තිර නාටක රචක හා අධ්‍යක්ෂක අතර අරගලයක්

-සිටිසන් කේන් පිළිබඳ කතන්දර
මැයි 20, 2021

 

හාර්ට් ඔෆ් ඩාක්නස් සඳහා ආර්.කේ.ඕ සමාගමත් වේල්ස්ගේ මර්කරි නිෂ්පාදන සමාගමත් ගිවිසුම් ගත වුව ද 1939 වසරේ නාසි ජර්මනිය විසින් පෝලන්තය ආක්‍රමණය කිරීමත් සමග මේ දැවැන්ත චිත්‍රපටයේ වැඩ කටයුතු නතර කරදමන්නට ආර්.කේ.ඕ සමාගමට සිදුවිය. මේ සිදුවීම සමඟ යුරෝපය ජර්මනිය සමඟ මහා සංග්‍රාමයකට පිවිසුන ද අමෙරිකාව එයට සම්බන්ධ වූයේ නැත . දෙවැනි ලෝක මහා සංග්‍රාමයට අමෙරිකාව සම්බන්ධ වූයේ තවත් දෙවසරකට පසු ජපානය විසින් පර්ල් වරායට බෝම්බ හෙලනු ලැබීමත් සමඟය. එහෙත් අමෙරිකානු සිනමා වෙළෙදපොල ජර්මනියේ පොල්න්ත ආක්‍රමණයත් සමග තැති ගත්තේය .අනිත් අතට හොලිවුඩ් දැවැන්ත නිෂ්පාදකවරු බොහෝ දෙනා එයින් දශක කිහිපයකට මත්තෙන් සරණාගතයන් ලෙස යුරෝපයෙන් පැමිණි යුදෙව්වෝ වූහ. බහුතරය පෝලන්තයෙන්ය. එබැවින් ඔවුහු පෙර සූදානම් වූහ. ආර්.කේ.ඕ සමාගමේ ප්‍රධානතම වෙළෙඳපොළ තිබුණේ බ්‍රිතාන්‍යයේ හා ප්‍රංශයේය. යුරෝපය යුද්ධයට සැරසීමත් සමග බ්‍රිතාන්‍ය පෙර සූදානමක් ලෙස සවස හයෙන් පසු ඇදිරි නීතිය පැනවීමත් සමඟ එරට සිනමා ශාලාවල ආදායම බිඳ වැටිණ. ප්‍රංශය සහමුලින්ම සිනමා ශාලා වසා දැම්මේය. . එයටත් වඩා රට තුළ මුදල් තත්ව තහවුරු කර ගත යුතු හෙයින් එරට දී ලබන ආදායම් විදේශයන්ට ගෙන යාම අත්හිටුවාලූයේය. එමෙන්ම අමෙරිකාව ද ස්වකීය වැසියන් සඳහා සංචරණ සීමාවන් පැණවූයේය. මේ වනවිට යුරෝපයේ සිනමා ප්‍රේක්ෂක සංඛ්‍යාව මිලියන 80 කි . මේ වෙළෙඳපොල අහිමිවීමත් සමඟ තම දැවැන්ත චිත්‍රපට ගැන නැවත සිතන්නට සමාගම් වලට සිදුවිය. ඒ සමඟ හාර්ට්ස් ඔ‌ෆ් ඩාක්නස් ව්‍යාපෘතිය අත්හැර දැමිණ. (පසුකලෙක සුප්‍රකට සිනමාකරු ෆ්‍රැන්සිස් ෆෝඩ් කොපලා වීසින් තැනූ අපකලිප්සේ නව් චිත්‍රපටය සඳහා මූලික වශයෙන් පාදක කර ගත්තේ ද මෙම හාර්ට්ස් ඔෆ් ඩාක්නස් නවකතාවයි. එහිදී අප්‍රිකාව පසුබිම් කළ කතාව වියට්නාමයේ සිදුවීමකට අනුවර්තනය කරන ලදී. සුප්‍රකට සිනමාකරුවකු වන නිකලස් රෝග් විසින් මෙම කෘතිය පාදක කර ගෙන ටෙලිවිෂන චිත්‍රපටයක් ද පසුකලෙක නිර්මාණය කරන ලදී)

