතුවිලි මීළඟ භවය සඳහා බෙහෙවින් බලපාන්නේ යැයි බෞද්ධයන් වූ අපි විශ්වාස කරමු. එබැවින් පින් සිතුවිලි පහළ කර ගන්නට අපි ප්‍රාර්ථනා කරමු. එහෙත් චාල්ස් ෆොස්ටර් කේන් සිය අවසන් මොහොතේ සිහිපත් කරනුයේ කුමක්ද? රෝස කැකුළක් ගැනය.

"Rose bud, Rose bud"

රෝස කැකුළ ගැන කියත්ම ඔහුගේ අවසන් හුස්ම පොද ගිලිහිණ. මේ වන විට චිත්‍රපටය අරඹා ගතවූයේ මිනිත්තු දෙකකුත් තත්පර තිස් දෙකකි. කාමරයට ඇතුළුවන හෙදිය කේන්ගේ දිග හැරුණු සුරත ඔහුගේ පපුව මත තබයි.

ඒ සමග අතීත දිග හැරුමක එන විවිධ රූපාවලියකි.

පුවත්පත් යන්ත්‍රාලයක කැරකෙන මුදුණ යන්ත්‍රයෙන් නිකුත් වන පුවත්පත් අතර කේන්ගේ මරණය ගැන දැන්වීම පළ වෙයි. එහෙත් එහි ප්‍රධානියා වූ රෝල්ස්ටන්ගේ සිත නොසතුටිනි. ඒ, මේ ප්‍රවෘත්තිය පිළිබඳවය. රොල්ස්ටන් සිය වාර්තාකරුවකු වූ ජෙරී තොම්ප්සන් එතැනට කැඳවන්නේ මේ මහා මිනිසාගේ අවසන් මොහොතේ පිටවන වදනට ප්‍රවෘත්තිමය වටිනාකමක් එක් කරන්නටය. රොල්ස්ටන් ජෙරී තොම්ප්සන්ට පවසන අන්දමට එය සමහරවිට පුංචි කාරණයක් විය හැකියි, එහෙත් ඒ ගැන සොයා බැලිය යුතුයි.

කේන්ගේ අවසන් මොහොතේ මුවගින් පිට වන රෝස කැකුළ පිළිබඳ සොයා ජෙරී තොම්ප්සන්, කේන්ගේ ජීවිතයට බලපෑම් කරන ලද පුද්ගලයන් පස්දෙනෙකු හමුවෙයි. එයින් පළමුවැන්නා කේන්ගේ බාරකරුවකු මෙන්ම බැංකු හිමිකරු වූ වොල්ටර් තැචර්ය.

මැයි මස පළමුවැනි දිනය ලොව පුරා සමරනුයේ කම්කරු දිනය හැටියටය. එය 1890 වසරේ චිකාගෝ නගරයේ සිදු වූ කම්කරු ලේ වැගිරීමක ප්‍රතිඵලයකි. පසුගිය මැයි දිනය වනතුරුම ලොව පුරා බොහෝ රටවල කම්කරුවන් ඇතිව හෝ නැතිව මැයි දිනය මහ ඉහළින් සැමරීම සිරිතක් කොට ගෙන තිබිණ. කොවිඩ් වසංගතය එය වෙනස් කර මැයි දිනය නිවසට වී සමරන්නට ඉඩ සලසා දුන්නේය. ලොව මුල්ම මැයි දිනයට පාදක වූ දිනයේ සිට හරියටම අවුරුදු පනස් එකක් ගෙවුණු තැන එනම් 1941 වසරේ මැයි මස පළමුවැනි දින ලෝක සිනමා ඉතිහාසයේ විශිෂ්ටතම කෘතියක් තිරයට අවේය. ඒ 'සිටිසන් කේන්' ය. නැතහොත් චාල්ස් ෆොස්ටර් කේන්ගේ ජීවන වෘත්තාන්තයයි.

