සිටිසන් කේන් සැඟවුණු කතාව

මැයි 13, 2021

පසුගිය සතියේ මේ පිටුව වෙන් කරන ලද්දේ ලොව විශිෂ්ටතම සිනමා කෘතියක් ලෙස සැලකෙන 'සිටිසන් කේන්' චිත්‍රපටය හා එහි සිනමාකරු ඕසන් වේල්ස් ගැන ලියන්නටය. මැයි මස පළමුවැනිදා සිටිසන් කේන් චිත්‍රපටයට අවුරුදු අසූවක් පිරුණු අතර බ්‍රහස්පතින්දා සිනමාවේදී ඕසන් වේල්ස්ගේ 106 වැනි ජන්ම දිනය විය. එදින මට අපූරු චිත්‍රපට තුනක් නැරඹීමේ අවස්ථාව හිමි විය. එයින් එක් චිත්‍රපටයක් වූයේ  The other side of the wind  චිත්‍රපටයයි. දෙවැන්න They will love me when I'm dead  නම් විය. තෙවැන්න Mank  නම්වි ය. 'දි අදර් සයිඩ් ඔෆ් වින්ඩ්' වේල්ස්ගේ අවසන් චිත්‍රපටය විය. දෙවැන්න මෝගන් නෙවිල් විසින් අධ්‍යක්ෂණය කරන ලද වාර්තා චිත්‍රපටයකි. එයට පාදක වූයේ වේල්ස් හා ඔහුගේ අවසන් නිර්මාණයයි. තෙවැන්න මෙවර ඇකඩමි සම්මාන උලෙළේ හොඳම චිත්‍රපටය, හොඳම නළුවා, හොඳම සහාය නිළිය, හොඳම නිෂ්පාදන සැලසුම්කරණය හා හොඳම කැමරාකරණය සඳහා නාම යෝජනා දිනා ගත්තේය. එහිදී හොඳම කැමරාකරණයට හිමි සම්මානය පමණක් එය දිනා ගත්තේය. මෙවර ඇමෙරිකානු සිනමා ආයතනය මඟින් වාර්ෂික චිත්‍රපට තෝරා ගැනීමේදී මාන්ක් හොඳම චිත්‍රපට අතරට තෝරා ගෙන තිබිණ. මාන්ක් චිත්‍රපටයට පාදක වනුයේ වේලස්ගේ සිටිසන් කේන් චිත්‍රපටයෙහි තිර නාටකය රචනා කළ පුවත්පත් කලාවේදියකු , තිරනාටක රචකයකු මෙන්ම පූර්ණ කාලීන බේබද්දෙකු වූ හර්මන් ජේ. මාන්ක්වින්ස් විසින් සිටිසන් කේන් චිත්‍රපටයේ තිර රචනය සකසනු ලැබීම හා එයට පාදක වන ජීවිත අත්දැකීම පිළිබඳවය.

'දි අදර් සයිඩ් ඔෆ් වින්ඩ්' චිත්‍රපටය තිර ගත වූයේ 2018 වසෙර්ය. ඒ වන විට එහි අධ්‍යක්ෂ ඕසන් වේල්ස් මෙලොවින් සමුගෙන අවුරුදු අවුරුදු විසි දෙකක් ගතව අවසන්ය. එහි තිරනාටක රචකයා වූයේ වේල්ස් සමඟ ඔහුගේ ජීවිතයේ අවසාන සහකාරියව සිටි ක්‍රොඒෂියානු නිළි ඕජා කොඩර්ය. කොඩර් මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රගපාන්නීය. චිත්‍රපටය නිපදවනුයේ ඇමෙරිකානු සිනමාවේ ඉහළ පෙළේ නිෂ්පාදකයකු වන ෆ්‍රෑන්ක් මාෂල්ය. ස්පිල්බර්ග්ගේ ඇම්බ්ලින් එන්ටර්ටේන්මන්ට් සමාගමේ හවුල්කරුවකු වන මාෂල් නිපද වූ චිත්‍රපට අතර 'ඉන්ඩියානා ජෝන්ස්' චිත්‍රපට මාලාව මෙන්ම 'ජුරාසික් පාක්' ද ඉහළ තැනක් ගනියි. වේල්ස් මිය යන විට චිත්‍රපටය සම්පූර්ණ කර තිබුණ ද චිත්‍රපටය තිරගත කරවන්නට තවත් අවුරුදු ගණනාවක් බලාසිටින්නට සිදුවීම සිනමාකරුවෙකුගේ ඛේදවාචකය හෙළිදරවු කරන්නකි. වේල්ස්ගේ ඛේදවාචකය සිනමාකරුවන් ලෙස ලොව බොහෝ රටවල සැබෑ සිනමාකරුවන් අත්විඳීන ඛේදවාචකයකි. විසිහය වැනි වියට එළැඹෙද්දී එනම් 1941 වසරේ සිටිසන් කේන් නිර්මාණය කරන වේල්ස් මුළු ජීවිත කාලය පුරා නිර්මාණය කරන්නට වන වෘත්තාන්ත චිත්‍රපට සංඛ්‍යාව 12කි. අතරමඟ අත හැර දමන්නට සිදු වූ නිර්මාණ 17 කි. මේ ඛේදවාචකය ලොව පුරා සැබෑ සිනමාවක් අපේක්ෂා කළ බොහෝ සිනමාකරුවන් අත් විඳී දුක්ඛ දායක අත්දැකීමකි. එය වේල්ස්ට පමණක් නොව ඉන්ග්මාර් බර්ග්මාන්, අකිර කුරොසෝවා, ආන්ද්‍රේ තර්කොව්ස්කි මතු නොව අපේ සිනමාවේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, තිස්ස අබේසේකර, ධර්මසේන පතිරාජ, ධර්මසිරි බණ්ඩාරනායක වැන්නවුන් ද අත් විඳී කටුක යථාර්ථයකි. දි අදර් සයිඩ් ඔෆ් වින්ඩ් චිත්‍රපටය සිනමාකරුවකුගේ 70 වැනි ජන්ම දිනය සමඟ ඔහුගේ වියෝව පාදක කොට ගත්තකි. මෙහි ප්‍රධාන චරිතය රඟනුයේ සුප්‍රකට සිනමාකරු නැසීගිය ජෝන් හූස්ටන්ය. සුප්‍රකට සිනමාකරුවන් වූ පීටර් බොග්දනවිච්, ක්ලෝඩ් චැබ්රොල් ආදි ලෝ ප්‍රසිද්ධ සිනමාකරුවෝ රැසක් මෙහි චරිත මවති. ඕසන් වේල්ස් ගේ බොහෝ ස්වතන්ත්‍ර චිත්‍රපටවලදී පෙනෙන මිනිසුන්ගේ නොපෙනෙන ආත්මය හෙළිදරවු කරන්නට රුචියක් දක්වන බව පැහැදිල වන කරුණකි. එයටත් වඩා ඔහු මේ යටගියාවේ අඳුරු අහුමුලු එක් රැස් කරන්නට තැත් කරනුයේ මිය ගිය මිනිසුන්ගේ ආත්මය සමඟය.( එය මළවුන් නැගිට්ටුවන හොල්මන් කතාන්දර නොවේ)