වේල්ස් මෙන්ම මර්කරි සමාගමේ නිෂ්පාදක ජෝන් හවුස්මාන් ගේ ද සමඟ සැලසුම් කරන ලද ආර්.කේ ඕ. සමාගමේ ඊළඟ ඉලක්කය වූයේ නිකොලස් බ්ලේක් විසින් රචනා කරන ලද ද ස්මයිලර් විත් ද නයි‌ෆ් නම් නවකතාවයි. (බ්‍රිතාන්‍ය ලේඛකයකු වූ නිකොලස් බ්ලේක් ගේ සැබෑ නම සිසිල් ඩේ ලෙවිස්ය. ඔහු සම්මානනීය නළු ඩැනියෙල් ඩේ ලෙවිස්ගේ පියාණන්ය.) බ්‍රිතන්‍ය රහස් පරීක්ෂකයකු වටා ගෙතුණ මෙම කතාව නිෂ්පාදනයේ පහසුව සඳහා එහි පසුබිම එංගලන්තයේ සිට අමෙරිකාවට ගැලපෙන පරිදි වෙනස් කළ අතර එහි ප්‍රධාන චරිතය සදහා එවකට සුපිරි තාරකාවක් වූ කැරොල් ලොම්බාඩ් ද තෝරා ගන්නා ලදී. මෙහිදි වේල්ස්ගේ තෝරා ගැන්ම වූයේ ආර්.කේ.ඒ සමාගම සමඟ ගිවිසුම් ගත ව සිටි අලුත් නිළියක වන ලුසිල් බෝල්ය. එහත් සමාගම තරුණ අධ්‍යක්ෂවරයෙකු ගේ මුල්ම චිත්‍රපටයට නමක් නැති නිළියක යොදා අත්හදා බලන්නට එතරම් කැමැති වූයේ නැත. කෙසේ හෝ මෙම ව්‍යාප්තිය ද අත්හැර දැමිණ. එයින් පසු වේල්ස් ගේ අවධානයට යොමුවූයේ තවත් ජනප්‍රිය නවකතාවක් වන එඩ්වඩ් ලුඩ්වින්ග්ගේ ස්විස් ෆැමිලි රොබින්සන් ය. මේ ව්‍යාපෘතිය ද අතරමග නතරවින. වේල්ස්ගේ නම ඉහළට ම එස වූ ද වෝර් ඔ‌ෆ් ද වර්ල්ඩ්ස් ගුවන් විදුලි නාටකයට පාදක වූ එච්.ජී.වේල්ස්ගේ තවත් ප්‍රබන්ධයක් වූ ඉන්වේෂන්ස් ඔෆ් මාර්ස් ද මෙලෙස වේල්ස්ගේ අවධානයට යාමු වූ තවත් කෘතියකි. කෙසේ වෙත් මේ සියල්ල නොකෙරුණු චිත්‍රපට විය.