රෝස කැකුළ සොයා යන පුවත්පත් කලාවේදියා හරහා ජීවිතය යනු මේ යැයි කියා දෙන අත්දැකීමක් පසක් කරලනුයේ මේ මහා සිනමා වෘත්තාන්තයයි. එයට පසුගිය මැයි මස පළමු වැනිදින හරියටම අවුරුදු අසූව පිරුණි. එහෙත් රෝස කැකුළ තවමත් අලුත්ය. බ්‍රිතාන්‍ය සිනමා ආයතනය මඟින් දස වසරකට වරක් ලොව පුරා සිනමා විචාරකයන්ගේ ඡන්දයෙන් තෝරා ගනු ලබන සර්වකාලීන හොඳම චිත්‍රපට ගොන්නෙහි මුල් දහය ඇතුළත තවමත් සිටිසන් කේන් රැඳී සිටින්නේය. (පළමු ස්ථානය ඇල්ෆ්‍රඩ් හිච්කොක්ගේ  Vertigo (1938) ට හිමි ව තිබේ. මීළඟ දශකය සඳහා බ්‍රිතාන්‍ය චිත්‍රපට ආයතනය මඟින් හොඳම චිත්‍රපට තෝරාගැන්ම මේ වසරේදී සිදුකිරිමට නියමිතය. )

තැචර්ගේ මතකයට අනුව මිලියනපතිනියක් වන කේන්ගේ මාතාව සිය පුතු වෙනුවෙන් උපයන ලද මහා ධන සම්භාරය බැංකුව සතු කොට තැචර්ගේ භාරකාරත්වයට යොමු කරනුයේ ඔහුගේ අට වැනි ජන්ම දිනයේ ය. බූදලයේ භාරකාරීත්වය තැචර් වෙතින් ඉවත් කොට කේන් වෙත පිරිනැමෙනුයේ ඔහුගේ විසි පස් වැනි ජන්ම දිනයේය. ඔහු ජීවිතය තමාගේම කියා අරඹන්නේ එයින් පසුවය. ඒ වන විට වැහෙන්නට ඔන්න මෙන්න තිබූ පුවත්පත් සමාගමක්  (Inquirer)  මිළ දී ගන්නා ඔහු විසින් එය දැවැන්ත පුවතපතක් බවට පරිවර්තනය කරනු ලබයි.

අනතුරුව කේන්ගේ ජීවිතය හෙළි කරනුයේ ඔහුගේ සාමාන්‍යාධිකාරිවරයාව සිටි බර්නස්ටයින් ය. මේ දැවැන්ත පුවත්පත් ව්‍යාපාරය ගොඩ නඟන කේන්ගේ කැපවීම දැනගන්නේ ඔහුගෙන්ය. පුවත්පතේ නාට්‍ය විචාරකයා මෙන්ම කේන්ගේ ගජ මිතුරකුව සිටි ජෙඩ් ලේලන්ඩ්, තොම්ප්සන් හමුවේ දිග හරිනුයේ කේන්ගේ ඊළඟ පුවතය. ධනවතකු වන ඔහු සිය ගමනේ බලය සොයා යාම අරඹනුයේ ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ ලේලියක වන මොන්රෝ නෝටන් සමඟ විවාහයෙනි. ඔහුට සුසාන් ඇලෙක්සැන්ඩර් නම් පියානෝ වාදිකාව මුණ ගැසෙන්නේ මේ අතරතුරය. පුවත්පත් ලෝකයේ බලය සමඟ නිව්යෝක් නගරයේ මහ පුටුවට තරග වැදීම කේන්ගේ අභිලාෂයයි. ඔහුගේ ප්‍රතිවාදියා ජිම් ගෙටී ගේ එක් තුරුම්පුවක් වනුයේ මේ පුවත හෙළි කිරිමය. කේන්ගේ විවාහය බිඳ වැටෙනුයේ ඒ සමඟය. කේන්ගේ පුතු හා භාර්යාව රිය අනතුරකට මුහුණ පෑම දකිනුයේ මේ හෙළිදරව්වේය.

දුර්වල ගායිකාවක නමුදු සුසාන් ගොඩ නැංවීම කේන්ගේ අභිලාෂයයි. මේ සිය මිතුරු කලා විචාරක ලේලන්ඩ් සමඟ ජීවිතයේ හෙළිදරවු කරන පැතිකඩයි. පුවත්පත් කලාවේදී තොම්ප්සන්ගේ මීළඟ හමුව සුසාන් සමඟය. ඇය ඒ වන විට ඇට්ලන්ටිකාවේ රාත්‍රී සමාජ ශාලාවක් පවත්වාගෙන යන්නීය. ඔහු විසින් ගොඩ නඟන ලද මහා මන්දිරයේ ඔවුන්ට ගැළපෙන ලෝකයක් තනන්නට ඔවුහු අසමත් වෙති. අපූරු මාලිගාවක ධනය ද බලය ද සමග තනි වන මිනිසකුගේ ඛේදාන්තය සමාප්ත වනුයේ එතැනය. මේ කිසිවකු හෝ කේන්ගේ අවසන් වදන කවරක්දැයි හඳුනා ගන්නට අසමත්ය. එය ළමා වියේ ජීවිතය ගෙවූ කුඩා කෙළි බඩුවක සදහන් වූ නාමයක් පමණකි. එය අප දකිනුයේ මහා මන්දිරයේ නොවැදගත් දෑ අතර පිලිස්සෙන නාමයක් හැටියටය.