සිටිසන් කේන් චිත්‍රපටය පිලිබඳ බොහෝ පොත් පත් පළ වුවත් ඒ අතරින් හාලන් ලිබෝ විසින් රචනා කරන ලද සිටිසන් කේන් අ ෆිල්ම් මේකර්ස් ජර්නි ග්‍රන්ථය විශේෂයෙන් සිත් ගන්නා සුලු එකක් වනුයේ එය බොහෝ කරුණු අනාවරණය කරන බැවින්ය.

ගුවන්විදුලි හා වේදිකා නාට්‍ය හරහා ඒ වන විටත් අවධානය දිනා ගෙන සිටි ඕසන් වේල්ස්ගේ නම හොලිවුඩය හමුවේ දිගහැරෙනුයේ නිකම්ම නොවේ. ඔහුට චිත්‍රපටයක් තනන්නට ආරාධනා ලැබෙනුයේ එවකට කෙටි කලක් පමණක් පැවැති එහෙත් වැදගත් හොලිවුඩ් චිත්‍රපට කිහිපයකට නිෂ්පාදන දායකත්වය සැපයූ ආර්.කේ. ඕ පික්චර්ස් ආයතනයයි. 1928 වසරේ ඩේවිඩ් සාර්නොෆ්ගේ ප්‍රධානත්වයෙන් ඇරැඹි ආර්.කේ.ඕ පික්චර්ස් සමාගම 1959 වසරේ වස්තු භංගත්වයට පැමිණ වසා දැමිණ. තරුණ නිර්මාණකරුවකු වන ඕසන් වේල්ස්ට චිත්‍රපටයක් නිපදවන්නට ආරාධනා කළේ මේ ආර්.කේ. ඕ සභාපතිවරයාය. මේ සමයේ වේල්ස් හා නිෂ්පාදක ජෝන් හවුස්මාන් එක්ව මර්කරි නමින් නාට්‍ය නිෂ්පාදන සමාගමක් ආරම්භ කර තිබිණ. අමෙරිකානු ගුවන්විදුලි ශ්‍රාවකයන් භීතියට පත් කළ සුප්‍රකට 'වෝර් ඔෆ් ද වර්ල්ඩ්' නම් ගුවන්විදුලි නාටකය නිර්මාණය කරන ලද්දේ එමඟින්ය. වේල්ස්ට සිටිසන් කේන් චිත්‍රපටයට පෙරාතුව සිනමා කර්මාන්තයේ දැවැන්ත අත්දැකීම් විරල වුවත් ඒ වන විට ඔහු කෙටි චිත්‍රපට දෙකක් හරහා සිය රූපමය ශක්‍යතාව පිළිබඳ අත්හදා බලා තිබිණ. 'ද හාට්ස් ඔෆ් ඒජ්' මෙන්ම 'ටූ මච් ජොන්සන්' යනු මේ චිත්‍රපට යුගලයි. විසිපස්වැනි වියේදී සිටිසන් කේන් වැනි චිත්‍රපටයක් වේල්ස් වැනි තරුණයකු අතින් බිහි වීම අරුමයක් නොවන්නේ ඔහුගේ ළමා වියේ සිටම පළ කළ කුසලතා හේතුවෙන්ය. නාට්‍යකරුවකු ලෙස ඔහු වේදිකාව විස්මිත ස්ථානයක් බවට පත් කළේය. එහෙත් සිටිසන් කේන් චිත්‍රපටය සමඟ ඇති වූ අර්බුදය ඔහුගේ පසුකාලින නිෂ්පාදනයන්ට ද බලපෑ බව 'දේ විල් ලව් මී වෙන් අයෑම් ඩෙඩ්' වාර්තා චිත්‍රපටය හෙළි කර සිටියි. එපමණක් නොව වාණිජමය අරමුණට වඩා විශිෂ්ට නිර්මාණයක පරිසමාප්තිය ගෙන ඒමට සිනමාකරුවකු ලෙස ඔහු දැරූ වෑයම ව්‍යාපාර ලෝකය හමුවේ අර්බුද මතු කළේය. 'ද අදර් සයිඩ් ඔෆ් වින්ඩ්' අවුරුදු හතළිහක් තිස්සේ නිර්මාණය වූවකි. එහි වැඩ අරඹන්නේ 1970 වසෙර්ය. 1979 වසරේදී ඉරාන ආගමික විප්ලවයෙන් පසු ඇති වූ ඉරාන-අමෙරිකානු අරගලය පවා චිත්‍රපටයට බාධා කරන ලද්දේ එය දෙරටෙහි හවුල් නිෂ්පාදනයක් වූ හෙයින්ය.