පසුගිය සතියේ සඳහන් කළ මාන්ක් චිත්‍රපටය අපේ අවධානයට යොමු වන්නේ මෙහිදීය . ඕසන් වේල්ස්ඔගේ සිටිසන් කේන් චිත්‍රපටයේ සම තිර නාටක රචකයා වූ හර්මන් ජේ. මාන්කිවික්ස් Herman J.Mankiewicz  (1897-1953) 1941 ඇකඩම් සම්මාන උලෙ‌ළේ හොඳම තිර නාටක රචකයාට හිමි සම්මානය වේල්ස් හා සමව බෙදා ගත්තේය මේ සම්මාන රාත්‍රියට වේල්ස් නොපැමිණි හෙයින් සම්මානය ලබා ගත්තේ මාන්කිවික්ස්ය. මාන්ක් යන සුරතල් නමින් හැදින්වූ ඔහු ලද අත්දැකීම් සිටිසන් කේන් චිත්‍රපටයට පාදක වූ බව පතල කරුණකි. චිත්‍රපටය කීර්තියට පත්වීමත් සමඟ මෙම තිරනාටකයේ සියයට අනූ අටක්ම ඔහු විසින් රචනා කරන ලදැයි හර්මන් කියා සිටියේය. එයට වේල්ස් ගේ පිළිතුර වූයේ " මා කිසි කලෙකත් මාන්ක්වික්ස්ගේ තිර රචනයේ කිසිවක් ලිව්වේ නැහැ. එමෙන්ම ඔහු මගේ තිරනාටකයේ කිසිවක් හෝ ලිව්වේ ද නැත. මේ දෙකම ඒකාබද්ධ කිරීම සහ දෙකෙහිම හොඳම අංගයන්ගෙන් අවසාන තිර රචනයක් කිරීම නිෂ්පාදක-අධ්‍යක්ෂක ලෙස මගේ වගකීම විය' යනුවෙනි. කෙසේ හෝ වේවා හර්මන් හා වේල්ස් යළි කිසිකලෙක එකට වැඩ කළේ ද නැත.

එවකට සුප්‍රකට නිෂ්පාදකයකු වූ ජෝශප් එල්.මාන්ක්විස්කිගේ වැඩිමහල් සොහොයුරා වූ හර්මන් පුවත්පත් කලාවේදියකු ලෙස නිව්යෝකර් හා ද නිව්යෝක් ටයිම්ස් පුවත්පත්වල සේවය කළේය. හොලිවුඩ් සිනමාව සමඟ සමීප සබඳතාවයක් පවත්වාගෙන ගිය ඔහු සුප්‍රකට මාක්ස් බ්‍රදර්ස් විකට නළුවන්ගේ චිත්‍රපට දෙකකට (මන්කි බිස්නස්, හා හෝස් ෆෙදර්ස් ) නිෂ්පාදනයෙන් දායක විය. ජනප්‍රිය හොලිවුඩ් චිත්‍රපට වූ ගර්ල් ක්‍රේසි ලාෆ්ටර් හා ඩිනර් ඇට් රයිට්, රයිස් ඇන්ඩ් ෂයින්, ද ප්‍රයිඩ් ඔෆ් ද යැන්කීස්, ද ස්පැනිෂ් මෙන් වැනි චිත්‍රපට රැසකම තිර රචකයා වූයේ ද හර්මන්ය. හර්මන් හොඳ සූදු අන්තුවෙකි. එමෙන්ම නොම්මර එකේ බේබද්දෙකි. එමෙන්ම විචාරකයකු ලෙස ද ඔහු ට නමක් තිබිණ. ඔහු හොලිවුඩ් පුරය පුරා පතළව සිටියේ ජොලි බඩුවක් හැටියටය. හොලිවුඩ් නගරයේ නිරන්තරයෙන් පැවැත්වෙන ඉහළ පෙලේ සාදයන්ගේ පවා ඔහු කැපී පෙනෙණ චරිතයක් විය. සිටිසන් කේන් සදහා පාදක වූ විලියම් රැන්ඩොල්ෆ් හර්ස්ට් හා ඔහුගේ පෙම්වතිය වූ සුප්‍රකට සිනමා නිළියක ව සිටි මේරියන් ඩේවිස් විසින් සංවිධානය කරන ලද සාදයකට ආරාධිතයකු වූ හර්මන් එහිදී උතුර දකුණ සොයා ගත නොහැකි වන ආකාරයෙන් මත් පැන් බී සාදයේ දී සාදය මැදම වමනය කළ බව හොලිවුඩයේ මාතෘකාවක් විය. මේ සාදයේ සිටියේ ද එසේ මෙසේ අය නොවේ. මේ සාදය පැවැත්වූයේ හර්ස්ට් විසින් එම්.ජී.එම් සමාගමේ සභාපති ලුවී බී.මේයර්ගේ උපන්දිනය සැමරීමටය. හොලිවුඩ් සිනමාවේ ලොව ප්‍රධානතම සිනමා ව්‍යාපාරය බවට පත් කළ පුදුම ඉලන්දාරියා නමින් හැඳීන්වූ අර්වින් තැල්බර්ග්, නිෂ්පාදක ඩේවිඩ් සෙල්ස්ට්නික් ආදිහු ද එහි සිටියහ. ඔහු සිය සිනමා තිරනාටකයට පාදක කර ගන්නේ මේ සිදුවීම් අතරින් කොටසකි. හර්මන්ගේ නම යෙදූ තිරනාටක වලට වඩා ඔහු නොනමින් ලියැවූ තිරනාටක ඇතැයි සුප්‍රකට අමරිකානු සිනමා විචාරිකාවක සිටි පෝලීන් කීල් පවසන්නීය.