ජීවිතයේ සියල්ල දිනන්නන්ගේ පමණක් නොව බොහෝ දෙනාගේ ස්වභාවය නම් අහිමි දේට ප්‍රේම කිරිමය. අප බොහෝ දෙනා ලෞකික වශයෙන් දිනා සිටින බොහෝ දේ දකින පිටස්තරයන් එහි අභ්‍යන්තරයේ ජීවත් වන මිනිසුන්ගේ අඳුරු සිත් කියැවීමට දන්නේ නම් ඔවුන් හඬන කදුළුවලින් මහා සයුරක් වුව පරදනු ඇතැයි අමුතුවෙන් කිවයුතු නැත. කේන්ගේ සමීපතමයන් පස් දෙනාම කේන් කියවනුයේ පස් ආකාරයකටය. මේ කැබැලි එක් කොට මහා රුවක් ගොඩ නඟන්නට සිටිසන් කේන් තැනූ මහා සිනමාකරුවා ඕසන් වේල්ස් අපට කියා දෙයි.

සිටිසන් කේන් තිරගත වනුයේ වේල්ස්ට අවුරුදු විසි හය සපිරෙන්නට දවස් හයක් තිබිය දීය. ජොර්ජ් ඕසන් වේල්ස් නමින් ඇමෙරිකාවේ විල්කොන්ස්හි ඔහු උපත ලබනුයේ 1915 වසරේ මැයි මස 6 වැනි දාය. අදට වේල්ස් ඉපිද හරියටම අවුරුදු 106 කි. එදාත් අද මෙන්ම බ්‍රහස්පතින්දාවකි. ඕසන් වේල්ස් මේ මහා සිනමා කෘතිය අධ්‍යක්ෂණය කළා පමණක් නොව එහි කේන්ගේ චරිතය ද රඟපෑවේය. පුදුමය නම් ඒ වන විට ඔහු කිසිදු චිත්‍රපටයකට දායක වී නොතිබිමයි. එහෙත් එම කාලය ඇතුළත තමා වැඩකාරයකු බව වේල්ස් විසින් කිහිප වාරයක්ම පෙන්වා දෙනු ලැබිණ. චිත්‍රපටය නිර්මාණය කරන්නට පෙරාතුව ඔහු විසින් ගුවන් විදුලිය සඳහා එච්.ජී.වේල්ස්ගේ සුප්‍රකට විද්‍යා ප්‍රබන්ධයක් වූ 'ද වෝ ඔෆ් ද වර්ල්ඩ්ස්' ඇසුරෙන් නාටකයක් නිර්මාණය කළේය. දෙවැනි ලෝක මහා සංග්‍රාමයට ඇමෙරිකාව එළැඹෙතැයි අපේක්ෂා කරන මොහොතක වේල්ස් විසින් නිර්මාණය කරන ලද මේ ගුවන් විදුලි නාටකය ලෝක ගුවන් විදුලි නාට්‍ය ඉතිහාසයේම සිහිවනයක් සේ සැලකේ. ඒ මෙම වැඩ සටහන ශ්‍රවණය කළ ශ්‍රාවකයෝ එයින් අන්ද මන්දව බිය පත්ව පලා යෑම පසුවදා එරට පුවත්පත්වලට හොඳ මාතෘකාවක් විම නිසාය. සමහරු එලෙස දුව ගොස් අත පය කඩා ගත්හ. වේල්ස්ට සිය සිනමා කෘතිය නිර්මාණය කිරිම සඳහා කලින් තිබුණු දැවැන්තම සුදුසුකම වූයේ මේ ගුවන් විදුලි නාටකයයි.