එක්දහස් නවසිය විසිපහ වන විට හොලිවුඩ් සිනමාව සිනමාකරු අබිබවා නිෂ්පාදක එළියට ආ අවධියයි. චිත්‍රපටය නිර්මාණය කළ යුත්තේ චිත්‍රාගාරයේ පාලනයට යටත්ව එහි නිෂ්පාදකගේ අභිමතය පරිදිය. එමෙන්ම යුරෝපයේ පවා සිටි නිර්මාණශීලි සිනමාකරුවන්ට හොලිවුඩයට ආරාධනා කළ එහි සිනමා බලවත්තු ඔවුන් තම අණසකට යටත් කර ගෙන තමන්ට අවශ්‍ය චිත්‍රපට තනා ගත්හ. ජෝන් ෆෝඩ් වැනි හිතුවක්කාරයෙකු හැර අන් සියල්ලෝම චිත්‍රාගාර ලොක්කන්ගේ අණසකට යටත් වූහ. කුරොසාවා, සත්‍යජිත් රායි, ස්ටීවන් ස්පිල්බර්ග් වැනි ලොව පුරා ප්‍රධාන පෙළේ සිනමාකරුවන් පවා තමන්ට වැඩිම බලපෑමක් කළ සිනමාකරු ලෙස හඳුන්වා දෙනුයේ ඇමෙරිකානු මහා සිනමාකරු ජෝන් ෆෝඩ්ගේ සිනමාව බව නොපැකිලවම කියන කරුණකි. වේල්ස් එයින් මිදුනෙකු නොවේ. සිය මුල්ම සිනමා කෘතිය නිර්මාණය කරන්නට ඉඩ ලැබුණු විට ඕසන් වේල්ස් ෆෝඩ්ගේ සිනමා කෘතියක් වූ 'ද ස්ටේජ් කෝච්' චිත්‍රපටයේ පිටපතක් ගෙන නිරන්තරයෙන් එය නැරඹූවේ මහා සිනමාකරුවාගේ විලාසය අතික්‍රමණය කරන්නටය. ඒ අවධියේ අමෙරිකානු චිත්‍රපටකරුවෝ සිය කථාව ආරම්භ කරන්නට එය අමෙරිකානු පරිසරයේ නම් ලිබර්ටි ප්‍රතිමාව පෙන්වන්නට ද ප්‍රංශයේ නම් අයිෆල් කුලුන පෙන්වන්නට ද පුරුදුව සිටියහ. වේල්ස් සිටිසන් කේන් හරහා මෙකී සම්ප්‍රදාය අනිත් පසට හැරෙවුවේය.

ඔවුන් කේන් සමග මුල්වරට ගිවිසුම්ගත වන්නේ සිටිසන් කේන් සදහා නොව ජනප්‍රිය නවකතාවක් වන 'හාර්ට්ස් ඔෆ් ඩාක්නස්' ඇසුරෙන් චිත්‍රපටයක් කරන්නටය. චාල්ස් මාලේව් විසින් එයට පෙර සියවසේ අප්‍රිකාවේ කොංගෝ නදිය හරහා කළ ත්‍රාසජනක සවාරියක් පාදක කර ගෙන ලියැවුණු මෙම ග්‍රන්ථය රචනා කරන ලද්දේ ජෝශප් කොන්රඩ් විසින්ය. මේ සඳහා ඩොලර් ලක්ෂ පහක අත්තිකාරමක් ද වේල්ස් වෙත පිරිනැමිණ.

 

තවත් කොටසක් ලබන සතියට