සිටිසන් කේන් චිත්‍රපටයේ තිරනාටකය ලියන්නට ඔහුට පැවරෙන විට හර්මන් මෝටර් රථ අනතුරකින් වම්පය කඩා ගෙන එක් තැන් ව සිටියේය. (මාන්ක් චිත්‍රපටය ආරම්භ වනුයේ මෝටර් රථ පෙලක් අමෙරිකාවේ පිටිසර බද ගම්මානයකට පිවිසීමෙනි. ) වේලස් හර්මන් හා වේල්ස්ගේ මර්කරි සමාගමේ හවුල්කාර නිෂ්පාදක හවුස්මාන් අතර කිහිප වරක්ම සාකච්ඡා ඇතිව තීබණ. අවසානයේ එකග විය හැකි බොහෝ කරුණු තිබිණ.

මේ වන විට චිත්‍රපටය කල්යෑම නිසා ආර්.කේ.ඕ. සමාගම වේල්ස් ට යොදවන්නට සිටි මුදල් ද යෙදවීම ප්‍රතික්ෂප වන තැනට පත්ව තීබිණ. . ඔහුගේ මර්කරි නිෂ්පාදන සමාගමේ පිරිසට මුදල් ගෙවිය නොහැකි බව සමාගම වේල්ස්ට අනතුරු හැඟවූයේය. කකුල කඩා ගත් හරමන් සිය භාර්යාව සාරා සමඟ ද ස්ටේජ් කෝච් චිත්‍රපටය රූප ගත කළ කැලිෆොන්යාවේ ප්‍රදේශයේ නිවසකට ගියේ හවුස්මාන් සමගය. තිර නාටකය ලියන අතරතුර සතියකට ඩොලර් දහස බැගින් හර්මන්ට ගෙවන අතර එයට අමතර පාරිතෝෂිකයක් ලෙස තවත් ඩොලර් පන් දහසක් ද ගෙවීමට එකඟ විය. එයටත් වඩා හර්මන්ගේ ඉල්ලීමක් විය. ඒ ඉස්තරම් වර්ගයේ ස්කොච් විස්කි බෝතල් දුසිමක්, එයට අනුපාන ද හොඳ ටයිප්රයි ටරයක් හා ඉක්මනින් ටයිප් කළ හැකි සුරූපි යතුරු ලියන්නියක් ය. සුරූපි යතුරු ලියන්නිය ලෙස තෝරා ගැනුණේ රීටා ඇලෙක්සැන්ඩර් නම් යුවතියයි .