කෙසේ වෙතත් වේල්ස් සිටිසන් කේන් චිත්‍රපටය සඳහා පාදක කර ගත්තේ ඒ වනවිට ඇමෙරිකාවේ පුවත්පත් අධිරාජයා ලෙස නම් දරා සිටි විලියම් රැන්ඩොල්ෆ් හර්ස්ට්ගේ චරිතය බව සුප්‍රකට රහසකි. චිත්‍රපටය දුටු හර්ස්ට් එය නිෂ්පාදනය කළ ආර්.කේ.ඕ රේඩ්යෝ පික්චර්ස් සමාගමෙන් ඉල්ලන ගාණක් ගෙවා චිත්‍රපටය ගිනි තබා විනාශ කරන්නට සැරසුණත් එය විකුණා දමන්නට සමාගමේ පාලනාධිකාරිය කැමැති වූයේ නැත. අනතුරුව චිත්‍රපටයට විරුද්ධව හර්ස්ට් අධිකරණයේ පිහිට පැතූව ද එයින් පලක් නොවිණ. කෙසේ වෙතත් සිටිසන් කේන් චිත්‍රපටයට පමණක් නොව එයින් පසුව ඔහු විසින් තනන ලද කිසිදු චිත්‍රපටයකට මෙන්ම ආර්.කේ.ඕ. රේඩියෝ පික්චර්ස් සමාගමේ කිසිදු චිත්‍රපටයකට අබමල් රේණුවක ප්‍රචාරයක් ලබා නොදෙන්නට හර්ස්ට් වගබලා ගත්තේය. සිටිසන් කේන් එය නිපද වූ වර්ෂයේ දී දැඩිව විචාරක ප්‍රතිචාර ලද චිත්‍රපටයක් නොවේ. එවර ඇකඩමි සම්මාන උලෙළේ එය දිනා ගත්තේ හොඳම තිරනාටකයට හිමි සම්මානය පමණකි. එය වේල්ස් හා සම තිර නාටක රචකයා වූ හර්මන් ජේ. මැන්කෙවික්ස් අතර බෙදී ගියේය. එහෙත් අග්‍රගණ්‍ය කලා කෘතියක් යනු සම්මානයක් මිනුම් දණ්ඩක් කොට මැනිය හැක්කක් නොවන බව පසක් කරමින් සිටිසන් කේන් ඉස්මතු වූයේය. එය නරඹන හැම විටම අලුත් අත්දැකීමක් පමණක් නොව අලුත් අර්ථකථනයක් ගෙන එන්නට ද සමත් විය.

සැබැවින්ම මිනිස් ජීවිතයේ ඇති අඳුරු අහුමුලු හෙමින් ස්පර්ශ කරන විට ඔවුන්ගේ සැබෑ ජීවිතය හදුනා ගත් විට ඒ තරම් සුන්දර දෙයක් මුණ නොගැසෙනු ඇත. එහෙත් පුදුමය නම් අප කිසිවෙකුට හෝ අනිකා තබා අපවත් හඳුනා ගන්නට නොහැකි වීමය. වේල්ස් පසුකලෙක වෘත්තාන්ත චිත්‍රපට 14 ක් අධ්‍යක්ෂණය කළේය. ඔහු මිය ගියේ 1985 වසරේ ඔක්තෝබර් මස 10 වැනි දිනයේය. ඔහුගේ අවසාන අධ්‍යක්ෂණයන් අතර වූ Don Quixote තිර ගත වූයේ 1992 වසෙර්ය. The Other side of the wind  තිර ගත වූයේ 2018 වසෙර්ය. එනම් ඔහුගේ මරණයෙන් වසර විසිතුනකට පසුවය. ඒ වන විට චිත්‍රපටය අවුරුදු හතළිහක් පැරැණිය.

ලොව අන් කිසිදු සිනමා කෘතියක් සිටිසන් කේන් හා සම කළ නොහැකි සේම වේල්ස්ගේ දැවැන්ත හා මහා සිනමා කෘතිය සිටිසන් කේන් විය. ඔහු එය නිර්මාණය කරනුයේ ඉතා ළා බාල තරුණයෙකු හැටියටය. හොලිවුඩ් සිනමාවේ සිනමාකරු අබිබවා නිෂ්පාදක නැඟී සිටීම සාමාන්‍ය කරුණක් වුවත් සිටිසන් කේන් තරුණයකුගේ අප්‍රමාණ කුසලතාව පළ කළ චිත්‍රපටයක් විය. එපමණක් නොව ඇත්තටම ජීවිතය යනු කවරෙක්දැයි අපට සිතනන්ට බල කරන වර්ගයේ චිත්‍රපටයක් විය. සිටිසන් කේන් අවුරුදු අසූවක් ගතවුවත් තවමත් තරුණයැයි හැඟෙනුයේ එබැවින්ය.

සිටිසන් කේන් සහ ඕසන් වේල්ස් ගැන ඉදිරියටත් ලියන්නට සිතා සිටිමි.