හර්මන්ගේ තිරනාටකය මුලින්ම නම් කරන ලද්දේ අමෙරිකන් යන නමින්ය. එහි කේන්ගේ නම වෙනුවට සදහන් වූයේ චාල්ස් ෆොස්ටර් ක්‍රේග් යනුවෙනි. පසුව එය චාල්ස් ෆොස්ටර් රෝග් නමින් ද හැඳීන්විය. එය කේන් නමින් නම්වන්නේ එයින් පසුවය. හර්මන් විසින් ලියන ලද මුල් පිටපත පිටු 325 කින් සමන් විත විය. එහි පිටු අංක 212 සිට 275 දක්වා හිස් ව තැබුවේ කේන් හා ඔහුගේ දෙවැනි භාර්යාව වන සුසාන් ගේ චරිතය වර්ධනය කරන්නට ඉඩ තබමින්ය. එහෙත් චිත්‍රපටයේ ආරම්භයේ එන කේන්ට අයත් යචදචඤභ මන්දිරය හා එහි ජනේලය වෙතින් ඔහුගේ මරණ මංචකයට යෙදෙන රූප රාමු පෙළ හර්මන් විසින් ලියා තබන ලද්දකි. ඒ සමඟ ප්‍රවෘත්ති චිත්‍රපට රීලයක කේන් ගේ මරණය වාර්තා කරන අයුරුත් ඔහු පිළිබඳ විවිධ අදහස් ද එයට ඇතුළත් විය. රෝස කැකුළ සොයා යන්නට පුවත්පත් කලාවේදියා යොමුවන්නේ එහිදිය. හර්මන් විසින් ලියන ලද මුල් පිටපත අමරිකන් ඇන්ඩ් ජෝන් සිටිසන් නම්විය. 1940 වසරේ ජූනි මස 11 වැනි දින ආර්.කේඕ සමාගමේ සභාපති විසින් සිටිසන් කේන් ඕසන් වේල්ස් නම්බර් වන් ලෙස නිෂ්පාදනයේ වැඩ අරඹන ලදී. චිත්‍රපටයේ තිරනාටකය පිළිබද ආරංචිය ලද හර්මන්ගේ බාල සොහොයුරු ජෝර්ජ් සිය සොහොයුරාට තදින් අවවාද කරන ලද්දේ කේන් චරිතය හරහා පාදක කොට ගත්‌තේ විලියම් රැන්ඩොල්ෆ් හර්ස්ට්ගේ චරිතය බැවින් ප්‍රවේශම් වන ලෙසටය. මන්කි චිත්‍රපටයේ පරිද්දෙන් හර්ස්ට්ගේ පෙම්වතිය වන මේරියන් ඩේවිස් ද හර්මන් . හමුව චිත්‍රපටය නවතා දමන ලෙස දැන්වීය. සිටිසන් කේන් චිත්‍රපටයේ එන කේන්ගේ පෙම්වතිය සුසාන් යනු සැබෑ ජීවිතයේ මේරියන් ඩේවිස් වූවාය. හර්මන් විලියම් හර්ස්ට් හඳුනා ගන්නේ ද මේරියන් ඩේවිස් හරහාය. හර්ස්ට් හා මේරියන් සබඳතාව ඔහුගේ මරණය දක්වා පැවතියෙකි. මේරියන් හර්ස්ට්ට හමුවන වට ඇයගේ වයස අවුරුදු 19කි. ඔහු 59 වැනි වියේ පසුවිය. ඒ වන විට හර්ස්ට් දරුවන් පස්දෙනෙකුගේ පියෙකි. එහෙත් ඔහු කිසිවිටෙක තම භාර්යාවගෙන් වෙන්වූයේ නැත. පසුකලෙක නිළියකව සිටි පැට්‍රිෂියා ලේක් හර්ස්ට් හා මේරියන්ගේ දියනිය බැව් පැවසේ. වරක හර්ස්ට්ගේ යාත්‍රාවක තිබුණු සාදයක දී චිත්‍රපට නිෂ්පාදක තෝමස් ඉන්ක් හදිසි අනතුරකින් මිය ගියේය. එය හදිසි හෘදයාබාධයක් නිසා යැයි මාධ්‍යයන්ගේ පළවුව ද සැබැවින්ම එසේ සිදුවූයේ එහි පැමිණි සිටි චාලි චැප්ලින් හා මේරියන් අතර සබඳතාවක් දුටු හර්ස්ට් කෝපවීමත් සමග එයට ඉන්ක් මැදිවීමත් නිසායැයි ද රාවයක් පැතිරිණ.

 

 

තවත් කොටසක් ලබන සතියට